පහන ළගයි ආලෝකෙ දුරයි හෙවත් කසළ කළමනාකරණයේ බාලගිරි දෝෂය

Dec 19th, 2017 | By | Category: LEAD NEWS, ආර්ථික, පුවත්

මෙරටේ පුරවැසි ප‍්‍රජාවේ සාමූහික හෘද සාක්ෂිය පිරික්සා බැලීමට තිළිණ කළ අනගි දිනයක් සොබාදහම විසින් ලබා දී දැනට පස් මසක් ගත වී ඇත. ඒ තට්ටු මාරු දේශපාලනයේ අසිරිය විදහාලමින් දිනෙන් දින අහස කරා නැගුණු මීතොටමුල්ල කුණු කන්ද යාබද නිවැසි මිනිසුන් සමූහයකගේ හිස මත පතිත වීමේ ඛේදවාචකයයි. ලොව හදිසියේ කඩා වැටුණු එකම කුණු කන්ද එය නොවේ. බ‍්‍රසීලයේත්, ඉන්දියාවේත්, ඉන්දුනීසියාවේත් එලෙස කඩා වැටුණු කුණු කඳුවල ධාරිතාව ටොන් ලක්‍ෂ ගණනකි. එහෙත් විමසිය යුතු සැබෑ කරුණ වන්නේ ඉන් උගත් යම් පාඩමක් ඇත්ද යන්නයි. පෙනී යන්නේ සියලූ ඝෝෂා නිවී ගොස්, සභාතොමෝ සතුටින් විසිර ගිය ඇති සෙයකි. ඉන් ලද එකම දිගුකාලීන ඵලය ලෙස පෙනී යන්නේ නිවෙස් හා කාර්යාලබද කුණු, ආකාර තුනක් වන සේ වෙන් කිරීමට ජනතාව පෙළඹීමයි.

එකී පෙළඹුමේ සැබෑ නියමුවන් වූයේ පළාත් පාලන ආයතනයන්හි සේවයේ නිරත කම්කරු පිරිස් මිස වෙන අන් කිසිවෙක් නොවේ. තමන් ලබන ස්ථිර වේතනයට අමතරව සතියකට වරක් කොළොම්තොට නිවැසියන්ගෙන් සංතෝසමක් ලබා ගැනීම මොවුන් දිගු කලක් තිස්සේ පුරුදු පුහුණු කළ සම්ප‍්‍රදාය විය. මෙසේ සංතෝසම මත සේවය සැලසූ මොවුන්, නිසි ලෙස ප‍්‍රභේද නොකරන ලද කුණු භාර නොගැනීමට ගත් තීරණය විප්ලවකාරී එකක් විය. කසළ කළමනාකරණයේ හෝඩිය වන්නේ ඒවා නිසි ලෙස වර්ග කිරීමයි. අනාදිමත් කාලෙක පටන් එවැන්නක් සඳහා නොපෙළඹුණු කොළොම්තොට වැසියන් ඊට හුරු කළ මෙකී කම්කරුවෝ සොඳුරු ආඥාදායකයන් මිස වෙන අන් කවුරුන්ද?

කවර ප‍්‍රශ්නයක් හෝ වේවා එය අපේ නොව තොපේ යැයි කෑමොර දීම මෙරටේ පැළපදියම් වී ඇති ගතානුගතික දේශපාලනයේ ස්වභාවයයි. “ඔබ අප සමග නොවෙයි නම්, ඔබ අපේ විරුද්ධවාදියෙක්” යනු අපගේ බහුතරයක් මහජන නියෝජිතයන්ගේ මෙහෙවර ප‍්‍රකාශයයි. එසේ නම් කළ යුත්තේ කුමක්ද? ඊට පිළිතුරු ප‍්‍රවීණ නාට්‍යවේදී බර්ටෝල් බ්‍රේෂ්ට් කියා ඇත්තේ මෙලෙසිනි. “වරද ඇත්තේ අප පත්කර ගන්නා පාලකයන් අත නොවේ. එවන් පාලකයන් පත්කර ගන්නා මිනිසුන් අතය.  ඒ නිසා අප කළ යුත්තේ එවන් පාලකයන් පත්කර නොගන්නා අලූත් මිනිසුන් කොට්ඨාශයක් පත්කර ගැනීමයි”.

කසළ කළමනාකරණයේ වරද ඇත්තේ නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නැති  “එදාවේල ටුවර්ස්” ආකාරයේ ආණ්ඩු කෙරුවාවේ මිස වෙන අන් කවර තැනක හෝ නොවේ. “මේ මිහිතලයේ සෑම බිම් අගලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිඳුම් වළාවක්ම, සිහින් ගී ගයන සෑම කුඩා පක්‍ෂියෙක්ම, මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තූහු වන්නේය”

 
ඉහත ප‍්‍රකාශය කුරිරු මිලේච්ඡයෙක්යැයි සුදු මිනිසා පිළිකුල් කළ රතු ඉන්දියානු නායක සියැටල් තම පාරම්පරික භූමිය ඉල්ලා සිටි ඇමරිකානු නායකයාට ලියූ ප‍්‍රකට ලිපියේ සඳහන් වූවකි. සියැටල්ගෙන් නොව බුදුන් වහන්සේගෙන් හෝ අප යමක් උකහා ගෙන ඇද්දැයි යන්න ගැන ඇත්තේ බලවත් සංශයකි. “රමණීයානි අරඥානී” යැයි දෙසුවේ බුදුන් වහන්සේය. පරිසරයට ආලය කරන්නෝ කසළ ද සම්පතක් යැයි සිතන්නේය. කුණු කන්දක් යනු ධන ආකරයක් බඳු සජීවී සම්පතක් යැයි පවසා ඊට ආශක්ත වූ අජන්තා පෙරේරා වැනි බුද්ධිමත් කාන්තාවන් පරසක්වල ගැසුවේ ද, කොළඹින් රැගෙන ආ කුණු පිරවූ ලොරි රථ වටකර “කොළඹ කුණු අපට එපා” යැයි හඩ නැගුවේ ද අසල්වැසි දේශයක මිනිසුන් නොවේ, අපිමය. ප‍්‍රවීන ලේඛක නාලක ගුණවර්ධනයන් කියූ ලෙසම කසළ ජනනය කරන්නේ පිටසක්වලින් ආ ජීවීන් නොව, අපිමය.

මෙරටේ කසළ කළමනාකරණයට අදාළ යාවජීව විසඳුම වන්නේ නිසි ජාතික ප‍්‍රතිපත්තියක් වටා සියල්ලෝ ඒකරාශී කිරීමය. එහිලා තීරණාත්මක සාධකය විය යුත්තේ රටේ සිව්දිග විසිරී ඇති පළාත් පාලන ආයතන පද්ධතියයි. මෙකී සෑම පළාත් පාලන ආයතනයක් වෙතම අක්කර දෙකක් හෝ ඊට වැඩි බිම්කඩක් ලබා දීම මධ්‍යම රජයට හෝ පළාත් සභාවට එතරම් අපහසු කාර්යයක් නොවේ. කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි පළාත් පාලන ආයතන කිහිපයකට හැර අනෙක් සෑම පෙදෙසකින්ම මෙවන් බිම් කඩක් සොයා ගැනීම එතරම් දුෂ්කර වෑයමක් විය නොහැකිය. එහිලා කුණු සම්පතක්ය යන පණිවුඩය රටේ සිව්දිග පතුරුවා තිබිය යුතුය. එකෙක් කරන දේ අනෙකා නොදැනීම සැබෑ ජාතික ප‍්‍රතිපත්තියක අන්තර්ගත නොවිය යුත්තකි.

අක්මීමන ප‍්‍රාදේශීය සභාව පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයේය. එහි වාසය කළ ජනයාට කුණු බැහැර කිරීම එතෙක් ගැටලූවක් නොවීය. හේතුව එකී බල ප‍්‍රදේශයේ පිහිටා තිබූ හිස් බිම්කඩ තුළ කසළ කළමනාකරණය හොඳින් සිදු කරමින් සිටීමයි. සති අන්තයක් ගෙවී ගොස් එළඹුණු සඳුදා දින කුණු රැගෙන ගිය ට‍්‍රැක්ටර් රියදුරා දුටුවේ එකී බිම්කඩ දැවැන්ත සමාගමකට විකුණා ඔවුන් එය වට කොට කටුකම්බි ද ගසා ඇති බවයි. තවදුරටත් කරණු සොයා බැලූ පසු හෙළි වී ඇත්තේ මෙකී හිස් බිම්කඩ හිමි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩමට ලංසු තැබූ සමාගමකට විකුණා අත පිසදා ගෙන ඇති බවයි.

කුණු ජාතික අර්බුදයක්ව උත්සන්නව පැවති සමයේ සිදු වූ මෙකී සිදුවීම අපට පාඩම් රැසක් කියා දෙන්නේය. මෙරටේ රන්මසු හා සමාන ඉඩම් අක්කර දහස් සංඛ්‍යාත ප‍්‍රමාණයක් රජය එකම එක ගැසට් පත‍්‍රයක් මගින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට ලබා දුන්නේ අවිචාරවත්ව හදිසියේ ලංසු තබන සමාගම් වෙත පිරිනැමීමට නොව, නිවැරදි ප‍්‍රතිපත්තියක් මත පිහිටා ජාතික අවශ්‍යතාවන් සපුරාලන පරිදි භාවිත කිරීමටයි. පෙර කී හිස් භූමි භාගය මිලදී ගැනීමට අක්මීමන ප‍්‍රාදේශීය සභාව කැමැත්තෙන් සිටිය ද කටුකම්බි ගසන තෙක්ම කවරක් වූයේදැයි ඔවුන් දැන සිටියේ නැත. ඒ අනුව අනාගතයේ සැකසෙන ජාතික ප‍්‍රතිපත්තියක් මගින් පිරිමසාලිය යුතු එක් වැදගත් කාර්යයක් වන්නේ සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම සුදුසු බිම් කඩක් ලබා දී කුණු ගැන බලාගැනීමට ඔවුනට ඉඩකඩ ලබා දීමයි.

කොළඹට සපයන විසඳුම ඊට පරිබාහිර විසඳුමක් විය යුතුය. ඒ කොළඹ කුණුවලට අරක්ගත් කොළඹ කාක්කන් ද අඩුවක් නැති බැවිනි. කොළඹ දිස්ති‍්‍රක්කයේ දිනක් තුළ ජනනය වන ඝණ අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් 8,419 කි. මෙකී ප‍්‍රමාණය කළමනාකරණය කරන්නේ කෙසේදැයි ඉගෙනීමට විදෙස්ගත වූ නිලධාරීන් ප‍්‍රමාණය අසීමිතය. ටෙන්ඩර් පත්වලට සමගාමීව අත යට හුවමාරු වූ කොමිස් මුදල් ප‍්‍රමාණය ද ගණනය කර නොහැකි තරම් ප‍්‍රමාණයක් විය හැකිය.

ඒ අනුව ඊට දියහැකි විසඳුම් රාශියකි. කසළ කළමනාකරණයේ ජය කෙහෙළි නැංවූ ජාත්‍යන්තර සමාගමක් වෙත කුණු මෙහෙයුම පවරා දී නිසි බලතල පමණක් මධ්‍යම රජය හෝ පළාත් සභාව රඳවා ගත යුතුය. එකී කි‍්‍රයාවලියේ විනිවිදභාවය හා වගවීම සුරැකීමට සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවා එහි යාවජීව කි‍්‍රයාකාරීත්වය තහවුරු කළ යුතුය. එකී මෙහෙයුමේ යම් සාධනීයත්වයක් පෙනී යන්නේ නම් පළාත් පාලන ආයතන කම්කරුවන් හට මෙතෙක් සංතෝසම් ලෙස ලබාදෙන ලද මුදල යම් පිළිගත් ක‍්‍රමවේදයක් ඔස්සේ එවැනි සමාගමකට ලබා දීමට වුව ද නිවැසියෝ මැලි නොවනු ඇත. කුණු පෞද්ගලීකරණය කරන්නේ යැයි විරෝධයක් පැන නැගීම මෙහිලා අපේක්ෂා කළ යුත්තකි. එහෙත් කුණු ටික හෝ නිසිලෙස කළමනාකරණය කරගැනීමට නොසමත් කුණු වූ ආයතන පද්ධතියක් තුළ අප දශක ගණනාවක් දිවිගෙවූ බව ද අමතක නොකිරීම වැදගත්ය.

අනාගතයේ සැකසෙන ජාතික ප‍්‍රතිපත්තියක් මගින් පිරිමසාලිය යුතු එක් වැදගත් කාර්යයක් වන්නේ සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම සුදුසු බිම් කඩක් ලබා දී කුණු ගැන බලාගැනීමට ඔවුනට ඉඩකඩ ලබා දීමයි.

කසළ කළමනාකරණයේ ජය කෙහෙළි නැංවූ ජාත්‍යන්තර සමාගමක් වෙත කුණු මෙහෙයුම පවරා දී නිසි බලතල පමණක් මධ්‍යම රජය හෝ පළාත් සභාව රඳවා ගත යුතුය.

සමබිම සැප්තැම්බර් ඔක්තෝබර් කලාපයට මංජුල ගජනායක විසින් ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , ,

Leave a Comment