ඇමති වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් වීම

Dec 6th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, Today Lead News, ආර්ථික, දේශපාලන, පුවත්, මානව හිමිකම්

විදේශ අමාත්‍ය රවී කරුණානායක පසුගිය දා ඉල්ලා අස්විය. දූෂණයේ යෙදුනවුන්ට දඬුවම් කිරීමට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව එම පොරොන්දු ඉටු නොකරනවාට අමතරව තවදුරටත් දූෂණයේ යෙදීම සම්බන්ධයෙන් බොහෝ විවේචන ඇතිවිය.

ලාංකේය සමාජයේ සාම්ප‍්‍රදායික වශයෙන් ඉහළ බල පරතරයක් දැකිය හැක. බල පරතරය යනු බලය පාවිච්චි කිරීමේ හැකියාව සමාජයේ කොටස් අතර අසමානව විහිදී ඇති ප‍්‍රමාණය අඩු බලයක් සහිත පුද්ගලයන් පිළිගන්නා තරමයි. පසුගිය පාලන යුගයේදී රාජ්‍යත්වයට සමාන තත්ත්වයක් ජනාධිපතිවරයාට භුක්ති විඳීමට එක් හේතුවක් එය විය. එහෙත් අධිකාරිවාදී පාලන විලාසයත් භේදකාරී ජාතික ප‍්‍රතිපත්තියත් දූෂණයත් එම පාලනය බිඳ වැටීමට හේතු විය.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායන් ඇතිකිරීමේ පොරොන්දුවත් දූෂිතයන්ට දඬුවම් කිරීමේ පොරොන්දුවත් සමඟය. දූෂිතයන්ට සහ ඝාතකයන්ට එරෙහිව නඩු පැවරීමේ ක‍්‍රියාවලිය ඉදිරියට යන්නේ ඉතා සෙමෙන් මෙරටට ආවේණික ක‍්‍රියාවලිය ඔස්සේය. ඒ පිළිබඳව ජනතා අප‍්‍රසාදය පළ වී ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ ක‍්‍රියාවලිය ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරයි. එනමුත් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය පිළිබඳව ජනතාවගේ පැහැදීමක් නොමැත. මේ ගැන විමසීමට පහත සඳහන් උදාහරණය මගින් ප‍්‍රවේශයක් ගත හැකිය. බැඳුම්කර පිළිබඳව වන ජනාධිපති කොමිසමේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා (DL) රවී කරුණානායක (RK) බොරු කියන බව කියා සිටියේය. අගෝස්තු 6 වන දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ සංවාදයේ පරිවර්තනය පහත දැක්වේ.

DL: GTL සමාගම මෙම මිලදී ගැනීම සඳහා සාකච්ඡා කළ බව ඔබ දන්නේද?
RK: මම සමාගම නොවේ. ඒ ගැන මා කෙසේ දැනගන්නද?
DL: ඔබේ බිරිඳ ඒ ගැන ඔබට කිවුවාද?
RK: නැහැ
DL: ඔවුන් ඔබට ඒ ගැන කිවුවාද? මම අහන්නේ සරල ප‍්‍රශ්නයක්.
RK: ඔවුන් එය මිලදී ගත් බව මට පසුව පැවසුවා.
DL: ඒ මිලදී ගැනීමෙන් පසුවයි.
RK: ඔවුන්ට මට ඒ ගැන කීමට අවශ්‍යතාවයක් නැහැ. මන්ද සමාගම පාලනය කරන්නේ ඔවුන්. මම නොවෙයි.
DL: බොරු කීමට සීමාවක් තිබෙනවා.
RK: මම ඒ ගැන විරෝධය ප‍්‍රකාශ කරනවා. මම සාක්කි දීමට ප‍්‍රථම දිවුරුම් දී තිබෙනවා. ඔබ දිවුරුම් දී නැහැ.

රජයේ ප‍්‍රබල ඇමතිවරයකු රජයේ නිලධාරියකු විසින් මේ අන්දමින් ප‍්‍රශ්න කිරීම ඒකාන්තයෙන්ම දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයකි. මෙම නිලධාරීන් ගැන කෙබඳු විවේචන තිබුණත් ඔවුන් ආරක්ෂා කළ යුතුය. නිලධාරීන් අධිකාරිවාදී පාලනතන්ත‍්‍රයක බත්බැලයන් ලෙස කටයුතු කළ යුගය අවසන් වී ඇත. මෙහි ප‍්‍රසංශාව ආණ්ඩුවට හිමිවිය යුතු අතර අවාසනාවන්ත ලෙස මෙම ක‍්‍රියාවලියේ අවාසිය හිමිවන්නේ ද ආණ්ඩුවටයි.

ආණ්ඩුවේ ඇමතිවරුන් සහ දේශපාලනඥයන් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයේ ඇමතුම් ලබාගත් පිටු 8600 ක් දින දෙකක් ඇතුළතදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කළේ කෙසේදැයි පුවත්පත් සාකච්ඡාවලදී ප‍්‍රශ්න කරන ලදී. කොමිසම ඉදිරියේ මෙයට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙසේ කීය. “කෝදාගොඩට ඇලෝසියස්ගේ දුරකථන පණිවුඩ ප‍්‍රබන්ධ කළ නොහැකියි. මෙය පැහැදිලි කළ යුතුයි. මක්නිසාද යත් සමහර නූගත් පුද්ගලයන් ඔවුන්ගේ උගත්කමේ ප‍්‍රමාණය පෙන්වමින් ව්‍යාජ චෝදනා කරන නිසයි.” (2017 අගෝස්තු 12 ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක පරිවර්තනය)

මෙම හැසිරීම පසුගිය ආණ්ඩු කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හැසිරීම සමඟ සංසන්දනය කළ හැකිය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතකදී මෙසේ කීය. “අද බොහෝ විමර්ශන සිදු වෙනවා. ඇමතිවරුන් නීතිපති ඉදිරියට ගෙනවිත් ප‍්‍රශ්න කරනවා. මේවා මෙයට කලින් සිදුවුණාද? ඒ දිනවල නීතිපති ජනාධිපතිගේ අතවැසියෙකු පමණයි.” (2017 අගෝස්තු 7 ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක පරිවර්තනය) සියලූ අකටයුතුකම් මස්තකප‍්‍රාප්ත වූ පසුගිය ආණ්ඩු කාලයේ පමණක් නොව එයට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලවලදී ද සිටි සමහර නීතිපතිවරුන්ගේ චර්යාව පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකි බව අප විසින් මතක තබා ගත යුතුය. මෙම සියලු පරිවර්තන රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතේ ඉදිරියට යන ලක්ෂණයි. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුවේ සාමාජිකයන්ට එරෙහි සමහර නඩුවලදී මෙම කාර්යක්ෂමතාවය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැක්වීමට අසමත්වීම බලධාරීන් විසින් පැහැදිලි කර නොමැත.

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම මෑත අතීතයේ සිදුවූ තෙවැනි ඉල්ලා අස්වීමයි. පළමුවැන්න ජේ. ආර්. ජයවර්ධන යුගයේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සිදුවූ ගාමිණී ජයසූරියගේ ඉල්ලා අස්වීමයි. ඉන්පසුව මෑතකදී ඇවන්ට් ගාර්ඞ් සම්බන්ධ චෝදනා නිසා තිලක් මාරපන ඉල්ලා අස්විය. මේ පූර්වාදර්ශ ඇතිවීම ඉතාමත් සුදුසු වන අතර ඒවා පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක ලක්ෂණ පෙන්වයි. රට මේ අංශයෙන් වියපත් වෙමින් තිබෙන අතර මෙම ඉදිරි ගමන අප සියලු දෙනා විසින්ම ආරක්ෂා කර ගත යුතුය.

අගමැතිවරයා පසුගියදා ප‍්‍රසිද්ධ රැස්වීමකදී ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩු පිළිබඳව කතා කරමින් මෙසේ කීය. මෙම පාඩු සිදුවන විට ලංකාදීප පුවත්පත කළේ කුමක්ද? ඩේලි මිරර් පුවත්පත් කළේ කුමක්ද? පසුගිය ආණ්ඩු කාලයේ මා මෙම පාඩු පිළිබඳව අනාවරණය කළ විට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ඬේලි මිරර් පුවත්පත මට කියා සිටියා. ශ‍්‍රී ලංකාවේ ජන මාධ්‍යවලට යම් යම් දේ සිදුවුණු බව කීමට සදාචාරාත්මක අයිතියක් නොමැත. ඒ මන්ද? ඔවුන් සියලූ දෙනාම පසුගිය ආණ්ඩුවට කඬේ ගිය අයයි. ලංකාදීප, දිවයින, අද, දිනමිණ, සිළුමිණ – මේ සියලූ පුවත්පත් මෙයට වැරදිකරුවෝයි. (2017 අගෝස්තු 7 වන දින ඩේලි මිරර් පුවතක සිංහල අනුවාදය) ලංකාදීප සහ ඩේලි මිරර් පුවත්පත්වල අයිතිය ඇත්තේ අගමැතිවරයාගේ මවගේ බාල සහෝදරයාටයි. එමෙන්ම ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයාගේ පියාටයි.

පසුගිය පාලන සමයේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ වරෙක ඬේලි මිරර් පුවත්පතේ කතුවරියට දුරකථනයෙන් තර්ජනය කළේය. එමෙන්ම ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වූ ප්‍රෙඞ්රිකා ජෑන්ස්ට දුරකථනයෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදුණි. ජෑන්ස් පසුව ජීවිතාරක්ෂාව පතා විදේශගත වූවාය. රාවය හැර අනෙකුත් සියලූම පුවත්පත් මේ අවස්ථාවේදී රාජපක්ෂ විවේචනය කිරීමෙන් වැළකී සිටියහ. එබැවින් අගමැතිවරයාගේ විවේචනය ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුව ඇතුළේ පවතියි.

එනමුත් ජනතාව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය පිළිබඳව සෑහීමකට පත්වී නොමැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ රටේ ඇතිවී පරිණාමයට පත්වුවක් නොවන අතර 1931 දී එය අප වෙත ප‍්‍රදානය කරන ලදී. අපගේ රටේ පවතින සාමූහිකවාදී සංස්කෘතික අංග අනුව තම කණ්ඩායමෙන් පිටත අයටත් කණ්ඩායමේ අයගේ තත්ත්වයට සමාන තත්ත්වයක් පිරිනැමීමට අප කැමැති නැත. වඩාත් වැදගත් වන්නේ සියලූම දෙනාට යුක්තිය සහ සාධාරණත්වය නොවේ. සිය කණ්ඩායමේ අයගේ යහපත සැලසීමයි. අප රටේ සිංහල බෞද්ධ නොවන රාජ්‍ය නායකයන් නොමැත්තේ එබැවිනි. ගොවිගම කුලයෙන් පිටත අපට සිටියේ එකම ජන නායකයෙකි. මෙම තත්ත්වය බහු වාර්ගික අනන්‍යතාවයක් පිළිගන්නා ඉන්දියාවේ තත්ත්වය සමඟ සැසඳිය හැක. එබැවින් මෙම තත්ත්වය යටතේ ආණ්ඩුව සිය අධිකාරිත්වය අවම කරන විට විපක්ෂය වඩාත් ආක‍්‍රමණශීලි වේ. මක්නිසාද යත් විපක්ෂයේ ප‍්‍රමුඛතාවයන් අනුව වඩාත් වැදගත් වන්නේ ජාතික අවශ්‍යතාවයන් නොව ඔවුන්ගේ කණ්ඩායමේ එනම් පක්ෂයේ අවශ්‍යතාවයන් වීමයි. ප‍්‍රධාන පක්ෂ දෙකේ එක්සත් ආණ්ඩුවක් තිබියදී පවා, ආණ්ඩුව සිය ප‍්‍රමුඛතාවයන්ගේ ඉහළම අංගයක් වන නව ව්‍යවස්ථාවක් සඳහා විශාල වැඩ කොටසක් කර තිබියදී, පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකිව ඇත්තේ එබැවිනි. මේනිසා ජනතාව මෙම ප‍්‍රජාතාන්ත‍්‍රික මොඩලය ක‍්‍රියාත්මක නොවන බවට හැඟීමක් ඇතිකරගත හැක. භයානක වූ අතුරු ප‍්‍රතිඵලය වන්නේ මේ වෙනුවට අධිකාරිවාදී ආණ්ඩුවක් සඳහා ඔවුන්ගේ කැමැත්ත ඇතිවෙතොත්ය.

අපි අධිකාරිත්වයේ තිත්ත රසය විඳ ඇත්තෙමු. මෙවැනි සංස්කෘතික රාමුවක් තුළ ජනහිතකාමී ඒකාධිපතියන් ඇතිවිය නොහැකිය. එබැවින් අප සියලූ දෙනා විසින්ම අනුක‍්‍රමයෙන් පරිණාමයට පත්වෙමින් යන පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය. මේ ක‍්‍රියාවලියේදී ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවන්හිදී සිය ඇඟිලි අතරින් දේවල් බේරී යාමට ඉඩ නොදී විචක්ෂණ ලෙස කටයුතු කළ යුතුය.

2017 සැප්තැම්බර්_ඔක්තෝබර් සමබිම කලාපයට හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment