අලුත් ව්‍යවස්ථාව සහ නීතිඥ සංගමය

Nov 9th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, අධ්‍යාපන, කාලීන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුවත්, සමබිම ඉරිදා

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව අතර විවේචනයක් පවතී.  පසුගිය ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය වූ සුභාරතී වැඩ සටහනට පැමිණි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ  ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ආශ්‍රයෙන් මෙම ලිපිය සකස් කර ඇත. වැඩසටහන මෙහෙයවනු ලැබුයේ නීතිඥ කේ. ඩබ්. ජනරංජන විසිනි.

මේ හඬ නීතිඥවරුන්ගේම ද?

පසුගිය දිනෙක ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ රැස්වීමක් පවත්වමින් මූලික ප්‍රශ්න 12 කින් යුතු නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණා. මේ ප්‍රශ්නාවලියේ ‘නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද?’ යන ප්‍රශ්නය අහනවා. පසුගිය 23 වෙනිදා පැවැත්වුණු රැස්වීම හරහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය සමස්ත නීතිඥවරුන්ගේ මතය නොවන බව පළමුවෙන්ම කිව යුතුයි. නීතිඥවරු කියන්නේ කොළඹ ඉන්න මේ දහපහළොස් දෙනා පමණක් නෙමෙයි. ‘නීතිඥවරුන්ගේ මතය’ කියන්නේ උතුරේ සහ දකුණේ ඉන්න, ක්‍රියාශීලී නීතිඥවරු 13, 000 කගේ මතයක්. නීතිඥවරු පනස් දෙනෙකුගේ රැස්වීමක මතය නීතිඥ සංගමයේ හෝ නීතිඥවරුන්ගේ මතය විදියට පිළිගන්න පුලුවන් කියලා මම හිතන්නේ නැහැ. ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආ වෙලාවේ, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න නීතිඥ සංගමය කැඳවූ රැස්වීමට නීතිඥවරු 3400 ක් සම්බන්ද වුණා. එවැනි සක්‍රීය ලෙස මත පල කල නීතිඥ සංගමයකින් 50 දෙනෙක්ගෙ මතය නීතිඥවරුන්ගේ මතය කියලා කියනව නම් ඒක ලොකු වැරදීමක්. 

නීතිඥ සංගමය පළමු වතාවටයි මේ විදියෙ ප්‍රශ්නාවලියක් අහන්නේ. වෙනදට ඔවුන් සිදු කරන්නේ තම ස්ථාවරය ප්‍රකාශ කිරීමකුයි. මේ ප්‍රශ්නාවලිය කියවා බලන විට සියළුම නීතිඥවරුන්ගේ එකඟතාවය සහිතව සැකසූවක් නොවන බව පැහැදිලි වෙනවා. අද එළියේ තියෙන ජාතිකවාදී අන්තවාදී දේශපාලන මතවාදය සමඟ, භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් සහ ඒකාබද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කරන දේශපාලන මතයට සමාන මතයක් මේ කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රශ්නාවලිය ‘සාටකයේ සෙවනැල්ලක්’ කියන කතාව තමයි ඇත්ත. මමත් අවුරුදු 30 කට ආසන්න කාලයක් මේ නීතිඥ සංගමයේ ක්‍රියාශීලී සාමාජිකයෙක්, ඒ නිසා මේක නීතිඥවරුන්ගේ මතය කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මම මේ සිද්ධිය දකින්නේ තම අන්තවාදී මතය තහවුරු කිරීම සඳහා වූ කණ්ඩායමකගේ සැලසුම්සහගත ක්‍රියාවලියක් විදියටයි.

නීතියෙන් විතරක් ව්‍යවස්ථා හදන්න බැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ නීති ලියවිල්ලක් පමණක් නොවන වග හැම කෙනෙක්ම දැන ගත යුතුයි. රටේ ස්ථාවරභාවයට අවශ්‍ය ප්‍රධානම ආර්ථික, දේශපාලන සහ නෛතික ලියවිල්ල වන්නේ එයයි. ලෝකයේ දීර්ඝතම කාලයක් පැවතෙන ‘සජීවී ව්‍යවස්ථාව’ වන ඇමරිකා ව්‍යවස්ථාව සකස් කළ කණ්ඩායමේ සාමාජිකයින් තිස් ගණනක් හිටියත්, නීතිඥවරු තුන්දෙනයි හිටියේ. ඉතින් ඒකෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ ඒ පිළිබඳව වන සාකච්ඡාව නීතිමය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගමන් කළ යුතු බවයි. නීතිඥවරු මේ සඳහා අනිවාර්යෙන් සහභාගී විය යුතු වුවත් නීතිමය දෘෂ්ඨියකින් නොව සාමාන්‍ය දෘෂ්ඨියකින් මේ දෙස බැලීම සිදු කළ යුතුයි.

අලුත් ව්‍යවස්ථාවක් කියන එක අලුත් දෙයක් නෙවෙයි

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම හදිස්සියෙන් පැන නැඟුනු දෙයක් නෙමෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන කාලයක් තිස්සේ නොයෙකුත් අවස්ථාවලදි සෑම ජන ප්‍රජාවක් විසින්ම මතුකරලා තියෙනවා. එහි සුවිශේෂ කර්තව්‍යක් නීතිඥවරු විසින් දිගටම සිදු කළා. 2010 ගෙන ආ එල්. එල්. ආර්. සී වාර්තාවෙ නිර්දේශ වල මේ රටේ තිබෙන ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දිය යුතු බව සදහන් වෙනවා. ඒ වගේම ජනවාරි 08 අරගලයේදි විවිධ දේශපාලන පක්ෂ ඒකාධිපති වියරුවකට එරෙහිව පෙළගැහුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතයි. අපෙන් වියෝවුන මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් හැදුණු ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මතය ඉදිරියට ගෙනාවා. ඔවුන් සකස් කළ මූලික ඉල්ලීම්  10 න් පළමු එක වුනේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදිය යුතුයි කියන මතයයි. මේ දේවල් අපිට අමතක කරන්න බැහැ. 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පහුගිය කාලේ පවත්වගෙන ගියා. නීතිඥවරු සහ විශේෂඥ දැනුම ඇති අයගෙන් සැදුම් ලත් ඒ මණ්ඩපය ලංකාව පුරාම මහජන මතයන් විමසීම සිදු කළා. මෙම නීතිඥ සංගමය විසින් ඒ අවස්ථාවේදී ලාල් විජේනායක මහත්මයගේ කමිටුවට යෝජනාවලියක් ඉදිරිපත් කළා. එයින් පෙනෙන්නේ නීතිඥ සංගමය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මීට පෙර සිටම පෙනී සිටි බවයි. ඒ අවස්ථාවේදි ඔවුන් එවකට සිටි සභාපතිතුමාගේ, විධායක මණ්ඩලයේ අනුමැතිය සහිතව අනෙක් නීතිඥ ප්‍රජාවගේ අදහස් සමඟ නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පිළිබඳව යෝජනාවන් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාම නීතිඥවරු මේ කාරණා 03 සම්බන්දයෙන් එකම මතයක හිටියා. ඒක නිසා නීතිඥ සංගමයට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. දැන් මේ අය මෙම ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරල තියෙන්නේ අඩුම වශයෙන් තමන්ගේ වාර්තාවවත් බලන්නේ නැතුව දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙනුයි.

මේවා අන්තවාදී ප්‍රශ්න

නීතිඥ සංගමය ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියේ බැලු බැල්මටම තියෙන්නේ සාහසික ප්‍රශ්න ටිකක්. ‘ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද?’ කියල ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම  ‘ඒකීය රාජ්‍යයක් කියන්නේ මොකද්ද?’ කියලත් අහනවා. 

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවෙ පළවෙනි අංගය වෙන්නේ මේ කාරණයයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන බොහෝ කාරණා දේශපාලනිකයි. දේශපාලන මතවාද ඔස්සේ බලනකොට ඒකීය රාජ්‍යය හෝ ෆෙඩරල් රාජ්‍යය හොඳ හෝ නරක වෙන්න පුලුවන්. උතුරේ නීතිඥයන්ගෙන් බහුතරයක් ෆෙඩරල් රාජ්‍යයක් ගැන අදහස් දක්වනවා වෙන්න පුළුවනි. දකුණේ බහුතරයක් නීතිඥවරු ඒකීය රාජ්‍යයක් අවශ්‍යයි කියලා කියනවා වෙන්න පුළුවනි. ඒක දේශපාලනික ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රශ්න වලදි නීතිඥ සංගමය තම තමන්ගේ දේශපාලන මතවාද පසෙක ලා නීතිමය කරුණු ඔස්සේ ගිහින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වැනි කාරණා පිළිබඳව අවධානය යොමු කළා. නමුත් දැන් අවාසනාවකට ඉතාම අන්තගාමී විදියට මේ වගේ ප්‍රශ්න මතුකරනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍යය ඒකීයද ෆෙඩරල්ද කියන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වපු ඒකාබද්ධ විපක්ෂය සහ අන්තගාමී භික්ෂූන් වහන්සේලා කරන ප්‍රකාශ වලින් ඔවුන් ව්‍යවස්ථා අතුරු වාර්තාව කියවා නැති බව පෙනී යනවා. අතුරු වාර්තාවෙම පළවෙනි පිටුවෙම ‘ශ්‍රී ලංකාව එක් නොබෙදූ හා බෙදිය නොහැකි රටක් වනු ඇත’ යනුවෙන් මෙයට පිළිතුර තියෙනවා. නීතිඥ සංගමය ඉදිරිපත් කළ මේ ප්‍රශ්නාවලිය වගේ අතාර්කික මත පළ කරන කණ්ඩායම් ඕනම සංගමයක ඉන්නවා. ඒ නිසා මම යෝජනා කරන්නේ හැමකෙනෙක්ම මේ වෙලාවේ තමන්ගේ දේශපාලන රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා මේ කාරණය දෙස බැලීම සුදුසුයි කියලා ඒ වගේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එකට අකුල් හෙලන අයට ඊට කලින් අතුරු වාර්තාව කියවලා එන්න කියලත් මම යෝජනා කරනවා.■

2017.11.05 වන දින රාවය සමබිම අතිරේකයට ප්‍රබෝධ රත්නායක සහ රුවිනි අයේෂා බියගම විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment