තිස් වසරක ආත්ම ගවේෂණය ඉන්දු ලංකා ගිවිසුමේ උරුමයන්

Jan 2nd, 2018 | By | Category: 30 Years Experience- Provincial Council, EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිත් 1987 ජුලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කලබලකාරී වසර 30ක් ගතවී ඇත. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඉතිහාසයේ කොටසක් බවට පත් වී ඇති ඉන්දු ලංකා ගිවිසුම නිසා ලංකාවේ දේශපාලනය වෙනස් වී ඇත්ද යන ප්‍රශ්නයට ‘ඔව්’ සහ ‘නැත’ යන පිළිතුරු දෙකම දිය හැකිය.

1987 සිට ශ්‍රී ලංකාවේ සිදු වූ වැදගත්ම දේශපාලන වෙනස වන්නේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමයි. ඉන්දු ලංකා ගිවිසුම, ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධයට ව්‍යවස්ථාමය දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා ගත් මූලික උත්සාහයකි. ඉන්දියාව මුල පිරූ දේශපාලන විසඳුමකින් ලංකාවේ වාර්ගික අර්බුදය විසඳීමට අමතරව යුද්ධයෙන් පසු ලංකාවේ දේශපාලන ගමන් මග හැඩ ගැස්වීමට ඉන්දීය මැදිහත් වීම සහතික කරනු ඇතැයි යන්න රජීව් ගාන්ධිගේ අදහස විය. මේ අරමුණ ගිවිසුමේ වගන්තිවලින්ද සියුම්ව දැකගත හැකිවේ. ගිවිසුමේ ආසන්නම අරමුණු දෙකක් විය. පළමුවැන්න, දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට අවි බිම තබා ඊනියා ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එක් වෙන්නට බල කිරීමයි. දෙවැන්න, ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාව හා ව්‍යුහාත්මක රාමුව වෙනස් කර සුළුතර දෙමළ ප්‍රජාවට ප්‍රාදේශීය ස්වයං පාලනයක්, බලය බෙදා හැරීම තුළින් ලබා දීමයි. මෙම අරමුණු දෙකම සාර්ථක වූයේ මඳ වශයෙනි.

එල්ටීටීඊය හැරුණු විට අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් තමන්ට විවර වුණු නව දේශපාලන ගමන්මග අනුගමනය කිරීමට එකඟ විය. ගිවිසුම ප්‍රතික්ෂේප කළ එල්ටීටීඊය, ලංකාව පමණක් නොව ඉන්දීය රාජ්‍යය සමගද සටන් වැදුණි. ගිවිසුම අත්සන් කර මාස 4 ක් තුළ එහි අනුග්‍රාහකයා වූ ඉන්දියාව යුද්ධයේ සෘජු පාර්ශ්වයක් වූයේ ලංකාවේ සිවිල් යුද දේශපාලනයේ අනපේක්ශිත ස්වභාවය විදහා පාමිනි.

2009 මැයි මස මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එල්ටීටීඊය තීරණාත්මකව පරාජය කරමින් නොකළ හැකි දෙයක් ලෙස සැලකූ ඒක පාර්ශ්වීය ජයග්‍රහණය ලබාගන්නා තුරු යුද්ධය පැවතුනි. මෙය සිදු වූයේ ලංකාවේ මුල්බැසගෙන තිබූ මතවාදයන්ට පටහැනිව ඉන්දියාව, චීනය, රුසියාව, පාකිස්තානය, ජපානය, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි පාර්ශ්වයන් රැසක සහාය සහ ආශිර්වාදය ඇතිවය. ජයග්‍රහණයේ උන්මාදය මැද ජනාධිපති රාජපක්ෂ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ ‘‍මුල්ම ජයග්‍රහණයට’ පෞද්ගලිකවම හිමිකම් කීවේය. ඉන්දු ලංකා ගිවිසුම කෙටුම්පත් කිරීමට හේතුවුනු ජනවාර්ගික අර්බුදයට ‘දේශපාලන විසඳුමක්’ යන එළැඹුම මේ මගින් සදහටම අවසන් විය.

ගිවිසුමේ දෙවැනි අරමුණ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය කෙරුණි. 1978 ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය 1987 නොවැම්බර්වලදී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඉන්දියානු ව්‍යවස්ථාවේ බලය බෙදීමේ ආකෘතිය සමීපව අනුගමනය කළ නව නීතිය, පළාත් සභා ක්‍රමයක් ලංකාවේ පළාත් 9ක ඇති කරන ලදී. දෙමළ ජාතික ප්‍රශ්නයට ප්‍රමාණවත් නොවන විසඳුමක් ලෙස දක්වමින් එල්ටීටීඊය විසින් ප්‍රතික්ෂේප කළත් 13 වන සංශෝධනය, බහුත්වවාදය සහ බහුවාර්ගිකත්වය අතින් ප්‍රතිසංස්කරණය නොවුනු නිදහසින් පසු ලාංකික රාජ්‍යය අවම වශයෙන් නීතියට පමණක් සීමාවුන ලෙසින් හෝ ප්‍රතිව්‍යහුගත කිරීමට සමත් විය.

බොහෝ විවේචනයන්ට ලක් වුන ඉන්දු ලංකා ගිවිසුම දෙස නැවත බලන විට සමකාලීන දේශපාලනයට එමගින් ලැබුණු වැදගත්ම සහ වඩාත්ම කල් පවත්නා දායකත්වය මෙය බව පෙනීයයි. ගිවිසුමේ පැහැදිලිව කියාපාන පරිදි 1987 බලය බෙදා හැරීමේ ක්‍රමවේදය වැදගත් උපකල්පන කිහිපයක් මත පදනම් වී නිර්මාණය වී ඇත. ඒවා නම්,

1) ශ්‍රී ලංකාව බහුවාර්ගික බහු සංස්කෘතික සමාජයකි.

2) වෙන්ව යාම සඳහා වූ දෙමළ ජනතාවගේ ඉල්ලීම තේරුම් ගත හැකි වුවද දේශපාලන වශයෙන් ලබාදිය හැකි නොවන බව

3) ඒකීය රාජ්‍යයක් සහ බෙදී වෙන්වීමේ අයිතිය යන ඉල්ලීම් දෙකටම දිය හැකි හොඳම විකල්පය ප්‍රාදේශීය ස්වයං පාලනයක් බව

4) ලංකාවේ ජනවාර්ගික අර්බුදය කළමනාකරණය කිරීමට හොඳම මාර්ගය වාර්ගික සුළුතරයන්ට යුක්ති සහගත සහ අනෙකුත් දුක් ගැනවිලි සහ අභිලාෂයන් ඇතිබව පිළිගන්නා දේශපාලනික ක්‍රියාමාර්ගයක් බව.

මෙම උපකල්පනයන් මත රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම ලංකාවේ දේශපාලන එක්සත් බවටත්, ජාතිය ගොඩනැංවීමටත්, අත්‍යවශ්‍ය බව බලගතු පිටස්තරයෙකු විසින් බලහත්කාරයෙන් සිංහල පාලක පන්තියට ඒත්තුගැන්වීම සිත්ගන්නා සුළුය. එතරම් විශ්වාසයකින් තොරව වුවද එය පිළිගැනීම ලංකාවේ දේශපාලනයට බොහෝ සෘණාත්මක දේ දයාද කළ ජේ. ආර්. ජයවර්ධන විසින් කරන ලද ධනාත්මක දායකත්වයකි.

1987 නොවැම්බර් සිට ලංකාවේ පළාත් සභාවලට සිදු වූ දෙය හැලහැප්පීම් බහුල කතාවකි. ඒකාබද්ධ කළ ‘උතුරු නැගෙනහිර’ පළාතේ දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරෙන් වඩාත්ම වාමාංශික වූ ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF)මුල්ම පළාත් සභා ඡන්දය දිනීමෙන් පසුව සන්ධානගත වුනත් අවසානයේ දරදඬු, අනුකම්පා විරහිත සහ වංක වූ කොළඹ දේශපාලන පැලැන්තිය සහ නිලධාරී තන්ත්‍රය සමග ගැටීමට සිදු විය. මෙම බලාපොරොත්තු සුන්වීම නිසා ඒකපාර්ශ්වීයව ස්වෛරීභාවයක් ප්‍රකාශ කළ EPRLF සාමාජිකයෝ අවසානයේ දේශපාලන රැකවරණය පතා ඉන්දියාවට පලා ගියහ. බලය බෙදීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ සිංහල බහුතරයක් වූ පළාත් හතෙහි පමණක් පළාත් සභා දිගටම පැවතුනි. මෙම පළාත් හතට සීමා වී, ඒකීය මධ්‍යගත රාජ්‍යයක් පිළිබඳව බලවත් මතවාදී සුසමාදර්ශයකට (Ideological Paradigm) හසුවුන සමස්ත පළාත් සභා ක්‍රමයම තමන්ගේ පැවැත්ම සඳහා ප්‍රාදේශීය ස්ව‍යං පාලනයට බැහැර වෙනත් දේශපාලන කරුණු මත රදා පවතින්නට විය.

ඒ අතරින් පළමුවැනි කරුණ වන්නේ මුල් අරමුණට පටහැනිව මධ්‍යම රජයේ සහ බලයේ පවතින දේශපාලන පක්ෂයේ ආයතනික දිගුවක් බවට පළාත් සභා පත් වීමයි. දෙවනුව දූෂිත සහ අනුග්‍රහක දේශපාලනය (Patronage Politics) විමධ්‍යගත සහ ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ ආයතන බවට පළාත් සභා පත් විය. 2013දී යුද්ධයෙන් පසුව නැවත පත්වූ, දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමතිවරයෙකු පාලනය කරන අතුරු පළාත් සභාවටවත් මෙම ආයතනික අප්‍රාණිකත්වයෙන් ගැලවීමට නොහැකි විය. මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් තම පක්ෂයේ බලාපොරොත්තු කඩ කරමින් උතුරේ ජනතාවට ස්වයං පාලනය දීම සඳහා ගත් වෑයම අසාර්ථක විය. මේ නිසා උතුරු පළාතේදී ‘බලය බෙදීම’ යන්න  ‘බලය නොබෙදීම’  ලෙස අර්ථ දැක්විය හැකිවේ.

1987 ජුලි මස සිට ලංකාවේ දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් සිදු වී නැත. වාර්ගික සිවිල් යුද්ධය අවසන් වී ඇති අතර රාජ්‍යයට තර්ජනයක් වන සන්නද්ධ කැරළිකාරීත්වයක් නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්දනය වූයේ 1989 තරම් ඈත කාලයකදීය. ඇත්තෙන්ම ජවිපෙ ඵලදායී පාර්ලිමේන්තු දේශපාලන පක්ෂයක් වීමට සමත් වී ඇත. ඒකාධිපති ආණ්ඩු පත්වී පරාජය වී ඇත. නැවත ප්‍රජාතන්ත්‍රීය කිරීමේ වෑයම් ඇතිවී තරමක් දුරට සාර්ථක වී ඇත. ලංකාවේ අනාගතය ගැන එකිනෙකට පටහැනි මත දරන නව දේශපාලන නායකත්වයක් ඉස්මතුව තිබේ.

මේ සියලු‍ම වෙනස්වීම් අතරේ රාජ්‍යය ප්‍රතිසංස්කරණයට ඇති විරුද්ධත්වය සහ බහුත්වවාදී සහ බහුවාර්ගික වීමට රාජ්‍යයේ ඇති අසමත්කම නොවෙනස්ව පවතී. මෙසේ වන්නේ ප්‍රතිසංස්කරණවලට ඇති මහජන සහයෝගය සහ ඡන්දවලදී දේශපාලනඥයන් දෙන පොරොන්දු තිබියදීය. ගිවිසුමෙන් 30 වසරක් ගතවී තිබියදී ලංකාව නැවත වරක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ඇති ගම්‍යතාවය සීඝ්‍රයෙන් නැති කරගනිමින් පවතී.

ඉන්දු ලංකා ගිවිසුමේ වඩාත්ම වැදගත් උරුමය වන්නේ 13 වන සංශෝධනයට සහ ගිවිසුමට මග පෙන්වූ ඉහත දැක්වුණු උපකල්පනයන් විය හැකිය. ■

2017.12.31 වන දින රාවය සමබිම අතිරේකයට කසුන් ගුණවර්ධන විසින් පරිවර්තනය කරන ලද ලිපියකි. 
(ජුලි මස 27 වැනි දින ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ලියන ලද ‘Thirty years of soul-searching — the lasting legacy of 1987’ ලිපියේ පරිවර්තනයකි)

Recent Posts

Leave a Comment