පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළ හැටි

Nov 24th, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, LEAD NEWS, අධ්‍යාපනය, කාලීන, සමබිම ඉරිදා අතිරේකය

තිරසර සංවර්ධන, වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

තිරසර සංවර්ධන, වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය
ගාමිණී ජයවික්‍රම පෙරේරා

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී.

එසේ පිහිටුවන ලද පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම 1988 දී සිදු විය. ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධත්වය පළ කළ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා ඡන්දයට තරග නොකළ අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අයත් සන්නද්ධ බලකායන් විසින් පළාත් සභා අපේක්ෂකයන්ට මරණ දඬුවම නියම කරමින් ත්‍රස්ත ක්‍රියා සිදු කරන ලදී. පාලක එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පළාත් සභා සඳහා තරග කළේ සමසමාජ, කොමියුනිස්ට්, නව සමසමාජ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂවලින් සැදුම්ලත් එක්සත් සමාජවාදී පෙරමුණයි.

මෙම පළාත් සභා මැතිවරණයේදී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයෙන් සහ දිසා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරග කළේය. ඒ සමගම එම්.එස්. අමරසිරි, පර්සි සමරවීර, ජී.ඩී. මහින්දසෝම, ජී.වී. පුංචිනිලමේ සහ ඩබ්.එම්.පී.බී. දිසානායක යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද ඉල්ලා අස්වී පිළිවෙළින් දකුණ, ඌව, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම යන පළාත් සභාවල මහ ඇමැති ධුරවලට තරග වැදුණහ.

පළමු වයඹ පළාත් සභාවේ පළමු මහ ඇමැතිවරයා ලෙස ඡන්දයෙන් පත්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1988 මැයි මස 4 වැනි දින සිට 1993 ඔක්තෝබර් 19 වැනි දින දක්වා කාල පරිච්ඡේදය තුළ එම ධුරයේ කටයුතු කළ අතර, එම කාලය ලංකාවේ බලය බෙදා හැරීම පිළිබඳ කළ උත්සාහය වඩා ප්‍රතිඵලදායී ලෙස අත්හදා බලන්නට ඔහුට හැකිවූ බව පක්ෂ විපක්ෂ කා අතරත් අවිවාදාත්මකය.

දැන් පළාත් සභා ක්‍රමයට වසර 30 ගතවී තිබෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදය සමග බලය බෙදා හැරීමේ ඒකකය පළාත් සභාව විය යුතු බවට බහුතර එකඟතාවක් ඇති වී තිබෙන මේ මොහොතේ පළාත් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධ අත්දැකීම් ඉදිරිපත් කිරීමට සමබිමඋත්සාහ කරයි. වයඹ පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා සමඟ පළාත් සභා සහ බලය බෙදා හැරීම පිළිබඳව 2012 වර්ෂයේදී මනෝරි කලු‍ගම්පිටිය කළ සාකච්ඡාවක් 2012 ජුනි මස සමබිම පුවත්තේ පළ විය. මේ ඒ ආශ්‍රයෙනේ සකස් කරන ලද ලිපියකි.

ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පළමු අදියර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනෙක් දිස්ත්‍රික් 24 ක දිසා ඇමතිවරු වශයෙන් පත් කළා. මම 1978 සිට 1988 වෙනතුරු පාර්ලිමේන්තුවේ දිසා ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා. ඒ කාලේ දිසා ඇමතිට වියදම් කරන්න දුන්නේ බොහොම පොඩි මුදලක්. මන්ත්‍රීවරුන් එක්ක සහෝදරත්වයෙන් වැඩකරන්න කිව්වත් ඒ අයට වෙන් වුණු මුදල් ඔවුන් දෙන්නෙ නැහැ. අපි ඇත්තටම වැඩ කෙරුවේ දේශපාලන සම්බන්ධීකාරකයන් හැටියට. ඒ අඩුපාඩුව අපි ජනාධිපතිතුමාට පෙන්නුවා. ජනාධිපතිතුමා මෙහි යම් වෙනසක් කරන්න හිතා හිටියා. ජයවර්ධන මහතා දෙවන වාරයටත් ජනාධිපති වශයෙන් පත් වුණා. ඉන් පස්සේ ජනමත විචාරණයක් දැම්මා පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගන්න. එතැනින් පස්සෙ යාපනේදී අපේ රටේ හමුදා භටයින් 13 ක් මැරුවා. මේ සිද්ධියෙන් නැති ජාතිවාදයක් ඇති වුණා. අහිංසක දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන් කරපු විනාශය, එල්ටීටීඊය විසින් පුම්බලා ඉස්මතු කරන්නට වුණා. එයින් ලෝකයට අපි මිලේච්ඡ ජාතියක් කියලා පෙන්නුවා. එතනින් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ බලය විමධ්‍යගත කිරීම කියන එක සම්පූර්ණයෙන්ම ඇණ හිටියා. අන්තිමේ උතුරේ ත්‍රස්තවාදය නැගී ඒමත් සමඟ එයට මුහුණ දී ක්‍රියාත්මක වීමට එතුමාට සිදු වුණා.

මේ අවස්ථාව වෙනකොට ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුම කරමින් හිටියේ. අපට වඩමාරච්චියේ ගෙනගිය මෙහෙයුමෙන් යුද්ධය අවසන් කරන්න තිබුණා. නමුත් ඒ වෙලාවෙ ඉන්දියාව අපට තර්ජනය කරමින් ප්ලේන්වලින් ඇවිල්ලා කෑම දාලා ලංකාවට ඇඟිලි ගැහුවා. 87 වෙද්දී දකුණෙත් භයානක භීෂණය. උතුරෙත් භීෂණය. ඒ නිසා රට ප්‍රශ්න දෙකකට මැදි වුණ වාතාවරණයක් පැවතුණා. ඒ වෙලාවෙ යුදමය වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව, ඉන්දියාව හා වෙනත් රටවල් අපට ආධාර දුන්නෙ නැහැ. අපට සහාය දුන්නේ පාකිස්තානය සහ චීනය විතරයි. මේ අවස්ථාවේදී රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම යෝජනා කළා. ඒ සමඟ ඔහු කිව්වා ප්‍රභාකරන්ව සාම සාකච්ඡාවට ගේනවා, බලය විමධ්‍යගත කිරීමක් කරනවා, සාම හමුදා ගෙන්නලා උතුරු නැගෙනහිර පළාතේ කට්ටියට ආරක්ෂාව ඇති කරනවා කියලා.

1987 ජුලි මාසේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න සති තුනකට පෙර ජේ. ආර් ජයවර්ධන මැතිතුමා සත් කෝරලේ සංඝනායක හාමුදුරුවන්ට පන්නල කටුගම්පල ආසනේ චෛත්‍යය විවෘත කිරීමට එන්න පොරොන්දු වෙලා තිබුණා. එතුමා එදා යාපනේ දිසා ඇමතිව සිටි දඹදෙණිය මන්ත්‍රී යූ.බී. විජේකෝන්ටයි  මටයි කිව්වා ගිරිඋල්ල පාලම ළඟට එන්න කියලා. කියපු වෙලාවට එතුමත් පැමිණියා. ඊට පස්සෙ අපි එතුමගේ වාහනයෙන් පන්නලට යන ගමන් ඔහු කිව්වා, “මට වැදගත් තීරණයක් ගන්න ඔය දෙන්නගෙ අදහස් දැනගන්න  ඕනෙ. මම මේ වෙලාවෙ ලොකු ප්‍රශ්න කිහිපයක හිර වෙලා ඉන්නේ. එකක් එල්ටීටීඊයට ගුවන් යානා නාශක මිසයිල ලැබිල කියලා රහස් තොරතුරු අංශයට ආරංචි ලැබී තියෙනවා. ඒත් ඒවට ප්‍රතිනාශක අපට නැහැ. ඉන්දියාව හෝ බටහිර රටවල් දෙන්නෙත් නැහැ. ඒ නිසා හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න බැහැ කියනවා. ඒ අතර රජීව් ගාන්ධි මට යෝජනා කරනවා සාම ගිවිසුමකට එනවා නම් ප්‍රභාකරන්ව සාකච්ඡාවලට ගේනවා, පළාත් සභා කියල බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමයක් ඇති කරනවාඑය ඔවුන් උතුරු නැගෙනහිර සාම හමුදා සමඟ ක්‍රියාත්මක කරනවා කියලා. මේ ගැන මොකක්ද ඔය දෙන්නාගේ අදහස්කියලා ඇහුවා.

මේක ලොකු ජාතික ප්‍රශ්නයක් බව අපි දැනගෙන හිටියා. එය අපේ පක්ෂය ඇතුළෙත් මහා ලොකු විරෝධයක් ඇතිවුණු වෙලාවක්. විජේකෝන් නිශ්ශබ්දව බලාගෙන හිටියා. දැන් ජේ. ආර් උන්නැහේ අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. මම කිව්වා රටට යහපතක් වෙනවා නම් ජනාධිපතිතුමනි අපි ඔබතුමාට සහාය දෙනවාකියලා.

ඊට පස්සෙ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. පළාත් සභා පනත ගෙනාවා. පළාත් සභා කියන්නෙ ඒ වෙලාවෙ මව් කුසෙන් එන කුළුඳුල් දරුවෙක් වගේ. ඒ වෙනකොටත් මම දිසා ඇමතිවරයෙක්. නමුත් මට පෙනුනා මෙය මගේ පළාතට යමක් කරන්න පුළුවන් අභියෝගාත්මක අවස්ථාවක් කියලා. මාව ජනතාව පත් කරලා තියෙන්නෙ අනුන් කරන කියන දෙයක් කරන්න නෙවෙයි. නිර්මාණාත්මක සේවයක් කරලා ප්‍රතිඵලයක් දෙන එකයි මගේ ප්‍රතිපත්තිය. එක පැත්තකින් ජීවිත තර්ජන අභියෝගය තිබුණත් මම කල්පනා කළා මගේ පළාතට ඇත්තටම සේවයක් කරන්න පුළුවන් නිසා පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා කියලා. ඒ සමඟ මගේ ජ්‍යෙෂ්ඨත්වය සහ වරප්‍රසාද නැතිවෙනවා. ඒ වගේම තර්ජන තියෙනවා. නමුත් නියෝජ්‍ය ඇමතිකමක් හෝ ඇමතිකමක් හෝ ගන්නවාට වඩා වැඩ කරලා පෙන්නපු කෙනෙක් විදිහට මේ අභියෝගය භාර ගන්නවා කියල මම හිතුවා.

ඒ වෙලාවෙ කටුගම්පල අතුරු මැතිවරණයේදී මටත් වෙඩි තිබ්බා. අපේ නිලධාරීන් පිරිසක් මැරුවා. ඒ මරලා තියෙද්දිත් මම නිකන් හිටියෙ නැහැ. පළාතේ ආරක්ෂාව ගැන ගැටලු‍ තිබියදීම මම නිලධාරීන් සමඟ සැලසුම් හැදුවා. මට අත්දැකීම් රාශියක් ලැබිලා තිබුණා දිසා ඇමතිවරයෙක් විදියට වැඩ කරලා. විශේෂයෙන්ම මට ඒ හැකියාව ලැබුණේ ලෝක බැංකු ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියෙන්.

මේ ව්‍යාපෘතිය අවුරුදු 5න් ඉවර කරන්න කියලා ජයවර්ධන මැතිතුමා මට ඒ වෙලාවේ අභියෝගයක් දුන්නා. ඒ කාලෙ තරුණයෙක් විදිහට මම ඒ අභියෝගය භාර ගත්තා. නමුත් එහි පොල් නිලධාරියා, කෘෂිකර්ම නිලධාරියා එක්ක වැඩ කරන්න කැමති නැහැ. කජු සංස්ථාවේ කෙනා, පොල් නිලධාරියා සමඟ වැඩ කරන්න කැමති නැහැ. ඒ වගේ මහා ඒකාධිකාරියක් තිබුණා මධ්‍යම ආණ්ඩුව යටතේ. මම එය තදින් බිඳ දැම්මා. සමහරු මාරු කරන්න, ඉවත් කරන්න සිද්ධ වුණා. එතනදි මම සෞඛ්‍ය කමිටුවක්, වාරිමාර්ග කමිටුවක්, කෘෂිකර්ම කමිටුවක් හැදුවා. මේ ඔක්කොම අත්දැකීම් එක්ක මම මුළු වයඹ පළාතේම ධීවර පළාත්වලට, සංචාරක අංශවලට ආදී සෑම අංශයකටම කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන ප්‍රධාන සැලසුම් හැදුවා. එතකොට ඒවා කරන්න මුදල් එන්නෙත් නැහැ, පඩි නඩි ගෙවන්න විතරයි මුදල් එවන්නේ. අපි කමිටුවලට හදපු සැලසුම් වහාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒවා ටික ටික පටන් අරගෙන කරගෙන යනකොට ජාත්‍යන්තරයට පණිවිඩයක් ගියා වයඹ පළාත් සභාව ආදර්ශමත්ව වැඩ කරනවා, හරි වැඩකාරයෝ ඉන්නේ කියලා.

ඒ වන විට මා ළඟ සෞඛ්‍යයට, කෘෂිකර්මයට, පශු අංශයට ව්‍යාපෘති යෝජනා තිබුණා. මට ආණ්ඩුවේ සල්ලි ආවේ නැහැ. මම ඉෆාට්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර සංවිධාන එක්ක කතා කරමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.

පළාත් සභා පනත අනුව පළාත් සභාවලට ස්වාධීනව ඉල්ලු‍ම් කර සාකච්ඡා කර විදේශ ණය/ආධාර ගන්න පුළුවන් පහසුකමක් හෝ හැකියාවක් නැහැ. නමුත් වයඹ පළාත් සභාවේ අපි ඒක කළා. ඒ වෙලාවෙ ප්‍රේමදාස ආණ්ඩුව තිබුණේ. මම එයින් උපරිම ප්‍රයෝජන ගනිමින් අපි ආසියානු බැංකුවත් සමඟ සකස් කළ වාරිමාර්ග දියුණු කිරීමේ සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට අත්සන් කළා. ඒ ගනුදෙනුව කළේ මහා ආණ්ඩුවෙන් නෙවෙයි. වාරිමාර්ග ඇමති එන්.එම්. ධර්මදාස ඉතිහාසයේ පළවෙනි වතාවට කෙලින්ම පිලිපීනයේ මැනිලාවලට ගිහින් එය අත්සන් කළා. 

පරිසර විෂය සම්බන්ධයෙන් බලය පළාත් සභාවට නැහැ. වාරි කර්මාන්ත විෂය 13 වන සංශෝධනයේදී අයත් වෙන්නෙ සමගාමී ලැයිස්තුවටයි. මම වයඹ පළාත් සභාවට ප්‍රඥප්තියක් ගෙනාවා, එය පළාත් සභාවෙන් අනුමත කෙරුවා. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුකාරවරයා විසින් එය මහ ආණ්ඩුවේ පරිසර අමාත්‍යංශයට යවන්න ඕන. එදා ප්‍රේමදාස ආණ්ඩුවේ පරිසර ඇමැති වශයෙන් හිටියේ ආචාර්ය විමල් වික්‍රමසිංහයි. එයා ඒක පාර්ලිමේන්තුවට ගෙනාවා. පාර්ලිමේන්තුවේදී මෙය සාකච්ඡා කළා මිසක් තීන්දුවක් ගත්තෙ නැහැ. ඒ වෙලාවේ මට මතකයි, සමසමාජයේ මන්ත්‍රී අතාවුද සෙනෙවිරත්න වගේ කට්ටියක් කිව්වා මේක අනුමත කරන්න කියලා. ඒත් පාර්ලිමේන්තුව එහෙම නොකර නිකම්ම කල් දැම්මා.

පාර්ලිමේන්තුව විසින් තීන්දුවක් ගත්තේ නැතිනම්, මාසයක් ඇතුළත එය ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න ඕන. නමුත් ඒ අයට ඒකත් අමතක වුණා. මම ඒ මාසෙ ඉඳලා දෙවැනි සැරේ පළාත් සභාවට ප්‍රඥප්තිය ඉදිරිපත් කළා. පළාත් සභාව ඒක අනුමත කෙරුවා. පනතේම තියෙනවා, පළාත් සභාවෙන් අනුමත කරලා එහෙම තීන්දුවක් දුන්නා නම්, ඊට පස්සේ ගැසට් කරන්න ආණ්ඩුකාරවරයාට යවන්න ඕන කියලා. ඒ අනුව ඒක ගැසට් කළා. ඒ විදිහටයි වයඹ පළාත් සභාව වැඩ කළේ.

ඒ නිසයි මං කියන්නෙ මගේ කාලෙ පළාත් සභා ක්‍රමය අසාර්ථක වුණේ නැහැ කියලා. අද වුණත් එදා පැවැති වයඹ පළාත් සභාව මොඩලයක් නැත්නම් ආදර්ශයක් වශයෙන් සලකමිනුයි දේශපාලඥයෝ, නිලධාරීන් කතා කරන්නේ.

ව්‍යවස්ථාව පළාත් සභාවලට අවශ්‍ය බලය දීලා තියෙනවා. නමුත් අසාර්ථක වෙන්නෙ ජනතාව පත් කරපු පළියට, ලස්සන කටහඬක් තිබුණාට රටක් පළාතක් පාලනය කරන්න බැහැ. බලයට ආවායින් පස්සේ ඒ පුද්ගලයා නිර්මාණශීලී, කුසලතා ඇති, දැක්මක් තියෙන්න පුද්ගලයෙක් විය යුතුයි. විෂන් එක තිබුණට මදි, ඒ සිහිනය සැබෑ කරගන්නේ කොහොමද කියන සැලසුම තියෙන්නත් ඕන. ඒ වගේම සැලසුම් හැදීම එකක්, සැලසුම් ක්‍රියාත්මක කිරීම තවත් එකක්. මට තිබුණා මගේම කියලා ඉලක්කයන්. මාසිකව ඒ ඉලක්ක සඳහා කාල රාමු හැදුවා, ඒවා ප්‍රෝග්‍රෑම් කළා, මගේ ඇමතිවරුන්ට ඒවා පෙන්නුවා. දැන් පළාත් සභාවලට පත්වෙලා ඉන්නා ප්‍රධාන ඇමතිවරුන්ට හෝ ඇමතිවරුන්ට එවැනි කිසිම සැලසුමක් නැහැ. ඔහේ යන්නන් වාලේ යනවා.

පළාත් සභා ඇති කරලා තියෙන්නෙ විදුලි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න, බෝක්කුවක් හදන්න, වැවක් ගැඹුරු කරන්න විතරක් නෙවෙයි. ඊට වඩා පුළුල් දර්ශනයකින් යුතුව ඒ ජනතාවගේ, ඒ කලාපයේ ආර්ථිකය-සමාජ තත්ත්වය, ස්වයං රැකියා ඇති කරන්න, පරිසරය දියුණු කිරීමටයි පළාත් සභා ඇති කරලා තියෙන්නේ. මේ සෑම ක්ෂේත්‍රයකටම පළාත් සභාවට බලය තියෙනවා, නමුත් ඒ කිසි දෙයක් කරන්නෙ නැහැ. නීති විරෝධී උනත් ගිවිසුමක් අත්සන් කරලා, ආයෝජකයෝ වයඹ පළාතට ගෙන්න ගන්න මට හැකි වුණා. ඒ නිසා මට ගැටලු‍ ඇති වුණා වගේම ගැටලු‍ ඇති කළා. මම ගිවිසුම අත්සන් කළේ චීන ආණ්ඩුවත් එක්ක, මගේ උවමනාව වුණේ වයඹට විශාල ආයෝජකයෝ ගේන්න, ධීවර කර්මාන්ත පුහුණු අංශ විශාල ලෙස දියුණු කරන්න. මගේ අදහස මධ්‍යම ආණ්ඩුවේ ඇමති හැරල්ඞ් හේරත් මැතිතුමාට කිව්වා මං අත්සන් කරන්න ඕනෙ නැහැ, ඔයත් අපේ පළාතේ කෙනෙක්, ඔයා අත්සන් කරන්න, එතකොට මහා ආණ්ඩුවමනේ අත්සන් කරන්නේ, මං කරන්නෙ සාකච්ඡා කරපු එක විතරයිකියලා. ඒත්  ඒක කළේ නැහැ. නීතියකින් යම් සීමාවක් දාල තිබුණත් ඒ තුළත් තියෙනවා නීතිය කඩන්නේ නැතිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවස්ථා.

දැන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට සල්ලි ටිකක් දීලා තියෙනවා. ඒ අය බෝක්කු-කාණු අරවා මේවා හදනවා මිසක්, ඒවා කරන අතරෙම කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන සැලසුමකට වැඩ කරන සැලසුම් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් මහා ආණ්ඩුවයි පළාත් සභායි අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා පළාත් සභාවලට දොස් කියන්න බැහැ. මහා ආණ්ඩුවේ ජාතික සැලසුම් ප්‍රාන්ත මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමට යන්න ඕන. නමුත් ඒ සම්බන්ධය නැහැ.

ජාතිය ගැන, පළාත ගැන, ඡන්දේ දීපු ජනතාව ගැන හිතන්නෙ නැතිව තමන් ගැන හිතලා සාක්කු පුරව ගන්නවා, ඒ නිසා දූෂණ වංචා සිදුවෙනවා හැර වෙන මොකක්ද කරලා තියෙන්නෙ.

පළාත් සභා ක්‍රමය ලංකාවේ වාර්ගික ප්‍රශ්නය සහ සංවර්ධනය කියන මේ සියලු‍ම දේවලට හොඳ පිළිතුරක් බව අපි පිළිගන්නවා. නමුත් ඉඩම් සහ පොලිස් බලතල වැනි දේවල් ගත්තොත් ජනාධිපතිවරයා විසින් ගැසට් කළාට පසුවයි එය ක්‍රියාත්මක තලයට පැමිණෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මුල් අත්තිවාරම දාලා අවුරුද්දයි බලයේ හිටියේ. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආවා. අවසාන කාලෙ පොලිස් බලතල දීමට අවශ්‍ය අත්තිවාරම දාලා ගියා. නමුත් උතුරු නැගෙනහිර නැවතත් ත්‍රස්තවාදය එන්න පටන් ගත්තා. උතුරේ ඒ වෙද්දී ඉන්දියන් හමුදාව එක්ක ප්‍රභාකරන් හැප්පිලා. එවැනි බාධා තිබුණා එය අඩපණ වෙන්න. නමුත් දැන් පළාත් පොලිස් කොමිෂන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්.

වයඹ පළාතෙ මම ආරම්භ කරපු කර්මාන්ත පුර හතරටම මම ආණ්ඩුවෙන් සතයක්වත් ගත්තේ නැහැ. මට ලැබුණෙත් නැහැ. නමුත් රජයේ ඉඩම් යොදාගෙන මම ඒක කළා. ඒක නිසා ඒ දේවල් කරන්න යම් ඉඩම් ප්‍රමාණයක් පළාත් සභාවලට දෙන්න වෙනවා. දීල ජාතික කොමිෂන් එකට පළාත් නියෝජිතයෙකුත් දා ගැනීමයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඒ අයගෙන් රජය අහන්න ඕන උඹලට ඉඩම් ඕනෙ මොනවටද? කර්මාන්ත භූමියක් දාන්නද? ජනපදයක් ඇති කරන්නද? නැතිනම් වගා වැඩ පිළිවෙළක් දාන්නද? තවානක් දාන්නද? නගර දියුණු කරන්නද?’ මේ ආදී වශයෙන් පළාත් සභාවට කෙටි සැලසුම් දෙන්න ඕනේ.

එහෙම නැතුව අද මධ්‍යම ආණ්ඩුව කරන්නෙ පළාත් සභාවල කටයුතුවලට ඇඟිලි ගැසීමයි. මම එදා එහෙම කරන්න දුන්නෙ නැහැ. පළාත් සභාවල අය දැන් පඹයෝ වෙලා ඉන්නෙ. ඒකට බලපාන අනෙක් ලොකුම හේතුව, අද පළාත් සභාවල ඉන්නෙත් ආණ්ඩුවේම අය. ඉතිං ඒ අය අද වැඩ කරන්නේ බලු‍ කුක්කො වගේ. පළාත් සභාවෙ බලය පළාත් සභා විසින්ම මහා ආණ්ඩුවට පූජා කරලා.

 2017.11.12 වන දින හා 2017.11.19 වන දින රාවය සමබිම අතිරේකයේ පල කරන ලද ලිපි ඇසුරිනි.

 

 

 

Recent Posts

Tags: , ,

Leave a Comment