පළාත් සභා හැදුවේ බලය බෙදන්න බව ආණ්ඩුකාරවරු තේරුම් ගත යුතුයි

Nov 6th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

පසුගිය ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ විකාශය වූ ‘සාරප්‍රභාගිර’ වැඩසටහනේදි මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ සමඟ පළාත් සභා දේශපාලනය ගැන මෙන්ම දේශපාලනය තුල කාන්තා නියොජනය පිළිබදවද සාකච්ඡාවක් අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කරන ලද අතර එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය තියෙන්නේ අවම මට්ටමකයි, පළාත්සභා දේශපාලනය තුළත් ඇමතිවරියන් සිටින්නේ සිටින්නේ එක් අයෙකු පමණයි. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරියක් ලෙස ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

පළාත්සභා තුළ කාන්තා දේශපාලන නායකත්වයේ අඩුවක් තියෙන එක  කණගාටුවට කරුණක්. පාර්ලිමේන්තුවේ සියයට 6.5 ට අඩු කාන්තා නියෝජනයකුත් පළාත් සභා තුළ සියයට 5.8 ක පමණ කාන්තා නියෝජනයකුත් තියෙනවා. පළමු විපක්ෂ නායකවරිය වන චිත්‍රා මන්තිලක මධ්‍යම පළාතෙන් බිහිවෙලා තියෙනවා. එවැනි දේ සිදු වුනත් ඒක අපිට සතුටු වෙන්න තරම් ප්‍රමාණවත් නියෝජනයක් නෙවෙයි. පසුගිය කාලය පුරාම පළාත් සභා තුළ සහ පාර්ලිමේන්තු තුළ තියෙන්නේ ඉතාම අඩු ප්‍රතිශතයකින් යුක්ත කාන්තා නියෝජනයකුයි.

මේ වනවිට පළාත්පාලන ආයතන සඳහා 25% ක කාන්තා නියෝජනයක් හඳුන්වා දෙමින් කාන්තා නියෝජනය ඉහළ දැමීමට රජය ඉදිරිගාමී පියවරක් අරන් තියෙනවා නේද?

25% ක් කාන්තා නියෝජනය ඉහළ යා යුතුයි කියන ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව නව රජයට අපි ස්තූතිවන්ත විය යුතුයි. දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ යා යුතු බව ජනාධිපති සහ අගමැති ඉතා ප්‍රබලවම කියා සිටියා. මධ්‍යම පළාතේ මන්ත්‍රීවරියක් ලෙස මමත් මේ වෙනුවෙන් කාලයක් තිස්සේ සටන් කළා, ඒ වගේම මහජනතාව දැනුවත් කළා. මේ අවස්ථාවෙන් කාන්තාවන් ප්‍රයෝජන ගත යුතුයි කියල මම යෝජනා කරනවා. කාන්තාවන්ට ඔවුන්ගේ දේශපාලන දැනුම උපයෝගී කරගෙන පළාත් පාලන ආයතන වලට එන්න අවස්ථාව ලැබිල තියෙන අවස්ථාවේ ඔවුන් පෙරට ආ යුතුයි. බාධාවන් වලට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙයි. උදාහරණයක් විදියට අපේක්ෂක ලැයිස්තු හදන අවස්ථා වලදි යම් කොට්ඨාශයකින් දීර්ඝ කාලයක් සිටි ඉතා ප්‍රබල අපේක්ෂයකයෙක් ඉදිරිපත් වෙද්දි කාන්තාවකට යම් බලපෑමක් සිද්ධ වෙන්න විශාල ඉඩකඩක් තියෙනවා. නමුත් මෙවැනි බාධා බිඳගෙන කාන්තාවන් ඉදිරියට යා යුතුමයි.

පළාත් පාලන ආයතන වල මීට පෙර මෙවැනිම නීතියක් අපේක්ෂක ලැයිස්තුවේ තරුණ නියෝජනය පිළිබඳව ගෙන ආවා. දැන් 25% ක කාන්තා නියෝජනයකට අවස්ථාව ලැබී තිබුනත් එපමණ කාන්තාවන් පිරිසක් ඉදිරිපත් වේවිද කියන ගැටළුව තියෙනවා නේද?

‘තරුණ’ නියෝජනය කියද්දිත් එයට කාන්තාවන් කියන එක ඇතුළත් වෙනවා. පෙර පැවති ‘තරුණ නියෝජනය’ ඇතුළටත් තරුණ කාන්තාවන් ඇතුළත් කරන්න තිබුණා වුනත්, ඒ කාලයේ දේශපාලන පක්ෂ වලට වුනු වැරදීමක් විදියට ඔවුන් එය තරුණයන් විදියට එය අර්ථ ගන්වා ගත්තා. ඒ තරුණ නියෝජනය එදා ‘තරුණ කාන්තා’ සහ ‘තරුණ පිරිමි’ වශයෙන් හඳුනාගත යුතුව තිබුණා. එදා කාන්තාවන්ට ඒ අවස්ථාව ගිලිහුණත් අද වනවිට කාන්තා 25% නියෝජනයක් ලැබී තිබීම ඉතා වටිනවා. මේ යටතේ කාන්තාවන්ට තරුණද, මැදිවියේද, විශ්‍රාම ගිය අයද වශයෙන් සීමා නැහැ. ප්‍රාදේශීය සභාව තුළ යහපාලනයක් ඇති කිරීමට මෙය ඉතා වැදගත් පියවරයක් නිසා මේ අවස්ථාවෙන් කාන්තාවන් ප්‍රයෝජන ගත යුතුයි.

තරුණයන්ගෙන් චෝදනාවක් එල්ල වෙනවා ඔවුන්ට තිබුණු අවස්ථාව පළාත් පාලන පනත සංශෝධනය කරද්දි අහෝසි කළා කියලා. ඒ ගැන මොකද හිතන්නේ?

තරුණයන්ට අසාධාරණයක් සිදු වුනා කියල මම හිතන්නේ නැහැ. ඔවුන් මේකට බිය විය යුතු නැහැ. ජේ්‍යෂ්ටයන් මැදිහත් වෙලා තරුණයන් වැඩි පිරිසක් සහ කාන්තාවන් නියෝජනය වන පරිදි නිවැරදි අපේක්ෂක ලැයිස්තුවක් සකස් කරනව නම් බිය වීමට කාරණයක් කොහෙත්ම නැහැ. ආසන සංවිධායකවරුන්ටත් නිසි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම පිළිබඳව වගකීමක් තියෙනවා. දූෂිත සහ ජනතාවට සේවයක් නොකරපු දේශපාලන නායකයන්ට නැවත අවස්ථාවක් නොදී අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරමින් පිරිසිදු දේශපාලනඥයන්ට සහ සමාජයට යහපතක් කළ හැකි අයට දේශපාලනයට එන්න අවස්ථාවක් මේ හරහා ලබා දිය යුතුයි.

ඔබ දශක තුනකට අධික කාලයක් ප්‍රායෝගික ගැටළු සහ අත්දැකීම් සමඟ ගැටෙමින් දේශපාලනයේ නියැලී සිටින කාන්තාවක්, ඒ අත්දැකීම් අනුව දේශපාලනයට පිවිසෙන්න සහ ඒ තුළ ක්‍රියාත්මක වෙන්න කැමැත්තෙන් සිටින කාන්තාවන්ට එය පහසු කටයුත්තක් වෙයි කියලා හිතනවාද?

අපි දේශපාලනය ආරම්භ කල කාලය වගේ නෙවෙයි කාන්තාවන්ට අද වටිනා අවස්ථාවක් ලැබිල තියෙනවා කොට්ඨාශ ක්‍රමයක් තුළ දේශපාලනයට ඇතුළත් වීමට. මුළු ආසනයක් පුරා කාන්තාවකට දුවන්න කිව්ව නම් ආර්ථික වශයෙන් කාන්තාවකට ඒක කර ගැනීමට නොහැකි වීම මත අධෛර්යයට පත් වෙන්න පුළුවනි. කොට්ඨාශ ක්‍රමය මගින් අදාළ ප්‍රදේශය හොඳින් අධ්‍යයනය කරමින් දේශපාලනයට ප්‍රවිශ්ට වීම හරහා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට සක්‍රීයව දායක වීමේ හැකියාව කාන්තාවන්ට ලැබෙනවා. මේකට අවශ්‍ය වෙන්නේ විශාල ධනයක් නෙවෙයි ඉතා හොඳ කැප කිරීමක් සහ අවශ්‍යතාවයක් පමණයි. මේ ආකාරයෙන් දේශපාලනයට ප්‍රවිශ්ට වීමට කාන්තාවකට ධෛර්යය ලැබෙන්නේ ජනතා සේවයට තමන්ගේ උනන්දුවක් තියෙනවා නම් පමණයි. මේ ලැබී ඇත්තේ දේශපාලනය කිරීමට කැමති සහ සමාජයට වැඩක් කිරීමට කැමති කාන්තාවන්ට ඉතා සුවිශේෂී වූ අවස්ථාවකුයි.

ඔබේ ස්වාමි පුරුෂයා ඔබ නියෝජනය කරන පක්ෂයට ප්‍රතිවිරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයෙක්. එකම ගෙදරක් ඇතුලෙ පක්ෂ දෙකක ප්‍රාදේශීය නායකයො දෙන්නෙක් ඉද්දි ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද? ඉදිරියේදි දේශපාලනයට ඇතුළත් වෙන්න ඉන්න කාන්තාවන්ට පවුල තුළිනුත් එන අභියෝග වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඔබ කොහොමද මේ අභියෝග කළමනාකරණය කර ගත්තේ කියන එක ඔවුන්ට වැදගත් වේවි.

සරත් කෝන්ගහගේ කියන්නේ විශාල දේශපාලන අත්දැකීම් පරිචයකින් යුතු පුද්ගලයෙක්. නීතිඥවරයෙක් විදියට ඔහුට තියෙන හැකියාව සහ දක්ෂතාවය ඉතා ඉහළයි වගේම මම වැඩිපුරම දේශපාලන කටයුතු වල නියැලුනේත් ඔහු සමඟයි. ඔහු මහජන පක්ෂයේ විජය කුමාරණතුංග, චන්ද්‍රිකා කුමාරණතුංග වැනි අයත් සමඟ දේශපාලනයේ නියැලෙද්දි මම තිරයෙන් පිටුපස ඉදගෙන මහජන පක්ෂ කාන්තා සම්මේලනයේ විශාල වැඩකොටසක් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක් විදියට ඔහු නියෝජනය කරන පක්ෂය හෝ මතවාදය ගැන මම කණගාටු වෙන්නේ නැහැ. රාජපක්ෂ ආණ්ඩුව තිබුණු කාලයේදී රජයෙන් ඔහුව ජර්මන් තානාපතිවරයා ලෙස නම් කරන විට ඔහු මගෙන් ඇහුවා ‘තානාපතිවරයෙක්ගෙ බිරිඳක් ලෙස කටයුතු කරන්න කැමතිද’ කියලා. ‘මම රාජපක්ෂ රජයට උදව් කළ කෙනෙක් නොවන නිසා මට තානාපති බිරිඳක් හැටියට කටයුතු කරන්න පුළුවන් කමක් නැති බවත්, මගේ දේශපාලන දර්ශනය වෙනස් බවත් සහ එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය හැටියට මට මේ රට තුළ විශාල කාර්යභාරයක් කරන්න ඉතිරි වෙලා තියෙන බවත්’ මම ඒ වෙලාවෙ පැහැදිලිවම ඔහුට කිව්වා. ඔහුට සුභ පතලා ඔහුත් සමඟ ජර්මනියට ගිහින් ඔහුට අවශ්‍ය උදව් ටික කරල දීලා නැවත ලංකාවට ඇවිත් මගේ දේශපාලන වැඩ කටයුතු වල මම නියැලුනා. මගෙන් කිසි විටෙක ඔහුගේ දේශපාලන කටයුතු වලට බාධාවක් වුනෙත් නැහැ, ඔහුගෙන් මට බාධාවක් වුනෙත් නැහැ. මේ වගේ දේශපාලන පවුල් ගණනාවක් අපේ රටේ තියෙනවා. මගේ මතය වෙන්නේ අපි කළ යුතු කාර්යය හරියට කරනවා නම් දේශපාලන පක්ෂය ඒකට බාධාවක් නැති බවයි.

දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේදී උපාධි, ඩිප්ලෝමා වැනි ඉහළ අධ්‍යාපන සුදුසුකම් හඳුන්වා දිය යුතු බවට සමහරු යෝජනා ඉදිරිපත් කරනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

දේශපාලනයේදී භාෂාව නම් ඉතාම වැදගත් දෙයක්. නමුත් ඉතාම හොද දේශපාලන නායකයෝ ඉන්නවා ඔවුන් උපාධි, ඩිප්ලෝමා කළ අය නෙවෙයි. හැබැයි ඔවුන්ට තියෙනවා මහජනතාවට කළ යුතු සේවාවන් ඉටුකිරීම පිළිබඳව විශිෂ්ට ජනතා සම්මාන. මෙහෙම දේශපාලන නායකයන් ඕනෑ තරම් ඉන්නවා. සමහර දේශපාලනඥයන් නිවැරදි ලෙස කටයුතු නොකරද්දි උගත් කමක් ඇති කෙනෙක් ඉදිරිපත් විය යුතු බව ජනතාව හිතනවා. නමුත් ඉහළ විශ්වවිද්‍යාල වලට ගිහින් උගත්කම තියෙන අයත් ඕනෑ තරම් වැරදි කරලා තියෙනවා. ඒ නිසා දේශපාලනයේ නියැලෙන අයට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා රජය මැදිහත් වී කටයුතු කළ යුතු බව මම යෝජනා කරනවා.

‘පළාත් සභා’, කියන්නේ අවුරුදු 30 ක් තිස්සේ ක්‍රියාත්මක වන ආන්දෝලානාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සමඟ හදුන්වා දුන් සුවිශේෂී පාලන ව්‍යුහයක්. ගත වූ අවුරුදු 30 ක කාලය තුළ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීම ඔබ දකින්නේ කොහොමද?

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අපේ රටේ තිබුණ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කිරීමක් සිදු කළා. අසමමිතිකව බලය බෙදීම සිදු නොවී සියළු පළාත් වලට එක හා සමානව බලය බෙදී යන ක්‍රමයක් අවශ්‍ය වුනු හන්දා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 1987 පළාත් සභා පනත සමාජගත කරනු ලැබුවා. නමුත් මෙමගින් ආණ්ඩුකාරවරයාගේ තනතුරට විශාල බලයක් ලබා දුන්නා. ජනාධිපතිවරයා විසින් පත් කරන ආණ්ඩුකාරවරයාට ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැටියට විශාල බලයක් ලැබිල තියෙනවා. මහඇමති වරයා සහ කැබිනට් මණ්ඩලය අනෙක් අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරලා අණ පනත් ගේන අවස්ථාවේදි ආණ්ඩුකාරධූරයේ අත්සන අත්‍යවශ්‍ය වෙනවා. එතනදි තමන්ට තියෙන විශාල බලය ගැන නොසිතා පළාත් සභාව ස්ථාපිත කළේ ඇයි කියන එක ගැන අවබෝධයෙන් ජනාධිපතිවරයාගේ නියොජිතවරයා ලෙස පත් කරන ආණ්ඩුකාරවරයා සුභවාදී ලෙස කටයුතු කළ යුතුයි. දශක තුනක කාලයක් සහිත පළාත් සභා ක්‍රමය තුළ සාර්ථක වගේම අසාර්ථක අත්දැකීම් තිබුනත් මේ වන විට අපි ඉතා හොදින් පළාත් සභා ක්‍රමයට අනුගත වෙලා තියෙනවා.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ පසු තමන්ගේ වැඩ පහසුවෙන් කර ගැනීමට පුරවැසියන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. 19 වන සංශෝධනයෙන් ජනාධිපතිට තියෙන බලතල යම්තාක් දුරකට අඩු වුනා. කෙසේ වෙතත් පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ මහඇමතිතුමා ගන්නා තීන්දු තීරණ වලදී ආණ්ඩුකාරවරයාට තියෙන බලතල යටතේ වුනත් සාකච්ඡා මාර්ගයෙන් සහයෝගීව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් යම් තරමකට තියෙනවා. මධ්‍යම රජය සහ පළාත් සභා සහයෝගීව කටයුතු කිරීමෙන් ජනතාවට අවශ්‍ය සේවාවන් නිසියාකාරව ලබා දෙන්න පුළුවන් වී තිබීම හොඳ ප්‍රවණතාවයක් විදියටයි මම දකින්නේ.

සමගාමී ලැයිස්තුව මඟින් එකම විෂයක් ගැන බලතල පළාත් සභාවට සහ මධ්‍යම රජයට පැවරෙනවා. එහිදී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් නිසා සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු යැයි පවසන පිරිසකුත් ඉන්නවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

අපේ මූලිකම අවශ්‍යතාවය වෙන්නේ බලය බෙදීම බව අපි අමතක නොකළ යුතුයි. ඒ නිසාම සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම නුවණට හුරු දෙයක් නෙවෙයි. උදාහණයක් විදියට කියනව නම් නව රජයේ වැඩපිළිවෙලක් විදියට ‘ළගම පාසල හොදම පාසල’ විදියට පත් කරන්න අධ්‍යාපන ඇමතිතුමා සාකච්ඡා කළේත්, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේත් පළාත් සභා සමඟ අත්වැල් බැදගෙනයි. මේ වගේ විහිදුනු ක්‍රියාවලියක් දියුණු වෙමින් පවතින රටකට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා සමගාමී ලැයිස්තුව යටතේ තියෙන විෂයන් නිසා ප්‍රශ්නයක් ඇති වෙන බව මම නම් හිතන්නේ නැහැ. එහෙම යම් ප්‍රශ්නයක් තිබුණා වුනත් පළාත් සභාව යම් විෂයන් සම්බන්ධයෙන් මධ්‍යම රජය සමඟ සහයෝගීව ක්‍රියාත්මක විය යුතුයි.■

2017.11.05 වන දින රාවය සමබිම අතිරේකයට රුවිනි අයේෂා බියගම විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , ,

Leave a Comment