පබ්ලික් ඩිමාන්ඩ් එක හොඳ අතට හැරෙනවා 

Dec 26th, 2017 | By | Category: 30 Years Experience- Provincial Council, LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

Rohanaපසුගිය 18 වැනි සඳුදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ වැඩසටහන සඳහා රෝහණ හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙය වනු ලැබීණි. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.  

‍මෙවර පළාත් පාලන මැතිවරණය අන් කවරදාටත් වඩා ජාතික තලයේ මැතිවරණයක් තරමටම කතාබහට ලක්වී තිබෙනවා. 

ඔව්, නමුත් මෙය මහ මැතිවරණයක් නෙවෙයි. ගම් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන් තෝරන ඡන්ද විමසීමක්. ඒත් ඇතැම් දේශපාලකයන් මෙය ජාතික මට්ටමේ මැතිවරණයක් කිරීමට උත්සාහ දරනවා වගේම මෙය වෙනදාට වඩා කතා බහට ලක්වීම කෙරෙහි බලපෑ වෙනත් හේතුත් තිබෙනවා. පළමුවැන්න, පළාත් පාලන මැතිවරණය දීර්ඝ කාලයක් කල් දැමීම්වලට ලක් වීම නිසා මැතිවරණය පැවැත්වීමට ප්‍රථම මේ පිළිබඳ විශාල වශයෙන් සමාජ සහ දේශපාලනික වශයෙන් කතිකාවට ලක්වුණා. දෙවනුව, මෙවර පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයකට අනුව පැවැත්වීමත් එක හේතුවක්. කාන්තාවන්ට වෙනම නියෝජනයක් ලැබීම, ඡන්ද ගණනය කිරීම ඡන්ද පොළේදීම සිදුවීම, කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයෙක් ලැබීම යනාදී වෙනස් සුවිශේෂී කාරණාවන් ගණනාවක් මෙවර මැතිවරණ ක්‍රමයට ඇතුළත්. තුන්වෙනුව, වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව පවත්වන පළමු මැතිවරණය නිසා මෙය එක්තරා ආකාරයකට ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිළිබඳ විමසා බැලෙන මැතිවරණයක්ද වෙනවා. මේ සියලු කාරණාවන් මෙවර පළාත් පාලන මැතිවරණය වඩාත් කතා බහට ලක් වීම කෙරෙහි බලපා තිබෙනවා.

කාන්තා දේශපාලනය පිළිබඳ සාකච්ඡාවේදී 25%ක කාන්තා නියෝජනයක් අවශ්‍යයි කියන එකඟතාවයකට අද අපි පැමිණ තිබීම ජයග්‍රහණයක් නේද?

ඔව්, මෙය දීර්ඝ කාලයක් පුරා සාකච්ඡාවකට භාජනය වූ කාරණාවක්. අද මේ මොහොත වන විට එය යම් සංඛ්‍යාවකට ගොනුව තිබෙනවා. අද පළාත් පාලනයේ කාන්තා නියෝජනය 2%ක් වැනි ප්‍රමාණයකුත් පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සුළු වෙනස් වීම් හැර 5%ක පමණ නියෝජනයකුත් තිබෙන්නෙ. ලංකාවේ ජනගහනයෙන් 52%ක ප්‍රමාණයක් කාන්තාවෝ වුනත් ඔවුන්ගේ අදහස් දේශපාලනය තුළ ප්‍රමාණවත් පරිදි නියෝජනය නොවීම යන කාරණය සමාජ කතිකාවකට භාජනය වූණා. ලෝකයේ බොහෝ රටවල කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවුණු තැන් සාර්ථක කරගෙන තිබෙන්නෙ කෝටාව හරහා. හොඳම උදාහරණය ඇෆ්ගනිස්තානය. ඇෆ්ගනිස්තානය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය අතින් අපට වඩා බොහෝ පහළින් තිබෙන රටක්. එක් අතකින් යුද්ධයත් අනෙක් අතින් ආගමිකවත් කාන්තාවන්ට සමාජ භූමිකාවේ ඉඩකඩ අහුරපු රටක්. නමුත් එහි දේශපාලනයේ කාන්තා නියෝජනය, පාර්ලිමේන්තුව තුළ 27%ක්. දේශපාලනයට තරුණයන් සඳහා වන කෝටාවක් අපට මීට පෙර තිබුණා. මෙවර එය අහිමි කර තිබුණත් ඒ කෝටාව හරහා පළාත් පාලනයට එයින් පළාත් සභාවට වගේම පාර්ලිමේන්තුව දක්වා පැමිණි පිරිසක් ඉන්නවා. ඒ අය කෝටාව නිසයි දේශපාලනයට පළමු පියවර තබන්නෙ. ඒ නිසා කාන්තා කෝටාවත් 25%ක ප්‍රමාණයේම තිබෙනවාද නැද්ද කියන කාරණය අපට පසුවට කතා කළ හැකියි. නමුත් ආරම්භයක් වශයෙන් කාන්තාවන්ට දේශපාලන නියෝජනය සඳහා යම් ප්‍රතිශතයක් ලබා දිය යුතුයි කියන තැනයි අපි හිටියේ. ඒ අනුවයි මේ 25%ක ප්‍රමාණය පිළිබඳ එකඟතාවය එන්නෙ.

ප්‍රායෝගික වශයෙන් මේ අය තෝරා පත් කරගන්නේ මහජන ඡන්දයෙන්. එහෙම නම් කොහොමද මේ 25% කියන දේ නීතිය මඟින් සුරක්ෂිත කර තිබෙන්නෙ?

 විශේෂයෙන්ම නාම යෝජනා පත්‍රයේ කාන්තාවන්ට ලැබී තිබෙන ඉඩ කියන කාරණය වැදගත්. ඒ මතයි අපට තීන්දු කරන්න වෙන්නෙ අවසන් ප්‍රතිඵලය. මෙහිදී පළමු ලැයිස්තුව සහ දෙවන ලැයිස්තුව වශයෙන් ලැයිස්තු දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු ලැයිස්තුව කියන්නෙ කොට්ඨාසයට අදාළ අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලැයිස්තුව. දෙවැනි ලැයිස්තුව කියන්නෙ සමානුපාතික ක්‍රමයට ඉදිරිපත් කරන ලැයිස්තුව. පනතේ පැහැදිලිව කියන ආකාරයට කොට්ඨාස ලැයිස්තුවෙන් 10%ක් කාන්තාවන්ට ලබා දිය යුතුයි. නමුත් මේ 10% කියන්නෙ කොට්ඨාසයට පත්වෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණයෙන් විතරක් නෙවෙයි මුළු සභාවටම පත්වෙන මන්ත්‍රීවරු සංඛ්‍යාවෙන් 10%ක් විය යුතුයි.

ඒ වගේම පනතේ කියනවා සමානුපාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන් ඇතුළත් විය යුතු බව. මේ තරග කළ කාන්තාවෝ සියල්ලම හෝ යම් කිසි ප්‍රමාණයක් පමණක් දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. නමුත් මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළාට පසුව කොට්ඨාස මට්ටමින් කාන්තාවෝ දිනල තිබෙනවා නම් ඒ පිරිස වෙනම ගණනය කර ප්‍රතිශතාත්මකව බලනවා. යම් ආකාරයකට කොට්ඨාස ලැයිස්තුවෙන් කිසිම කාන්තාවක් තේරී පත් නොවුනහොත් 25% සමානූපතික ලැයිස්තුවෙන් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුතුයි. නමුත් පනතෙහිම සඳහන් වෙන පරිදි යම් දේශපාලන පක්ෂයක් ගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 20%කට වඩා අඩුයි නම් සහ පත්ව තිබෙන මන්ත්‍රීවරු ප්‍රමාණය තුන්දෙනෙකුට වඩා අඩුයි නම් ඔවුන් බැඳී නැහැ කාන්තාවන් ඇතුළත් කිරීමට. ප්‍රධාන පක්ෂ දෙක බොහෝදුරට මේ තත්ත්වයට භාජනය වෙන්නෙ නැහැ. නමුත් සුළු පක්ෂවලට මෙවැනි තත්ත්වයකදී කාන්තාවක් ඇතුළත් කිරීම අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නෙ නැතිවුනත් ඒ අයට අවශ්‍ය නම් එය කළ හැකියි.

25%ක කෝටාව අනිවාර්ය නිසා දේශපාලන පක්ෂ කවුරුන් හෝ ඇතුළත් කළොත් කාන්තාවන්ට මෙම කෝටාව ලබා දීමෙන් අපේක්ෂා කළ කාර්ය ඉටු නොවෙන්න ඉඩ තිබෙනවා නේද? 

ඒ අවධානම මේ මොහොතෙත් අපට තිබෙනවා. දැන් පළාත් පාලන ආයතන අනූ තුනක නාම යෝජනා භාර දී තිබෙනවා වගේම 248ක නාම යෝජනා භාර ගැනීම ඉදිරි දින දෙකේ දී සිදුවෙනවා. (සාකච්ඡාව සිදුවූ දින වන විටත් නාම යෝජනා භාර ගැනීම් සිදුවෙමින් පැවතුනි.) මේ 25%ට ඇතුළත් කාන්තාවන් කවුද කියන කාරණය අතිශය තීරණාත්මකයි. අනාගතයේ මේ රටේ කාන්තා දේශපාලනය කොහොම වේවි ද කියන එක තීරණය වෙන්නේ මෙම 25% යොදා ගැනීමේ ඵලදායිතාව මත. දේශපාලනයේ ඉන්න පිරිස්වල මන්ත්‍රිවරු, ආසන සංවිධායකවරු නැතිනම් පළාත් සභා මන්ත්‍රීවරු යන අයගේ පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරි ද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ පුළුවන්. ජාතික දේශපාලනඥයන්ට වඩා ඔවුන් දක්ෂ නම්, නිර්මාණශීලී නම්, හැකියාව පවතී නම්, දූෂණයෙන් හා වංචාවෙන් තොරයි නම් ඔවුන්ට තරග කිරීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා ඒ ඉඩ සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න ඕන.

නමුත් මේ මතු වුණ ප්‍රශ්නය එන්නෙ ඉතිහාසයේ පටන් අපි දැක්කේ ජාතික දේශපාලනයේ නියුතු  තැනැත්තන්ගේ අභිලාශය මත ඔහුගේ බලය සහ ධන සම්බන්ධතා යොදා ගනිමින් බිරිද, දූ දරුවන් හෝ පවුලේ උදවිය ඊළග දේශපාලන ස්ථරය වශයෙන් ගෙන එනවා. ඒ කියන්නේ ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් බිරිඳ පළාත් සභාවට ගේනවා. ඔහු පළාත් සභවේ ඉන්නවා නම් අනික් කෙනාව පළාත් පාලන ආයතනයට ගේනවා. අර දේශපාලන රැකවරණයෙනුයි අනෙක් පිරිස මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මේ තත්ත්වය වළක්වා ගන්නෙ කොහොමද, කාන්තාවක් මැතිවරණයට ඉදිරිපත් වීම සහ ඉන්පසු ඵලදායි විදිහට සැබෑ කාන්තා අභිලාශයන් මතු වන ආකාරයටද පත් කිරීම් කරන්නෙ කියන දේ අපට සොයා බැලීමට සිදුවෙනවා.

මේ 25% අදාළ වෙන්නේ පළාත් පාලනයට. ජාතික මට්ටමට එනකොට මේ කාන්තා නියෝජනයට මොකද වෙන්නෙ?

ඇත්තටම මේ වෙනකොට පළාත් සභාවටත් 30%ක කෝටාවක් යෝජනා වෙලා තිබෙනවා. මම හිතනවා පාර්ලිමේන්තුවටත් කෝටාවක් එයි කියලා. පළාත් පාලනයේ මේ කාන්තා නියෝජනයට ලබා දුන් කෝටාව අවස්ථා ගණනාවකදී වෙනස්කම්වලට භාජනය වුණා වගේම දැනට පළාත් සභාව සම්බන්ධයෙන් යෝජනා වී තිබෙන කෝටාවත් අනාගතයේ කුමන වෙනස්කම්වලට භාජනය වෙයිද යන්න අපි තවම දන්නෙ නැහැ. නමුත් ජාතික දේශපාලන නායකත්වය ගොඩනැගෙන්න නම් මේ හැම ස්ථරයකම කාන්තා නියෝජනය තිබිය යුතුයි. මේ හැමදේකම ඵලදායිතාව රඳා පවතින්නෙ පළාත් පාලන ආයතනවලට තේරී පත්වන කාන්තා නියෝජිතයන් හරහා. පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට කෝටාවන් තිබුණේ නැතත් පළාත් පාලන ආයතන තුළ මෙවර පැහැදිලි වෙනසක් කරන්න කාන්තාව සමත් වුණොත් එම ආයතන සඳහාත් මේ රටේ ජනතාව කාන්තාවන් තෝරා පත් කර යවන්න කටයුතු කරයි. අල්ලස, දූෂණය 50%කින් අඩු කරන්න පුළුවන් කාන්තාවන් හරියට ක්‍රියාකරන්න පටන් ගත්තොත්. හැබැයි ඒක පදනම් වෙන්නේ මොන වගේ කාන්තාවන් ද එතනට යන්නේ කියන කාරණය මතයි. යම් කාලයකදී කාන්තාව තම දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ දක්ෂතාවය පෙන්නුම් කරද්දී දේශපාලන සංස්කෘතියේ වෙනසක් කාන්තාව නිසා සිදුවෙද්දී අනාගතයට තවදුරටත් කෝටාවක් අවශ්‍ය නොවේවී.

මේ නව මැතිවරණ ක්‍රමයම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ආදේශ කිරීම එම ආයතන ව්‍යුහය පිහිටුවීමේ අරමුණුවලට බාධාවක් නොවෙයිද? 

පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය වන නීති මේ වන විටත් ගෙන තිබෙනවා. නමුත් අවාසනාවකට දේශපාලන හේතු මත මේ වන විට එය 60ට 40 අනුපාතයට නෙවෙයි 50ට 50 අනුපාතයටයි ගෙන තිබෙන්නෙ. පසුව එය සංශෝධනය වීමක් සිදුවෙන්නත් පුළුවන්. නමුත් මේ ක්‍රමයේ මූලිකම හරය කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් ලැබීම. මහජන නියෝජිතයෝ ජාතික මට්ටමේ නම් කොට්ඨාස මට්ටමින් බෙදෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් කුමන කොට්ඨාසයක් නියෝජනය කළත් ජාතික වශයෙන් ප්‍රශ්න දිහා බලනවා නම් අවශ්‍ය නීති ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වෙනුවෙන් කටයුතු කරනවා නම් එවැනි බෙදීමක් එතරම් වැදගත් නැහැ. නමුත් පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසය වැදගත්. මොකද ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය වැදගත්. පළාත් සභා කියන්නෙ මෙහි යම් අතර මැදි තත්ත්වයක්. කොට්ඨාසයකට වගකියන පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් එය ප්‍රදේශයේ සංවර්ධනයට පිටුවහලක්. විශේෂයෙන්ම අපේ වැනි රටකට යම් නිශ්චිත භූගෝලීය ප්‍රමාණයකට වගකියන මන්ත්‍රීවරයෙක් සිටීම අතිශය වැදගත්. එම නිසා එවැනි වටපිටාවක පළාත් පාලනයේ වගේම පළාත් සභාවෙත් කොට්ඨාස පදනමට මැතිවරණ පැවැත්වීම හොඳ වුනත් පළාත් සභා සම්බන්ධයෙන් දැනට පවතින ආකාරයේ යම් ගැටලුුවක් තිබෙන බවත් කිව යුතුයි.

මෙවර මැතිවරණ ක්‍රමයේ වෙනසත් සමඟ දේශපාලනයේ අටුවම් බැහැලා සිටින පිරිසම නැවත දැකීම වෙනුවට සැබෑ වෙනසක් වෙයි කියන සුබවාදී බලාපොරොත්තුවට ඉඩක් තිබෙනවාද?

 මම ඉන්නේ ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිව. යම් ආකාරයකට මේ මැතිවරණය ක්‍රමයෙන් කොට්ඨාසයට වග කියන නියෝජිතයකු ලැබීමත් එක්ක ඡන්දදායකයාට තමන්ගේ ගමට වැඩ කරන හොඳම කෙනා තෝරා ගැනීමේ යම් ප්‍රවණතාවක් තිබෙනවා. ඒ අනුව ඔවුන්ට පුළුවන් දූෂණයෙන් වංචාවෙන් තොර, බුද්ධිමත් නිර්මාණශීලී, අවංක, දැනුමැති පුද්ගලයෙකු නියෝජිතයා වශයෙන් තමන්ගේ කොට්ඨාසයට පත් කර ගන්න. නමුත් මේ දේ එක මැතිවරණයකින්, එක රැයකින් සිදු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේකට මේ රටේ පුරවැසි ඉල්ලුමක්, ‘පබ්ලික් ඩිමාන්ඞ්’ එකක් අවශ්‍යයි. අද තියෙන ප්‍රශ්නය පබ්ලික් ඩිමාන්ඞ් එක නැතිකම. ඒ ඩිමාන්ඞ් එකට තමයි දේශපාලන පක්ෂ සැපයුම දෙන්නේ. දැන් අපි පහුගිය කාලයේ දැක්කා නළු නිළියන් දේශපාලනයට ගෙන ඒමෙන් සිදුවුණ දේ. එයින් කියන්නේ නැහැ නළුවන්ට නිළියන්ට දේශපාලනය කරන්න බැහැ කියලා. නමුත් ඔවුන්ගේ හුදු ජනප්‍රියත්වය මත දේශපාලනය කරන්න බැහැ කියලා ඔප්පු වී තිබෙනවා. හැබැයි දේශපාලන පක්ෂ ඒ අවස්ථාවේ එය සැලකිල්ලට ගත්තෙ නැහැ. මොකද ඒ වෙලාවේ මිනිස්සු ඒකට ඡන්දය දුන්නා. දැන් ඒ ඩිමාන්ඞ් එක වෙනස් වෙමින් යනවා. මහජන ඉල්ලුමට අනුවයි දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. දේශපාලන පක්ෂ හැමවෙලේම කියන්නෙ දිනන අශ්වයන් දානවා කියලා. ජයග්‍රහණය කරන්න පුළුවන් ද කියලා දැනගන්නේ, සල්ලි තියෙනවාද? වියදම් කරන්න පුළුවන්ද? ප්‍රසිද්ධ මනුස්සයෙක්ද? ලස්සනයිද? රාජ්‍ය නිලධාරීන්ට හරි පොලිස් නිලධාරීන්ට හරි බලපෑම් කරන්න හයිය තියෙනවාද? කියන දේවල් සමඟ. දැනට තිබෙන පබ්ලික් ඩිමාන්ඞ් එක මෙය වුනත් දැන් එය ක්‍රමිකව වෙනස් වෙමින් යනවා. මිනිස්සු තනි තනිවම තමන් ගැන හිතමින් දේශපාලන තීරණ ගත්ත රටාව මඳක් වෙනස් කර ගනිමින් තිබෙනවා. මිනිස්සුන්ට කාලයක් තිස්සේ අත්දැකපු දේවල්වල එපා වීමක් දැන් තිබෙනවා. ■‍

2017-12-24 රාවය සමබිම අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , ,

Leave a Comment