උතුරේ මහ ඇමති නුවර යෑම සහ විපක්ෂ නායක ගමට නොයෑම

Nov 29th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, කාලීන, දේශපාලන, සාමිනාදන් විමල් - සමබිම තිරු ලිපි

මෙම මාසයෙහි උතුරෙහි දේශපාලනයට අදාළව සිදුවූ වැදගත් සංසිද්ධියක් ලෙසින් සඳහන් කළ හැක්කේ උතුරු පළාත් සභාවෙහි මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා මහනුවර අස්ගිරිය සහ මල්වත්ත යන නිකායවල මහ නාහිමිවරුන් හමුවීමයි. (මෙම නිකාය යන වචනයෙහි නිරුක්තිය පිළිබඳව සොයා බැලීම වැදගත් යැයි සිතමි. මක්නිසාද යත් මෙය බෞද්ධ ආගමෙහි ධර්මය වර්ගීකරණයට ලක් කිරීමෙහිදී යොදන ‘නිකාය’ යන වචනය සමග සමානාර්ථ දෙන බවක් දක්නට නොලැබෙන හෙයිනි. දෙමළෙන් අස්ගිරිය පීඨය සහ මල්වත්ත පීඨය යනුවෙන් මෙම දෙපාර්ශ්වය හැඳින්වීමෙහිදී පීඨය යන වචනය භාවිත කෙරෙයි.) ඇත්තෙන්ම මෙය අවාරේ ගිය ශ‍්‍රී පාද වන්දනාවක් ලෙස හැඳින්වීම යුක්ති සහගත යැයි සිතන්නේ මෙය සිදුවිය යුතුව තිබුණේ ජාතිවාදයෙන් මෙම රට දැනට පවතිනවාට වඩා දරුණු ලෙසින් පීඩාවට පත්ව තිබුණු වකවානුවෙහි මෙවැනි උත්සාහයක් නොදැරීම නිසාය. නමුත් පවතින තත්ත්වය තුළ පමා වී හෝ මෙවැනි පියවරක් ගැනීම වැදගත් යැයි සිතන සහ මෙම කටයුත්ත අවංකවම අගය කරන අයගේ අදහස එයින් ප‍්‍රතික්ෂේප නොවේ.

මෙහිදී අවධානයට ලක් කළ යුත්තේ උතුරු පළාත් මහ ඇමැති සහ ඔහුගේ භූමිකාව තුළ මෙය කොතරම් වැදගත් තැනක් ගන්නේ ද යන්නයි. එය දෙවැදෑරුම් යැයි සිතමි. ඒ අනුව උතුරු පළාත් මහ ඇමැති වශයෙන් ඔහුගේ භූමිකාව වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් පළාතක් වශයෙන් උතුරුකරය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දීමත් දීර්ඝ කාලීනව ලංකාවෙහි සමාජය උතුර සහ දකුණ වශයෙන් ධ‍්‍රැවීකරණයට ලක්ව තිබෙන තත්ත්වයකට හේතු වී ඇති ජාතිවාදය පරාජය කිරීමේ ජාතික කාර්යභාරය ඉටු කිරීමට ඇති බාධක ඉවත් කර උතුර ඒ සඳහා තෝතැන්නක් බවට පත් කිරීමයි. මෙම භූමිකාවෙහිදී ඔහුගේ අපොහොසත්කම පොදුවේ උතුරු පළාත් සභාවෙහි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිළිගන්නා කරුණක් බවට පත්ව ඇත. නමුත් එයට වෙනස්ව යමින් උතුරු පළාතේ මහ ඇමැතිවරයා මේ වනවිට මාධ්‍ය තුළත් එනයින් දකුණෙහි සමාජය තුළත් ජනප‍්‍රියව සිටින්නේ දෙමළ ජාතිකවාදයෙහි ගිනි සිළුව ලෙසින්ය. එහෙයින් ඔහුගේ නුවර ගමන දෙමළ ජාතිකවාදී කඳවුරක නායකත්වය සිංහල ජාතිකවාදී කඳවුරක දෘෂ්ටිවාද තලයෙහි නායකත්වය සමග සම්මුඛවීමක් ලෙසින් අර්ථකථනයට ලක් කළ හැකිය. නමුත් මෙය ලංකාවෙහි සමාජය ජාතිවාදහරණය කෙරෙහි සාධනීය බලපෑමක් කරනු ඇතැයි බලාපොරොත්තු සහගත වීමට ඇති ඉඩකඩ අල්පය. එයට වෙනස්ව යමින් ලංකාවෙහි ජාතිකවාදී දේශපාලනය ව්‍යාපෘතිය තවදුරටත් පංගුපේරුවෙන් යුතුව පවත්වා ගෙන යෑමට මතවාදී තලය ස්ථාවර කිරීමට එය හේතු වනු ඇත. එය එසේ වන්නේ සිංහල ජනතාවගේ චින්තනය වෙනස් කිරීමේ යතුර ඇත්තේ මහ නායක හිමිවරු විසින් සංකේතවත් කරන සංඝ සංස්ථාව තුළය යන අදහස දෙමළ සමාජය තුළ තවදුරටත් තහවුරු වීම සහ උතුරු පළාත් මහ ඇමැති යනු දෙමළ දේශපාලනයෙහි තීරකයාය යන අදහස සිංහල සමාජය තුළ තවදුරටත් ස්ථාවර වීම තුළින්ය.

මෙයට වෙනස්ව දැන් අපි වර්තමානයෙහි පාර්ලිමේන්තුවෙහි විපක්ෂ නායක ධුරය දරන ආර්. සම්බන්ධන් මහතාගේ භූමිකාව දෙස අවධානය යොමු කරමු. විපක්ෂ නායක තනතුර යනු පළාත් සභාවක මහ ඇමැති තනතුරට වඩා වෙනස් “ජාතික” වැදගත්කමකින් යුතු තනතුරකි. ඒ අනුව රටෙහි සමස්තයක් වශයෙන් පවතින දේශපාලන දේශපාලනික විෂයන්හිදී මතවාදීමය සහ ක‍්‍රියාකාරීමය මැදිහත්වීම එම ධුරයෙන් අපේක්ෂිත වැදගත් වගකීමක් වෙයි. නමුත් මේ වන විට රටෙහි පවතින සමස්ත රටටම පොදු බැරෑරුම් සමාජ ප‍්‍රශ්න පිළිබඳව විපක්ෂ නායකගේ මැදිහත්වීම ඉතාමත් අල්පය. විධායක ජනාධිපති ක‍්‍රමය, සයිටම් ප‍්‍රශ්නය, බැඳුම්කර සිද්ධිය වැනි කරුණුවලදී විපක්ෂ නායක වශයෙන් දක්වන්නේ ඉතාමත් උදාසීන ආකල්පයක්ය. උමා ඔය ව්‍යාපෘතිය ආශ‍්‍රිතව මතුව ඇති ගැටලූ සහගත ප‍්‍රශ්නය පිළිබඳව ජනතාව හමුවීමට එම පැත්ත පළාතකවත් ගිය බවක ආරංචියක් නැත. දෙමළ සමාජයෙන් විපක්ෂ නායයෙකු පත් වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. නමුත් මෙයට පෙර අප්පාප්පිල්ලෛ අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරය දැරූ අවස්ථාවෙහිදී ඔහුගේ භූමිකාව සමග වර්තමාන වන විපක්ෂනායකගේ ක‍්‍රියාකාරීත්වය සංසන්දනය කිරීම වැදගත්ය. විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට අදාළ අවස්ථාවෙහි එවක විපක්ෂ නායක ධුරය දැරූ අමිර්තලිංගම් මහතා පාර්ලිමේන්තුවෙහිදී පැවැත්වූ කතාව පවා ඉතාමත් වැදගත්ය.

වර්තමාන විපක්ෂ නායක සතුව සාම්ප‍්‍රදායිකව අනෙකුත් විපක්ෂ නායකයන්ට නොපැවරුණු පුළුල් වගකීමක් පැවරී ඇත. එය නම් දෙමළ සමාජයෙහි සැබෑ ප‍්‍රශ්න පිළිබඳවත් දෙමළ සමාජය පිළිබඳව දකුණේ සමාජය තුළ ව්‍යාප්ත කර ඇති ජාතිවාදී අදහස් පරාජය කිරීම සඳහාත් හම්බන්තොට දක්වා ගොස් සිංහල සමාජයෙහි පිරිස් සමග සංවාදයක යෙදීමයි. ඇත්තෙන්ම උතුරු පළාත් මහ ඇමැති නුවර යෑමෙන් සංකේතවත් කළේ මෙම කාර්යභාරයෙහි කොටසකි. මෙම වගකීම කළ පැවරී ඇත්තේ ද කළ හැක්කේ ද වර්තමාන විපක්ෂ නායක විසින් පමණි. මම මෙම කරුණ පුවත්පත් කතුවරයෙකු සමග කෙරුණ කතාබහකදී සඳහන් කළෙමි. ඔහු වර්තමාන විපක්ෂ නායකයා මෙන් ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයට අයත් අයෙකි. ඔහුගේ පිළිතුර වූවේ විපක්ෂ නායක හම්බන්තොටට තබා තම ගමටත් එන්නේ කලාතුරකින් බවයි.

සාමිනාදන් විමල් විසින් 2017 සැප්තැම්බර්_ඔක්තෝබර් සමබිම කලාපයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , ,

Leave a Comment