හොර සිල් බිදපු – සිල් රෙදි නඩු තීන්දුව

Oct 16th, 2017 | By | Category: Election Updates, LEAD NEWS, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය
Rohana-Hettiarachchi-PAFFREL
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක – පැෆ්රල් සංවිධානය

 

ජනාධිපතිවරණය 2015

ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපළ මැතිවරණවලදී අවභාවිතාව එක්සත් ජාතික පක්ෂ පාලනය තුළත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාලනය තුළත් ඉතා සුලභව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් 2015 ජනාධිපතිවරණය යනු රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතය ඉතා බරපතල ලෙස භාවිත වූ මැතිවරණයකි. කැලැන්ඩරයේ සිට මහන මැෂිම දක්වා වූ බොහෝ ද්‍රව්‍යමය ආධාර ද, බොහෝ සුබසාධක ව්‍යාපෘතින් ද මෙම කාලය තුළ කි‍්‍රයාත්මක විය. එමෙන්ම ඉතාම පහළම රාජ්‍ය නිලධාරියාගේ සිට ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වා රාජ්‍ය නිලධාරීන් සැළකිය යුතු පිරිසකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේශපාලන කි‍්‍රයාවලියට ඍජුවම හෝ වක‍්‍රව දායකවීමට සිදුවිය. මැතිවරණ කාලය තුළ මෙම බඩු බෙදාදීමේ කි‍්‍රයාවලියේ ආන්දෝලනාත්මක සහ ලජ්ඡා සහගත කි‍්‍රයාවලිය වූයේ සිල්රෙදි බෙදාදීමේ කි‍්‍රයාවලියයි. මේ පිළිබඳව පැමිණිලි මැතිවරණ දෙපාර්තමේන්තුවටද (අද කොමිෂම) මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද ගලා එන්නට විය. මේ පිළිබඳව PAFFREL, CAFFE, CMEV, TISL ආයතන ඒකාබද්ධව මැතිවරණ කොමිෂම සමග සාකච්ඡා කළෙමු. ඉන් නොනවතින TISL ආයතනය පුවත්පත් දැන්වීම් මගින් මෙම නීති විරෝධී සිල් රෙදි ප‍්‍රතික්ෂේප කරන ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටි අතර බොහෝ නායක ස්වාමින් වහන්සේලා සිල් රෙදි ප‍්‍රතික්ෂේප කළ අතර භාරගත් පිරිස ද මැතිවරණ අවසන් වන තෙක් බෙදා හැරීම් අත්හිටු වනු ලැබීය. ඒ සැබවින්ම මෙය මැතිවරණ දූෂණයක් ලෙස ඔවුන් සැළකූ නිසාවෙනි. මෙවැනි කි‍්‍රයාවලීන් හරහා මැතිවරණයක නිදහස් හා සාධාරණ භාවය විශාල ලෙස අභියෝගයට ලක්වන බැවින් පැෆ්රල් සංවිධානය 2015 අපේ‍්‍රල් මාසයේදී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය. (SC /FR 76/15) එමගින් අප සහන තුනක් අපේක්ෂා කළෙමු.

  1. ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය බලය හා දේපළ අවභාවිතා කළ ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපතිවරයාට නියෝග කිරීම

  2. එමගින් රජයට වූ පාඩුව ගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයාට නියෝග කිරීම

  3. නැවත මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට කි‍්‍රයාමාර්ග ගැනීම

නඩුවේ අතරමගදී අප ඉල්ලූ සහන ලබාදීමට විගණකාධිපතිවරයා සහ නීතිපතිවරයා කි‍්‍රයාකිරීමට එකග වූ බැවින් එනම් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළ බව දැන්වීමෙන් අපගේ නඩුව ඉල්ලා අස්කරනු ලැබිණි. ඒ අනුව නීතිපතිවරයා මහාධිකරණයේ ගොනුකළ නඩුවට අදාළව මේ වන විට ඓතිහාසික නඩු තීන්දුවක් ලැබී තිබේ. මෙය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මෑත කාලයේ ලැබු හොඳම නඩු තීන්දුව බව කිව හැකිය. එහෙත් එම නඩු තීන්දුව මගින් ලබාදෙන වටිනා පණිවුඩය නොසළකා හරිමින් සහ ආගමික සළුවකින් එය වසා දැමීමට සමහර පාර්ශ්වයන් දරන උත්සාහය නිසාවෙන් මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමු.

අධිකරණ කි‍්‍රයාවලිය තුළදී විනිශ්චය සඳහා මතු කරන ලද වැදගත් කාරණා මොනවාද?

  1. එවකට රාජ්‍ය නායකයාගේ ලේකම්වරයා ලෙස මැතිවරණය 2015 ජනවාරි මාසයේ පවත්වන බව ලලිත් වීරතුංග මහතා හොඳින් දැනුවත්ව සිටි බව සහ ඒ අුනව සද්භාවයෙන් කි‍්‍රයා කළේ නම් ඔහුට සිල් රෙදි බෙදාදීම මැතිවරණයට පෙරාතුව හෝ මැතිවරණයෙන් පසුව කළහැකිව තිබූ බව

  2. සිල් රෙදි බෙදාහැරීම වැනි ද්‍රව්‍ය බෙදා හැරීම මැතිවරණ කාලය තුළ නොකළ යුතු, නොකළ හැකි කි‍්‍රයා බව ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකු වන ලලිත් වීරතුංග මහතා මනාව දැන සිටිය යුතු බව

  3. ජනාධිපතිවරණය 2014. 11. 20 දින ප‍්‍රකාශයට පත් වූ අතර 2014 නොවැම්බර් මස 22 වන දින රාජ්‍ය දේපළ භාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයාගේ චක‍්‍රලේඛ නිකුත් වී තිබූ බව

  4. එම චක‍්‍රලේඛය තම මේසය මත තබා ගනිමින් 2014 දෙසැම්බර් මස 05 වන දින තමා සභාපතීත්වය දැරී ඔගඍගක්‍ග ආයතනයේ මුදල් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව මිලියන 600 ක් ලබා ගැනීම

  5. T.R.C ආයතනයේ සමාජ සත්කාරක ගිනුමෙන් ඒ වසර සඳහා මිලියන 100 පමණක් වෙන් කරන තිබෙන තත්ත්වයක් තුළ සහ එම මුදල් අවසන්ව තිබියදී හදිසියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසරයකින් තොරව ඊට මිලියන 600 ක් වෙන්කර ගැනීම

    මේ පිළිබඳව ගරු අධිකරණය පහත ප‍්‍රශ්න මතුකර තිබුණි

  6. මෙසේ එකී මුදල් නීතියට පිටින් යමින් ලබාගෙන මැතිවරණ කොමසාරිස්වරයාගේ චක‍්‍රලේඛ නොසළකා හදිසියේ සිල් රෙදි බෙදීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද?

  7. ලංකාවේ බෞද්ධයින් වැඩිපුර සිල් සමාදන් වනුයේ සිල් රෙදි බෙදා හරින ලද ජනවාරියේද? වෙසක් සහ පොසොන් මාසවලද?

  8. සිල් රෙදි නොමැතිවීම නිසා ලංකාවේ බෞද්ධයන්ට සිල් ගැනීමට නොහැකි වූ අවස්ථා වාර්තා වී තිබේද?

  9. එවැනි තත්ත්වයක් තුළ ජනවාරි මුල් සතිය තුළම සිල් රෙදි බෙදීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද?

  10. T.R.C. ආයතනයේ අරමුදල්වලට කිසිසේත්ම සම්බන්ධයක් නැති අරමුණක් වෙනුවෙන් මෙතරම් හදිසියේ මුදල් ලබා ගැනීමට හේතු කවරේද?

මේ පිළිබඳව සාධාරණ උත්තරයක් ලබාදීමට ලලිත් වීරතුංග මහතා අපොහොසත් වී ඇත.

රාජ්‍ය ප‍්‍රතිපත්තියක් යටතේ මෙම සිල් රෙදි බෙදනු ලැබුවේද?

මෙම සිල් රෙදි ව්‍යාපෘතිය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් යටතේ කරනු ලැබූ ව්‍යාපෘතියක් බවට ඒත්තු ගැන්වීමට විත්ති පාර්ශ්වය උත්සාහ දරා ඇතත් විනිශ්චයකාර මාගේ විශ්ලේෂණය තුළින් පැහැදිලි වන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වුවද මැතිවරණ කොමසාරිස්වරයාගේ චක‍්‍රලේඛ නොසළකා ඊළඟ වර්ෂයේ මුදල් අනුමත කර ගැනීම තෙක් නොසිට T.R.C ආයතනයේ C.S. R. ගිණුමෙහි නොතිබූ මුදලක් එම ගිණුමට එක දිනයකින් ලබාගෙන එදිනම ජනාධිපති ලේකම්වරයාගේ ගිණුමට බැර කරගෙන එදිනම සිල් රෙදි මිලදී ගැනීමට එම රාජ්‍ය ප‍්‍රතිපත්තියේ තිබූ හදිස්සිය කුමක්ද යන්නයි. මෙම සිල් රෙදි බෙදීම මැතිවරණ කාලයක සිදු නොකළේ නම් ජනාධිපති අරමුදලට මුදල් අනුමත වීමෙන් අනතුරුව එම මුදල් වැය කළේ නම් කිසිවෙකු ලලිත් වීරතුංග මහතාට එරෙහිව අධිකරණයට නොයනු ඇත.

බහුතරයක් බෞද්ධයන් සිටින ලංකාව තුළ සිල් රෙදි බෙදීම කළ නොහැකිද?

මෙම නඩු තීන්දුවෙන් අනතුරව, ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදී ඇති බෞද්ධයන් බහුතරයක් සිටින රටක උපාසක උපාසිකාවන්ට සිල් රෙද්දක්වත් බෙදිය නොහැකිය යන මතය දේශපාලනඥයන් විසින් පතුරුවාලීමට උත්සාහ දැරීම දැකිය හැකිවිය. මෙය සම්පූර්ණයෙන්ම නඩු තීන්දුවේ පදනම දේශපාලන වාසි සඳහා බැහැර කිරීමකි. ඕනෑම කෙනෙකුට හෙට දවසේ ද අපගේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට තම මුදලින් සිල් රෙදි හෝ ඕනෑම දෙයක් ලබාදිය හැකිය’ මෙහිදී පදනම වූයේ රාජ්‍ය මුදල් නොඑසේනම් ජනතාවගේ මුදල් මිලියන 600 එක් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය කිරීම සඳහා මැතිවරණ නීති නොසළකා මැතිවරණ කාලය තුළ බෙදා හැරීමයි. මෙය බෙදා හැරියේ අපේක්ෂකයකුගේ පණිවුඩයක් ද සමගයි. එපමණක් ද නොව එය බෙදා හැරීමේ කටයුත්තට අදාළ අපේක්ෂකයාගේ පවුලේ උදවිය හා එම දේශපාලන පක්ෂයේ ප‍්‍රාදේශීය නායකයන්ගේ අතින් සිදුවිය. රටේ ජාතික ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක විය යුත්තේ රාජ්‍ය නායකයාගේ පවුලේ උදවියගේ හෝ ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ මැදිහත්වීමෙන්ද?

මෙම නඩු තීන්දුව නිසා හදිසි අවස්ථාවල රාජ්‍ය නිලධාරීන්ට තීන්දු ගත නොහැකිද? ජනතාවට කඩිනම් සහන සැළසිය නොහැකිද?

හදිසි ගංවතුර, නායයාම් වැනි අවස්ථාවලදී රාජ්‍ය නිළධාරීන්ට කඩිනමින් තීන්දු ගැනීමට නොහැකිවනු ඇතැයි සමහර කොටස් තර්ක කරමින් තිබේ. එය කිසිසේත්ම සත්‍ය නොවේ. රාජ්‍ය නිලධාරීන්ට නීතිමය රාමුව මූල්‍ය රෙගුලාසිවලට යටත්ව ඕනෑම තීරණයක් ගත හැකිය. එපමණක්ද නොව තමන්ට සාධාරණ යයි හැගෙන්නේ නම් එය බාහිර පාර්ශ්වයන්ට ද ඔප්පු කළහැකි සීමාවේ නම් මූල්‍ය රෙගුලාසි වලින් බැහැරව ද තීන්දු ගතහැකි විය යුතුය. මෙහිදී පදනම වනුයේ ‘සද්භාවය’ යන කරුණයි. සිල් රෙදි නඩුවේදී ප‍්‍රශ්න කෙරෙන ප‍්‍රධාන කරුණ වන්නේ, මුදල් නොමැති තත්ත්වයක් තුළ ඊළඟ වර්ෂයේ ප‍්‍රතිපාදන ලැබෙන තෙක් නොසිට අදාළ නොවන ආයතනයකින් විධිමත් පටිපාටියෙන් බැහැරව මැතිවරණ කොමසාරිස්ගේ චක‍්‍රලේඛවලට ද පටහැනිව සිල් රෙදි මිලදී ගැනීමට හා බෙදාහැරීමට තිබූ හදිස්සිය කුමක්ද යන්නයි. එයට සාධාරණ පිළිතුරක් දීමට ලලිත් වීරතුංග මහතා අපොහොසත් වේ. ඔහු හොරෙකු යයි කිසිවෙකු කියනු මා අසා නැත. ඔහු කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන පරිසරයක් තුළ ඔහු ඔහුට කිසිසේත්ම සාධාරණීය කිරීමට නොහැකි කරුණක් සම්බන්ධයෙන් ඔහුගේ සියළු සීමාවන් නොසළකා තම ස්වාමියාගේ ජයග‍්‍රහණ අරභයා ජනතාවගේ මුදල් මිලියන 600 අවභාවිතා කර ඇත.

මෙම තීන්දුව රාජ්‍ය නිලධාරීන් අභියෝගයක් ද ආශිර්වාදයක්ද?

අවංක කාර්යක්ෂම දූරදර්ශී රාජ්‍ය නිලධාරියෙකුට මෙය කිසිසේත්ම අභියෝගයක් හෝ කම්පනයට හේතුවක් නොවනු ඇත. එමෙන්ම එවැන්නන්ට මෙය අමුතු ආශිර්වාදයක් ද නොවේ. එහෙත් වර්තමානයේ සෑම ක්ෂේත‍්‍රයකම දේශාපාලනීකරණයේ ස්වභාවය අනුව රාජ්‍ය නිලධාරීන්ට නීතියට හා මූල්‍ය රෙගුලාසිවලට එරෙහිව දේශපාලනඥයන් සිදුකරන බොහෝ නියෝග ප‍්‍රතික්ෂේප කිරීම සඳහා මෙය මෙවලමක් වනු ඇත. මෑත කාලය තුළ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් අමාත්‍යවරයාගේ නීති විරෝධී නියෝග ප‍්‍රතික්ෂේප කර ඇත. එහෙත් ඒ සඳහා කොන්දක් හා පෞරුෂයක් තිබිය යුතුය. දේශපාලනඥයන් ගනු ලබන තීන්දුවල හරිවැරදි පෙන්වාදීමට ලේකම්වරයාට හැකියාව තිබිය යුතුය. අදාළ අමාත්‍යංශ ගණන් ගැනීමේ නිලධාරියා ලෙස ඔහුගේ/ඇයගේ වගකීමද වේ.

මෙම නඩුවේ විත්තිකරුවන් අනාගතයේ නඩුවෙන් නිදහස් වීමට මෙන්ම සමාජ වීරයන් වී නව පාලනයක් යටතේ ඉහළ තනතුරුද ලැබීමට ඉඩ ඇත. එහෙත් ඔවුන්ට හෘද සාක්ෂියෙන් ගැළවිය හැකි නොවනු ඇත. ඒ සිදු කලේ සැබෑ ලෙසම සිල් රෙදි බෙදා දීමක් ද? තම ස්වාමියාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් දීමක්ද යන්න ඔව්න්ගේ හෘද සාක්ෂිය ඔවුන්ගෙන්ම ප‍්‍රශ්න කරනු ඇත.

මෙම කටයුත්ත බෞද්ධ රටක බෞද්ධයන්ට සිල්රෙදි බෙදීමක් බව කියමින් ආගමික සළුවකින් වසා සමාජයට වෙනත් මතයක් ගෙනයමින් මහා සංඝ රත්නය දේශපාලන මඩගොහොරුවට ඇද ගනිමින් මහා සංඝරත්නය පිළිබඳ පොදු සමාජ ගෞරවය කෙළසීමට කි‍්‍රයාකරන දේශපාලන නායකත්වයන්ගෙන් විමසිය යුතු කරුණක් තිබේ. ඔබ කළ දේ හරිද ඔබ කරන දේ හරිද හදවතට තට්ටුකර විමසන ලෙස කාරුණිකව අයැඳ සිටිමි. එමෙන්ම මෙය ද විමසිය යුතුව ඇත.

වර්තමාන රාජ්‍ය නායකයා ද මෙසේ රජයේ මුදල් භාවිත කරමින් එළඹෙන ජනාධිපතිවරයේදී ජනතාවට ඍජු ලෙස බඩු බෙදාදුන හොත් සැම පන්සලකටම මූල්‍ය ආධාරයක් කළහොත් හෝ වෙනත් ආධාර ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළහොත් එය අනුමත කරන්නේ ද?
එසේ දේශපාලන නායකයන් නොකරාවි යැයි කාට හෝ සහතිකයක් දිය හැකිද?

Recent Posts

Tags: ,

Leave a Comment