අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ පටන් ගන්නේ කවදාද?

Nov 28th, 2017 | By | Category: EDITOR'S CHOICE, Today Lead News, අධ්‍යාපනය, අවතැන්වූවෝ, දේශපාලන, පුවත්, මානව හිමිකම්, සමබිම පුවත්

“අපේ පුතා ගෙදර එයි කියල අවුරුදු ගාණක් අපි දෙන්න බලා ගෙන හිටියා. ඒත් අන්තිමට ලැබුණෙ මරණ සහතිකයක් කියල කොළ කෑල්ලක්. ඒකෙ තිබ්බෙ නැහැ, පුතාව පැහැරගෙන ගියේ කවුද? පුතාව මරල දැම්මෙ කවුද? පුතාව මැරුවෙ කොහොමද කියලවත්?” දිවුලපිටියෙ බී.සී. සිල්වා මහතා ඒ පවසන්නේ 1989 ඔක්තෝබර් මාසයේදී පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද හේමන්ත අජිත් චන්ද්‍රසිරි නම් තම පුතු පිළිබඳවය.

සිල්වියා චාලට් මවගේ පුතාලා දෙදෙනා වන විසි පස් හැවිරිදි සරත් වින්සන් සහ විසි දෙහැවිරිදි නිහාල් ජානක 1989 නොවැම්බර් 02 වන දා පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇත.

“පුතාලව පැහැරගෙන ගියේ කවුද කියල අපි කිව්වත් පොලිසියවත්, ආණ්ඩුවෙ කවුරුවත් ඒක පිළිගත්තෙ නැහැ. 89 න් පස්සෙ ගෙවුණ හැම අවුරුද්දකම පුතාල ගෙදර එනකන් බලාගෙන හිටියා. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණ. ඒත් පුතාල වෙනුවෙන් මරණ සහතික දුන්නේ ඒ බලාපොරොත්තුවත් අපෙන් උදුරගෙනයි” ඇය කියන්නීය.

සිල්වා තාත්තාටත් චාලට් අම්මාටත් තමාගේ දරුවන් මරල දැම්මෙ ඇයි, මරල දැම්මෙ කොහොමද යන ප‍්‍රශ්නයට ඔවුන් ජීවිතෙන් සමුගන්නා තුරුම පිළිතුරක් නොලැබුණි. අදටත් එම ප‍්‍රශ්න තවමත් ඉතිරිව තිබෙන්නේ අඳුරු ඉතිහාසයක සැගවුණු මිනිස් ජීවිතවලට කිසිම වටිනාකමක් නැතිවාක් මෙන්ය.

1987-89 යුගයේ අතුරුදහන් කරවීම්වලට යුක්තිය සහ සාධාරණය ලබා දෙන බවටත්, වරදකරුවන් ගෝල්ෆේස් පිට්ටනියට ගෙනවිත් දඩුවම් කරන බවටත් වූ පොරොන්දු, දේශපාලන පොරොන්දු පමණක්ම බවට පත් විය. 1994 බලයට පත්වුණු රජය විසින් ජනාධිපති කොමිෂන් සභා පත් කළ ද, අතුරුදන්වූවන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට හෝ එම ම්ලේච්ඡු අත්දැකීමට මුහුණ දුන් සමාජයට හෝ යුක්තිය හෝ සාධාරණය ඉටු වූයේ නැත.

එසේම එහි එක් කොමිසමක් සිය නිර්දේශවල දක්වා ඇත්තේ ‘කොමිසමට ලැබුණු නමුත් විධි නියෝගවලට නොවැටෙන අතුරුදහන් කරවීම් 16,305 ක් පිළිබඳව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉදිරියේදී හෝ පරීක්ෂා කර බලන ලෙසය. නමුත් ඒ කිසිවක් සිදු වූයේ ද නැත.

එහි ප‍්‍රතිඵලයක් ලෙස 2006 න් පසු උතුරු නැගෙනහිර මුල් කර ගෙන නැවත වතාවක් පුද්ගල අතුරුදන් කරවීම් වාර්තා විය. ඕ.ම්.පී. හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වර්තමාන රජයේ පොරොන්දුවක් වන්නේ ඒ අනුවය. එය දැන් රටට පමණක් නොව ලෝකයටම වූ පොරොන්දුවක් බවට පත් වී තිබේ. එනම් අතුරුදන්වූවන් පිළිබඳව පැමිණිලි කිරීමට සහ ඒවා විමර්ශනය කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවන බවයි.

නමුත් රටට ලෝකෙට පොරොන්දු දුන්නත් ඕ.ම්.පී. ය තවම පිහිටුවා නැත.

ඉන් අනතුරුව මෙම පනත 2016 ජුනි 21 වන දා සංශෝධන පනතක් ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගනු ලැබූ අතර 2016 ජුලි 03 වන දා කථානායකවරයා ඊට අත්සන් තබා තිබුණි. පනත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස එකොළහකට පසු 2017 ජුලි 19 වන දා ජනාධිපතිවරයා පනතට අනුමැතිය ලබා දී ඇත.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට විරුද්ධව නැගුණු ප‍්‍රබලම තර්කය වූයේ මේ මගින් රණවිරු දඩයමක් සිදුවන බවයි. එවිට අගමැතිවරයා ප‍්‍රකාශ කළේ මෙම කාර්යාලය මගින් විමර්ශනයට ලක් කරන්නේ 2002 වර්ෂයේ සිට සිදුවූ අතුරුදන් කරවීම් පමණක් නොව 1989 සිට සිදු කළ අතුරුදන් කරවීම් ද මෙම කාර්යාලය මගින් සොයා බලන බවයි.

නමුත් පනත සංශෝධනය සහිතව සම්මත වී මාස හතරකට ආසන්න වුවත් තවම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා නැත.

ප‍්‍රශ්නය කුමක්ද? කල් මරන්නේ ඇයි? රජයට අතුරුදන්වූවන්ට සාධාරණයක් ඉටු කිරීමට ඇත්තටම උවමනාද? ඕ.ම්.පී. ඕනද? එපාද?

බැලූ බැල්මට පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඕ.ම්.පී. ය පිහිටුවීමට උනන්දුවක් නොමැති බවයි. ඇත්තටම මෙම පනත හරහා ඇමතිවරයෙකුට බලතල පවරා කාර්යාලය පිහිටුවා එහි සාමාජිකයින් පත් කිරීමේ කටයුත්ත ඇත්තේ ජනාධිපතිවරයා අතය. එය තවම සිදු වී නොමැත. කාලය ගමන් කරමින් තිබේ. ජනාධිපතිවරයා ජිනීවාහිදී පසුගිය දා ප‍්‍රකාශ කර සිටියේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා අතිධාවනකාරී කණ්ඩායම්වල ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බවයි.

සිල්වා තාත්තාට සහ චාලට් අම්මාට සිදු වූයේ ඔවුන්ට සාධාරණය ඉටුවන තෙක් ජීවත් වීමට නොහැකි වීමය. ඔවුන් මිය ගියේ තම පුතුන් වෙනුවෙන් සාධාරණය ඉටුවන තුරු වසර විසිපහක් යුක්තිය ඉල්ලා සිටීමෙන් පසුවය. එසේ නොමැතිව ඔවුන් අති ධාවනකාරී වූ නිසා නොවේ.

ජනාධිපතිතුමා අවස්ථා කිහිපයකදීම පැවසුවේ 2015 ජනවාරි 08 වන දා තමා ජයග‍්‍රහණය නොකළා නම් දැන් ඉන්නේ අඩි හයක් යට බවයි. එනම් තමා නිසැකවම ඝාතනය වන බවයි. එය නිකම්ම කියමනක් නොවන බව වැටහෙන්නේ 2010 ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකාට වූ සිදුවීම දෙස බලන විටය. යුද්ධය දිනා දුන් හමුදාපතිවරයාව යුද්ධය නිමවී මාස අටක් ගත වන විට ඇදගෙන ගොස් සිරගත කිරීම ගැන සිතන විටය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරාජය වූවා නම් ඔහුම කියන ආකාරයට ඔහුව අඩි හයක් යටට යවන්නේ මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ පෞද්ගලිකවම පැමිණද? එසේ නොමැති නම් සරත් ෆොන්සේකාව ඇද ගෙන ගිය ‘රණ’විරුවන් වැනි අයද? එසේ වූවා නම් දැන් මෛතී‍්‍රපාල සිරිසේන ද අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවේය.

එහෙත් දැන් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශන සහ කි‍්‍රයාවන්ගෙන් පෙනෙන්නට ඇත්තේ යම් යම් බලපෑම් හේතුවෙන් මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු කෙරෙහි වැදගත්කමක් ලබා නොදෙන බවය.

නමුදු 1987-89 අතුරුදන්කරවීම්වලට වගකිව යුතු ඝාතකයින්, යුද සමයේ සිදුවුණු අතුරුදන් කරවීම්වලට සම්බන්ධ බොහෝ පිරිසක් තවමත් ගැලවී සිටිනවා මෙන්ම, මෙම ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශාල කැපකිරීම් කරමින් කටයුතු කළ උතුරු නැගෙනහිර ඇතුළු අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් ද යුක්තිය සහ සාධාරණත්වය පතා දැනටමත් අඩුම තරමින් වසර අටකට වැඩි කාලයක් බලාපොරොත්තු සහගතව බලා සිටින බව අමතක නොකළ යුතුය.

පොරොන්දුව ඉටු කිරීම ඇත්තේ ජනාධිපතිවරයා අතය. ඕ.ම්.පී. ය පිහිටුවා 1987-89 ඝාතකයින්ට මෙන්ම උතුරු නැගෙනහිර අතුරුදන්කරවීම්වලට වගකිව යුතු ඝාතකයින් හෙළිදරව් කර ගැනීම ජනාධිපතිවරයාගේ වගකීමකි. විශේෂයෙන්ම විධායක බලය අහෝසි කරන්න එකග ජනාධිපතිවරයා ඕ.ම්.පී. ය ආරම්භ නොකරන හේතුව ගැන සැක ඇති වන්නේ පැරණි සිදුවීමක් මතක් වීමෙනි.

චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය පිහිටවූ අතුරුදන්වූවන් විමර්ශනය කිරීම සම්බන්ධ කොමිෂන් සභා වාර්තාවල නම් සඳහන් වූ උසස් හමුදා නිලධාරීන් ඇය හමු වී විමසා ඇත්තේ ඒ වන විට නැවත ආරම්භ වී තිබූ යුද්ධය කළ යුතු ද, නැතිනම් නඩු කියනවා ද යනුවෙනි. ප‍්‍රතිඵලය වූයේ අතුරුදන්කරවීම් විශාල සංඛ්‍යාවකට වගකිව යුතු බවට කොමිෂන් සභා වාර්තාවලින් චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් කිසිවෙකුට විරුද්ධව කිසිවක්ම සිදු නොවීමයි. ඔවුන් තවමත් ‘රණවිරුවන්’ය. ඒ ආකාරයටම උතුරු නැගෙනහිර අතුරුදන් කරවීම්වලට සම්බන්ධ ඝාතකයින් විශාල පිරිසක් ද රණවිරු ලේබලය යටතේ ආවරණය ලබයි.

අති ධාවනකාරී නොවී වසර ගණනාවක් ඕ.ම්.පී. ය දෙස බලා සිටින සිංහල, දෙමළ මව්පියන් බොහෝ දෙනෙක් ඉදිරි කාලයේදී සිල්වා තාත්තා සහ චාලට් අම්මා මෙන් අකාලයේ මිය යාමට පුළුවන. නමුත් අති බහුතරය ඕ.ම්.පී. ය ඇතුළු යුක්තිය සහ සාධාරණත්වය දෙස තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටී.

වසන්ත රනිල් විසින් 2017 සැප්තැම්බර්_ඔක්තෝබර් සමබිම කලාපයට ලියන ලද ලිපියකි.

Recent Posts

Leave a Comment