බලය බෙදන මූලධර්මය තාම අපේ මිනිස්සු තේරුම් අරන් නැහැ

Dec 11th, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, EDITOR'S CHOICE, LEAD NEWS, ආර්ථික, දේශපාලන, පුවත්, මානව හිමිකම්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

දෙසැම්බර් මස 06 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සාකච්ඡා මණ්ඩපය සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගී විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු ද වශයෙන් අත්දැකීම් බහුල ඔහු සමග සාකච්ඡාව මෙහෙය වූයේ අජිත් පැරකුම් ජයසිංහ වන අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.

පශ්චාත් ගැටුම් අවදියක ස්වභාවික අපදා සහ මිනිසා විසින් නිර්මාණය කරනු ලබන අපදා කළමනාකරණය කිරීමේ වෙනස්කම් මොනවද?

බොහෝ වෙලාවට ස්වභාවික අපදා ඇති කිරීමේදීත් මුල් වී තිබෙන්නෙ මිනිසා. උදාහරණයක් ලෙස ගං ඉවුරු කඩා වැටීම, නාය යෑම් වගේ දේවල් සිදුවෙන්නෙ නිකන්ම නෙවෙයි. මිනිස්සු කඳු බෑවුම් කපලා අල, දුම්කොළ වැනි මොනයම් හෝ දෙයක් වගා කිරීම් සිදුකරනවා නම් අනිවාර්යෙන්ම දිය සීරාව පහළට ගලා ගෙන ගිහින් දිගු කාලයක් තිස්සේ මෙය සිදුවීමෙන් නාය යෑම් අපේක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම මිනිසා විසින් මිනිසාට එරෙහිව සිදු කරන යුද්ධ වැනි දේවල් ගත් විට ඒවා සම්බන්ධයෙන් බොහෝ වෙලාවට පූරෝකතනයක් කළ හැකියි. ලංකාව ගත්තොත් එක ආණඩුවක් නෙවෙයි හැම ආණ්ඩුවක් වගේම යම් යම් ජාතික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති ආදිය සම්බන්ධයෙන් ගත් පියවර සහ ඒවා සමනය කිරීමට ගත් පියවරයන්ට එරෙහිව දේශපාලන කණ්ඩායම්වල මැදිහත් වීම් තුළින්ම ප්‍රශ්න ඇති කර ගෙන තිබෙනවා. ලංකාවේ අපි දිර්ඝ කාලයක් අත්දැකපු ප්‍රශ්නය විසඳන්න එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා යම් උත්සාහයක් ගත්තා. නමුත් දේශපාලන පක්ෂ, මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාර සහ ඇතැම් වෙලාවට පූජක පක්ෂය විසින් සිදුකළ මැදිහත් වීම් හේතුවෙන් ඒ උත්සාහයන් වැළකුණා. දේශපාලනික වශයෙන් රටේ තිබුණ අසමතුලිත තත්ත්වයන් සම්බන්ධයෙන් බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මැතිතුමා සමඟ ගිවිසුමකට එන්න උත්සාහ කළා. නමුත් මේ ගිවිසුම ආපු ගමන් කියන්න ගත්තා රට බෙදන්න හදනවා කියල. අන්තිමේ ඒක කඩාකප්පල් කළා.

අපේ ඉතිහාසය පුරාම බලයේ ඉන්න පක්ෂය යම් ප්‍රශ්නයකට විසඳුම් යෝජනාවලීන් ගෙන එන්න උත්සාහ කිරීමේදී විපක්ෂය එයට එරෙහි වෙනවා. බලයේ හිටපු පක්ෂය විපක්ෂය වුණාම, විපක්ෂය බලයට පත් වුණාම නැවතත් සිද්ධ වෙන්නෙ මේ දේමයි.

මේක දේශපාලනික පිංපොං සෙල්ලමක් බවට පත්වූවක්. හැම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් මේ සෙල්ලමේ නිරත වීමයි සිද්ධ වෙන්නෙ. දැන් අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙනවා කියන්නම බැහැ. විවිධ අය විවිධ ආකාරයට එය අර්ථ දක්වනවා. සමහරුන්ට අනුව මෙය ජනවාර්ගික ප්‍රශ්නයක්. තවත් සමහරුන්ට අනුව මෙය දේශපාලනික ප්‍රශ්නයක්. ඇතැම් අය කියන්නෙ මෙය මානව අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් කියල. නමුත් යම් කිසි ගැටලුවක් තිබෙනවා. කෙසේ නමුත් මම හිතන්නෙ ඒ ගැටුම් ඉතාම මෘදු අන්දමින් විසඳා ගත හැකිව තිබූ අවස්ථාවලදී පවා එය ඒ ආකාරයට සිදුවුණේ නැහැ. එසේ නොවීමෙන් ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් මෘදු අන්දමින් මැදිහත්වුන දේශපාලනඥයන්, උදාහරණයකට දෙමළ ජනතාවගේ පාර්ශ්වයෙන් චෙල්වනායගම් මහතා වගේම සිංහල ජනතාවගේ පාර්ශ්වයෙන් බණ්ඩාරනායක මහත්තයා, ඩඞ්ලි සේනානායක මහත්තයා වගේ බලධාරීන් ගත්ත උත්සාහය අසාර්ථක වන විට අසහනයට පත් පිරිස් නියෝජනය කළ තරුණ කණ්ඩායම් විසින් නැවතත් මේ ප්‍රශ්නයම ඇති කළා. විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීම, ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊය සංවිධානයේ නැගී සිටීම වගේම පද්මනාත, උමා මහේෂ්වරන් වැනි පිරිස් වෙනත් කණ්ඩායම් වශයෙන් නැගී සිටීම සිදුවුණා. ඒ වගේම වතු දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත්තම ඔවුන්ට වෙනත් ප්‍රශ්න තිබෙනවා. ජනතාව යම් යම් ප්‍රශ්නකාරී මාර්ගයන්ට ගෙන යන්නේ ගමේ ඉන්න සිරිපාලයි සීලවතියි හෝ ලෙච්චමියි සුබ්‍රමනියම් හෝ නොවෙයි. ඒ අයව ඇඳගෙන යාමයි සිද්ධ වෙන්න. දේශපාලන, ආගමික වේදිකාවල මොනව කතා කළත් වැඩක් නැහැ ජනතාවට කිට්ටුවෙන් සිටිය යුතුයි. පොළොවට කන තියාගෙන අහන්න පුළුවන් නම් ගෙන්දම් පොළොවේ පය ගහගෙන ඒ දිහා බලාගෙන තීන්දු තීරණ ගන්නවා නම් ගොඩක් ප්‍රශ්නවලින් ගැලවෙන්න පුළුවන්. ඒක කරන්න නම් අපේ හැව ඇරිය යුතුයි. දේශපාලන පක්ෂ, ආගමික, කුල, ජාති, වර්ග වශයෙන් විවිධ හැව එක්ක අපි ජීවත් වෙන්නෙ. දේශපාලනඥයන්, පුජ්‍ය පක්ෂ, රජයේ සේවකයන්, ජනමාධ්‍ය තමන්ගේ ඇඟේ එල්ල ගෙන ඉන්න හැව අත්හැරියොත් මේ වැඬේ කරන්න පුළුවන්.

දේශපාලනයේදී ජනතාව මෙහෙයවීම සිදුවෙන්නෙ ජනතාව සිතන ආකාරය ප්‍රකාශ කරනවාට වඩා ජනතාව ලවා යම් ආකාරයකට සිත වීම නොවෙයිද?

මේ සම්බන්ධ කාරණයේදී දේශපාලනඥයන්ට විතරක් අඩුපාඩු කියල වැඩක් නැහැ. පරිපාලකයෝ වශයෙන්, මාධ්‍යවේදීන් ආදී ලෙස අපි හදාගෙන තිබෙනවා අපි අයිති පක්ෂය, කුලය, ආගම, ජාතිය. ඒවාට අනුව අපි තීරණය කරනවා මෙන්න මෙයයි විය යුතු කියල. ඔබ කිව්ව කතාව ඉන්දියාව, පකිස්තානය වැනි රටවලට නම් ගැලපෙනවා. මොකද සාක්ෂරතාවය අතින් ගත්තම ඒ රටවල ජනතාව ඉන්නෙ පහළ මට්ටමක. නමුත් ලංකාවේ සාක්ෂරතාවය සියයට අනූගණනක්. නම ලියන්න අත්සන් කරන්න හැකියාව විතරක් නෙවෙයි සාක්ෂරතාවය විය යුත්තේ. රටේ බුද්ධි ගලනයක් සිදුවිය යුතුයි. ඒ නිසාම එහි වගකීම දේශපාලනඥයන්ගේ විතරක් නෙවෙයි ජනතාවටත් වගකීමක් තිබෙනවා. ඒ වගේම දේශපාලනඥයන්ට වඩා ජනතාව මෙහෙයවන්නෙ ජනමාධ්‍යවලින්. ඒ නිසා ඒ ප්‍රකාශය දේශපාලන පක්ෂ සහ එහි සමාජිකයින්ට විතරක් අයිති නැහැ.

සුළු ජනවර්ගවල පාර්ශ්වයෙන් දේශපාලන බලය පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත්ව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය තුළත් මේ කියන කාරණය කේන්ද්‍ර කරගනිමින් සාකච්ඡාව සිදුවෙනවා. මේ ඔස්සේ අපි විසඳුමක් කරා යන්නේ කෙහොමද?

බලය බෙදා ගන්න ඕනේ වුණේ, බලය ඉල්ලුවේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ක්‍රියාධාරීන් මිස ගමේ ඉන්න සීලවතීට සිරිපාලට බලය බෙදා ගැනීම පිළිබඳ අදහසක් තිබුණෙත් නැහැ ඔවුන් ඒ පිළිබඳව දන්නෙත් නැහැ. නමුත් බලය බෙදා ගැනීම පිළිබඳ කරච්චලයක් තිබෙන බව ඔවුන් දන්නවා. පවුලක් ගත්තොත් බලය තියෙන්නෙ තාත්තට. තාත්තා කැමති නැහැ අම්මට සම්පූර්ණ බලය දෙන්නෙ. අද මිනිස්සු හුදෙකලාව තමන්ගේ අධිකාරීත්වය තමන් සතුව තබා ගන්නවා. එවන් වටපිටාවක තමන්ගේ බලය කාටවත් දෙන්න කවුරුත් කැමැති නැහැ. අන්තර් ජාතික වශයෙන් පිළිගත්ත සිද්ධාන්තයක් තිබෙනවා චරසබජසචකැ දf ිමඉිසාස්රසඑහ කියල. මෙයින් අදහස් කරන්නේ ප්‍රදේශයක ග්‍රාමසේවක මහත්වරු කළ යුතු වැඩක් ප්‍රාදේශීය ලේකම් කළ යුතු නැහැ. ප්‍රදේශීය ලේකම් කළ යුතු වැඩක් පළාත් සභා මට්ටමින් සිදු කළ යුතු නැහැ. පළාත් සභා මට්ටමින් කළ යුතු වැඩක් හෝ ඒ සඳහා පළාත් සභාවලට බලය ලබා දී තිබෙනවා නම් එය මධ්‍යයයේ සිටින ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් හෝ අගමැතිවරයා කළ යුතු නැහැ. එයට අවශ්‍ය මුදල් හෝ වෙන යම් ප්‍රතිපාදනයක් මධ්‍යය විසින් ලබා දෙනවා මිස එම කාර්ය කළ යුතු වෙන්නෙ නැහැ. අද ලංකාවේ ඇතිව තිබෙන ඝට්ටනයට හේතුව වෙන්නෙ මේ කියන චරසබජසචකැ දf ිමඉිසාස්රසඑහ නිසි ලෙස තේරුම් නොගැනීම. සරලවම ගමට පූට්ටු පාලමක් දාන්න ප්‍රාදේශීය සභාවට පුළුවන් නම් මධ්‍යයයේ තිබෙන නිවාස හා සංවර්ධන අමාත්‍යාංශයෙන් එය කළ යුතු නැහැ. නමුත් මෙය ඒ ආකාරයට සිදුවෙන්නෙ නැත්තේ දේශපාලනික වශයෙන් කැපී පෙනීමේ අවශ්‍යතාවය සහ ඡන්ද ක්‍රමය නිසා. ගමේ පාලමක්, පාරක් ගෙයක් හදාගන්න අවශ්‍ය කරන තීන්දු තීරණ ගන්න ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාට ප්‍රදේශීය ලේකම්ට ප්‍රදේශයේ මිනිස්සුන්ට පුළුවන් නම් ඒ වෙනුවට මධ්‍යයයේ ඉන්න, ගමට පිටින් එන ඇමතිවරයා නිලධාරීයා තීරණ ගන්න ගියාම ප්‍රශ්න එනවා. ගමේ හදන පාලම විවෘත කරන්න මධ්‍යයෙන් ඇමතිවරු යනවා. ඒක ගමේ කරගන්න දුන්නම ප්‍රශ්නේ ඉවරයි. අපි දෙන්න පුළුවන් බලය දිය යුතුයි.

නමුත් පළාත් සභාවල ඉන්න ඇමතිවරු නිලධාරීන් අපිට බලය ඕන කියල කෑගැහුවට බලය දුන්නට පස්සේ ඡන්දෙන් තේරී පත්වන මිනිස්සුන්ට වැඩ කරන්න අවශ්‍ය උදව් ලබා දෙන්නෙ නැහැ. මගේ අත්දැකීම අනුව නැගෙනහිර පළාතට දෙන ප්‍රතිපාදනවලින් සෑහෙන්න ප්‍රමාණයක් එක්තරා ප්‍රදේශ කිහිපයකට යන්නෙ. මේ මුදල් යන්නෙ සෞඛ්‍යයට නම් වැඩි වශයෙන් මුදල් යොදවන්නෙ තමන්ගේ ඡන්ද බල ප්‍රදේශයට අයිති රෝහල්වලට පමණයි. මධ්‍යයයේ අමාත්‍යාංශවලත් බොහෝ විට සිදුවෙන්නෙ මෙයමයි. අමාත්‍යවරයා තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවට මේ ප්‍රතිපාදන වැඩි වශයෙන් වෙන් කරනවා. නමුත් අපි ජාතික වශයෙන් හිතන්න අවශ්‍යයි. ජනතාවට අවශ්‍ය දෙයයි අපි දිය යුතු. ගමට ඕන මෘත ශරීරාගාරයක්ද දන්ත චිකිත්සකාගාරයක්ද කියන දේ ජනතාවගේ අවශ්‍යතාවය විය යුතුයි. මෙන්න මේක අපි තේරුම් නොගෙනයි කටයුතු කරන්නෙ.

අපි අවුරුදු 40ක් විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජීවත් වී තිබෙනවා. මේ මධ්‍යගතවාදී පාලනය තුළ ජනතාව අපේක්ෂා කරනවා සියලු ක්ෂේත්‍රවලට බලය විහිද වීමක්. බෙදන ලද බලය හෝ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට මේ තත්ත්වයත් හේතු වී තිබෙනවාද?

මම හිතන්නෙ මෙය ජනාධිපතිවරයාගේ මට්මට රැගෙන යායුතු නැහැ. ජේ. ආර්. ජනාධිපතිවරයා කිව්වා ‘පිරිමියෙක් ගැහැනියක් කිරීම හෝ ගැහැනියෙක් පිරිමියෙක් කිරීම හැර අනෙක් ඕනෑම දෙයක්’ තමන්ට කළ හැකි බව. එයයි විධායක ජනාධිපති ක්‍රමයේ තිබෙන ස්වභාවය. ඇතැම් අය කියනවා අපිට ආරක්ෂාව ඇති කර ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි කියල. එහි වාසිත් තිබෙනවා. පසුගිය කාලයේ යුද්ධයක් පවතින විට විධායක ජනාධිපති ක්‍රමයක් පැවතීම යම් ආකාරයකට හොඳක් වුණා. අනෙක් අතින් තවත් කෙනෙක්ට අහන්න පුළුවන් අවුරුදු 40ක් විධායක ජනාධිපති ක්‍රමය තිබුණා නම් යුද්ධය කොහොමද මෙච්චර දිග්ගැහුණේ? විධායක ජනාධිපතිවරු ඉඳලා ඇයි සාමය ඇති කර ගන්න බැරි වුණේ කියල. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය තිබුණා හෝ නැහැ කියල යුද්ධය ඇති කිරීම හෝ නැති කිරීම කරන්න බැහැ. විධායක ජනාධිපති ක්‍රමය කොහොමද හසුරුවන්නෙ යන කාරණයේදී විධායක ජනාධිපතිවරුන්, පාර්ලිමේන්තුව, දේශපාලන බලධාරීන්, පරිපාලන බලධාරීන් ක්‍රියාකරන්නෙ කොහොමද කියන එකයි වැදගත් වෙන්නෙ. විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ සහ නරක පිළිබඳ සැලකිලිමත්ව මේ දෙකෙන් හොඳ සංයුතියක් ඇති කර ගන්න පුළුවන්ද කියල සොයා බැලීම එක ක්‍රමයක්.

අද ඔබ දරන තනතුරත් සමඟ රටේ සාමය ස්ථාවර කිරීම සඳහා ඔබට දැක්විය හැකි දායකත්වය කෙබඳුද?

මම පිළිගන්නවා යුද්ධය අවසන් වීම කියන්නෙ සාමය උදා වීම නෙවෙයි. නමුත් යුද්ධය අවසන් වුණාම සාමයට යෑමේ අවශ්‍යතාවය ඇති වෙනවා සහ එයට අනුපානු වශයෙන් ගත හැකි දේවල් තිබෙනවා. ඇතැම් අය හිතනවා පාසල් පාරවල් හැදුවම සාමයට යන්න පුළුවන් බව. නමුත් මම හිතන්නෙ නැහැ ඒ අනුපානුව යුද්ධයට සාධාරණ විනිශ්චයක් බව. යුද්ධයක් ඇති වුණේ ඇයි සහ එය ඇති වීමට බලපෑ ගැටුම් නිරාකරණය කරගෙන සැලසුමක් ඇතිව ඉදිරියට යායුතුයි. ඒ සැලසුම විය යුත්තේ යුද්ධයට බඳුන් වූ සියලු මිනිසුන්ගේ සැක සංකා නැති කිරීම. අතුරුදන්වූවන්ගේ කාර්යාලය ඒ සඳහා අතිශය වැදගත්. එය පිහිටුවීම සඳහා අයවැයෙන් පවා විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ වගේම යුද්ධයෙන් බැට කෑ මිනිසුන්ට හානි පූර්ණයක් විය යුතුයි. අහිමි වූ ජිවිත වෙනුවෙන් හානි පූර්ණය කළ නොහැකි වෙයි. නමුත් යම් සාධාරණයක් ඉටුවිය යුතුයි. සිදුවූ හානියට අධිකරණමය වශයෙන් සාධාරණයක් ඉටු කළ හැකි යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි. ඒ වගේම නැවත මෙවැන්නක් සිදු නොවන පරිදි දිර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතුයි. ඒ සඳහා අත්‍යවශය කාරණයක් ලෙසත් රජය උත්සාහ දරනවා යම් ව්‍යවස්ථාමය වෙනසකට ගමන් කරන්න. ඒ වෙනුවෙන් ජනතාව සපථ කරගෙන නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථාවමය වෙනසක් හෝ ඇති කර ගැනීමට අපි කටයුතු කළ යුතුමයි. ■

2017.11.26 වන දින රාවය සමබිම අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment