පුංචි ඡන්දය සහ ලොකු කතා

Jan 23rd, 2018 | By | Category: EDITOR'S CHOICE, Today Lead News, කාලීන, දැනුම, දේශපාලන, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, පුරවැසි අයිතිය, මානව හිමිකම්, මැතිවරණ

ලංකාව සංක‍්‍රාන්ති සමයක් පසුකරමින් සිටින බවට ඇගේ හැප්පෙන උදාහරණය පළාත් පාලන මැතිවරණයයි. ලංකා ඉතිහාසයේ මේතරම් කතාබහට ලක්වූ පළාත් පාලන ඡන්දයක් තිබී නැන. පළාත් පාලන ආයතන මගින් ගමට ලොකු වැඩක් වුණත් රටේ දේශපාලනයයේදී එම ඡන්දය තීරණාත්මක නොවුන නිසාදෝ පළාත් පාලන ඡන්දයේ ව්‍යවහාරික නාමය වූයේ පුංචි ඡන්දය යන්නයි.

මේ පුංචි ඡන්දය අද වන විට මහ ඡන්දයක් තරමටම ලොකු වීමට බලපෑ ප‍්‍රධාන හේතු කිහිපයක් තිබේ.

01. පළාත් පාලන ඡන්දය කල්යෑමකින් පසුව පැවැත්වෙන එකක් වීම සහ වසර ගණනාවකට පසු මුළු දිවයිනටම බලපාන පරිදි ඡන්දය පැවැත්වීම
02. පළාත් පාලන ඡන්ද ක‍්‍රමයේ ක‍්‍රමය වෙනස් කිරීමෙන් පසුව පවත්වන ප‍්‍රථම ඡන්දය වීම
03. යහපාලන ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩු විරෝධී පාර්ශවයන්ගේ තුන් වසරක ගමන් මග පරීක්ෂා කෙරන අවස්ථාවක් වීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථවත් වීමට නම් දේශපාලන බලය පුරවැසියා අතර පරතරය හැකිතාත් අඩු විය යුතුය. එනයින් නව ඡන්ද ක‍්‍රමය අනුව පළාත් පාලන මැතිවරණය ගමේ වැඩක් කරන සාමාන්‍ය කෙනෙකුට තමන්ගේ හැකියාවෙන් තරග කල හැකි දෙයක් බවට පත්වී ඇත. අනෙක් අතින් මෙතෙක් කලක් ලංකාවේ දේශපාලනයේ නොපෙනී සිටි කාන්තාවන් දේශපාලනය තුළ පෙනෙන තත්වයට පත්වීමට අවකාශය ලැබී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතින් මෙම ප‍්‍රවණතාවයන් දෙකම ඉතා සුභදායකය. මේ කාරණා දෙකට අමතරව නව මැතිවරණ ක‍්‍රමයේ යහපත් ලක්ෂණ රාශියක් පවතින අතර එමනිසා නව මැතිවරණ ක‍්‍රමයට ජනතාව වඩා සමීප වී එයින් ලබා ගත හැකි උපරිම ප‍්‍රතිඵල නෙලා ගත යුතු යැයි අප කල්පනා කරයි. එම නිසා මැතිවරණ ක‍්‍රමය වඩා පැහැදිලි කර ගැනීම සදහා මෙවර සමබිමේ වැඩි ඉඩක් වෙන්කර ඇත.

එසේම අලුත් මැතිවරණ ක‍්‍රමයේ ආකෘතිය ගැන ඇතිවී තිබෙන සංවාදය නිසා රටේ දේශපාලන සංවාදය වැසී යා යුතු නැත. එම නිසා ඡන්ද ක‍්‍රමය පිදිබදව මෙන්ම ඉහත සදහන් කල යහපාලන ආණ්ඩුවාදීන්ගේ මෙන්ම යහපාලන විරෝධීන්ගේද තුන්වසරක ගමන් මග පරීක්ෂා කෙරෙන අවස්ථාවක් බවට මේ ඡන්දය පත්කර ගැනීම පිළිබඳවද වැඩි අවදානයක් යොමු කළ යුතුය. යහපාලන ආණ්ඩුවට වසර තුනක් සැපිරෙන මේ මොහොත ආපසු හැරී බැලීමට මෙන්ම වැරදි හදා ගැනීමට ඉතා හොද අවස්ථාවකි. මේ මැතිවරණය ඒ සඳහා මාවතක් කර ගත යුතුය. වසර තුනකට පසු රටේ දේශපාලනය අපට පෙනෙන්නේ කෙසේද? ඒ සඳහා ප‍්‍රශ්න තුනකින් පිළිතුරු ලබා දිය හැකිය.

01. යහපාලන ආණ්ඩුව යනු කුමක් ද?

යහපාලන ආණ්ඩුව ගොඩ නැගුනේ එසේත් නැතිනම් ආණ්ඩු වෙනස සිදුවූයේ ඊට පෙර රටේ තිබු තත්වයට වඩා වෙනස් විකල්ප ගමනක් යෑමට අවශ්‍යතාවයක් ඇති වූ නිසාය. එහෙත් යහපාලන ආණ්ඩුව ගොඩනැගුන ආකෘතියේ ස්වරූපය නිසාම ආණ්ඩුව තුළ එක් පාර්ශවයක් කලින් ආණ්ඩුවට විකල්පය වන ප‍්‍රගතිශිලී දිසාවකට යෑම උත්සාහ දරද්දී ආණ්ඩුවේම තවත් පිරිසක් කලින් පැවති ආණ්ඩුව දෙසට යහපාලන ආණ්ඩුවද ගෙන යාමට උත්සාහ දරයි. යහපාලන ආණ්ඩුව යනු මේ දෙපිරිසගේම එකතුවයි. මෙය වෙනස් වචන වලින් පැවසුවොත් රට ගෙන යන්නේ 2015 පෙර තිබූ පසුගාමී තත්වයටද?, නැතිනම් 2015 ආණ්ඩු පෙරළිය වෙනුවෙන් යොජනා කල ප‍්‍රගතිශීලී මාවතටද? යන්න කලමණාකරණය කරන කණ්ඩායමට දිය හැකිි නම ‘යහපාලන ආණ්ඩුවයි’.

02. යහපාලනයෙන් ආණ්ඩු කළේ කොහොමද?

යහපාලන ආණ්ඩුවේ පසුගිය වසර තුනේදී ලංකාව පාලනය කලේ ලංකාවට නුහුරු නුපුරුදු දේශපාන ක‍්‍රමවේදයකින්ය. නැවත මතක් කර ගැනීමට ඉන් කිහිපයක් සදහන් කරනවා නම්,

01. ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුව කිරීම
02. විපක්ෂය ලෙස ද්‍රවිඩ ජාතික සංධානය කටයුතු කිරිම
03. විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු විම සහ ස්වාධීන කොමිෂන් සභාවල බලය වැඩි වීම
04. පුරවැසියාට වැඩි ඉඩක් ලැබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීම
05. මාධ්‍ය නිදහස මෙන්ම භාෂණයේ නිදහස තහවුරුවීම
06. බලහත්කාරයෙන් පුද්ගයන් අතුරුදහන් කරවීම නැවැත්වීම

මෙවැනි කරුණු නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීම සිදුවන අතර එයට සාපේක්ෂව අධිකාරී දේශපාලනය බලය දුර්වල වීම සිදුවේ. ඒ අනුව රටේ ප‍්‍රධාන ඇමැතිවරුන් පමණක් නොව අගමැතිවරයා පවා ජනාධිපති කොමිසමක් හමුවේ දැඩිව ප‍්‍රශ්න කර ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකිවීම පක්ෂයක හෝ ආණ්ඩුවක අධිකාරී දේශපාලන බලය දුර්වලවීමක් ලෙස සැලකිය හැකි සේම එය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීමක් ලෙසත් පෙන්විය හැක. එම නිසා යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන අධිකාරීබලය හීන වෙද්දීත් සමහර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂන රටේ තහවුරුවන පරිදිය.

03. යහපාලනයට විරුද්ධ අය කවුද?

සමාජ ක‍්‍රමයේ වෙනසක් මත පදනම් වී කටයුතු කරන කුඩා වාමාංශික පක්ෂ හැරුනු විට යහපාලනට විරුද්ධ ප‍්‍රධානම කණ්ඩායම යනු පැවැති රාජපක්ෂ ආණ්ඩුවට තවමත් ඇලූම් කරන පිරිසයි. ඔවුන්ගේ සිහිනය කුමන හෝ අකාරයකින් නැවත රාජපක්ෂ පාලනයක් රටේ ඇති කිරීම මිස අන් කිසිවක් නොවේ. මේ හැර යහපාලනයේ ගමන් ම`ග පිළිබඳ කලකිරී යහපාලනයට විරුද්ධවන පිරිසක් සිටින අතර ඔවුන් යහපාලනයට විකල්පය ලෙස රාජපක්ෂ පාලනය පිළිනොගන්නේ එම පිරිසට අවශ්‍ය නායකත්වය ලබා දීමට තරම් රාජපක්ෂවාදී කණ්ඩායමේ තවම වෙනසක් නොමැති වීමයි.

ඉහත කරුණු තුනේ සම්ප‍්‍රයුක්තය දැන් මෙසේ කැටි කල හැක. යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රතිරෝධයන් තවම ජයගෙන නැති අතර ඔවුන් තමන්ගේ දේශපාලන අධිකාරී බලය රට තුළ හීන කරගෙන ඇතත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය යම් පමණකට ශක්තිමත් කර ඇත. යහපාලන ආණ්ඩුවේ දුර්වලතාවයන්ට ආමන්ත‍්‍රණය කල හැකි විපක්ෂ දේශපාලන බලවේගයක් ද රටේ තවමත් බිහි වී නොමැත.

එසේනම් තවමත් විශාලම කාර්යය ඉතිරිව ඇත්තේ පුරවැසියාට සහ සිවිල් සමාජයටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එරෙහිව කටයුතු කල රාජපක්ෂ පාලන කාලයේ සිවිල් සමාජය ලෙස අප පැවසුවේ ‘එක්කෝ අපි ආණ්ඩුවේ හිත වෙනස් කරනවා බැරිවුනොත් ආණ්ඩුව වෙනස් කරනවා’ කියාය. තවම මේ ආණ්ඩුව ගෙවන්නේ හිත වෙනස් කල හැකි කාලයයි. ආණ්ඩුවේ හිත වෙනස් කරනවා යනු වඩ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයන් වෙනුවෙන් ආණ්ඩුව යොමු කිරීමයි. මේ ඡන්දය ආණ්ඩුවේ හිත වෙනස් කිරීම වෙනුවෙන් භාවිතා කල හැකි හොද අවස්ථාවකි. එම නිසා ගම හදන්න හැකි පුරවැසි නායකයන් පිරිසක් බිහිකරගැනීමට මෙම ඡන්දය භාවිතා කරනවාට අමතරව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ආණ්ඩුවේ සංහිඳියා ක‍්‍රියාවලිය, ආර්ථික සංවර්ධන මොඩලය පිළිබදව කෙරෙන සංවාදයක් බවට මෙය පත් කරගත යුතුය.

දැනටමත් යහපාලන විරෝධීන් එය වෙනස් ලෙසකට කරයි. එනම් මේ ඡන්දයෙන් ගම හදන්නේ කෙසේද යන්න ගැන කතා නොකරන ඔවුන් මේ ඡන්දය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහි ඡන්දයක් ලෙස භාවිතා කළ යුතු යැයි කියයි. එසේත් නැතිනම් සංහිඳියාවට එරෙහිව භාවිතා කළ යුතු යැයි කියයි. එහෙත් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ඉල්ලන දෙපාර්ශ්වයම තමන්ට දෙන ඡන්දය මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් දෙන ඡන්දයක්, එසේත් නැති නම් ජාතීන් අතර සංහිඳියාවට දෙන ඡන්දයක් හෝ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට දෙන ඡන්දයක් යැයි කීමට බිය වෙති. සිවිල් සමාජයේ කාර්යය එම බිය නැති කිරීමයි. ජාතිවාදය පතුරුවා ඡන්දය ලබා ගත හැකි යැයි තිබෙන මතයට අභියෝග කල හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින, ජාතිවාදට විරුද්ධව පෙනී සිටින අපේක්ෂක අපෙක්ෂිකාවන්ට ඡන්දය ලබා ගත හැකි ජන මතයක් ගොඩ නැගීමෙන් පමණි. යහපාලන ආණ්ඩුවේ හිත වෙනස් වෙනු ඇත්තේද එමගින්ය. පුංචි ඡන්දයේ පුරවැසි මෙහෙයුම විය යුත්තේ එයයි. ඡන්දයේදී සමබිම ගන්නේ එම පුරවැසි මෙහෙයුමේ පැත්තයි.

නීතිඥ ප්‍රබෝධ රත්නායක විසිනි.

Recent Posts

Tags: ,

Leave a Comment