බලය බෙදීම රටේ හැමෝම පිළිගත්ත අදහසක්

Dec 5th, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන, පුවත්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය
මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

පසුගිය 29 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සජීවි සංවාද මණ්ඩපය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහභාගී වූ අතර එම සාකච්ඡාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවන ලදී. මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී.

ඔබ මෑතකදී ලියනවා ලංකාව දේශපාලන තිරිංගයක සිරවී සිටින බව. මොකක්ද මේ දේශපාලන තිරිංගය?

ලංකාව දේශපාලන තිරිංගයක හිරවීමේ ප්‍රධාන පැතිකඩවල් දෙකක් තිබෙනවා. පළමුවැන්න දැනට බලයේ සිටින සභාග ආණ්ඩුවේ අභ්‍යන්තර විවාදය සහ තරගය නිසා ආණ්ඩුවට දේශපාලන වශයෙන් ඉදිරියට යන්නට නොහැකි වීම. දෙවැනි කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියත් යම් කිසි හිරවීමක තිබෙනවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය සහ අතුරු කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඇති වූ විවාදයේ පළමු අවධිය අවසන් වී තිබෙනවා. මෙම වාර්තාව දුටු ගමන්ම බොහෝ දෙනෙක් කලබල වුණා. ඒ කලබල වීම තුළ දේශපාලනික වශයෙන් නොයෙකුත් හැඟීම්බර ප්‍රතිචාර දැක්වූවා. ඇතැම් අය කල්පනා කළා ඒ හැඟීම්බර ප්‍රතිචාර තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ව්‍යාපාරයට එරෙහිව විශාල මහජන මතයක් ගොඩනගන්නට හැකි බව. නමුත් එය අසාර්ථක වුණා. ඒ නිසා හැඟීම්බර ප්‍රතිචාර දැක් වූ පළමු අදියර අවසන් වුණා. දෙවැනි අදියර වන්නේ මේ පිළිබඳ ඉතාම ගැඹුරින් සාකච්ඡා කරන අවධිය. ඒ සඳහා ආණ්ඩුව නායකත්වය දිය යුතු වුවත් ආණ්ඩුවේ තිබෙන අභ්‍යන්තර අර්බුද නිසා ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය එහි ගුණාත්මක වශයෙන් ඊළඟ අදියරට ගෙනියන්න. 

මෙවැනි අවස්ථාවක මොඩර්න් කුමාරයෙක් අවශ්‍ය බව ඔබ සදහන් කර තිබුණා. 

 මම එයින් අදහස් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ජනතාවට ඒ සඳහා මඟ පෙන්වන්න දේශපාලන සහ බුද්ධිමය නායකත්වය දිය හැකි නිර්භීත නායකයෙක් සිටිය යුතුයි යන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිසංස්කරණය කරනවා කියන්නෙ හුදෙක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන නීතිමය ලියවිල්ලක් සම්මත කර ගැනීමම නෙවෙයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යනු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමක් කියන එක තමයි අපේ අත්දැකීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සිදුවෙන්නෙ ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජ්‍යය ව්‍යුහයන්, ආයතන, සමාජය තුළ තිබෙන ජනවාර්ගික සහ පන්ති කණ්ඩායම් අතර තිබෙන දේශපාලන බලතුලනය යන සියල්ල යළි ව්‍යුහගත කිරීමක්. එහෙම නම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය ප්‍රතිසංස්කරණයයි. රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදුවන විට බොහෝ දෙනෙක් බිය පළ කරනවා. ඒ බියට සාධාරණ හේතු තිබෙනවා. මොකද රාජ්‍යයේ දැනට තිබෙන ස්ථාවරභාවය නැතිවීමෙන් ප්‍රතිසංස්කරණවලින් පසුව රාජ්‍ය කුමන දිසාවකට ගමන් කරයිද යන අවිනිශ්චිතතාවය ඔවුන්ට ඇති වෙනවා. ඒ වගේම ලංකාව වැනි විශේෂයෙන් ජනවාර්ගික වශයෙන් බෙදී ගිය සමාජයක හැම ජනකොටසකටම අපිට මෙයින් සියල්ල නැතිවෙයි කියන බිය ඇතිවෙනවා. අනෙක් කාරණය රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන හැම අවස්ථාවකදිම වාර්ගික වශයෙන් බෙදී තිබෙන සමාජයක එම වාර්ගික ජන කොට්ඨාසවල දේශපාලන අපේක්ෂාවන් අලුත් වෙනවා. විශේෂයෙන්ම සුළු ජනකොටස්වල තමන්ගේ දේශපාලන විමුක්තිය පිළිබඳ සාධනීය අපේක්ෂා ඇතිවීම දකින්න ලැබෙන නිසාම මේ අතර ගැටුම් ඇති වීම අනිවාර්යයි. 

නිදහසින් පසු ලංකාවේ ප්‍රවනතා දෙකක් හදුනා ගන්න පුළුවන්. එක් පැත්තකින් රාජ්‍යයේ මධ්‍යගත ඒකීය ව්‍යුහයන් ශක්තිමත් වීම, 1978 ව්‍යවස්ථාවෙන් එම ක්‍රියාවලිය මුදුන්පත් වුණා. අනෙක් අතින් එයට සමාන්තරව සහ අභියෝගාත්මකව රාජ්‍ය බලය විමධ්‍යගත විය යුතුයි කියන ද්‍රවිඩ ජනවාර්ගික දේශපාලනය තුළින් ආපු තර්කය. මේ දෙක අතර තිබෙන ගැටුම සාධනීය ලෙස සමථයකට පත් කර ගැනීමට ලංකාවේ පාලක පන්තියට නොහැකි වුණා. ඒ වගේම 1972- 78 යන වකවානු දෙකෙහිදීම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇති වුණේ ඉහළ සිට පහළට පටවන ලද ප්‍රතිසංස්කරණ ලෙස මිස ජනතා සහභාගීත්වය ඇතිව සිදුකරන ලද්දක් නෙවෙයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නීතිඥයින්ගේ ඒකාධිකාරයක් බවට පත් වීමත් මෙහි සිදුවුණ තවත් වැරැද්දක්. කෙසේ නමුත් මෙයින් උගත හැකි පාඩමක් තිබෙනවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය දැඩි ලෙස ජනතාවගේ දේශපාලන විඥානය තියුණු කරනවා පමණක් නෙවෙයි දේශපාලන බෙදීම් ඇති කරනවා. එය අපේ රටේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ නරක ගුණයකුත් නෙවෙයි. නමුත් මෙවැනි අවස්ථාවකයි මීට ඉහළින් මේ ප්‍රතිවිරෝධතා සමහන් කිරීමට බුද්ධිමය සහ දේශපාලන අධිෂ්ඨානයක් සහිත නායකත්වයක් අවශ්‍යය. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාව සුදු වර්ගභේදවාදී රාජ්‍යයෙන් වෙනස් වීමෙන් අනතුරුව ලංකාවට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීම පිළිබඳව තියුණු වාදයක් මතු වුණා. ඒ කාලේ අප්‍රිකානු ජාතික සංගමය පවා ඉතා දැඩි ලෙස බෙදිලා තිබුණා. සමහරුන්ට අවශ්‍ය වුණා මධ්‍යගත දකුණු අප්‍රිකාවක්. සමහරුන්ට අවශ්‍ය වුණා ෆෙඩරල් ව්‍යවස්ථාවක්. අප්‍රිකානු ජාතික සංගමයේ වැඩි දෙනා හිටියේ ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීමට සම්පූර්ණ විරුද්ධව. මොකද ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීමෙන් සිදුවෙන්නෙ බලයේ සිටි සුදු වර්ගවාදී වර්ණවාදී බහුතරයට නැවත දේශපාලන බලය දීමක්ය යන්න ඔවුන්ගේ මතය වුණා. නමුත් ඒ අවස්ථාවේදී මැන්ඩෙලාගේ බුද්ධිමය, දේශපාලන සහ චර්යා ධාර්මික නායකත්වය තිබුණා.    

චාර්යා ධාර්මික නායකත්වය කියන කාරණය පැහැදිලි කළොත්?

දේශපාලනික වශයෙන් බෙදීම් තිබෙන අවස්ථාවක ඒ කිසිවක් සමඟ අනන්‍ය නොවී පොදු අභිලාෂයන් ඉටු කර ගත හැකි ඉහළ ‘ප්‍රතිමානීය අපේක්ෂාවන්’ අරඹයා කටයුතු කරන්න මැන්ඩෙලාට හැකි වුණා. යුක්තිය, සාධාරණත්වය, සාමය, සමානත්වය වැනි කාරණා දේශපාලනිකව ප්‍රතිමානීය අපේක්‍ෂාවන් වශයෙන් සලකනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලිකම ලක්ෂණයක් විය යුත්තේ එය ප්‍රතිමානීය මූලධර්මවලින් මඟ පෙන්වනු ලැබූවක් වීම. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලිකම ශක්තිය එයයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය තුළ තවමත් මේ කාරණය මතු වෙලා නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලිය තුළ ඒ සම්බන්ධයෙන් බිය පළ කරන හැම කෙනෙකුටම ප්‍රතිචාර දැක්විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂණ (Constitutional Safeguards) සැපයීමක් කළ හැකියි. උදාහරණයක් ලෙස ඇතැම් අය කියනවා බලය විමධ්‍යගත කිරීම යනු වෙනම රාජ්‍යයක් ඉල්ලන වඳුරන්ට ඉනිමන් තැනීමක් කියල. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට එල්ල වන තද බල අභියෝගයක්. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ, දේශපාලන විද්‍යා න්‍යායන්හි මේ සඳහා සලකා බැලිය හැකි විකල්ප තිබෙනවා. එවැනි ආරක්ෂණයකට උදාහරණයක් ලෙස ගත්තොත්, ද්‍රවිඩ ජාතික සන්ධානය ‘රට නොබෙදිය හැකි නොබෙදුණු රටක්’ යනුවෙන් වචන මාලාවක් ගෙන ඒමට උත්සාහ කළා. අද මේ පිළිබඳ විවාදයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය අතරමැදි සමාදානමය රාමුවක් යෝජනා කර තිබෙනවා. නමුත් එය අවශ්‍ය ප්‍රමාණයට අගය කරන්න සිංහල ජාතිකවාදී බලවේගවලටත් දේශපාලන බලවේගවලටත් බැරි වෙලා තිබෙනවා. නමුත් මම කියන්නා වූ දේශපාලන නායකත්වයට මෙය පැහැදිලි කිරීමේ හැකියාව තිබිය යුතුයි.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද වන තෙක් අභියෝගයට ලක් වීම අතින් අවම තත්ත්වයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. මෙය ඔබ දකින්නෙ කොහොමද?

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළේ ආචාර්ය බී. ආර්. අම්බෙඞ්කාර්. ජවහල්ලාල් නේරු දකිනවා මේ ක්‍රියාවලිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉතා විශාල බෙදීම් තිබෙන බව. ඒ නිසාම ඔහු තේරුම් ගත්තා මේ සමඟ ඉදිරියට යන්න නම් අතරමැද සමාදානයන් රැසක් ඇති කර ගත යුතු බව. ලෝකයේ කුමන රටක හෝ වේවා ව්‍යවස්ථාව වශයෙන් අවසානයේ සකස් වෙන්නේ ආරම්භයේ සිතූ ආකාරයේ යමක්ම නොවෙයි. හැමදෙනාටම පිළිගත හැකි, අනාගතය දෙස ඉතාම සාධනීය ලෙස බලන, අතරමැදි සමාදානයන් ඒ තුළ තිබෙන්නෙ. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලියවුණු එක්තරා පොතක ‘ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අතරමැදි සමාදාන අහුරක්’ (Bundle of Compromises) යනුවෙන් සඳහන්ව තිබුණා. ඕනෑම ව්‍යවස්ථාවක් අතරමැදි සමාදාන අහුරක් වෙනවා. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය ආදර්ශයන් ලෙස සැලකුවේ ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්. ඉන්දියාවට ෆෙඩරල් ක්‍රමයක් අත්‍යවශ්‍ය වුණා. අනෙක් කාරණය ඉන්දියාවට ප්‍රශ්නයක් තිබුණා පකිස්තානය දෙකඩ වීමත් සමඟ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව. එතැනදී ඉන්දියාවට අවශ්‍ය වුණා අතරමැදි සමාදානයකට එන්න. ඒ අනුව ඉන්දියාව ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළා ෆෙඩරල් යන්න සඳහන් නොකරම. ඔවුන් තීරණ කළා ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍ය වුනත් එය එලෙසින් ප්‍රකාශ නොකර ඉන්න. ඒ වගේම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 352, 353, 354 ආදී වගන්ති විශාල ප්‍රමාණයක් ඇතුළත් කර මධ්‍යම රජයට විශාල වශයෙන් බලතල ලබා දුන්නා. ඒ අනුව ‘ඉන්දියාව ෆෙඩරල් ලක්ෂණ සහිත ඒකීය රාජ්‍යයක් වගේම ඒකීය ලක්ෂණ සහිත ෆෙඩරල් රාජ්‍යයකි’ කියලත් කියන්න පුළුවන්. ඉන්දියාවේ අසමමිතික බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමයක් තිබෙන්නෙ. එහිදි විශේෂ ලක්ෂණ සලකා බලා ඇතැම් ප්‍රාන්තවලට වැඩි බලතල ලබා දී තිබෙනවා. සාම්ප්‍රදායික සමානාත්මතාවය විසින් අවාසි ලැබූ ජන කොටස්වලට ඉහළට ඒමට සමාන අවස්ථාවක් ලබා දීමයි මෙයින් සිදුකළේ. 

මගේ ඉන්දීය මිත්‍රයින් මගෙන් නිතර අහන ප්‍රශ්නයක් ඇයි ලංකාව ෆෙඩරල්වාදයට මේතරම් බය කියල. නමුත් ඔවුන් කියන්නෙ එය තමන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බව. ඉන්දියානු පුරවැසියන්ගේ දෛනික ජීවිතයේ ලක්ෂණයක් විවිධත්වය පිළිගනිමින් එය අගය කිරීම. නමුත් ලංකාවේ හැම කෙනෙක් හැදී වැඩෙන්නෙ ඒක සංස්කෘතික මිනිසුන් ලෙස. අපි භාෂාමය, වාර්ගික, සංස්කෘතිකමය විවිධත්වය පිළිගන්න බයක් තිබෙනවා. මේ ගැටලුව ආමන්ත්‍රණය කිරීම අපේ රටේ බුද්ධිමය නායකත්වයටත් දේශපාලන නායකත්වයටත් තිබෙන කාරණයක්. නමුත් අපේ රටේ දේශපාලන නායකත්වය කරන්නෙ මේ ‘ඒකත්වය’ දේශපාලන අවියක් වශයෙන් යොදා ගැනීම. මේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ අතීතයට නොවෙයි එය අනාගතයට වගේම මෙයින් පරදින්නෝ නැත සියල්ල දිනන්නෝය’ යන්න ඒත්තු ගැන්විය හැකි දේශපාලන නායකත්වයක් තවම අපිට ගොඩනැගිලා නැහැ. 

ජනගහන වර්ධනය වීමත් සමඟ ජනවාර්ගිකව තමන්ගේම කුලකයන් හදා ගැනීම දකින්න තිබෙනවා.  මෙහි මූලික ගැටලුව වෙන්නෙ ජනවාර්ගිකව කොටු වීමේ තර්ජනයකට අපි මුහුණ දී සිටීම. ඔබ කොහොමද මෙය දකින්නේ? 

වාර්ගික දූපත් ඇති වීම යුද්ධය නිසා සිදුවූ දෙයක්. සංහිඳියා ක්‍රියාමාර්ගයක තිබිය යුතු ප්‍රධානම දෙයක් ජනවාර්ගික දූපත්වලින් ඔබ්බට ජනතාවගේ විඥානය පුළුල් කිරීම. ඒත් එයට සාර්ථක වැඩපිළිවෙළක් නැහැ. නමුත් දේශපාලන සහ බුද්ධිමය නායකත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විවාදය ඒ සඳහා හොඳ අවස්ථාවක් කර ගත හැකියි. අලුත් දේශපාලන පරිකල්පනයක් තුළින් ජනතාවගේ දේශපාලන පරිකල්පනයන් අලුත් කළ යුතුයි. ජනවාර්ගික දූපත් මානසිකත්වය ඉන්දියාවේ ඉතාම තදින් තිබෙනවා. ඉන්දියාවේ සිවිල් යුද්ධයක් නැති වුනත් එහි ජනවාර්ගික දූපත් මානසිකත්වය ඇති කිරීම පාලක පක්‍ෂයේත් උවමනාවක්. හැම මැතිවරණයකදීම ඉන්දියාවේ පාලක පක්‍ෂය එය සිදු කරනවා. උත්තර ප්‍රදේශයේ රාජ්‍ය මැතිවරණයේදී පාලක පක්‍ෂයත් එය පාවිච්චි කළා. මුස්ලිම් හින්දු අය අතර භීතිය ඇති කරනවා.  ගුජරාත්වල සිදුවෙන්නෙත් එයමයි. දේශපාලන විද්‍යාඥයෝ ඉන්දියාවේ මැතිවරණ අධ්‍යයනය කරපු අය දිගටම පෙන්වා දී තිබෙනවා දේශපාලන පක්‍ෂ ජනවාර්ගික ධ්‍රැවීකරණය උවමනාවෙන් කරන බව. අපේ රටේ දේශපාලනඥයන් මුස්ලිම් ජනතාව තුළ විශාල භීතියක් ඇති කර තිබෙනවා. ගිංතොට ඇතිවුණු සිද්ධිය සහ ඊට සම්බන්ධ වුණ දේශපාලනඥයෝ කවුද කියා සොයා බැලීමේදී පේනවා එයින් දේශපාලනඥයෝ ප්‍රතිලාභ ලබන බව. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙන් වාසි ලැබීමට සමහර දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයෝ ජනවාර්ගික ධ්‍රැවීකරණය උවමනාවෙනුත් කරනවා. ඒ නිසා එය අපි හිතනවට වඩා සංකීර්ණයි.

ජනවාර්ගික ධ්‍රැවීකරණය මැතිවරණයේදී අවශ්‍ය ඉලක්කයට යන්න දේශපාලන වශයෙන් පලංචියක් වශයෙන් යොදා ගන්නවා. නමුත් පසුව පලංචිය අස් කරන්නේ නැහැ.  එහෙම නම් අපිට තිබෙන සේෆ්ගාඞ්ස් මොනවද?

පසුගිය කාලය තුළ ලංකාවේ දේශපාලනයේ බොහෝ දේවල් වෙනස්  වුනත් වෙනස් නොවී තිබෙන දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව. එය ලංකාවේ පසුබෑම් විශාල ප්‍රමාණයක් මධ්‍යයේ මම දකින සාධනීය දෙයක්. නමුත් අපේ රටේ දේශපාලන පක්‍ෂ ක්‍රමයේ විශාල ගැටලුවක් තිබෙනවා. සිවිල් යුද්ධ කාලය තුළ දේශපාලන පක්‍ෂවල ජනවාර්ගීකරණය ඉතා තදින් සිදු වුණා. ‘නීල් ඩිවොක්ටා’ කියන දේශපාලන විද්‍යාඥයා පොතක් ලිව්වා Ethnic Outbidding කියන න්‍යාය පාවිච්චි කරලා ලංකාවේ දේශපාලනය හඳුන්වන්න. අපි 1959 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇති කළාම එවිට විරුද්ධ පක්‍ෂය හැටියට සිටි එජාපය මේකට සිංහල ජනතාවගේ භීතිය මොබිලයිස් කරලා විරෝධය දක්වල කඩාකප්පල් කරනවා. 1965දී සිදුවුණේත් එදා විරුද්ධ වුණු එජාපය බලයට පත්වෙලා අර ද්‍රවිඩ නායකත්වය සමගම ගිවිසුමක් ඇති කරගෙන යම්කිසි විසඳුමක් ක්‍රියාත්මක කරන්න යනකොට 1959 මේකට සහය දුන්න ශ්‍රීලනිපය විරුද්ධ වීම.  ඉන්පසුව දිගටම සිදුවුනෙත් දැන්  සිද්ධ  වෙන්නේත්  මීට සමාන ක්‍රියාවලියක්. මේක තමයි Ethnic Outbidding කියන්නේ. ජනවාර්ගික මෙහෙයුමක් තිබෙන පක්‍ෂයක් අනෙක් පක්‍ෂයට ඉඩ දෙන්නේ නැහැ. මොකද තාවකාලික මැතිවරණ ප්‍රතිලාභ නිසා දීර්ඝකාලීනව හිතන්නේ නැහැ. ඉන්දියාවේ මෙය ඉතා තදින් සිදු වෙනවා. දේශපාලනඥයා තවදුරටත් ඡන්දදායකයා දෙස බලන්නෙ පුරවැසියෙක් ලෙස නෙවෙයි වාර්ගික ඡන්දයක් ලෙස. අපි මෙයින් ජයගන්නෙ කොහොමද කියල සිතිය යුතුයි. නමුත් මං හිතන්නේ ලංකාවේ එක පැත්තකින් සාධනීය වර්ධනයනුත් සිදු වී තිබෙනවා.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා 13 වැනි සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවට පසුව ලංකාවේ දේශපාලනයේ ඉතාම වැදගත් නමුත් තවමත් බොහෝ දෙනා පිළිගෙන නැති ගුණාත්මක වර්ධනයන් සිදු වුණා. එනම් මධ්‍යමවාදී වෙනව වෙනුවට මොඩරේට් නැෂනලිස්ම් නැතිනම් අනෙකුත් සුළු ජාතික වාර්ගික කණ්ඩායම් සමග සහයෝගයෙන් සම්මුතියෙන් වැඩ කළ යුතුයි කියන මධ්‍යස්තවාදී දිශාවට රට ගමන් කළා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම අසූ ගණන්වලින් පසුව මේ ස්ථාවරයන්ට පැමිණියා වුනත් අන්තවාදී ජාතිවාදී ධජය එසෙව්වේ කුඩා දේශපාලන පක්‍ෂ. ජවිපෙ එක්තරා දුරකට එය කළා. ජාතික හෙළ උරුමයට පාර්ලිමේන්තුවේ ඡන්ද දිනන්න ප්‍රධානම මෙවලම වුණේ ජාතිකවාදී ධජය එසවීම. නමුත් හෙළ උරුමයත් ජවිපෙත් පළාත් සභා ක්‍රමය පිළිගත්තා. අද ලංකාවේ ප්‍රධාන සහ කුඩා දේශපාලන පක්‍ෂ බලය විමධ්‍යගත කිරීම, 13 වන සංශෝධනය පළාත් සභා ක්‍රමය පිළිගන්නවා. පහුගිය කාලේ පළාත් සභාවලට වැඩි බලතල ලබා දිය යුතුයි, ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කළ යුතුයි, ප්‍රධාන අමාත්‍යවරුන්ගේ බලතල වැඩි කළ යුතුයි කිව්වේ කවුද? දැනට ඉන්න සිංහල ප්‍රධාන අමාත්‍යවරු ඔය යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභාවලට ගිහිල්ලා. දෙමළ මුස්ලිම් අයම නෙවෙයි එය කළේ. දේශපාලන පක්‍ෂවල ජාතිකවාදී දේශපාලනයේ සෑහෙන දුරට මැදහත් ස්ථාවරයකට ඇවිත් තිබෙනවා. ඒ අතරෙම වෙන රටවල වගේම ලංකාවේ අන්ත ජාතිකවාදය තම දේශපාලන ධජය බවට පත් කර ගන්නා කුඩා කණ්ඩායම්ද තිබෙනවා. ඒ කුඩා කණ්ඩායම්වලට සමහර වෙලාවට මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් ලැබෙනවා. බොදුබල සේනාව කියන්නෙ එහෙම එකක්. බොදුබල සේනාව ඡන්දෙ ඉල්ලුවම ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයක් ගත්තෙ ඒකයි. ලංකාවේ ඡන්දදායකයා ඒ වගේ අන්තවාදී බලවේගවලට යන්නේ නැහැ. දැන් අපි මැතිවරණ ප්‍රතිඵල බැරෑරුම් විදිහට විශ්ලේෂණය කළොත් දකින්න පුළුවන් ලංකාවේ දේශපාලනය ඉතාම සාධනීයව වර්ධනය වෙමින් තිබෙන බව. මම කියන්නා වූ දේශපාලන නායකත්වය මේවා සඳහන් කරගෙන නිර්භීතව ඊළඟ පියවර තැබිය යුතුයි. 

දේශපාලන තිරිංගයක් කඩන්න නායකත්වය දෙන්න ඕන දේශපාලන පක්‍ෂවල නායකයින් පමණක්ද?  වෙනස් පුළුල් නායකත්වයක් ගැන අපි කතා කළ යුතුද?

ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, යුක්තිය, සාමය යන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අපේ පහන් සිළුව නිවෙන්න දෙන්න නරකයි. ඒ පහන් සිළුව දල්වා නොනැවතී පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ සමාජ කණ්ඩායම්වලට විතරයි. දේශපාලන පක්‍ෂවලට නෙමෙයි. පහුගිය කාලයේ අදහස් අතින් නායකත්වය දීමට, අදහස් නිර්මාණය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සාමය පිළිබඳ කතිකාව නිර්මාණය කිරීමට සිවිල් සමාජ බලවේග දායක වුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන ක්‍රමයක දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට නම් අපි එයට නීති පැනවිය යුතුයි. එය රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කළ යුතුයි. එහිදී කතෘකයා වන්නේ දේශපාලන පක්‍ෂ මිස වෙන කිසිවෙකු නෙවෙයි. දේශපාලන ප්‍රතිසංස්කරණවල කතෘකයා වීමට සිවිල් සමාජයට බැහැ. එය දේශපාලන පක්‍ෂවලට පැවරෙන සුවිශේෂ කාර්යභාරයක්. ටීඑන්ඒ, ජවිපෙ, මුස්ලිම් කොංග්‍රස් වගේ පක්‍ෂ බොහොමයකට එකඟ විය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඉදිරියට ගෙන ඒමේ හැකියාවක් ඇති වෙලා තිබුණා. නමුත් අපේ දේශපාලන නායකත්වයට එයින් ප්‍රයෝජනය ගන්න නොහැකි වී තිබෙනවා. මොකද දේශපාලන බලවේගවල තුලනය ඉතා වේගයෙන් වෙනස් වෙමින් යනවා. නමුත් මොහොතක් අතින් ගිලිහුණොත් ඒ මොහොත නැවත ගන්න එක හරි දුෂ්කරයි.

ලංකාවේ පරිවර්තනීය න්‍යාය පත්‍රයකට අවශ්‍ය මූලධර්ම වන ප්‍රජාතන්ත්‍රවාදය, ජනවාර්ගික සාමය, රාජ්‍ය ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය යන දේවල් තිබෙනවා. අපි ජීවත් වෙන්නෙ පශ්චාත් නූතන ලෝකයක. පශ්චාත් නූතන ලෝකයක තිබෙන එක ලක්‍ෂණයක්, ශක්තිමත් ඒකාග්‍ර වූ සමාජ ව්‍යාපාරයක් දකින්න නොහැකි වීම. සමාජ ව්‍යාපාර බහුලයි වගේම සමාජ විමුක්තිය පිළිබඳ අපේක්‍ෂාත් බහුලයි. ඒ අපේක්‍ෂා එක ව්‍යාපාරයක් තුළට ගෙනෙන්න නොහැකියි. වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ තිබෙන කතිකාව දිගටම පවතිනවා. නමුත් ඒ කතිකාවට පමණක් සියල්ල වෙනස් කරන්න බැහැ. අපට තිබෙන විශාලම අභියෝගය මෙයයි. දේශපාලන පරිවර්තනයේ සහ වෙනසේ දේශපාලන කතෘකයා විය යුත්තේ දේශපාලන පක්‍ෂ. 

මෙවැනි වාතාවරණයක සාමාන්‍ය පුද්ගලයෙකුගේ කාර්ය භාරය කුමක් විය යුතුද? 

එයට පිළිතුරු දීම අපහසුයි. අපේ රටේ පුරවැසියන්ගේ දේශපාලන විඥානය ඉතා ඉහළයි. අපි සාමාන්‍ය පුද්ගලයෙකු සමඟ කතා කළත් පේනවා ඔවුන් දේශපාලනය පිළිබඳ අවධානයකින් සිටින බව. ඔවුන්ගේ දේශපාලන මත සමග මම එකඟ නොවුණත් ඔවුන් දේශපාලන වශයෙන් අතිශයින් අවදියෙන් සිටිනවා. මැතිවරණ සමයකදී වෘත්තීය වශයෙන් දේශපාලන විද්‍යාඥයෙක් වන මට වඩා ලංකාවේ පුරවැසියෝ වැඩි දෙනා දේශපාලන අනාවැකි කීමට දක්‍ෂයි. අපි වෘත්තීය වශයෙන් දේශපාලනය හදාරණ අය හැටියට අපේ මනස ටිකක් වෙනස් සහ න්‍යායන් නිසා අවුල් වී තිබෙනවා. පුරවැසියාගේ එවැනි තත්ත්වයක් නොමැති නිසා එක්තරා ආකාරයක විඥානයේ තියුණු භාවයකුත් තිබෙනවා. ඒ නිසා මම ඔවුන් ගැන ඒ තරම් අසුභවාදී වෙන්නෙත් නැහැ. නරුමවාදී වෙන්නෙත් නැහැ. ■  

2017.12.03 රාවය සමබිම අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි. 

Recent Posts

Tags: , ,

Leave a Comment