ව්‍යවස්ථා තරගාවලියේ වීරයා JR

Nov 24th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන, පුවත්

අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින එළි දැක්වීය. විය යුතු පරිද්දෙන්ම දැන් නව ව්‍යවස්ථාව ගැන සංවාදයක් රටේ ඇති වී තිබේ. නීතිඥ සංගමය වැනි වෘත්තීය කණ්ඩායම්, ආගමික කණ්ඩායම් මෙම සංවාදයට කුමන හෝ ආකාරයකින් ඇතුල් වී තිබීම වැදගත්ය.  වාර්තාවේ මතු කර ඇති රාජ්‍යයේ ස්වභාවය, විධායක ජනාධිපති ක‍්‍රමය වැනි තීරණාත්මක කරුණු පදනම් කරගෙන මෙම සංවාදය ගොඩ නැගෙමින් පවතින අතර වාර්තාව දෙස නොබලාම මේ මොහොතේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයිදැයි අසන පිරිසක් ද සිටියි.

අලුත් ව්‍යවස්ථාවක් ඇයි දැයි අසන අයගේ සංක්ෂිප්ත අදහස මෙසේය. අතුරු කමිටු වාර්තාවේ අනෙක් පක්ෂ සිය අදහස් වෙනම දක්වා තිබුනත් එක්සත් ජාතික පක්ෂයේ අදහස් වෙනම දක්වා නැත. අගමැති රනිල් වික‍්‍රමසිංහ අතුරු කමිටු වාර්තාව ගැන සඳහන් කරමින් කියා සිිටියේ එක්සත් ජාතික පක්ෂය අතුරු කමිටු වාර්තාවේ කරුණු පිළිගන්නා බවයි. එම නිසා මේ වෙලාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය වී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයටය. වෙනස් ලෙසකින් කිව්වොත් අලූත් ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ විවෘතභාවය තමන්ට අවශ්‍ය ලෙස අර්ථ ගන්වන මේ පිරිස අතුරුකමිටු වාර්තාව යනු එක්සත් ජාතික පක්ෂයේ අදහස ලෙසත් ඒ අනුව යෝජිත ව්‍යවස්ථාව රනිල් වික‍්‍රමසිංහගේ උවමනාවක් අනුව හැදෙන ව්‍යවස්ථාවක් ලෙස පෙන්වාදීමට උත්සාහ දරයි.

එහෙත් මෙහිදී අප සැබැවින්ම තේරුම් ගත යුතු කරුණ නම් ජේ. ආර්. ජයවර්ධනගේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ තරම් මහන්සි වී වෙනස් කිරීමට රනිල් වික‍්‍රමසිංහට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්නයි. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට දහනව වන සංශෝධනය ගෙන ආ පසු යහපාලන රජය ඉදිරියට පවත්වාගැනීමට මෙන්ම දේශපාලනික නායකත්වය දීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලය අගමැතිවරයාට ප‍්‍රමාණවත් පරිදි ලැබී තිබේ. එම නිසා 1978 ව්‍යවස්ථාව මේ ආකාරයෙන්ම පැවැතුනහොත් ඉන් වඩාත්ම සතුටු වනු ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන්ය.

දෛවයේ සරදමක් ලෙසින් දැන් රනිල් 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙරට විත් ඇති අතර ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව තව දුරටත් ආරක්ෂා කර දෙන මෙන් රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා, දේශන, බෝධි පූජා පවත්වන පිරිස දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් එකාබද්ධ විපක්ෂයේ, ජාතිකවාදී කඳවුරේ පිරිස් සහ සමහර වාමාංශිකයන් බවයි. මේ අය යනු 1978 ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට එකල මාරාන්තික ලෙස විරුද්ධ වූ පිරිසක්ය. අද වන විට ඔවුන්ගේ මාරාන්තික විරෝධය රනිල් වික‍්‍රමසිංහට එල්ල වී ඇති අතර ඔවුන් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ ඒ නිසා මිස වෙන කිසි හේතුවක් නිසා නොවේ. ‘පාත්තයාගේ රැස්ස යන්න හකුරු මුල් දෙක දෙක තියලා බැන්ද වගේ’ යැයි කියමනක් ඇත. ඉන් කියවෙන්නේ පහතරටින් ආ පිරිසට කරදරයක් කරනවා යැයි සිතා අවශ්‍යම උදව්ව කල මෝඩ උඩරැටියන් පිරිසක් ගැනය. රනිල් එක්ක ඇති තරහ නිසාවෙන් ඔහුට ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව ඉතුරු කරදීමට වලි කන පිරිස රග දක්වමින් සිටින්නේ මේ මෝඩ උඩරැටියන්ගේ භූමිකාවය.  

මුලු රාත‍්‍රී කාලයේම මහා භාරතයට අසා සිට උදෑසන ‘දැන් රාමා සීතා ගේ කවුද?’ කියා ඇසුවා මෙන් අපේ රටේ පසුගිය කාලය මුළුල්ලේම අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවථාවක අවශ්‍යතාවය විවිධ තලයන්හි කතා වුණ බව දනිමින්, ඒ සඳහා ආණ්ඩුව විවිධ පියවරයන්ද ගනිමින් සිටි බව බලා සිට ‘දැන් අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මොකටද?’ අසන මේ අය පැටලී සිටිනේ ජේ. ආර්. 1978 දී ඇටවූ උගුලකය. ඒ අයට එම උගුලේම පැටලී ඉන්නට ඉඩ හැර අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින අප කළයුත්තේ රටේ පළමු වතාවට මහජනයාගේ අදහස් මත ගොඩ නැගෙන ව්‍යවස්ථාව බවට මේ නව ව්‍යවස්ථාව පත් කර ගැනීමට ගොඩ නැගී ඇති මහජන සංවාදය තව තවත් පෝෂණය කිරීමට දායක වීමය.   

සටහන – ප්‍රබෝධ රත්නායක

Recent Posts

Tags: , ,

Leave a Comment