ඒකීය:අර්ථනිරූපණයකින් සැකය දුරුවේවි

Nov 22nd, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, EDITOR'S CHOICE, LEAD NEWS, කාලීන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සංවාද

නොවැම්බර් 08 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සහභාගී විය. එම වැඩසටහන නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. 

         Lal Wijenayaka

නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වෙන්නේ මොන වගේ පසුබිමක් යටතේද? 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක මූලික නීතිය. දැනට තිබෙන්නෙ 1978දී ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් සම්පාදනය කළ ව්‍යවස්ථාවක්. මීට පෙර සෝල්බරි ව්‍යවස්ථාව හා 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක තුළින්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට අපි පාලනය වුණා. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අනුව නාමික ජනාධිපතිවරයෙක් පමණක් සිටියදී අගමැති සහ කැබිනට් මණ්ඩලයක් මඟින් පාලනය වීමයි සිදුවුණේ. ඒ හැම කෙනෙක්ම පාර්ලිමේන්තුවට වගකිව යුතු වුණා. ඒත් 1978දී ජේ. ආර් ජයවර්ධන එතෙක් පැවති ක්‍රමය වෙනස් කර ජනාධිපති ක්‍රමයක් ඇති කළා. විධායක බලතල පාර්ලිමේන්තුවෙන් පිටතට ගනු ලැබූවා. විධායක ජනාධිපති පාර්ලිමේන්තුවේ නැහැ. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාව ඉවත් කිරීමට තිබෙන අවස්ථාව නැති කර ජනාධිපතිවරයාට විශාල වශයෙන් බලතල පැවරුවා. රාජ්‍ය නායකයා, ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරියා, කැබිනට් මණ්ඩලයේ සභාපති වශයෙන් බලය ජනාධිපතිවරයා අතට පත් වීමෙන් ඒකාධිපති ස්වරූපයේ පාලකයෙක් ඇති වුණා. එය අපි එතෙක් පුරුදු වී සිටි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධයි. විධායක ජනාධිපති ක්‍රමය සම්මත වූ දිනයේ සිට එයට එරෙහිව බොහෝ දෙනා විරෝධතා දැක්වූවා. එයින් පසුව බලයට පත් ජනාධිපතිවරුන්ගේ මැතිවරණ පොරොන්දු වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව වුනත් එය කිසි කෙනෙක් කළේ නැහැ. 2015 ජනවාරි අට මැතිවරණයේ තිබුණ ප්‍රධාන සටන් පාඨය වුණේ රට ප්‍රජාතන්ත්‍රකරණය කිරීමත් ඒ සඳහා රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරණයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් වන විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමත් එයින් පසුව ස්වාධීන කොමිෂන් සභා මඟින් රාජ්‍ය නිර්දේශපාලනීකරණය කරනවාය යන්නත්. ඒ නිසාම පාර්ලිමේන්තුව බැඳී ඉන්නවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරණය කිරීමට. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම කෙරෙහි බලපෑවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්මද? 

නැහැ. අවුරුදු තිහක යුද්ධයකින් පස්සේ අපට අවශ්‍යයි ජාතික සංහිඳියාවක් ඇති කර ගැනීමට. එය කළ හැක්කේ මේ රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමෙන්. එයින් අදහස් කරන්නෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එද්දී මේ රටේ සෑම ජන කොටසක්ම පිළිගත යුතුයි එය අපෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියල. ඉන්දීය අනන්‍යතාවයක් සහිත ජාතියක් ගොඩනගන්න, 1950දී ඉන්දියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළා.  ඒත් නිදහස ලබලා අවුරුදු හැටනමයක් ගතවෙලත් අපිට නොහැකි වුණා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත ජාතියක් ගොඩනගන්න. එයයි අද වන විට අපේ ප්‍රධාන දේශපාලන කර්තව්‍ය වී තිබෙන්නෙ. හැම පුද්ගලයෙක්ම මේ අපේ රට කියල හිතන්න නම් ඔවුන් රාජ්‍යයේ කොටස්කරුවන් විය යුතුයි. සෑම ජන කොටසකටම බලයේ හවුල්කාරීත්වය තිබිය යුතුයි.  

 “මෙම කමිටු වාර්තාවේ ඇතුළත් වන තරමට
ඒකීය රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා
වන විධිවිධාන දැනට තිබෙන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා නැහැ”

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජ ජාලවල විවිධ විවේචන පළ වෙනවා. නමුත් අපි දන්නා අන්දමට ව්‍යවස්ථා කෙටුම්පතක් තවමත් ඉදිරිපත් වෙලා නැහැ.

දැනට ඉදිරිපත් කර තිබෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නෙවෙයි. එය තවදුරටත් මහජන සාකච්ඡාවකට අවශ්‍ය වන කමිටු වාර්තාවක් පමණයි. නිදසුනක් ලෙස, මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබෙනවා බලය බෙදීමේ ඒකකය කුමක්ද කියල. එහිදී හැමදෙනාම බලය බෙදීමේ ඒකකය හැටියට පිළිඅරන් තිබෙන්නෙ පළාත. නමුත් විවිධ කාරණා සම්බන්ධයෙන් වෙනස් අදහස් ඉදිරිපත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නෙ ව්‍යවස්ථා සභාව විසින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වෙන්නෙ ව්‍යවස්ථා සභාවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින්. නමුත් කිසිම පක්ෂයකට හෝ එක කණ්ඩායමකට ඕනෑ ආකාරයට තුනෙන් දෙකක් ගන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් පළල් එකඟතාවයක් තිබිය යුතුයි. ආගම සම්බන්ධයෙන් ඇතැම් අයගේ අදහස වුණේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සඳහා දැනට තිබෙන ආකාරයෙන්ම ඊට අදාළ වගන්තිය ඇතුළත් කරන්න කියල. ඇතැම් අය කිව්වේ ඒ වගන්තියටම අනිකුත් ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කරනවාය යන්නත් ඇතුළත් කළ යුතුයි කියල. ඒ කාරණා ඒ ආකාරයටම කමිටු වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ අදහස වුණේ ආගම සම්බන්ධයෙන් කිසිම වගන්තියක් ඇතුළත් නොකිරීම සුදුසුයි කියල. මොකද නූතන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාකරණයේදී ආගම සහ රාජ්‍ය අතර වෙනස තබා ගැනීම සඳහා. 

පකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටන් ගන්නෙම ‘පකිස්තානය ඉස්ලාමීය රාජ්‍යයකි’ කියල. නමුත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ආගමික රාජ්‍යක් ගොඩනගලා නැහැ. අපි කියල තිබෙන්නෙ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියල පමණයි. එය සාපේක්ෂව අහිංසක ප්‍රතිපාදනයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය තිබෙන්නෙ, 10 වගන්තිය සහ 14 (ඊ) යන වගන්තිවලට යටත්ව. එයට අනුව අනෙකුත් ආගම් ඇඳහීමේ ඉගැන්වීමේ, ප්‍රචාරය කිරීමේ නිදහස එමඟින් තහවුරු කර තිබෙනවා. එනිසාම මේ වගන්තිය තිබීමෙන් වෙනත් කිසිදු ආගමකට හානියක් වෙන්නෙ නැහැ. නව ව්‍යවස්ථා ක්‍රියාවලියට බාධා කිරීම සඳහා බුද්ධාගමට තිබෙන තැන නැති වෙනවා, බලය බෙදීම හරහා රට දෙකඩ කරන්න උත්සාහ කරනවා යනාදී කිසිදු පදනමක් නැති විවේචන එල්ල වෙනවා. නමුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය තුළ වැදගත් කරුණු රාශියක් තිබුණා වුනත් මෙවැනි පදනමක් නැති කාරණා විසින් ඒවා යටපත් කර තිබෙනවා. නමුත් ඒවා නිසි ලෙස ඉස්මතු වුනොත් ජනතාව මෙය කිසිදු සැකයකින් තොරව වැළඳගන්නවා. නිදසුනක් ලෙස කමිටු වාර්තාවේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදය පළල් කර තිබෙනවා. භාෂණයේ ප්‍රකාශනයේ රැස්විීම් නිදහසට එහා ගිහින් නූතන ලෝකයේ මානව හිමිකම් පිළිබඳ අයිතිවාසිකම් වඩාත් පුළුල් වී තිබෙනවා. දේශපාලන අයිතිවාසිකම්වලින් ඉදිරියට ගිහින් සමාජ, ආර්ථීක සහ සංස්කෘතික අයිතිවාසිකම් දක්වා ලෝකයේ අයිතිවාසිකම් පිළිබඳ කතිකාව ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ අනුව මෙම වාර්තාවේ මූලික අයිතිවාසිකම් තිස්දෙකක් ඇතුළත් කිරීමට අපි කටයුතු කර තිබෙනවා. දකුණු අප්‍රිකාව, කෙන්යාව, නේපාලය ආදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කර ගැනීම සඳහා කටයුතු කළ සෑම රටක්ම පාහේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදය වඩාත් පූළුල් කර ගැනීම සඳහා පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඡන්ද ක්‍රමය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය අපට තිබෙනවා. දූෂිත පාලනයක් ඇති වීම කෙරෙහි මේ පවතින මැතිවරණ ක්‍රමය හේතු වී තිබෙනවා. රටේ තිබෙන එක අර්බූදයක් වන මේ ඡන්ද ක්‍රමයෙන් ගොඩ ඒමට මේ අවස්ථාව අපි පාවිච්චි කළ යුතු වෙනවා. 

මෙම වාර්තාවේ ඉංග්‍රීසියෙන් යොදා තිබෙන්නෙත් ඒකීය යන සිංහල වචනයමයි. මේ නිසාම චෝදනා එල්ල වෙනවා අපි ඒකීය නෙවෙයි කියල ජාත්‍යන්තරයට පෙන්නන්න උත්සාහ දරනවාද කියල. 

මූලිකවම කිව යුතුයි මෙම කමිටු වාර්තාවේ ඇතුළත් වන තරමට ඒකීය රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වන විධිවිධාන දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා නැහැ. මෙහි ‘රට බෙදිය නොහැකි වෙන් කළ නොහැකි රටක්ය’ යන්න විශේෂයෙන් සඳහන් කොට තිබෙනවා. සිංහල සහ ඉංග්‍රීසි වාර්තා දෙකෙහිම ‘ඒකීය’ යන වචනය සිංහලෙන් භාවිත කර තිබෙනවා. නමුත් මගේ පෞද්ගලික මතය අනුව ඒකීය යන වචනය සිංහල වාර්තාවේ සිංහලෙනුත් ඉංග්‍රීසි වාර්තාවේ ඉංග්‍රීසියෙනුත් දෙමළ වාර්තාවේ දෙමළ බසිනුත් යොදා ඒ වචනවලට පැහැදිලි අර්ථ නිරූපණයක් පමණක් දීම ප්‍රමාණවත්. නමුත් මෙය එලෙසින් යොදන්න හේතුවී තිබෙන්නෙ ඒකීය කියන වචනය බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ක්‍රමයෙන් එන වචනයක් නිසා. ඉහළම ඒකීය රාජ්‍ය වශයෙන් පිළිගත්තෙ බ්‍රිතාන්‍යය. එහි වුනත් උතුරු අයර්ලන්තයට, ස්කොට්ලන්තයට ඕනෑම අවස්ථාවක බ්‍රිතාන්‍යයෙන් කැඩී වෙන්විය හැකියි කියල පෙන්වා දී තිබීම තුළින් ඒකීය යන සංකල්පයේ අර්ථ නිරූපණයේ යම් කිසි වෙනසක් සිදුව තිබෙනවාය යන අදහස තිබෙනවා. ඒ නිසාම එය වඩා හොඳින් පැහැදිලි කිරීම සඳහා විය යුතුයි ඒකීය යන වචනයම භාෂා තුනටම මෙහි යොදා තිබෙන්නෙ. ජනතාවට මේ සම්බන්ධයෙන් යම් සැකයක් තිබෙනවා නම් එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. මෙහි සිදුව තිබෙන්නෙ ජනතාවගේ සැක සංකා දුරු කිරීම වෙනුවෙන් ගත් තීන්දුවම ජනතාවගේ සැක ඇති කිරීමට තුඩු දී තිබීම. නමුත් තවමත් මේවා සාකච්ඡා මට්ටමේ තිබෙන නිසා ජනතා අදහස් සඳහා ඉඩකඩ විවෘතයි. 

‘ලංකාව නො බෙදුණු සහ නොබෙදිය හැකි රාජ්‍යයක්’ යනුවෙන් වාර්තාවේ විශේෂයෙන් සඳහන් කිරීමෙන් ජාතිවාදීන් සතුටු කිරීමට උත්සාහ දරනවාය යන චෝදනාව එල්ල වෙනවා.

එවැනි අදහසක් මෙහි නැහැ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් ආකාරයකට මධ්‍යම ආණ්ඩුවට තිබූ විධායක හා ව්‍යවස්ථාදායක බලය පළාත්වලට දී තිබෙනවා. එය විශාල වෙනසක්. නමුත් පාර්ලිමේන්තුව උත්තරීතරයි සහ පරමාධිපත්‍යයත් බෙදී ගිහින් නැහැ. 1987දී උත්සාහය වුනේ රට නොබෙදා බලය බෙදීම. අද උත්සාහයත් එයමයි. මම පෙර කිව්ව පරිදිම සියලු ජන කොටස් අතර බල හවුල්කාරීත්වයක් තිබිය යුතුයි. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර වගේම කේන්ද්‍රයෙත් බලයේ හවුල්කාරීත්වයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් අපි යෝජනා කර තිබෙනවා පළාත්වලින් එන නියෝජිතයින්ගෙන් සමන්විත දෙවන මන්ත්‍රණ සභාවක් තිබිය යුතුයි කියල. එයින් පළාත්වල අයට කේන්ද්‍රයේ නීති සකස් කිරීමේ කාර්යයේ යෙදීමට අවස්ථාව ලැබෙනවා. එයින් තීරණ ගැනීමේ ක්‍රියාවලියටත් ඔවුන් නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. නියම බල හවුල්කාරීත්වයක් සිදුවෙන්නෙ එවිටයි. 

මෙතනදී ඇතැම් අයට ඇතිව තිබෙන භීතිකාවක් තමයි වර්ධරාජා පෙරුමාල් වරක් කළ ආකාරයට පළාත් සභාවලට ස්වාධීනත්වය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවද කියල.

දැන් ඉදිරිපත් කර තිබෙන කමිටු වාර්තාවේ තිබෙනවා එවැනි ප්‍රකාශ කිරීම, ඒ සඳහා කටයුතු කිරීම නීති විරෝධීයි කියල. එවැන්නක් සාකච්ඡා කිරීම සඳහා හෝ කිසිදු ඉඩක් මෙයින් පළාත් සභාවලට නොලැබෙන බව මෙහි පැහැදිලිව දක්වා තිබෙනවා. යම් ආකාරයකට එවැන්නක් සිදුවුවහොත් ජනාධිපතිවරයාට ඊට මැදහත් විය හැකි ආකාරයට විධිවිධාන යොදා තිබෙනවා. අවශ්‍ය නම් එවැනි පළාත් සභාවක් විසුරුවා හැරීමේ හැකියාව තිබෙනවා. එනිසා එවැනි භීතියක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. නමුත් එවැනි සැක සංකා පිළිබඳ සාකච්ඡා කළ හැකියි.

ඔබ මේ කියන ආකාරයේ පැහැදිලි කිරීම් මෙම වාර්තාවේ අඩංගුව තිබියදීත් ඇයි මේ සම්බන්ධ වැරදි අර්ථකථනයන් ජනතාව අතරට ගියේ? 

අද යම් ව්‍යාපාරයක් තිබෙනවා ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා මෙය දේශපාලන තුරුප්පුවක් ලෙස භාවිත කරන. ඒ සඳහා ජනමාධ්‍ය විශාල වශයෙන් භාවිත කරල ව්‍යවස්ථා ක්‍රියාවලිය පිළිබඳ භයානක චිත්‍රයක් මවනවා. මේ ආණ්ඩුව අවුරුදු පහක් යන්න පෙර ඉවත් කළ යුතුයි කියන මතයේ සිටින පිරිස් මෙවැනි කර්තව්‍යයන් හා එක්ව මෙවැනි අදහස්වලට විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. මෙයට එරෙහි වුණ භික්ෂුන් වහන්සේලා ගත්තම වැඩි පිරිසක් මේ කමිටු වාර්තා නිසි ලෙස කියවල නැහැ. කවුරු හරි මොනව හරි කියල භික්ෂුන් වහන්සේලාව කුලප්පු කරවනවා. මල්වතු අස්ගිරි පාර්ශ්වයන්ගේ මහනායක හිමිවරු මේ සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කළා කියල බොරු ප්‍රචාර රැගෙන ගියා මහනායක ස්වාමීන් වහන්සේලා ලංකාවේ නැතිවත්. මෙය සැලසුම් සහගතව ජනතාව නොමඟ යැවීමක් සහ ඒවාට උදව් කරන ජනමාධ්‍ය ආයතනත් අද තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක් වී සිටින වෙලාවක දෙමළ ජාතික සන්ධානය මේ දිහා සාධනීය ලෙස බලන මෙහොතක අපි මෙවැනි ප්‍රචාරවලට නොරැවටී මෙය අත්නොහැර අවසානයක් තෙක් සිටිය යුතුයි කියලයි මගේ අදහස.■   

2017.11.12 වැනි දින සමබිම ඉරිදා අතිරේකය (රාවය) සඳහා ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි. 

Recent Posts

Tags: , , ,

Leave a Comment