අපේ රට දැනටත් ඒකීය රටක් නෙවෙයි

Oct 20th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරති’ වැඩසටහන සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා සහභාගී වූ අතර නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් වැඩසටහන මෙහෙය වන ලදී. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.

අපේ ඉතිහාසයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදා හැරීම, නව මැතිවරණ ක්‍රමයකට යෑම සම්බන්ධයෙන් උත්සාහ දරපු හැම අවස්ථාවකම ඒ මොහොතේ විපක්ෂයේ සිටි පිරිස් ඊට එරෙහි වුණා. මේ අයම අද මතයක් ගොඩනගනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා රටේ ඒකීයභාවය නැති වෙනව කියල? 

ඇත්තටම මට තියෙන ප්‍රශ්නය, මොකක්ද මේ ඒකීය රාජ්‍ය කියන්නේ කියල. දේශපාලන විද්‍යාවේදී මම දන්න විදියට ‘ඒකීය රාජ්‍යය’ හෝ ‘ෆෙඩරල් රාජ්‍යය’ කියල විශේෂ රාජ්‍ය වර්ගයක් නැහැ. නමුත්, ඒකීය ආණ්ඩුක්‍රම සහ ෆෙඩරල් ආණ්ඩුක්‍රම කියලා ආණ්ඩුක්‍රම වර්ග දෙකක් තිබෙනවා. යම්කිසි රාජ්‍යක, එහි ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමට තිබෙන්නේ තනි මධ්‍යම ආණ්ඩුවක් නම්, අපි ඒක හඳුන්වනවා ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා. ඒ විදියටම යම් කිසි රාජ්‍යයක ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරවීම සඳහා මධ්‍යම ආණ්ඩුවක් සහ තවත් ප්‍රාන්ත ආණ්ඩු තිබෙනවා නම්, ඒ ආණ්ඩුවලට බලය බෙදලා දීලා සහ ස්ථාපිත කරලා තිබෙන්නෙ ව්‍යවස්ථාවෙන්ම නම්, අපි ඒ ආකාරයේ ආණ්ඩු හඳුන්වනවා ෆෙඩරල් ආණ්ඩුක්‍රම හැටියට. මේ ආණ්ඩුක්‍රම, රාජ්‍යය කියන භූමිය සමඟ එකට ගැටගැහුවම, තනි ආණ්ඩුවක් තිබෙනවා නම් එය ඒකීය රාජ්‍යයක් කියලා හඳුන්වනවා. ඒ හා සමානවම ආණ්ඩුක්‍රම කිහිපයක් තිබෙන තැනක ඒවා රාජ්‍යය එක්ක ගැටගැසු විට ෆෙඩරල් කියන සංකල්පය ගොඩනැගෙනවා. එහෙම නැතුව ඒකීය රාජ්‍ය හෝ ෆෙඩරල් රාජ්‍ය කියලා දෙයක් නැහැ.

රාජ්‍යය කියන්නේ භූමිය, ජනගහනය, ආණ්ඩුව සහ ස්වාධිපත්‍ය බලය කියන සාධක හතරෙන් ගොඩනැගුණු දේශපාලන සංවිධානයක්. එතකොට රාජ්‍යයක් ඒකීයද ෆෙඩරල්ද කියලා හඳුන්වන්නේ ඒ රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන ආණ්ඩු සංඛ්‍යාවේ ප්‍රමාණය මත. ලංකාවේ 1987දී පළාත් සභා පනත, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෙදා හරිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පළාත් සභා ස්ථාපිත කරනවා. මධ්‍යම ආණ්ඩුවේ බලතල, පළාත් සභා බලතල සහ සමගාමී බලතල කියලා ලැයිස්තු තුනක් ඉදිරිපත් කරනවා. මෙය නිවැරදිව අධ්‍යයනය කළොත් තේරෙනවා, ඉන්දියාවේ තිබෙන ෆෙඩරල් ආණ්ඩුක්‍රමයට ඉතාමත් ළඟින් යන ආණ්ඩුක්‍රමයක් තමයි 1987දී මේ රටේ ඇතිකරලා තිබෙන්නේ. එතකොට බලය බෙදීමක් දැන් වෙලා තිබෙනවා. මේ රටේ කවුරු හරි තර්ක කරනවා නම් මේක ඒකීය රටක් කියලා, ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් වගේම වැරදි අදහසක්. 

මේ 1972 ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනයේ එන දෙවෙනි වගන්තිය, ‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි.’ ජනරජය කියලා දේශපාලන විද්‍යාවේදී උගන්වන්නේ ‘ජනතාවට දේශපාලන බලය හිමිවෙනවා. ඔවුන් එහි අවසාන අයිතිකරුවන්. ඔවුන් විසින් පිහිටවගත්ත ආණ්ඩුවක්’ කියන එක. මෙහි රාජ්‍යය යන වචනය කියන්නෙ නැහැ. ඒකීය ජනරජයක් කියල කියන්නේ. මේක විහිළුවක්. එය ඉංග්‍රීසියෙන් තිබෙන්නෙ ”The rupublic of Sri Lanka is Unitary State” කියල. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියන ජනරජය ඒකීය රාජ්‍යයක් කියලා. රාජ්‍යයක් කොහොමද ඒකීය කියන්නේ? ඒකීයද නැද්ද කියන එක තිබෙන්නේ ආණ්ඩුක්‍රමය තුළ. 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මීට සමානද?

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියෙත් තිබෙනවා ‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි’ කියල. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. රජය කියන්නේ රාජ්‍යයද? ආණ්ඩුවද? අපි භාවිතයේදී රාජ්‍යයටත් රජය කියනවා. ඒ අර්ථයෙන් ගත්තොත් මේක නිවැරදියි. නමුත් එයත් මෙහි යොදා තිබෙන ආකාරය වැරදියි. සාමාන්‍යයෙන් අපි රජය කියන්නේ ආණ්ඩුවටනේ. ඒකත් වැරදියි. සාමාන්‍ය ජනතාව මෝඩයට අන්දන්න පුළුවන් මෙවැනි දේවල්වලින් ඒකීය කියලා. මම ඕන කෙනෙකුට අභියෝග කරනවා මේක ගැන කතා කරන්න. ජනරජය කියන්නේ ආණ්ඩුව. රාජ්‍යය කියන්නේ වෙනම දෙයක්. එතකොට ජනරජයයි රාජ්‍යයි කොහොමද එකක් වෙන්නේ? මට තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ කොල්වින් ආර්. ද සිල්වා කොහොම මෙවැනි දේවල් කරලා තිබෙනවද කියන එක.

‘ඒකීය’ කියන වචනය එක්ක බොහෝ දෙනෙක් වාද සංවාදවල පැටලී හිටියත් ඔබ කියන්නෙ පළාත් සභා ඇතිකිරීමත් සමඟ, මධ්‍යයේ තිබුණු බලතල පළාත් සභා සමඟ බෙදී ගිය නිසා කිසියම් ආකාරයකට ඒකීය ආණ්ඩුක්‍රමය ගිලිහී ගියා කියලද?

ඔව්, සම්පූර්ණයෙන්ම ගිලිහී ගියා. මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභාවලට බලය බෙදාහැරීමක් කර තිබෙනවා. දේශපාලන විද්‍යාවේදී අපි උගන්වන දෙයක් රටේ මූලික නීතියෙන් බලය බෙදාහැර තිබෙනවා නම්, එය සන්ධීය/ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් කියල. 1987දී මෙය ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් වෙනවා. මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෙදී ගිය කොටස් එකට එකතු කරලා, එක රාජ්‍යයක් ඇතුළේ මේවා පවත්වා ගෙනයාමට උත්සාහයක් දරා තිබෙනවා. ඒකට තමයි ගොඩක් දෙනා කෑගහන ‘ඔරුමිත්තනාඩු’ කියන වචනය දාලා තිබෙන්නෙ. මම නම් එහි වැරැද්දක් දකින්නේ නැහැ. මොකද ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක උත්පත්තියෙන්ම තියෙන ලක්ෂණය, ‘අපිට හිටියා ඇති. අපිට යන්න ඕන’ කියලා කියන්න හැකිවීම. 1987දී බලතල බෙදුවේ රට කොටස් නමයකට කඩලා, ප්‍රාදේශීයව බලතල ලබා දීලා, තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳගන්න ඉඩදෙන අතරේ රටේ ඒකීයභාවයට අවශ්‍ය බලතල මධ්‍යම ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරනවා. එහෙම තිබියදී විග්නේශ්වරන්ලා ‘අපිට වෙනම රාජ්‍යයක් ඕන’ කියල ඉල්ලනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යොදා තිබෙන ‘නොබෙදුණු සහ නොබෙදිය හැකි රාජ්‍යයක්’ කියන එක බොහොම කල්පනාකාරීව දාපු වචනයක්. ඒ නිසා දැන් ඒකට දමිළ භාෂාවෙන් දාපු ‘ඔරුමිත්තනාඩු’ කියන වචනය අල්ලගෙන දඟලනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳට අධ්‍යයනය කළොත්, ඒකීය රාජ්‍යයක් යන්න කොහේවත් සඳහන් වෙන්නෙ නැහැ කියල පෙනෙයි. 

අලුත් ව්‍යවස්ථාවකින් මේ බලතල බෙදීම තවත් වැඩිදියුණු කරගනිමින් හැමෝම එකට ඉන්න රාජ්‍ය ක්‍රමයක් නිර්මාණය කරගැනීම පිළිබඳ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

මහින්ද රාජපක්ෂත් කිව්වා 13 වැනි සංශෝධනයෙන් එහාට ගිහින් බලය බෙදීමක් කරනවා කියලා. නමුත් 13 මඟින් හොඳට බලය බෙදීමක් කර තිබෙන නිසා මගේ අදහස නම් තවත් බලතල අවශ්‍ය නැහැ කියල. ප්‍රශ්නේ තිබෙන්නෙ දුන් බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන බලය දෙනවද කියන එකයි. දැන් ලොකුම ප්‍රශ්නය පොලිසිය සහ ඉඩම්. මහින්ද රාජපක්ෂ කිව්වා වගේ 13 න් එහාට එයාට දෙන්න තිබ්බේ එක දෙයයි. ඒ තමයි උතුරු නැඟෙනහිර සීමා මායිම් හදලා ‘මෙන්න උඹලට වෙනම රාජ්‍යයක්’ කියලා දෙන එක. 

මගේ මතකය නිවැරදි නම් පනත් 64 ක් තිබෙනවා. ඒ පනත් මඟින් පළාත් සභාවලට දීපු බලතල නිශේධනය කරනවා. එයින් බරපතළම පනත ‘නාගරික සංවර්ධන පනත’. එය ඉතාම ශක්තිමත් සහ මධ්‍යම ආණ්ඩුවට ගොඩක් බලතල ගේන පනතක්. ඒවා මඟින් පළාත් සභාවලට තිබෙන බලතල නැවත උදුරාගන්නවා. අපිට උතුරු පළාත් සභාව තිබුණත් යාපනේ නගරයේ ‘නාගරික සංවර්ධන පනත’ ට පටහැනිව ගොඩනැඟිල්ලක් හදන්නවත් බැහැ. මේක නූල් බෝලයක් වගේ පැටලිච්ච දෙයක්. ඉතින් බලය බෙදීමකට වඩා අවශ්‍ය වෙන්නේ මේ බෙදපු බලය යථාර්ථවාදීව භාවිත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන එක. එහෙම නැතුව 13 න් එහාට යනවා කියන එක විහිළුවක්. 

මේ යෝජනාවලියෙන් පළාත් සභාවලට තව බලතල පැවරීමක් හෝ වැඩිදියුණු කිරීමක් යෝජනා කරන්නේ නැහැ. නමුත් සමගාමී ලැයිස්තුව යම් වෙනස්කම්වලට භාජනය කර පවත්වාගෙන යන්න කියන යෝජනාව තිබෙනවා. එහි මූලික අදහස ඔබ කිව්වා වගේ බලය තවදුරටත් බෙදමින් එක රටක් ලෙස පවත්වාගෙන යෑම.

එය තමයි කළ යුතු. මහනුවර මම ඉන්න වත්තේ පාරක් හදන්න මධ්‍යම ආණ්ඩුවට සැලසුම් ඉදිරිපත් කරලා ඒක මධ්‍යම ආණ්ඩුවෙන් කෙරෙනවට වඩා, අපිට තියෙන ප්‍රාදේශීය සභාවෙන් ඒක කරන්න පුළුවන් නම් මොකද්ද තිබෙන වරද? මිනිස්සු කියනවා ෆෙඩරල් ආණ්ඩුවකින් රට බෙදෙනවලු. එහෙම නම් අපේ අල්ලපු රටේ නිදහස්, ස්වාධිපති රාජ්‍යයන් 30 කට වැඩිය තියෙන්න ඕන. ඇමරිකාවේ රාජ්‍යයන් 50 කට වැඩි සංඛ්‍යාවක් තියෙන්න ඕන. ඕස්ටේ්‍රලියාවේ රටවල් 8 කට වැඩි සංඛ්‍යාවක් තියෙන්න ඕන. කැනඩාවෙත් එහෙමයි. දැන් රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක මේ ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක වෙනවා වුනත් මොන රටේද ප්‍රශ්නයක් තිබෙන්නෙ? තිබෙන රාජ්‍යයෙන් අවහිර වෙනවා නම්, මිනිස්සු මෙයින් වැඩක් නැහැ යන්න ඕන කියල යනවා. නමුත් නොයෑමයි අපි ආරක්ෂා කරගන්න ඕන. යන්න ඇයි පෙළඹෙන්නේ කියන දේ හිතලා සියලු දෙනාම එකට තබාගැනීමටයි අපි උත්සාහ කළ යුතු වෙන්නෙ. ■

2017.10.22 වන රාවය සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන  ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment