බෙදන  තරමට  සංවර්ධනය  පහසුයි

Jan 2nd, 2018 | By | Category: 30 Years Experience- Provincial Council, LEAD NEWS, දේශපාලන, පුවත්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්

දෙසැම්බර් 15 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ සාකච්ඡාමය වැඩසටහන සඳහා පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවනු ලැබීය. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.

දෙසැම්බර් මාසය සම සමාජ ව්‍යාපාරයට සුවිශේෂි වන මාසයක් නේද? 

ඔව්, ලංකාවේ සමසමාජ පක්ෂය ආරම්භ කළේ 1935 දෙසැම්බර් 18 වැනිදාවක. ඒ නිසා සමසමාජ ව්‍යාපාරයේ සංවත්සර සැමරුම මේ මාසයට යෙදෙනවා. 

ඔබ සම සමාජ ව්‍යාපාරයට නැඹුරු වුණේ කොහොමද?

  මම කලුතර දිස්ත්‍රිකයේ අඟලවත්ත මැතිවරණ කොට්ඨාසයට අයත් වෙන කෙනෙක්. අඟලවත්ත මැතිවරණ කොට්ඨාසය වගේම පානදුර, බුලත්සිංහල, කලුතර කියන්නෙ සම සමාජ පක්ෂ ඉතිහාසයේ ශක්තිමත් තැන්. මගේ පියා සම සමාජ පක්ෂ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ කෙනෙක්. 1965 මැතිවරණයේදී ඔහුව ඝාතනය කළා. පසුව මම කලක් අඟලවත්ත මන්ත්‍රීවරයා වුණ අනිල් මුණසිංහ මහත්තයා ළඟ හැදී වැඩෙනවා. වමේ දේශපාලනය මගේ ජීවිතයට කා වැදුණේ පියාගෙත් ඔහුගෙත් අභාෂය එක්ක. කලක් විදේශගතව හිටපු මම 2000 වසරේ පැවැත්වුණ මහ මැතිවරණයට මුලින්ම ඉදිරිපත් වෙන්නෙ ජයග්‍රහණය කිරීමට වඩා දේශපාලනයට ඇතුළ් වීමේ මූලික පියවරක් විදියට. නැවත 2004 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් වුණත් දිනන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පසුව 2009 වසරේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා බස්නාහිර පළාත් සභාවට තේරී පත්වෙනවා. 

නමුත් මේ තරම් ඔබට බද්ධ වුණු සම සමාජ ව්‍යාපාරයෙන් පසුව ඔබ කැඩී වෙන්වෙනවා කිව්වොත් නිවැරදිද?

එය කැඩී වෙන්වීමක්ම නොවෙයි. සම සමාජ ව්‍යාපාරය තුළ කටයුතු කළ අපි, හැම වෙලාවෙම හිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුයි කියන තැන. 18 වෙනි සංශෝධනය සමඟ විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කරද්දී පක්ෂයේ මතය වුණේත් අපි හිටගත්තෙත් එයට විරුද්ධව. නමුත් පක්ෂයේ මතය එලෙස තිබියදී එවකට පක්ෂයේ ලේකම්වරයාව සිටි තිස්ස විතාරණ මැතිතුමා, වයි.ජී. පද්මසිරි වගේ පිරිසක් 18 වන සංශෝධනයට සහය පළ කරලා ඡන්දය ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ක්‍රියා පිළිවෙළ සමඟ වැඩි එකඟතාවයකින් නෙවෙයි අපි කටයුතු කළේ. ඒ වෙනකොට 2015 මැතිවරණයට පොදු අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධ සාකච්ඡාවක් රටේ ඇති වෙලා තිබුණා. අපේ පක්ෂය ඇතුළෙත් මේ සම්බන්ධයෙන් මතවාද දෙකක් තිබුණා. තිස්ස විතාරණ මහත්තයා ඇතුළු පිරිසක් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා යළිත් මැතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියන තැන. නමුත් සමසමාජ පක්ෂය හැමදාම හිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ. ඒ අනුව අපි කණ්ඩායමක් හිටියේ මැතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට සහය දක්වමු කියන තැන. මේ සිද්ධීන් සමඟ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බෙදීමක් ඇති වුණා. අපි පොදු අපේක්ෂකයාට සහය දෙන්න තීරණය කිරීමෙන් පසුව මම, ලාල් විජේනායක සහෝදරයා, ජයම්පති වික්‍රමරත්න සහෝදරයා ඇතුළු කණ්ඩායමකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබුවා. නමුත් අපි තවමත් සම සමාජ පක්ෂිකයෝ වගේම අපි දරපු මතය තමයි පක්ෂයේ බහුතරයකගේ මතය වුණෙත්. අද වන විට ඒ වෙන්වුණු පිරිස එක්සත් වාමාංශික පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවා ගැනීමට කටයුතු කරල මෙවර පළාත් පාලන මැතිවරණයේදීත් කණ්ඩායමක් එයින් තරග කිරීමේ සුදානමකුත් තිබෙනවා. 

සම සමාජ පක්ෂයේම නියෝජිතයෙක් වුණ ජයම්පති වික්‍රමරත්න මැතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දෙන කෙනෙක්. ඔබට අනුව මේ ක්‍රියාවලිය අද කොතනද තිබෙන්නෙ?

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ කිසිම කෙනෙක් විරුද්ධ වුනේ නැහැ. ඔවුන් සියලු දෙනාම මේ ක්‍රියාවලියේදී එකට එකතු වෙලා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙසයි කටයුතු කළේ. එහිදී කාරක සභා හයකට බෙදිලා කෙටුම්පත් සකස් කරනු ලැබුවා වගේම ඒකාබද්ධ විපක්ෂයේ අයත් මේ කමිටුවල සභාපතිවරු හැටියට වැඩ කළා. නව ව්‍යවස්ථා ක්‍රියාවලිය සඳහා මහජන අදහස් විමසීම නීතිඥ ලාල් විජේනායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් හරහා සිදුවුණා. මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න මහජන අදහස් විමසුවේ නැහැ. අද වන විට ඒ මහජන අදහස් එක තැනකට ගොනු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දවස් කිහිපයක විවාදයක් පවා පැවැත්වුණා.

දැන් අපි පළාත් පාලන මැතිවරණයකට යන්න සුදානම්ව සිටින්නෙ. එවැනි අවස්ථාවක මේ සම්බන්ධව විවිධ බොරු ප්‍රචාර ගෙන යෑම දකින්න තිබෙනවා. මේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට, සිංහල ජාතියට නිසි තැන දෙන්නෙ නැහැ, ජාතික කොඩිය වෙනස් කරන්න මෙයින් උත්සාහ දරනවා වැනි ජාතිවාදී මතවාදයන් ගෙන යෑමට පිරිසක් උත්සාහ දරනවා. කණගාටුදායක කාරණය වෙන්නෙ අද ජනමාධ්‍ය විසින් පුම්බන්නෙ මේ ජාතිවාදී මතයම වීම. නමුත් මේ තුළ මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණා ශක්තිමත් කර තිබීම, බලය බෙදීම ආදිය සම්බන්ධයෙන් මෙහි අඩංගු වී තිබෙන කාරණා කිසිවක් සාකච්ඡාවට ගන්නෙ නැහැ. අද බොහෝ දෙනාට අවශ්‍ය වී තිබෙන්නෙ මේ ජාතිවාදී කාරණා ඉස්මතු කරමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට වාසි ලබා ගැනීම. මේවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට තිබෙන බාධා ලෙසයි මම දකින්නෙ. 

මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය තුළ බලය බෙදා හැරීම පිළිබඳවත් සාකච්ඡා වෙනවා. ඔබ එවැනි බලය බෙදා ගැනීමේ ව්‍යුහයක කටයුතු කර අත්දැකීම් තිබෙන කෙනෙක්. රටේ සංවර්ධන ක්‍රියාවලියෙහිලා බලය බෙදා ගැනීමේ වැදගත්කම ඔබ දකින්නෙ කෙසේද?

13 වැනි සංශෝධනය හරහා පළාත් සභා ඇති කිරීමට අපි සහයෝගය දුන්නා. එයින් අපි බලාපොරොත්තු වුණේ බලය බෙදා හැරීම තුළ සංවර්ධනය වේවා එදිනෙදා පරිපාලනය වේවා මේ කුමන අන්දමකින් හෝ ජනතාවට වඩාත් පහසුවක් ඇති කිරීම. එය සංවර්ධන ක්‍රියාවලිය වේගත් කිරීමට පහසුවක්. අද මධ්‍යම ආණ්ඩුව යටතට අයිති වෙන ජාතික පාසල් බොහොමයකට ගුරු හිඟයක් තිබෙනව වුනත් ඒවා පාලනය කිරීමට වැඩපිළිවෙළක් නැහැ. නමුත් පළාත් සභා තුළ ඒ කටයුතු පිළිවෙළට සහ පහසුවෙන් කිරීමට අවශ්‍ය ඉඩකඩ බලය බෙදීම හරහා ගොඩනැගෙනවා. මොකද පළාත් සභා මන්ත්‍රීවරයා කියන්නෙ ගම එක්ක ඉන්න කෙනෙක්. ඒ අයට ගමේ සංවර්ධනය වෙනුවෙන් වඩාත් සජීවීව දායක වීමේ ඉඩකඩ මෙයින් හැදෙනවා. ඉස්සර උප්පැන්න සහතිකයක් ගන්න කොළඹට එන්න ඕන. නමුත් අද එහෙම අවශ්‍ය නැහැ ගමේ ප්‍රාදේශීය කාර්යාලයට ගියාම එය කළ හැකියි. ඒ නිසාම බලය බෙදීම කියන්නෙ අද මහජනතාවට තමන්ගේ කාර්යන් පහසුවෙන් කර ගැනීමට ලැබී තිබෙන අවස්ථාවක්. ආණ්ඩුව කියනවා එළැඹෙන වසරේ සිට හැම ග්‍රාමසේවා වසමකම ‘සේවා පියස’ ආරම්භ කරන බව. සේවා පියස තුළත් වැඩපිළිවෙළක් තිබෙනවා ගමට අවශ්‍ය, නමුත් දැනට ආණ්ඩුව කරන කාර්යයන් ගම තුළදීම සේවා පියස හරහා කරන්න. මම හිතන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් බලය වඩ වඩාත් පහළට ගමන් කළ යුතුයි කියල. මොකද අපි බලය බෙදාගන්න තරමට රට සංවර්ධනය කරන්න පහසුයි.  ■   

2017.12.31 රාවය සමබිම අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment