පළාත් සභා ක්‍රමයට වසර 30 ක් !

Oct 26th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපනය, ආර්ථික, කාලීන, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සංවාද


පළාත් සභාවල පාලනයට තිස් වසරක් පිරී ඇත. පළාත් සභා ඇතිකරනු ලැබුවේ 1987 ජුලි මස අත්සන් කරනු ලැබූ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනතට අනුවයි.

ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 සැප්තැම්බර් මස සම්මත කරනු ලැබූ නව ව්‍යවස්ථාව සහ ජනාධිපති පාලන ක්‍රමය ඇතිකිරීමට හේතු වශයෙන් ජේ.ආර් ජයවර්ධන විසින් දක්වන ලද කරුණක් වූයේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය මත ඇති වන පාර්ලිමේන්තුවකට, එම ක්‍රමයට ආවේනික දුර්වලතා නිසා  ජනතාවට කෙටි කාලීනව හිතකර නොවන එහෙත් දීර්ඝකාලීනව හිතකර වන තීන්දු ගැනීමට ඇති නොහැකියාවයි. අවුරුදු 6කට ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බලපෑමකින් තොරව තීන්දු ගැනීමට හැකියාවක් තිබේ. 1977න් පසුව ඇතිවූ ආර්ථික විප්ලවය සඳහා අවශ්‍ය දේශපාලන බලය යොදනු ලැබුවේ ජනාධිපති ක්‍රමය මගිනි. එනමුත් 1983 ජුලි මස ඇතිවූ වාර්ගික අරගලවලදී ජනාධිපති බලතලද, එක්සත් ජාතික පක්ෂ නායකත්වයද, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිද පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක්ද සහිතව ඉතාමත් බලවන්තව සිටි ජයවර්ධන ජනාධිපතිවරයා ඇඳිරි නිතිය පැනවීම පමා කරමින් හැසිරුණු දුර්වල ආකාරය නින්දා සහගතය. එම හැසිරීමට ප්‍රතිවිරුද්ධව මෙයින් වසර හතරකට පසු අගමැතිවරයාද ඇතුළු තමාගේ කිට්ටුම ඇමති සගයන්ගේ විරෝධතාවයද පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය සත්‍යග්‍රහ පවත්වමින් කළ විරෝධතාවයද ජනතා විමුක්ති පෙරමුණේ භීෂණකාරී විරෝධතාවයද සාමාන්‍ය සිංහල ජනතාවගේ නිහඬ විරෝධතාවයද මැද බොහෝ සෙයින් තනි තීරණයක් මත ජනාධිපතිවරයා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම අනුව ඇතිකළ 13 වන සංශෝධනය මෙරට ජනවාර්ගික ප්‍රශ්නය සමථයකට පත් කිරීම උදෙසා කෙරුණු එකම සාධනීය ප්‍රයත්නයයි. මෙම නිර්භීතභාවය එසේ නොමැති නම් අත්තනෝමතික ස්වභාවය පාර්ලිමේන්තු ක්‍රමය යටතේ සිටි අගමැතිවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායකට හෝ ඩඞ්ලි සේනානායකට 1957 දී (බණ්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුම) හෝ 1965දී (ඩඞ්ලි- චෙල්වනායකම් ගිවිසුම) ඇති නොවුයේ පාර්ලිමේන්තු ක්‍රමයේ තිබූ ජයවර්ධන විසින් පෙන්වා දුන් දුර්වලතා නිසාද එසේ නොමැති නම් එම නිර්භීතභාවය ඉන්දියානු ආක්‍රමණයක් වළක්වා ගැනීමට ජයවර්ධන ජනාධිපතිවරයාට ආරෝපණය කරගැනීමට සිදුවූ නිර්භීතභාවයක්ද යන්න අප විසින් මැදහත්ව සලකා බැලිය යුතුය. 

පළාත් සහා ඇති කිරීමේදී ජයවර්ධන ජනාධිපතිවරයා එවකට තිබූ කැබිනට් මණ්ඩලයේ ඇමති ධුර අඩුකර සමහර ඇමැතිවරු පළාත්වල ප්‍රධාන ඇමැතිවරු ලෙස පත් කළේය. එයට හේතු වශයෙන් ඔහු දැක්වුයේ මධ්‍යම ආණ්ඩුවේ තිබුණු යම් යම් කටයුතු පළාත් සභා විසින් කරනු ලබන බැවින් මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව අඩු කළ යුතු බවයි. මෙම තීරණය ඉතාමත් යුක්ති සහගත විය.

එනමුත් පසුගිය අවුරුදු තිහ ඇතුළත මධ්‍යම ආණ්ඩුවද ආණ්ඩුකාරවරුද අධිකරණයද අවසන් වශයෙන් පළාත් සභාද කටයුතු කර ඇත්තේ කෙසේද? ඔවුන් සියලු දෙනාම කටයුතු කර ඇත්තේ බලය බෙදීමට එරෙහිවයි. 

මධ්‍යම ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට හිමිවිය යුතු ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට පවරා දී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මෙම බලතල දිය යුතුදැයි තවමත් සාකච්ඡා කෙරෙමින් පවතී. එමෙන්ම මධ්‍යම ආණ්ඩුවට යම් බලතල පවරා ගැනීමට අවශ්‍ය වූ විට නීතියට පිටින් යම් උපක්‍රම අනුගමනය කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් ජාතික පාසල් මධ්‍යම ආණ්ඩුව යටතේද අනෙකුත් පාසල් පළාත් සභා යටතේද දැනට පාලනය කරනු ලැබේ. මධ්‍යම ආණ්ඩුවට යම් පාසලක් තමන් යටතට පත් කර ගැනීමට අවශ්‍ය වූ විට එය ජාතික පාසලක් ලෙස උසස් කරනු ලැබේ. මෙම ක්‍රියාවට එම පාසලේද කැමැත්ත ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ක්‍ ඡේදය අනුව ආණ්ඩුකාරවරයාට ඍජුවම හෝ අමාත්‍ය මණ්ඩලය හරහා හෝ පළාත් සභාවේ නිලධාරීන් හරහා හෝ විධායක බලය ක්‍රියාත්මක කළ හැක. මේ අනුව ප්‍රධාන අමාත්‍යවරයාගේ භූමිකාව, මෙරට අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාවට අදාළව ආර්. ප්‍රේමදාස මහතා අගමැතිව සිටි යුගයේ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුගත වේ. මෙම බලතල අනුව මෙරට ආණ්ඩුකාරවරු පළාත් සභා සමඟ ගනුදෙනු කර ඇත්තේ අත්තනෝමතික ආකාරයටය. මේ ස්වභාවය උච්චස්ථානයට පැමිණියේ පසුගිය ආණ්ඩුව සමයේ උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරු කටයුතු කළ ආකාරයෙනි. මෙම තත්ත්වයට ප්‍රතික්‍රියාවක් වශයෙන් ආණ්ඩුකාර තනතුර සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත් පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු බවත් උතුරු මැද පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මධ්‍යම සහ පර්යන්ත සබඳතා අනු කමිටුවට නිර්දේශ කර තිබේ.  

මෙරට අධිකරණ නිලධාරීන්ගේ ස්වභාවයද මෙයට වෙනස් නැත. 13 වන ව්‍යවස්ථාව අනුව කෘෂිකර්මය සහ ගොවිජන සේවා අයිති වන්නේ පළාත් සභාවලටයි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගිය සතියක මෙම තීරුවට ප්‍රකාශ කළ පරිදි ගොවිජන සේවා පනතට සංශෝධනයක් ගෙන ආ අවස්ථාවේදී එය පළාත් සභාවලට නොයවා අධිකරණයේද අනුමැතිය ඇතිව සම්මත කරගෙන ඇත. ඉන් පසුව නීතිපතිවරයාගේ නිර්දේශය මත පළාත් සභාවලට පවරා තිබූ ගොවිජන සේවා දෙපාර්තමේන්තු  සියල්ලම මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නා ලදී. මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පුර්ණයෙන්ම පටහැනිය.

අවසන් වශයෙන් පළාත් සභා කටයුතු කර ඇත්තේ කෙසේද? පළාතට වෙන් කෙරුණු මුදල් සම්පුර්ණයෙන්ම පාවිච්චි නොවන අවස්ථා විරල නොවේ. බොහොමයක් පළාත් සභාවල කාර්ය භාරය දේශපාලන බලය පෙන්වීම මිස වැඩ කිරීම නොවේ. ඉතා නිර්මාණශීලි ලෙස මුදල් පරිහරණය කර වැඩ කරන පළාත් සභා මහ ඇමතිවරු හෝ ඇමතිවරු අල්ප වේ.

එබැවින් මෙරට පළාත් සභා පිළිබඳව ඒවාට අදාළ සියලු පාර්ශ්වයන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීමේදී බලය බෙදීම මෙන්ම පළාත්වල අධිකාරීන් දෙවන මන්ත්‍රණ සභාවක් හරහා මධ්‍යයට සම්බන්ධ කර ගැනීමද වැදගත් විය හැක. එමෙන්ම පළාත්වල සංයුතිය නැවත සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැක. පළාත් සභා සංඛ්‍යාව අඩු කිරීමට හැකි නම් එය පළාත් සභාවල කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතුවක් විය හැක.

මෙරට පළාත් සභා නවයක් තිබේ. මෙම පළාත් බෙදා ඇත්තේ බි්‍රතාන්‍ය යුගයේදීය. පසුගියදා ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නොහැකිවූ සංවර්ධන විශේෂ විධිවිධාන පනතට අනුව ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල හයක් ස්ථාපනය කිරීමට යෝජනා කර තිබුණි. ඒවා නම් දකුණ (ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල සහ රත්නපුර දිස්තික්ක) වයඹ (පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක) මධ්‍යම (මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක) නැගෙනහිර (අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක) උතුර (යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, සහ මුලතිවු දිස්ත්‍රික්ක) සහ බස්නාහිර (කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක) වේ. මේ අනුව උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක, නැගෙනහිරටත් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය මධ්‍යයමටත්, මොණරාගල දිස්ත්‍රික්කය දකුණටත් සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කය වයඹටත්, රත්නපුර දිස්ත්‍රික්කය දකුණටත් අනුයුක්ත කර තිබේ. මේ අනුව හෝ වෙනත් ක්‍රමයකට හෝ  පළාත් සභා සංඛ්‍යාවද හය දක්වා අඩු කිරීමට හැකි නම් එය වඩාත් ඵලදායි වනු ඇත. ඉන්දියාවේද ප්‍රාන්ත ආණ්ඩුවල සීමා වරින්වර වෙනස් කර ඇත. ජවහර්ලාල් නේරු අගමැතිවරයාගේ අවසන් කාලයේදී භාෂා අනුව දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත සීමා නැවත සකස් කිරීම හරහා ප්‍රාන්තවල, විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ වෙන්වීමේ ප්‍රවණතාවය නැති කර දැමීමට හැකි විය.

පළාත් සභා ඇතිකරන අවස්ථාවේදී ඒවාට විරුද්ධවූ සියලුම දෙනා දැන් පළාත් සභාවලට සම්බන්ධ වී තිබේ. පළාත් සභාවල බලතල වැඩි කර ඒවායේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සහ දුෂණයට ඇති මාර්ග අහුරා දැමීම රටේ ප්‍රාදේශීය සංවර්ධනයටද ඒ හරහා රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වර්ධනයටද හේතු විය හැකි නම්, මේ සියල්ල රටේ ආර්ථික වෘද්ධියට පාදක කර ගත හැක. ■

2017.10.22 වන රාවය සමබිම ඉරිදා අතිරේකයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , ,

Leave a Comment