ෆෙඩරල් නිසා, දකුණෙ ඡන්ද දිනුවා උතුරෙ ඡන්ද පැරදුනා

Nov 23rd, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, EDITOR'S CHOICE, LEAD NEWS, Uncategorized, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බලය බෙදීම, සමබිම ඉරිදා අතිරේකය

පසුගිය 10 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සමඟින් නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන සංවාද ගත වූ අතර මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී.

Dilan

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයේදී ඔබ ප්‍රකාශ කළා අපි කුමන ස්ථාවරයක හිටියත් දැන් පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු අවස්ථාවකට එළැඹී තිබෙන බව. මේ පිළිබඳ පැහැදිලි කළොත්?

ඔව්. මේ ව්‍යවස්ථාව පිළිබඳ කුමනාකාරයේ ගෝනි බිල්ලෝ මැව්වත් සියලු දේශපාලන පක්ෂවල මත මේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇතුළත් වෙනවා. මේ ක්‍රියාවලියට වැඩියෙන්ම විරුද්ධ වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ යෝජනාත් මේ වාර්තාව තුළ තිබෙනවා. ඒ නිසාම මේ යෝජනාවලියට යම් කෙනෙක් විරුද්ධත්වය දක්වනවා යන්නෙහිම අදහස තමන්ගේ පක්ෂයේ මතයට විරුද්ධ වීමක්. සියලු පක්ෂවල මතයන්ට ඉඩ දී සකස් කළ මේ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේම නැවතත් අපි සියලු දෙනාටම එකඟ විය හැකි මැද තැනක් සොයා ගැනීමට. මේ වාර්තාවට යෝජනා ඇතුළත් නොකළ එකම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් පවා පාර්ලිමේන්තු විවාදයේදී යෝජනා ඉදිරිපත් කෙරුණා. උදාහරණයකට ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේරා මැතිතුමා යෝජනාවක් කළා සිංහලෙන් ඒකීය යන වචනය තිබෙනවා නම් ඉංග්‍රීසියෙන් Unitary කියන වචනය තිබිය යුතුයි කියල. ඒක ඒකාබද්ධයේ ගම්මන්පිල මැතිතුමන්ලාගේ වර්ගයේ කතාවක් වුනත් එවැනි යෝජනා එළියට ආවේ මේ විවාදය තුළින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ මතය වෙන්නේ බලය බෙදීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැති වුනත් අනෙකුත් දේශපාලන පක්ෂ බහුතරයකින් අපේ මතය වෙනස් වෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ කාරණයේදී. එහිදී අපේ මතය වුණේ දැනට විධායක ජනාධිපති ක්‍රමයක් නැහැ. 

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය තුළ තිබුණ අත්තනෝමතික බලතල අඩු වුණා. ඒත් රටේ බහුතර ජනතා කැමැත්තකින් තේරී පත්වන ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි කියල. නමුත් ෂයිලොක් වගේ බඩ මැද්දෙන් මස් රාත්තලම ඉල්ලනවා වෙනුවට මෙවැනි දේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අපිත් නම්‍යශීලි විය යුතුයි. අපි නම්‍යශීලි වන විට ජනතා විමුක්ති පෙරමුණ, ටීඑන්ඒ වැනි පක්ෂත් නම්‍යශීලි විය යුතුයි. ටීඑන්ඒ එක උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. අනෙක් පක්ෂ එයට විරුද්ධයි. නමුත් ප්‍රධාන පක්ෂ යම් එකඟතාවයකට එනවා නම් අපිත් සුදානම් අපේ ස්ථාවරයන් පිළිබඳ නැවත සලකා බලන්නටයනුවෙන් ටීඑන්ඒ එක තමන්ගේ නම්‍යශීලිත්වය පිළිබඳ ඉඟි කර තිබෙනවා. මේ ප්‍රකාශයේ තිබෙන වැදගත්කම මඟ හැරයෑමෙන් අපි අන්තවාදී ජාතිවාදී බලවේගවල උගුලටයි හසුවෙන්නෙ. 

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් කලබල වුණු ඊට එරෙහි වුණු පිරිස් කළ විවිධ ප්‍රකාශයන් දිහා බලද්දී පෙනෙන්න තිබෙන්නෙ ඔවුන් කිසිම සාකච්ඡාවකට හෝ සුදානම් නැති බවක්. 

ඔව්, විශේෂයෙන්ම බෝම්බ ගහනව වැනි ප්‍රකාශ කළ අය සහ ඔවුන් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අවම වශයෙන් තමන් මේකට විරුද්ධයි කියන්න හෝ විවාදයන්ට සහභාගී වෙන්නෙ නැහැ. මේ බෝම්බ ගහනවා වැනි ප්‍රකාශ කරන අයටත් කියන්න තියෙන්නෙ එක දෙයයි. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළත් නොකළත් කිනම් හෝ පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබෙන අවසන් අවස්ථාව මෙයයි. ජනමත විචාරණයක් එන්නෙ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් මෙය සම්මත කර ගත්තට පසුව. ඒ නිසා මේ අවසන් කෝච්චියට නැගලා තාක්ෂණික දෝෂ සකස් කරගෙන මේ කෝච්චියෙම යන ගමනක් ගියේ නැතිනම් ආයෙත් ඒ ගමන යන්න කෝච්චියක් එන්නේ නැහැ. අපි සියල්ලන්ටම එකඟ විය හැකි අන්දමේ ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ එළියට ආවේ නැතිනම් මම කියන්නේ ඊළඟ මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාවම ගෙදර යවන්න ජනතාව කටයුතු කරන්න ඕන කියල. මෙතනින් එහාට සම්බන්ධන් කෙනෙක් ඉඳීවිද නැද්ද අපි දන්නෙ නැහැ. මොකද සම්බන්ධන් තමයි ටිඑන්ඒ එකේ ඉන්න අවසන් මධ්‍යස්ථ මතධාරී පුද්ලගයා. එල්ටීටීඊය විසින් ඝාතනය කරපු ලැයිස්තුව අරන් බැලුවොත් හැම පක්ෂයකම පිරිස් එහි ඉන්නවා. ඒත් දැඩි සිංහල අන්තවාදී ආගම්වාදී ජාතිවාදී අයට කැටපෝලයකින්වත් නොගහන්නට ප්‍රභාකරන් ප්‍රවේසම් වෙනවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි සිංහල අන්තවාදය ඇවිස්සීමම තමයි ඒ අයගෙත් පැවැත්ම වෙන්නෙ. ඒ නිසා මේ දෙගොල්ලෝ මිත්‍රයෝ. අතුරු වාර්තාවට මුලින්ම බෝම්බ ගහනවා කිව්වේ විමල් වීරවංශ නෙවෙයි ශිවාජිලිංගම්. ඉතිහාසය පුරාම මොනව හරි වැදගත් යෝජනාවක් ගේන්න පාලක පක්ෂය උත්සාහ දරද්දී විරුද්ධ පක්ෂය ඒකට එරෙහි වීම සිදුවුණේ. දැන් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිබෙන්නෙත් ඒ තත්ත්වයමයි. 

ඔබ පාර්ලිමේන්තු විවාදයේදී කියනවා 2000 වසරේ සකස් කෙරුණු ව්‍යවස්ථාව වඩා ඉදිරිගාමී දැක්මක් ඇතිව සකස් කෙරුණක් බව. නමුත් ඒ වෙලාවේදීත් මෙවැනි ප්‍රශ්න අඩු වැඩි වශයෙන් ඇති වුණා නේද?

ඔව්. ජී.එල්.පීරිස් මැතිතුමාගේ මූලිකත්වයෙන් 2000 ව්‍යවස්ථා කෙටුම්පත හදන කොට එතුමගේ නියෝජ්‍ය ඇමති හිටියේ මම. එහි ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ නොහැකි පළාත් සංගමයක් වන එකම ස්වාධිපති ස්වාධීන ජනරජයකි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.යනුවෙන් ඉතාම පැහැදිලිව කියල තියෙනවා. දැන් ජී.එල්. පීරිස් මැතිතුමන්ලා කියනවා ඒකීය කියන වචනය ඕනේ, බුද්ධාගම පිළිබඳ තිබෙන වගන්තිය ඒ ආකාරයෙන්ම තියන්න කියල. නමුත් ඒ ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය යන වචනය හෝ සමගාමී ලයිස්තුවක් පිළිබඳ සඳහනක් තිබුණේ නැහැ. ඒ වගේම බුද්ධාගම සම්බන්ධයෙන් දැනට තිබෙන ආකාරයේ සඳහනක් තිබුණෙත් නැහැ. එය අදටත් වඩා ෆෙඩරල් ආකෘතියකට කිට්ටුයි. 2000 වසරේ ව්‍යවස්ථා කෙටුම්පත හදන වෙලාවේ 1994 මල්බෙරි කණ්ඩායම කියල ඒකරාශි වුණු ඩලස්, පවිත්‍රා, මහින්දානනද, සි.බී. රත්නායක වගේ මගේ මිත්‍රයෝ සහ මම එකතු වෙලා ඒ ව්‍යවස්ථාව වෙනුවෙන් කඬේ ගියා. ඈත ගම්වලට ගිහින් අපි කිව්වම මේ වචන වලට බය වෙන්න එපා කියල ඒ මිනිස්සු ඒක පිළිගත්තා. මිනිස්සු බය වුණේ නැහැ. ඒ නිසා තමයි 2000 ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවලින් පස්සෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනුවේ. නමුත් එදත් මේ තිබ්බ වචන අල්ලගෙන ඒ අවස්ථාව යටපත් කළා. මම ෆෙඩරල් කියන වචනයට බය නැහැ. මොකද ෆෙඩරල් කියන්නෙ යකෙක් නෙවෙයි. උතුරේ ජනතාවත් ඒකීය කියන වචනයට බය වෙන්න අවශ්‍ය නැහැ. 2000 ව්‍යවස්ථාවට කඬේ ගිය අයම අද මේ තිබෙන යෝජනාවලියටත් විරුද්ධ වෙනවා. ඉතිහාසය කරපු වැරැද්ද අපි විරුද්ධ පක්ෂ වෙලා ඉන්න කොට නැවත නැවතත් කරනවා නම් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකත් උතුරේ ප්‍රධාන පක්ෂත් කරන්නෙ ඒ වරද නම් මේ රටේ අනාගත පරම්පරාවට අපි කරන්නෙ විශාල වැරැද්දක්. 

අද ඒකීය ෆෙඩරල් කියන වචන අල්ලගෙන අපි කෑගහද්දී ටීඑන්ඒ වැනි පක්ෂ එකඟ වී තිබෙනවා ඒකීය කියන වචනය පිළිගන්න. අපි කොහොමද මේ ප්‍රවේශය දිහා බැලිය යුත්තේ?

අද ඒකීය කියන වචනය පිළිගැනීම නිසා සම්බන්ධන් සහ සුමන්දිරන්, ශිවාජිලිංගම්ට විග්නේශ්වරම්ට අනුව ද්‍රෝහියෝ. නමුත් සම්බන්ධන් සුමන්දිරන් ඒකීය කියන වචනය පිළිගැනීමම අපි අගය කළ යුතුයි. එහෙම කළොත් පමණයි ඔරුමිත්තනාඩු හොඳ නැතිනම් වෙන වචනයක් ඒ වෙනුවට යොදන්න එකඟ විය හැකි වෙන්නෙ. තමිල්නාඩුව ඉල්ලලා ඉන්දියාවේ එක කොටසක් අරගල කරද්දී ජවහාල්ලාල් නේරු තමිල්නාඩුව දුන්නෙ වෙනම රටක් හැටියට නෙවෙයි. නමුත් තාමිල්නාඩු අය හිතුවා අපි දිනුම් කියල. නේරු රටට කිව්වා ඔවුන් වෙනම රටක් ඉල්ලුවා අපි වෙනම රටක් දුන්නෙ නැහැ, ව්‍යවස්ථාවේ වෙනම වගන්තියක් යෙදුවා ඕනෑම වෙලාවක මට විසුරුවා හරින්න හැකි වෙන්නකියල. නමුත් ඊළම ඉල්ලන කාලේ කවුරු හරි යෝජනාවක් ගෙනාවා නම් ඊළම වෙනම රටක් හැටියට නෙවෙයි උතුරට යොදන වෙනත් නමක් හැටියට පමණක් දෙන්න කියල, කියපු එකා ගිනි තියල මරන්න ඉඩ තිබුණා. ඔරුමිත්තනාඩු කියන්නෙ පැහැදිලිවම දෙමළ භාෂාවෙන් ෆෙඩරල් කියන එක නෙවෙයි. ඒ වචනය වඩා කිට්ටු ඒකීය කියන වචනයට. වචනය පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් වෙන නමක් දාන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන කල්පනා කළ යුතු වෙනවා, අවුරුදු ගණනාවක් මේ රටේ ව්‍යවස්ථාවට ඒකීය කියන වචනය දාන්න බැහැ කියපු ටීඑන්ඒ සංවිධානය දැන් ඒ වචනයට එකඟ වෙලා තිබෙනවා. එහෙම නම් ඒ අයගේ කැමැත්තට අපේ ප්‍රතිචාරය මොකක්ද? අපේ අයට තිබෙන ආකල්පය තමයි දෙමළ මිනිස්සු ඇවිත් තමන් ඉස්සරහ දනින් වැටිලා තමයි තමන්ටත් යම් බලයක් ඉල්ලන්න ඕන කියල හිතන එක. මිනිස්සුන්ට අමතකයි 1952දී යාපනයෙන් ෆෙඩරල් පක්ෂය කියල පක්ෂයක් ඡන්දේ ඉල්ලලා යන එනමං නැතිවුණා. ඒ පළාතේ දෙමළ මිනිස්සු කිව්වා අපිට ෆෙඩරල් එපාකියල. දැන් අපේ අය දෙමළ මිනිස්සුන්ට කියනවා ඔයාලා ඇවිත් පාර්ලිමේන්තුවේ ඇමතිකම් ගන්නකියල. ඔවුන් ෆෙඩරල් එපා කියල එහෙම ආපු කාලයක් තිබුණා. ඒත් වැඩක් වුනේ නැහැ. අවුරුදු 67ක් ගියා අපිට දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්නත්. අපි ඒ මිනිස්සුන්ව තල්ලු කළා ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් ඉල්ලන තැනකට. දැන් ඔවුන් ඒකීය කියන වචනය පවා පිළිඅරන් අපි එක්ක එකතු වෙන්න කැමතියි. නමුත් අපි කරන්නෙ අවුරුදු ගණනාවක් මඟ හැරුණු අවස්ථාව නිවැරදි කරගන්න, මධ්‍යස්ථ තැනකට එන්න උත්සාහ කිරීම වෙනුවට වචන අල්ල ගෙන දෙපැත්තට බෙදෙන එක. නමුත් අපි අපේ දැඩි ස්ථාවරයන්වලින් ඈත් වෙලා මධ්‍යස්ථ තැනකට එන්න පුළුවන් නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුනෙන් දෙකක කැමැත්තකින් සම්මත කර ගන්න අපට හැකිවෙනවා. එහෙම වුණා නම් බෝම්බ ගහනව කිව්ව අයට කියන්න තියෙන්නෙ දැන් පුළුවන් නම් බෝම්බ ගහපන් කියල තමයි.  

අදහසක් තිබෙනවා මේ ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නෙ රට බෙදීමේ කුමන්ත්‍රණයක් කියල. ඔබ ඒ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක්ද?

මම රට බෙදන කුමන්ත්‍රණයක කොටස්කාරයෙක් නොවුනත් රට බෙදන බෙදුම්වාදී එල්ටීටීඊය සංවිධානයේ දේශපාලනය, දේශපාලනික වශයෙන් පරාජය කිරීමට උපක්‍රම හොයන මිනිහෙක්. එල්ටීටීඊය සංවිධානය තමන්ගේ සටන ආරම්භ කළේ සමාජවාදී ඊළමක් හැදීමේ අදහසින්. නමුත් ඒ සටන අවසන් වෙන්නෙ පැසිස්ට්වාදී මිනීමරු නායකයෙක්ගේ අවසනයකින්. යම් කෙනෙක් බෙදුම්වාදී දේශපාලනයට විරුද්ධ නම් ඒ බෙදීම වැළැක්වීම සඳහා දේශපාලන උපක්‍රම සෙවීමයි කළ යුතු. වැඩුණු ගහක ඵලවලට අපි ගැහුවට මුදුන් මුල තවමත් ඉතිරියි. ඒ ඵල නැවත හට ගැනීම වළක්වන්න නම් දෙමළ බසින් ජාතික ගීය ගැයීමත් එක් ක්‍රමයක්. උතුරේ දෙමළ මිනිස්සුන්ගේ පොලිසිවලට දෙමළ භාෂාව කතා කරන අය පත් කරගෙන ඒ අයට එන ප්‍රශ්න විසඳගන්න ප්‍රජා පොලිස් බලතල දෙන්න ඕන. උතුරේ ඉඩම්වල වගාකරන්න දන්නෙම දෙමළ මිනිස්සු විතරයි. ඒ ඉඩම්වලින් දකුණට නිසි ප්‍රයෝජනයක් ගන්න අපි දන්නෙත් නැහැ. ඒ නිසා ඒ ඉඩම්වල බලතල ඒ මිනිස්සුන්ට දුන්නම මොකද වෙන්නෙ? ඒ අය මේ රටේ පරිපාලනයේදී වෙනයම් කාරනාවන්හිදී තවදුරටත් දෙවන පන්තියේ අය නෙවෙයි අපි සමාන පුරවැසියන් කියන හැඟීම දුන්නෙ නැතිනම් නැවතත් කාට හරි පුළුවන් බෙදීම් ඇති කරන්න. ඒ නිසාම මේ බෙදුම්වාදය පරාජය කරන්න හැකි ක්‍රමය අපේ දැඩි ස්ථාවර ලිහිල් කරලා මධ්‍යස්ථ තැනක ඉඳන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමමයි.  

2017.11.19 වැනි දින සමබිම ඉරිදා සංග්‍රහය සඳහා ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

 

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment