පිළිතුර මගින්  ප්‍රශ්නය තේරුම් ගැනීම

Jan 2nd, 2018 | By | Category: 30 Years Experience- Provincial Council, LEAD NEWS, දේශපාලන, පුවත්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ලංකාවේ අපි ඕනෑම වෙනසකට ආරම්භයේදී මාරාන්තික ලෙස විරුද්ධ වී පසුව ඉතා හොඳින් අනුගත වන්නෙමු. 1987 දී දැඩි මර්ධනකාරී පරිසරයක් තුළින් රටට හඳුන්වා දුන් පළාත් සභාවල අද ක්‍රියාකාරීත්වය මෙහි සජීවීම උදාහරණයයි. එදා පළාත් සභා නිසා රට බෙදෙනවා යැයි කියූ කිසිවෙකු අද එසේ කියන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගත් කමිටු වාර්තාවේ මෙන්ම නව ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතුරු වාර්තාව මගින් අපට පෙන්වා දෙන්නේ ද රටේ බහුතර ජනතාව පමණක් නොව ආරම්භයේදී පළාත් සභාවලට එරෙහි වූ දේශපාලන පක්ෂද අද බලය බෙදීමේ ඒකකය ලෙස පළාත් සභාව පිළිගන්නා බවයි.  

එක් අතකින් පළාත් සභාවට මෙම දේශපාලන පිළිගැනීම ලැබී ඇති අතර අනෙක් අතින් පළාත් සභාව දැන් ජන ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. එහෙත් මෙම පිළිගැනීම ලැබුනා කියා පළාත් සභාවලට අදාළ දේශපාලන සහ පරිපාලන ගැටලු ඉවත්වී පළාත් සභා වඩා හොඳින් ක්‍රියාත්මක වේ යැයි කිසිසේත් කිව නොහැක. එම නිසා ‘සමබිම ඉරිදා අතිරේකය’ පසුගිය කලාප 15 පුරා පළාත් සභා පිළිබඳ අදහස්වලට වැඩි ඉඩක් ලබා දුන්නේ දැන් තිස් වන විය පසුකරමින් සිටින ලංකාවේ පළාත් සභා ක්‍රමය පිළිබඳ තවමත් ප්‍රමාණවත් සාකච්ඡාවක් ඇතිවී නොමැති තත්ත්වයක් තුළය. පළාත් සභා යනු දේශපාලන අර්බුදයකට (අවශ්‍ය නම් අරගලයකට) ලැබුන පිළිතුරකි. දැන් එම පිළිතුරුත් සමඟ අප වසර 30ක් ජීවත් වී ඇත. එහෙත් තවම අප අතර මේ පිළිතුර ලබා ගත් ප්‍රශ්නය කුමක්ද යන්න පිළිබඳ එකඟතාවක් නැත. පළාත් සභා සම්බන්ධයෙන් නොවිසිඳුන ප්‍රශ්න වලට එක හේතුවක් වන්නේ මෙයයි. එම නිසා එක් අතකින් පළාත් සභා ගෙන ආ හේතුව පිළිබඳ එකඟතාවයකට ඒමට උත්සාහ දැරිය යුතු අතර අනෙක් අතින් පළාත් සභාවල ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතුය. පළාත් සභා ගෙන ඒමට බලපෑ හේතුව නිසා පළාත් සභාවල අද ක්‍රියාකාරීත්වය උසස් හෝ පහත් වන්නේ නැති බවට වගබලාගත හැකි වන්නේ එම නිරන්තර විමසිල්ලයි. ලංකාවේ ජාතික ප්‍රශ්නය සමඟ ගැට ගැසී ඇති දේශපාලන සහ පරිපාලන ගැටලු තේරුම් ගැනීමට භාවිතා කළ හැකි හොඳම නිදර්ශකය පළාත් සභාවයි. එම නිසා පළාත් සභා දෙස නැවත නැවත් බලමින් උත්තරය නිසි ලෙස සකසා ගැනීම ප්‍රශ්නය තේරුම් ගැනීමට හොඳ මාවතක් වෙනවා නිසැකය.  

පසුගිය කලාප 15 දී පළාත් සභා සහ බලය බෙදීම පිළිබඳ නීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, රෝහණ හෙට්ටිආරච්චි, උපුල් නිශාන්ත, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ ජගත් ලියනාරච්චි, අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, අචාර්ය ජයම්පති විකක්‍රමරත්න, අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාචාර්ය එම්.ඕ.ඒ.ද සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්, පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කොන්ගහගේ, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය ඩිලාන් පෙරේරා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, හර්ෂ ගුණසේන යන මහත්ම මහත්මීන් ගේ අත්දැකීම් සහ අධ්‍යනයන් තුළින් මතු වූ අදහස් ඉදිරිපත් කළේය. එහිදී පුරවැසි භුමිකාව, පළාත් සභා බලතල, මැතිවරණ ක්‍රම, ඡන්ද අයිතිය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පරමාධිපත්‍ය, පක්ෂ දේශපාලන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, සමාජ ආකල්ප, උතුරේ දේශපාලනය, ඒකීය සහ ෆෙඩරල් ව්‍යවස්ථා, කාන්තා නියෝජනය, ආණ්ඩුකාර භුමිකාව, වයඹ පළාත් සභා ආදර්ශය, පරිපාලන අත්දැකීම්, ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර අත්දැකීම් වැනි පැති ගණනාවකින් පළාත් සභා දෙස බැලීමට හැකියාව ලැබිණි.  ඔබට මෙම ලිපි මාලාව මග හැරුණේ නම් සමබිම වෙබ් අඩවියෙන් නැවත කියවිය හැක. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නිමා නොවුන සංවාදයක් පවතින මේ කාල වකවානුවේ පළාත් සභා ගැන මේ අදහස් වඩ වඩා ප්‍රයෝජනවත් වනු ඇති බව අපේ අදහසයි. 

2017 වසර අවසානයට පැමිණ ඇති මේ මොහොතේ ලංකාවේ පළාත් සභා ක්‍රමය තම තිස් වෙනි වසර අවසන් කරමින් සිටින විට සමබිම අප පළාත් සභා සම්බන්ධයෙන් ගෙන ආ ලිපි මාලාව මෙයින් අවසන් කරන්නේ පළාත් සභා ක්‍රමය මෙන්ම ඒ පිළිබඳ සංවාදයද සෙමින් නමුත් හොදින් ඉදිරියට යනු ඇතැයි තිබෙන බලාපොරොත්තුවෙනි.  2018 නව වසරේ අලුත් සංවාදයකින් හමුවෙමු. ■

පළාත් සභා සම්බන්ධයෙන් ගෙන ආ ලිපි මාලාව කියවීමට මෙතනින් පිවිසෙන්න.

සටහන – ප්‍රබෝධ රත්නායක

Recent Posts

Tags: , , , ,

Leave a Comment