එදිනෙදා දේශපාලනය තුළ සංහිඳියාව හිරවෙලා

Jan 19th, 2018 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන, පුවත්, මානව හිමිකම්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

එදිනෙදා දේශපාලනය තුළ සංහිඳියාව හිරවෙලා – දැන් සංහිඳියාවේ කර්තෘක භූමිකාවට පුරවැසියා පැමිණිය යුතුයි

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

දැන් අපිට නිතරම ඇසෙන වචනයක් තමයි ‘සංහිඳියාව’, මොකක්ද මේ සංහිඳියාව කියන්නෙ?

සංහිඳියාව සංකල්පයක් ලෙස ලංකාවට ආවේ ජනවාර්ගික ගැටලුව සහ සාමය පිළිබඳ සන්දර්භය තුළ. මේ සංකල්පයේ තිබෙන මූලිකම අර්ථය වෙන්නෙ එකිනෙකට සතුරුව/ එදිරිවාදීව සිටි පාර්ශ්වයන් නැවතත් එම එදිරීවාදී සහ පරසතුරු බව අමතක කොට මිත්‍ර සම්බන්ධතා යළි ගොඩනැගීම. අපි මිත්‍ර සබඳතා යළි ගොඩනගන්නෙ යම් කිසි අරමුණක් ඇතිව. මෙපමණ කලක් එකිනෙකාට එදිරිව සිටීමෙන් ගොඩනගන්නට නොහැකි වූ අනාගතයක් හවුලේ ගොඩනැගීමයි ඒ අරමුණ. සිවිල් යුද්ධ සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයන් පැවති සමාජවල සංහිඳියාව යන්නෙන් අදහස් වෙන්නෙ දේශපාලන ගැටුම්වලට සම්බන්ධ වී සිටි විශේෂයෙන් රාජ්‍යය සහ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් වගේම එම දෙපාර්ශ්වයට පක්ෂව බෙදී ගිය පාර්ශ්වයන් ඒකරාශී වී සාමුහිකව තමන්ගේ සමාජයේ නැතිනම් රටේ දේශපාලන අනාගතය සහ ප්‍රගතිය එක්ව ගොඩනැඟීමට හවුලේ ක්‍රියාකිරීමට මිත්‍ර වීම. ලංකාවේ යුද්ධයෙන් පසුව මේ තත්ත්වය මතුව තිබෙනවා. ඒ අනුව සංහිඳියාව යන්නෙහි පොදු සාංකල්පීය අර්ථයක් වගේම එක් එක් රටේහි තිබෙන සුවිශේෂි තත්ත්වයන්ට අනුව ගොඩනැගෙන විශේෂ අර්ථයන්ද තිබෙනවා.

අපි මේ හා සමගාමීව සමාජ ඒකාබද්ධතාවය පිළිබඳවත් සාකච්ඡා කරනවා. 

Social Integration  යන ඉංග්‍රීසි භාෂාවේ වචනයට යෙදුණු සිංහල වචනය ‘සමාජ ඒකාබද්ධතාවය.’ ජනවාර්ගික වශයෙන් බෙදී ගිය සමාජවල ජනවාර්ගික සංහිඳියාව වගේ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ සිවිල් යුද්ධ නිසා සමාජමය වශයෙන් බෙදී ගිය සමාජවල යම් කිසි ආකාරයකින් සමාජ සාමය ඇති කිරීම සහ දේශපාලන වශයෙන් බෙදී ගිය, සටන් කළ සමාජ කණ්ඩායම් අතර යම් සුහදතාවයක් ගොඩනගමින් සමාජ සාමය පවත්වා ගැනීම යන්න මෙහිදී සිදුවෙනවා. මේ Social Integration යන සංකල්පයේ යම් ගැටලුකාරී තත්ත්වයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක විශේෂයෙන් ධනවාදී සමාජ ක්‍රමවල ආර්ථීක විෂමතා මත සමාජ සහ පන්ති විෂමතා ගොඩනැඟී තිබෙනවා. සමාජ ඒකාබද්ධතාවය තුළින් පන්ති විෂමතා සහ පන්ති පස මිතුරුතා විසඳීමට කොයිතරම් හැකිද යන්න ප්‍රශ්නයක්. එය විසඳීමට නම් ආර්ථික වශයෙන් තිබෙන විෂමතා නැති කළ යුතු වෙනවා. ඒ නිසාම මේ සංකල්පයෙන් අපට බලාපොරොත්තු වන්නට තිබෙන්නෙ අවමවාදී ඉලක්කයක්. එම අවමවාදී ඉලක්කය වෙන්නෙ සමාජ කණ්ඩායම් අතර තිබෙන ප්‍රතිවිරුද්ධතා, ගැටුම්වලට තුඩු නොදෙන ලෙසින් සමාජ සාමය පවත්වා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම.

මේ කාරණා ද්විත්වයම පොළොවේ පැළ කිරීම සඳහා වන කාර්යයේදී වර්තමාන රජය කොයිතරම් දුරට අවංක උත්සාහයක් දරා තිබෙනවද?

සංහිඳියාව සහ සමාජ ඒකාබද්ධතාවය යන්න තනි තනිව ගොඩනගන්න බැහැ. මේ දෙක සම්බන්ධ කළ යුතු වෙනවා දේශපාලන ප්‍රජාතන්ත්‍රීකරණය, සමාජ ගොඩනැගීම වශයෙන් වන යම් පොදු රාමුවකට. අද එවැනි දෙයක් සිදුවනවාම යැයි හෝ නොවනවාම යැයි කිව නොහැකියි. ඒකට හේතුව, මේ රජය 2015 ජනවාරි මස බලයට පත් වීමෙන් අනතුරුව ඔවුන් සකස් කළ ඉදිරි වැඩපිළිවෙළේ තිබුණ ප්‍රධානතම උපාංගයක් සංහිඳියාව, සාමය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය ඇති කරනවාය යන්න. ඒ සඳහා ඔවුන් මතවාදයක් ගොඩනගනු ලැබුවා, මේ රටේ පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක් දුන්නා. ඒ වෙනුවෙන් රාජ්‍යයේ නිල ආයතන ගොඩනඟනු ලැබුවා, මුදල් වෙන් කළා. ඉදිරි වැඩපිළිවෙළකුත් තිබෙනවා. අනෙක් අතින් අද එම ක්‍රියාවලිය සෑහෙන්න දුරකට අඩපණ වී සහ අතර මඟ නැවතී තිබෙනවා. ලංකාවේ සාමය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රීයකරණය, සංහිඳියාව ගොඩනැගීම සාමාන්‍යයෙන් එදිනෙදා සිදුවන දේශපාලන ක්‍රියාවලිය තුළ හිර වී ඇති බවයි පෙනෙන්න තිබෙන්නෙ. ඒ අනුව මෙය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රධාන උපාංගයක් බවට හෝ පත්ව තිබෙන බවක් දකින්න නැහැ. මේ ක්‍රියාවලිය ආරම්භයේදී මෙයට දී තිබූ වැදගත්කමේ අඩුවක් දැන් තිබෙනවා.

නමුත් මේ ක්‍රියාවලිය වෙනුවෙන් අමාත්‍යාංශයක් වගේම වෙනත් රාජ්‍ය ආයතනත් පිහිටුවා තිබෙනවා. සංහිඳියාව, සමාජ ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා එම ආයතනවල මැදිහත් වීම කෙබඳුද?

මේ ආයතන දැවැන්ත කාර්යක් වෙනුවෙන් බිහිකළත් ඒවායේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය අවමයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමසාරිස්වරයා 2017 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවේ ලංකාවේ සාමය, සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය ගොඩනැගීමේලා තිබෙන ගැටලු ඉතාම අවධාරණයෙන් යුතුව පෙන්වා දී තිබෙනවා. එම ගැටලු වශයෙන් මෙම වාර්තාවේ ඇතුළත් වුන පළමුවැන්න, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබෙන කැපවීමේ අඩුවක් තිබීම, දෙවැන්න, ආණ්ඩුව ඊට අදාළ ආයතන ගොඩනැගුවත් ඒ ආයතනවලට අවශ්‍ය තරම් සම්පත් ලබා දී නොතබීම, තුන්වැන්න, මේ සඳහා නීති පනවා තිබුණත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කර නොතිබීම. මේ කාරණයම එක්තරා ආකාරයකට විදේශ ඇමතිවරයාව සිටි මංගල සමරවීර මහතා 2017 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය තුළ ඉදිරිපත් කළ කතාවේදීත් පිළිඅරන් තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළා මෙය යම් ආකාරයක අභ්‍යන්තර දේශපාලන බල අරගලවලටත් මැදිව තිබෙන බව. අමාත්‍යවරයා වක්‍රාකාරව ප්‍රකාශ කළ දේ අපි අර්ථකතනය කළොත් අපට පෙනෙනවා ඔහුට විදේශ ඇමතිවරයා වශයෙනුත් පිළිගන්න සිදුවුණා ආණ්ඩුව ඇතුළේ තිබෙන දේශපාලන අරගලය තුළ මෙම ක්‍රියාවලිය ඉදිරියට යෑමට තිබෙන හැකියාවට සීමා තිබෙන බව. ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙළ දිහා බලන් ඉන්න පුරවැසියෝ විදියට අපිට පෙනෙන්න තිබෙනවා සාමය, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ ආණ්ඩුව බලයට පත් වීමේදී පෙන්නපු ආකාරයේ කැපවීමේ සහ උනන්දුවේ හීනවීමක් තිබෙන බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පවා යම් ආකාරයක පසුබෑමක් දකින්න තිබෙනවා. ඒ නිසා අපට බලාපොරොත්තු වෙන්න බැහැ ආණ්ඩුවේ දැනට තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ මේ සම්බන්ධව තිබෙන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන කටයුතු කිරීමේ ඉඩක් ආණ්ඩුවේ කිසිම පාර්ශ්වයකට තිබෙන බව.

අනෙක් කාරණය, මේ ආණ්ඩුවේ ප්‍රධාන බල මධ්‍යස්ථාන දෙකක් තරමක් දුරට එකිනෙකට ප්‍රතිවිරුද්ධව නැගී සිටීමක් දකින්න ලැබෙනවා. එක බල මධ්‍යස්ථානයක් ජනාධිපතිතුමා කේන්ද්‍ර කොට ගෙනත් අනෙක් බල මධ්‍යස්ථානය අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කොට ගෙනත් තිබෙනවා. මේ බල කේන්ද්‍රයන් දෙක අතර එක්තරා ආකාරයක සීතල යුද්ධයක් තිබුණා. එය මේ පළාත් පාලන මැතිවරණයත් බැඳුම්කර කොමිසම් වාර්තාවෙනුත් පසුව යම් ආකාරයකට මතු පිටට පැමිණියා. ඒ නිසා 2015වේදී මේ ආණ්ඩුවෙන් මතු වුණු ප්‍රතිසංස්කරණවාදයේ විභවතාවය සෑහෙන්න දුරට පසුබැස්මකට ලක්ව තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි.

මේ ක්‍රියාවලිය සම්බන්ධව රටේ ඇතිව තිබෙන්නා වූ දේශපාලනික පසුගාමීත්වය සමඟ පුරවැසියාට යම් කාර්යභාරයක් පැවරෙනවා. මේ තත්ත්වය ඔබ පැහැදිලි කරන්නෙ කොහොමද?

අද අපේ රටේ ජනතාව අතර නිරායාසයෙන් එක්තරා විදියක සංහිඳියාවක් ඇතිව තිබෙන බවයි මගේ අදහස. සිංහල දෙමළ ජන කොටස් අතර ප්‍රතිවිරෝධතා තිබුණත් එම ප්‍රතිවිරෝධතා ප්‍රචණ්ඩ ලෙස ප්‍රකාශයට පත්වන ලකුණක් දැනට දකින්න නැහැ. එවැන්නක් සඳහා උත්සාහ දරන කණ්ඩායම් සිටියත් ඒ කණ්ඩායම්වලට පුරවැසි සහයෝගයක් තිබෙන බවත් දැනට පෙනෙන්න නැහැ. දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ විසින් දැනට ඔප්පු කර තිබෙනවා සංහිඳියාව, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සාධනීය නායකත්වයක් දීමට හෝ සාධනීය කාර්ය භාරයක් කිරීමට ඔවුන් අසමත් බව. එසේ නම් ඔවුන් කළ යුත්තේ අපේ රටේ සමාජ කණ්ඩායම් අතර ගැටුම්, දේශපාලන ව්‍යාකූලත්වය, ප්‍රචණ්ඩත්වය, ජනවාර්ගික ගැටුම්, අවුලවන ආකාරයට වැඩ නොකර සිටීම. අද ලංකාවේ සංහිඳියාව, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි විශාලතම කාර්යභාරය වෙන්නෙ එකී නිශේධනීය දේ නොකර සිටීම. සාමය, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රීකරණය ගොඩනැංවීම සඳහා සිවිල් සමාජය පසුගිය කාලයේ ගෙන ගිය දේශපාලන වැඩපිළිවෙළ දෙස අලුතින් සිතන්නට සිදුව ඇති බවයි මගේ අදහස. මොකද එම වැඩපිළිවෙළේ ප්‍රධානතම උපකල්පනයක් බවට පත් වුණේ අර කියන්නා වූ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ යුත්තේ දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකත්වය මාධ්‍ය කොට ගෙන බව. නමුත් දැනට තිබෙන්නා වූ අත්දැකීම අනුව දේශපාලන පක්ෂ හෝ දේශපාලන නායකත්වය හෝ තවදුරටත් ඒ සඳහා මාධ්‍යක් නොවෙයි. එසේ නම් දැන් තිබෙන අභියෝගය මෙම පරිවර්තනයේ කර්තෘකයා වන්නෙ කවුද යන්න. මේ කියන්නා වූ කර්තෘක කාර්යභාරය දේශපාලන පක්ෂවලටත් දේශපාලන නායකයින්ටත් පැවරීම පසුගිය කාලයේ සිවිල් සමාජයෙන් සිදුවූ විශාල වැරැද්දක්. දැන් එම කර්තෘක කාර්යභාරය නැවත වතාවක් ජනතාව වෙත පවරා ගත යුතුව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ තවමත් සිදුව නැති වුනත් ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යෙන් සිදුවන දෙයක් ජාතිවාදය ඇවිස්සීම සහ සමාජයේ තිබෙන ප්‍රතිවිරෝධතාවයන් හැකිතාක් ඇවිස්සීම. මොකද ඔවුන් සමාජ ගැටුම් මතු කර ගැනීමෙන් මැතිවරණ ජයග්‍රහණය කරන්න උත්සාහ දරනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන විශාල ගැටලුවක්. ඒ නිසා සාමකාමීව සහයෝගයෙන් ජීවත් වීම සඳහා නිහඬ කර්තෘකත්වයේ කාර්ය ඉටු කිරීමට සාමාන්‍ය පුරවැසියන්ට අවකාශ ලබා දිය යුතුව තිබෙනවා. අද ඒ සඳහායි කටයුතු කළ යුතු වන්නෙ.

අප රටේ සාමය, සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල්, ඒ ඒ ප්‍රජාවන්ගේ අදහස් නියෝජනය කරන්න කොතෙක් දුරට සමත් වී තිබෙනවද?

සංහිඳියාව ගොඩනැගීම පිළිබඳ ලංකාවේ දැනට තිබෙන අධිපති කතිකාව නිර්මාණය වුණේ මේ බිමෙන්  නොවෙයි. පසුගිය අවුරුදු විස්සක පමණ කාලය තුළ ලෝකයේ ජනවාර්ගික ගැටුම් සහිත සමාජවල සාමය ගොඩනැගීම පිළිබඳ බටහිර රටවල නායකත්වයෙන් මතු වුණා එක්තරා මතවාදයක්. ඒ මතවාදය ආශ්‍රය කොට ගෙන කතිකාවක් වගේම එක්තරා රාජ්‍ය ප්‍රතිපත්ති ව්‍යුහයකුත් ගොඩනැගුණා. අපි මෙය හඳුන්වනවා ලෝක මට්ටමින් සාමය ගොඩනැගීමේ ලිබරල් ව්‍යාපෘති වශයෙන්. සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රකරණය වැනි අදහස් අපේ වැනි රටවලට පැමිණියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංගමය, කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින්. විදේශයෙන් ආපු නිසා අපි මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි කියල මම කියන්නෙ නැහැ. නමුත් අපේ රටෙත් තිබුණා වූ බුද්ධිමය සහ අනෙකුත් උරුමයන් මත පදනම්ව එක්තරා විදියක සංහිඳියාව පිළිබඳ මූලෝපායක් සකස් කර ගැනීමේ හැකියාව අපට තිබුණා. උදාහරණයක් ලෙස 2015 රජය බලයට පත් වූ විගස එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ඇමරිකාවට, යුරෝපීය සංගමට ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙන සංහිඳියා වැඩපිළිවෙළ මේ රටේත් ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව පොරොන්දු වුණා. නමුත් ආණ්ඩුවට තිබුණා විශේෂයෙන් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට තිබුණා එම වැඩපිළිවෙළත් හිතේ තියාගෙන අපේ රටේ සෑම ජන කොටසකටම සහ පුරවැසියෙකුටම සහභාගී විය හැකි ආකාරයේ සංහිඳියාව පිළිබඳ නව සංකල්ප ගත කිරීමක්  කිරීමට. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් හැකි වුණා නම් උතුරට ගිහින් දෙමළ ජනතාව ඍජුව හමුවෙලා ඔවුන් සමඟ සංවාදයක් ඇති කර ගැනීමටත් යුද්ධයෙන් විපතට පත් වින්දිතයින් හමුවී ඍජු සංවාදයක් ඇති කර ගැනීමටත්, එසේ නම් ලංකා සමාජයේ දේශපාලන ප්‍රඩණ්ඩත්වයෙන් සහ යුද්ධයෙන් වින්දිතයින් තත්ත්වයට පත් වුණ පුරවැසියන්ගේ හඬ ඇතුළත් සංහිඳියාව පිළිබඳ නව න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීමේ හැකියාව තිබුණා. නමුත් අද ඒ වෙනුවට ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංහිඳියාව පිළිබඳ, සාමය ගොඩනැංවීමේ සහ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ න්‍යාය පත්‍රයේ තිබෙන්නෙ බෑන් කී මූං මහතාගේ කටහඬ නැතිනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ කාලයේ හිටපු ප්‍රධානියාගේ කටහඬ. අපේ තිබෙන ප්‍රධානම ගැටලුව හැම වැඩපිළිවෙළකදීම අපේ රටේ පුරවැසියන් වෙතින් ඊට හිමි විය යුතු සුජාතභාවය ලබා නොගැනීම.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ පියවරක් වශයෙන් සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කරන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ පැන නැග තිබෙනවා නේද?

ඒ ව්‍යාපාරය නිර්මාණය කිරීම අවශ්‍යයි. නමුත් ඒ ව්‍යාපාරය ගොඩනැගෙන්න කලින් ජනතාව සහභාගී කරවා ගැනීම සම්බන්ධව අපි අලුතින් සිතිය යුතුයි. එහිදී ජනතාවට දෙන පණිවුඩවල ඔවුන්ගේම හඬ තිබෙනවාද, පුරවැසියාට එය තමන්ගේම අදහසක් බවට ජීර්ණය කර ගත හැකි පණිවුඩ තිබෙනවාද යන්න අපි සිතිය යුතුයි. උදාහරණයක් ගත්තොත්, ලංකාවේ බලය විමධ්‍යගත කිරීමට එරෙහි වන ප්‍රධානතම බලවේගය බෞද්ධ භික්ෂුන් වහන්සේලා. නමුත් කිසිවෙක් පෙන්වා දී නැහැ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතිශයින්ම බලය විමධ්‍යගත කළ ආයතනික ව්‍යුහයක් තුළ ජීවත් වෙන බව. ලංකාවේ සංඝ සමාජය සංවිධානය වී තිබෙන්නෙ නිකාය පදනමින්. එයට එක කේන්ද්‍රයක් නැහැ. සියම් නිකායේ නායක හාමුදුරුවරු පස්දෙනෙකුගෙන් යුතු නිකාය පහකට බෙදී තිබෙනවා. සියම් නිකායේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත කර තිබෙනවා. ලංකාවේ රොඩී සහ කින්නර ප්‍රජාවට හැර අනෙකුත් සෑම කුලයකටම නිකායක් හදා ගැනීමට අමරපුර නිකාය ඉඩ දී තිබෙනවා. රාමඤ්ඤපුර නිකායේ පවා සෑහෙන තරම් දුරට බලය විමධ්‍යගත කර තිබෙනවා. සංඝ සමාජය ඉතාම රැඩිකල් බලය විමධ්‍යගත කිරීමක් කළ සංවිධාන ව්‍යුහයක්. ඒ නිසා මම කියන්නෙ බලය විමධ්‍යගත කිරීම යන්න අපේ සමාජයේ ආගමික සංස්කෘතික සහ බුද්ධිමය, ජීවිතයේ අඛණ්ඩ කොටසක්. නමුත් එය ඒ ආකාරයෙන්ම පිළිගන්න අපි සුදානම් නැහැ.

සංහිඳියා ක්‍රියාවලියට සිංහල සමාජය එකඟකර ගැනීමේ අභියෝග ජයගන්න පුළුවන් කොහොමද?

මම හිතන්නෙ නැහැ ඒ සඳහා සිංහල, දෙමළ හෝ මුස්ලිම් සමාජය බාධාවක් බව. මගේ අවබෝධය අනුව ඒ සඳහා බාධාව වෙන්නෙ පුරවැසියන් නොවෙයි. ඒ ඒ සමාජයට දේශපාලන මතවාදීමය නායකත්වය දෙන දේශපාලන පක්ෂ, වෘත්තීය දේශපාලනඥයන් සහ ජනමාධ්‍ය යන පිරිස් මේ ක්‍රියාවලියට බාධාවක්ව තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල ගුණාත්මක පරිහානියකට ලක්ව තිබෙනවා. ලංකාවේ ජනමාධ්‍ය තමයි අඩුවෙන්ම විචාරයට ලක්වන නමුත් සමාජයට විශාල බලපෑමක් කළ හැකි සමාජ ආයතනය.

මේ ක්‍රියාවලිය තුළ සිවිල් සමාජ මැදිහත් වීම සහ ඔවුන්ගේ කාර්යභාරය කුමක් විය යුතුද?

සිවිල් සමාජයත් තවම මේ ප්‍රශ්නය එතරම් ගැඹුරට අවබෝධ කරගෙන තිබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා පළමුවෙන්ම මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අලුතින් සිතීමට සිවිල් සමාජයට සිදුවෙනවා. පසුගිය වසර විස්සක තිහක අත්දැකීම් දෙස අපි සාමුහිකව විචාරාත්මකව සමාලෝචනය කරමින් අලුතින් සිතීමක් ආරම්භ නොකර අපට ඉදිරියට යන්න බැහැ. ලංකාවේත් ආසියාවේත් ලෝකයේත් මේ සම්බන්ධ අත්දැකීම් අපි බැරූරුම්ව සමාලෝචනයට ලක් කළ යුතුයි. මේ මොහොතේ සිවිල් සමාජයට මේ සම්බන්ධයෙන් පැවරෙන දැවැන්තම කාර්යභාරය එයයි.■

2018.01.21 වන දින රාවය සමබිම අතිරේකයට ජයනි අබේසේකර විසින් සාකච්ඡා කර සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment