ප්‍රජාතන්ත්‍රවාදයේ මිල ඉහළයි

Dec 15th, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, EDITOR'S CHOICE, LEAD NEWS, TOP NEWS, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුවත්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාව ගැන මොකද හිතෙන්නේ ? 

ඕනෑම රටක ජනතාවගේ අභිලාෂයන්, ප්‍රශ්න ගැටලු ආමන්ත්‍රණය වන මූලික නීති රාමුවක් තිබිය යුතුයි. එහිදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ බලය බෙදන්නෙ කොහොම ද? එය සමබර කරගන්නෙ කොහොමද කියන දේ පෙන්වා දෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින්. හැම පුරවැසියෙකුටම හිතෙන්න අවශ්‍යයි අපි මෙහි කොටස්කාරයො බව. එහෙත් මෙතෙක් කලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් වුණේ පාර්ලිමේන්තුවේ මැදිහත් වීමෙන් පමණයි. නමුත් සතුටුදායකම දේ පළමු වතාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් ජනතාවගේ අදහස් විමසනු ලැබුවා. ඒ සියලු අදහස් මේ වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. ඊට පෙර එහෙම එවැන්නක් සිදුවුණේ නැහැ. 

අද සමාජයේ බොහෝ දෙනා පිළිඅරන් තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව. ඔබ හිතන ආකාරයට මේ වෙනස්කම් ඇති විය යුත්තේ කුමන ආකාරයටද? 

තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ තැන් වෙනස් විය යුතුයි යන්න පැහැදිලි කාරණයක්. විධායක ජනාධිපති ක්‍රමයත් ඇතුළත් වුණ, පවතින මේ ව්‍යවස්ථාව ගෙනාවේ 1978 දී. එදා ඉඳලම මිනිස්සු කිව්වා මේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව. එක තනතුරකට සියලුම බලතල තහවුරු කිරීමක් සිදුවෙනවා නම් විශාල ඉඩක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වීමට. ඇතැම් පිරිසකගේ අදහස වුණේ මේ ක්‍රමය තවදුරටත් අවශ්‍ය බව රටේ ආර්ථික සංවර්ධනයට සහ එකමුතුභාවය ගොඩනඟා ගැනීමට. නමුත් 1978 සිට මේ දක්වා කාලය දිහා බැලුවොත් රටේ ආර්ථීක තත්ත්වයේ යම් දියුණුවක් පෙන්වනවා වුනත් මේ ක්‍රමය හරහා අපේක්ෂා කළ අන්දමේ සංවර්ධනයක් සිදුවී නැහැ. මේ විධායක ජනාධිපති ක්‍රමය තිබියදීම දකුණේ කැරල්ලක් ඇති වුණා. එල්ටීටීඊය සමග වසර තිහක් දිග්ගැසුණු යුද්ධයක් ඇති වුනා. ඒ නිසා ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන්න විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි කියන තර්කය මම පිළිගන්නෙ නැහැ.

දෙවැනි කාරණය, අපි සංහිඳියාව පිළිබඳව බරපතළ ලෙස කතා කරනවා. නමුත් බලය ඒක තැනකට ඒකරාශී වී තිබෙනවා නම් රටේ එකමුතුකම ඇති කරන්නෙ කෙහොමද? අපේ සමුළුවක් තිබුණා 2008දී  පළාත් සභාවල ආණ්ඩුකාරවරු සහ මහ ඇමතිවරු එක්ක. 2016දී අපි එවැනිම තවත් සමුළුවක් කළා. ඔවුන් තමයි 13 වන සංශෝධනය යටතේ බලය බෙදීම ක්‍රියාත්මක කරන්නෙ. උතුරු නැගෙනහිර පැත්තක තැබුවොත් අනිත් පළාත් සභාවල මහ ඇමතිවරුන් සියලු දෙනාම කිව්වේ අද තියෙන ක්‍රමය යටතේ කිසි දෙයක් පළාත් සභාවලට කරන්න බැහැ කියල. මොකද මධ්‍යම රජයෙන් අවසර නොගෙන වැඩ කරන්න බැහැ. ඒ වගේම ඔවුන්ට මුදල් ප්‍රශ්න තිබෙනවා. බලය ඔක්කොම මධ්‍ය ආණ්ඩුව යටතේ තිබෙන්නෙ. එහි කිසි තේරුමක් නැහැ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. 

පසුගිය 10 වැනිදා 69 වන ජගත් මානව හිමිකම් දින සැමරුමට ඔබත් දේශකයෙක් ලෙස සහභාගී වෙනවා.   ව්‍යවස්ථා ක්‍රියාවලියත් සමඟ මේ මානව හිමිකම් දිනය රටට වැදගත් වෙන්නෙ කොහොමද? 

 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මානව හිමිකම් ශක්තිමත් කිරීමක් සිදුනොවෙනවා නම් එයට අර්ථයක් නැහැ. නමුත් ව්‍යවස්ථාවකින් පමණක්, නීති රීතිවලින් පමණක් නෙවෙයි, ජනතාව විසින් මානව හිමිකම් රැකගන්න සංස්කෘතියක් ගොඩනැගීම ඉතාම වැදගත්. නීති රීති තිබිය හැකියි. නමුත් ඊට සුදුසු සංස්කෘතියක් තිබුණෙ නැතිනම් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. දැන් අපිට අවශ්‍යයි සංහිඳියාව. අපි කුමන ජනවර්ගයක් නියෝජනය කළත් අපේ මුල්ම අනන්‍යතාව ශ්‍රී ලාංකික. ඒ ගැන හැමදෙනාගෙම එකඟතාවයක් තිබිය යුතුයි. නමුත් යම් කෙනෙක් හිතනවා නම් තමන්ගෙ ජාතිය නිසා තමන්ගේ අයිතිවාසිකම් රැක ගන්න බැහැ කියල එවිට සමාජයක් ලෙස ඉදිරියට යාමේදි විශාල ගැටලු ඇතිවෙනවා. අපි යහපාලනය ගැන කතා කරනව, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, ඒවායේ මූලිකම අංගය මානව හිමිකම්. පුරවැසියන්ගෙ අයිතිවාසිකම් පොතේ තිබුණට, ව්‍යවස්ථාවෙ තිබුණට එයින් වැඩක් නැහැ. මානව අයිතිවාසිකම් කියන්නෙ මිනිසුන්ට සිය ජීවිත කාලය තුළදී භුක්ති විඳින්නට අවකාශය තිබිය යුතු දෙයක්. 

සංහිඳියාව සම්බන්ධයෙන් මේ රජය යම් ආකාරයක ප්‍රගතිශීලී පියවරයන් ගණනාවක් ගෙන තිබෙන බව අදහසක් තිබෙනවා. එය එසේ නෙවෙන බවටත් ඇතැම් අය අදහස් දක්වනවා. මේ සම්බන්ධව ඔබ කුමන අදහසක්ද දරන්නෙ? 

ඔව් රජය සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රගතිශීලී පියවර අරගෙන තිබෙනවා වුනත් තව කළ යුතු බොහෝ දේත් තිබෙනවා. 2015 ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී හිටපු විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ප්‍රකාශ කළා මේ රජය වසර දෙකක් තුළ යාන්ත්‍රණ හතරක් පිහිටුවනව බව සංක්‍රාන්තික යුක්තිය ඉටුකරන්න. පසුව සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බලකාය පිහිටවනු ලැබුවා. එහි ලේකම් වශයෙන් මමත් කටයුතු කළා. අපි රට පුරා ගියා. හත්දහසකට ආසන්න පිරිසක් අපිට යෝජනා සහ තොරතුර ලබාදුන්නා. නමුත් රජය පිහිටුවනවා කිව්ව යාන්ත්‍රණ හතර පිළිබඳ පුරවැසියන් කිසි දෙයක් දන්නෙ නැහැ. ඒ නිසා අපි රජයට කිව්වා අපි ජනතාවට කතා කරන්නම් නමුත් ඊට පෙර ජනතාවට මේ යාන්ත්‍රණ පිළිබඳ පැහැදිලි කරන්න කියල. නමුත් රජය එය කරනවා වෙනුවට ඉතාමත් හදිස්සියේ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත ගෙන ආවා. 2016 අගෝස්තු මාසේ ඒ පනත සම්මත කළා. එය පිහිටුවන්න අවුරුද්දක් ගියත් එයට කොමසාරිස්වරු තවම පත් කරලා නැහැ. අනිත් යාන්ත්‍රණ ගැන ගොඩක් ප්‍රශ්න තිබෙනවා. අපි මහජන අදහස් විමසලා වාර්තාව හැදුවේ. එහි තියෙන එක නිර්දේශයක් තමයි වගවීම පිළිබඳව වෙනම අධිකරණයක් අවශ්‍ය නම් එහි එක් විනිසුරුවරයෙක් හෝ විදේශ විනිසුරුවරයෙක් විය යුතු බව. ඒ ජනතතාවට ඇති අවිශ්වාසය නිසා. නමුත් ඒකට ගොඩක් අය විරුද්ධ වුණා. ජනාධිපතිතුමා වගේම අගමැතිතුමාත් කිව්වා විදේශ විනිසුරුවරු ගේන්නෙ නැහැ කියල. දැන් වගවීම ගැන යාන්ත්‍රණයක් නැහැ. අනිත් එක සත්‍ය දැන ගැනීම සම්බන්ධයෙන් ගත්තොත්, බොහෝ පිරිසක් අපිට කිව්වෙ ඔවුන්ට අත්‍යවශ්‍යම දේ සත්‍ය දැන ගැනීම බව. අපිට මොකක්ද වුනේ? කොහොමද මේ දේවල් වුණේ? කියල දැනගන්න ඔවුන්ට අවශ්‍යයි. නමුත් ඒ සඳහාත් යාන්ත්‍රණයක් නැහැ. මම දකින ආකාරයට රජය තීරණයක් ගෙන තිබුණා සංක්‍රාන්තික යුක්තිය කියන එකට යුද අපරාධ චෝදනා එන නිසා එයට අත නොතබන්න. මොකද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එයත් බාධාවක් විය හැකි නිසා. අපේ රණවිරුවන්ව යුද අපරාධවලට පැටලුව කියල රජයට මිනිස්සු චෝදනා කරයි කියන හැඟීම රජයට තිබුණා. නමුත් දැන් නව ව්‍යවස්ථාවයි සංක්‍රාන්තික යුක්තියයි දෙකම මග හිර වෙලා. 

එහෙම නම් මේ හිරවීම ලිහිල් කරන්න මොනවද කළ යුතු?

2015 ජනවාරි මාසේ අපිට ලැබුණේ තීරණාත්මක ඓතිහාසික අවස්ථාවක්. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක ස්වෙච්ඡාවෙන් ආණ්ඩුවක් පිහිටෙව්වා. ජනතාව ඒකට සහය දුන්න. නමුත් එහි උපරිම ප්‍රයෝජනය තවම ලැබිල නැහැ. ඒ කියන්නෙ නව ව්‍යවස්ථාව, සංක්‍රාන්තික යුක්තිය පිහිටුවීම, සංහිඳියාව ගොඩනැගීම යනාදී කාරණා සිදු වී නැහැ. ඒ නිසා මම හිතන්නෙ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අවම මට්ටමකින් හෝ අපි කරන්නේ මෙන්න මේ මේ දේවල් කියල එකඟතාවයකට පැමිණිය යුතුයි. 

සංහිඳියා කාර්ය සාධක බලකාය විසින් රජයට ඉදිරිපත් කළ වාර්තාවෙන් නිසි ප්‍රයෝජනයක් ගනිවි යැයි ඔබ විශ්වාස කරනවද?

අපි රජයට වාර්තාව බාර දුන්නෙ මේ වසරේ පෙබරවාරි මසයේදී. නමුත් තවම කිසිවක් සිදුවෙලා නැහැ. දේශපාලනික මට්ටමින් ගැටලු තිබෙනවා. නමුත් ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි ප්‍රමුඛතාවය දෙන්නෙ අලුත් ව්‍යවස්ථාවටද, නැත්නම් සංක්‍රාන්තික යුක්තියටද කියල. මගේ ස්ථාවරය නම් ජනතාවට කිව යුතුයි කරන්නෙ මොකක්ද, ඇයි ඒක කරන්නෙ? කරන්නෙ නැත්නම් ඇයි කරන්නෙ නැත්තෙ කියල. නැත්නම් මිනිස්සු දන්නෙ නැහැ මොනවද වෙන්නෙ කියල. විශේෂයෙන් උතරු නැගෙනහිර ජනතාව ආණ්ඩුව කරන දේවල් සම්බන්ධයෙන් දැනගත යුතුයි. ඔවුන් කියන්නෙ තිබුණු ආණ්ඩුව වෙනස් කරන්න අපි ගොඩක් දේවල් කළා. නමුත් ලොකු වෙනසක් පේන්නෙ නැහැ කියන දේ. 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ අය ගේන එක තර්කයක් මේ ව්‍යවස්ථාව ගෙන එන්නෙ රට බෙදන්න කියල. එයට සාර්ථක පිළිතුරක් අපිට තිබෙනවද? 

ඒකට මගේ පිළිතුර මේකයි. 1978 අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීලා බලය තහවුරු කරගත්තා. නමුත් මොකද වුණේ? දකුණේ කැරැල්ලක් ඇතිවුණා. අවුරුදු තිහක යුද්ධයක් ඇතිවුණා. ඒව ඇතිවුණේ බලය බෙදීම නිසාද? ඒක වුණේ සියලුම බලතල මධ්‍යම ආණ්ඩුවට ගත්ත නිසා. රටවල් කිහිපයක් තියෙනවා බලය බෙදීම ව්‍යවස්ථාව තුළ ප්‍රායෝගිකව අත්හදා බලපු. ඒක කරල තියෙන්නෙ රටේ ආර්ථිකය දියුණු කරන්න සහ සංහිඳියාව ඇති කරන්න. ඒ රටවල් කැඩිල නැහැ. බලය කියන්නෙ වතුර වගේ දෙයක්. අතේ තියාගෙන තද කරොත් ඉවතට හැලෙනවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්න ඕන. බලය බෙදීම යහපාලනයට අත්‍යවශ්‍යයි. මොණරාගල මනුස්සයෙක් කොළඹ එන්න ඕන නැහැ තමන්ගේ ප්‍රශ්නයක් විසඳගන්න. ඒ මනුස්සයට ඒ ප්‍රශ්නේ තමන්ගේ ගමේදී විසඳගන්න ඉඩ දිය යුතුයි. 

පළාත් සභා පිහිටුවලා දැනට වසර තිහක් ගතව තිබෙනවා. ඒ කාලය තුළ පළාත් සභා පිළිබඳව විවිධ කතාබහ ඇතිවුණා. ඇතැමෙක් කියනවා ඒ බෙදුව බලය ප්‍රමාණවත් නැහැ කියල.

ඔව්, මේකට විසඳුම තමයි ව්‍යවස්ථාමය සංශෝධනයක් කිරීම. පළාත් සභාවලට දිය යුතුයි ඒ අයට කරන්න පුළුවන් දේවල්. ඒ අයට බැරි දේවල් මධ්‍යම ආණ්ඩුව යටතේ තබා ගත යුතුයි. විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය පිළිබඳ කටයුතු බොහොමයක් පළාත් සභා මට්ටමින් කළ හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ පුරවැසියන්ට තමන්ගේ ජිවීත දියුණු කරගන්න ඔවුන්ටම වගකීම දීමක්. නැත්නම් මිනිස්සු කියන්නෙ මධ්‍යම ආණ්ඩුවෙන් මේ වැඬේ කරන්න දුන්නෙ නැහැ. සම්පත් තිබුණෙ නැහැ කියල. සාධනීය විසඳුම තමයි ඒ අයට බලය දීම. ගමට අවශ්‍ය රෝහලක් නම් ඒක හදාගන්න ඒ අයට බලය සහ මුදල් දෙන්න. ඒක නිසි ලෙස කරන්නෙ නැත්නම් ඒ පිළිබඳ වගවීම ඒ අයට තිබෙනවා. 

බලය බෙදන්න ප්‍රමුඛ වෙන්නෙ රට ලොකු ද? පොඩි ද? දුප්පත් ද? පෝසත් ද? කියන එක නෙමෙයි. රටේ තිබෙන ගැටලු සහ අභියෝගවලට කෙහොමද ප්‍රායෝගිකව මුහුණ දෙන්නෙ කියන එක. ඇතමෙක් කියනව ලංකාව පොඩි නිසා බලය බෙදන එක කිසි තේරුමක් නැහැ කියල. එතකොට ස්විට්සර්ලන්තය, බෙල්ජියම වගේ පොඩි රටවල්වලත් බලය බෙදල තිබෙනවා. බලය බෙදීම මිල අධික වියදම් වැඩක් කියන අදහස ඇතමෙක්ට තිබෙනවා. එහෙමනම් මගේ ප්‍රශ්නය, යුද්ධයක් ගෙනියන්න කොච්චර වියදම් කළාද? මුදල් විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ ජීවිත පවා ඒ වෙනුවෙන් වැය කළා. ඒ නිසා අපි මේ දිහා බැලිය යුත්තේ ප්‍රායෝගිකවයි. ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව රැකගන්න ඒ වියදම අපි දැරිය යුතුයි යන්නයි මගේ අදහස. 

වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සභා ඇති කළත් එයින් විසඳුමක් ලැබුණෙ නැහැ. එහෙම බැලුවොත් පළාත් සභා ක්‍රමය අසාර්ථකයි නේද?

13 වන සංශෝධනය යටතේ පොලිස් බලය සහ ඉඩම් බලය බොහෝ දුරට පළාත් සභාවලට දුන්නත් ඒවත් ක්‍රියාත්මක කරගන්න බැහැ කුමන පළාත් සභාවකවත්. මෙය අසාර්ථක වී තිබෙන්නෙ දේශපාලන කැපවීමක් නැති නිසා. අනික බලය බෙදන්න හේතුවක් වෙන්නෙ ජනවාර්ගික ප්‍රශ්නයම පමණක් නොවෙයි. 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පවතින රජයේ බලය තහවුරු කරගැනීමට ගෙන එන එකක් බවට ඇතමෙක් චෝදනා කරනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? 

2015 ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදීත් මේ රජය ජනතාවට පොරොන්දු වුනේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, යුද්ධයෙන් එල්ටීටීඊය සංවිධානය පරාජයට පත් වුනත් එයින් සියල්ලක් අවසාන නැහැ. ඒ අනුව ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට පොරොන්දු වුණා. ඒ නිසා රජයකට සුදුසු ව්‍යවස්ථාවක් නොවෙයි, රටට සුදුසු ව්‍යවස්ථාවක් ගැනයි අපි කතා කළ යුත්තේ. ආණ්ඩු නම් එනවා යනවා. නමුත් රටේ අනාගතය වෙනුවෙන් සහ රට රැක ගැනීමටයි ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නෙ. 

ඔබත් ඇතුළුව සිවිල් සංවිධාන බහුතරයක් බලතල බෙදීම වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් දකුණේ ජනතාව අතර එයට පක්ෂ පොදු මතයක් නැහැ. එහෙනම් බලය බෙදීම කියන්නෙ එන්ජීඕ උවමනාවක් විතර ද?

මම එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු විසිපහකට තිහකට පෙර අපි යහපාලනය ගැන කතා කළාම මිනිස්සු අපිට හිනා වුණා, මේවා කවදාවත් වෙන්නෙ නැහැ කියල. නමුත් 2015 මොකද වුණේ? අපි අවුරුදු ගාණකට පෙර කතා කරපු දේවල්ම තමයි මේ රජයත් ජනතාවට දෙන්න පොරොන්දු වුණේ. ඒ නිසා තමයි මේ අය බලයට පත් වුණේ. අපිත් මේ රටේ පුරවැසියො. මේ රටේ මත ගොඩක් තිබෙනවා. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. අපේ අරමුණත් රට දියුණු කිරීම මිස අනෙකක් නොවෙයි. ඒ වෙනුවෙන් අපි පෙනී හිටියා. 

රටේ වත්මන් තත්ත්වය හමුවේ සිවිල් සංවිධානවල සහ පුරවැසියාගේ කාර්ය භාරය කුමක් විය යුතුද?

දැන් ලිබරල් මතයන්වල ඉන්න සිවිල් සංවිධාන මේ රජය බලයට පත් කරන්න සහය දුන්නා. නමුත් අවශ්‍ය විට රජය විවේචනය කළ යුතුයි. ඒ වගේම අවශ්‍ය විට සහය දිය යුතුයි. සිවිල් සංවිධාන මේ කාර්යන් දෙකම කළ යුතුයි. සිවිල් සමාජයේ ස්වාධීනත්වයට හානියක් කරගන්නෙ නැතිව වැඩ කරන්න ඕන. සිවිල් සංවිධාන විවේචනාත්මකව සහ සාධනීය ලෙස කටයුතු කළ යුතු බව අමතක නොකළ යුතුයි. ඒ වගේම රටේ පොදු පුරවැසියන්ට කාර්ය භාරයක් පැවරෙනවා. ආණ්ඩුව පොරොන්දු වුණ දේවල්වලින් කළ දේ නොකළ දේ පිළිබඳව සවිඥානිකව නිරීක්ෂණය කළ යුතුයි. යමක් නොකර තිබෙනවා නම් ඒ පිළිබඳ විමසන්නට පුරවැසියාට හැකියාව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්නෙ එවිටයි. 

දෙසැම්බර් 12 වැනි අඟහරුවාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ සාකච්ඡාමය වැඩසටහන සඳහා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහභාගී වූ අතර ඔහු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයාද වේ. එම සාකච්ඡාව දිනුෂා වෙත්තසිංහ විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී. 

2017.12.17 වන දින රාවය සමබිම අතිරේකයට වසන්ත රනිල් විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , ,

Leave a Comment