පක්ෂය  මොකක් වුණත් කාන්තාවකට  ඡන්දය දෙන්න

Jan 26th, 2018 | By | Category: LEAD NEWS, කාන්තා, කාලීන, දේශපාලන, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, මැතිවරණ, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

දේශපාලනයේ කාන්තා නියෝජනය සඳහා වන 25%ක කෝටාව සහ කාන්තා දේශපාලනය පිළිබඳ ජනවාරි 17 වැනි දින ජාතික රූපවාහිනි ‘ආයුබෝවන් සුබ දවසක්’ වැඩසටහන තුළ ඉඩකඩ වෙන් වී තිබුණි.  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ පළාත් සභා සහ පළාත් පාලන අමත්‍යාංශයේ නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක සහභාගී වූ එම වැඩසටහන අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන ලදී. කාන්තාවන් දේශපාලනයට එක් කර ගැනීම ගැනීම උදෙසා විවෘතව වී ඇති මෙම අවකාශය නිසි ලෙස ප්‍රයෝජනයට ගනු ලැබුවොත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි විපර්යාසයක් වනු ඇතැයි සමබිම අප විශ්වාස කරමු. මෙම රූපවාහිනි සාකච්ඡාවේ මතුවූ අදහස් මෙවර සමබිමට ගෙන එන්නේ ඒ වෙනුවෙනි.

නිමල්කා, ගයනි සහ අනෝමා

නිමල්කා, ගයනි සහ අනෝමා

කාන්තා දේශපාලන නියෝජනයට කෝටාවක් දිනා ගැනීම දක්වා වූ අරගලය තුළ ලංකාවේ කාන්තා ව්‍යාපාරයේ භූමිකාව කෙබඳුද?

නිමල්කා – තීන්දු තීරණ ගැනීමේ මණ්ඩලවල කාන්තා සහභාගීත්වය පිළිබඳ ක්‍රියාකාරී සැලස්මක් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් මුලින්ම ඇති වුණේ 1995 බීජිං නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා කාන්තා සම්මේලනයේදී. මෙම සාකච්ඡාවට ලංකාවද ඇතුළුව ලෝකයේ නන් දෙසින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තාවන් 35,000කට අධික පිරිසක් සහභාගී වුණා. මෙම සැලැස්මේ ක්ෂේත්‍රයන් කිහිපයක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම තීන්දු තීරණ ගැනීමේ මණ්ඩල තුළ 2020 පමණ වන විට කාන්තා නියෝජනය සියයට තිස් තුනක් හෙවත් 1/3ක ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට සමත් විය යුතු බව එහි වූ යෝජනාවක්. එමඟින් සීඩෝ ප්‍රඥප්තිය ප්‍රකාරව කාන්තාවන්ගේ අයිතිවාසිකම්, කාන්තාවන්ගේ සමානාත්මතාවය සම්බන්ධව තිබෙන්නා වූ වගන්ති නෛතිකමය සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඒ ඒ රටවල් සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කළා. ලංකාවේත් ඒ යුගය තුළ මේ පිළිබඳ සියලුම දේශපාලන පක්ෂ සමඟ සංවාද කරමින් පුහුණු වැඩසටහන් සහ සාකච්ඡා ඇති කිරීමට කාන්තා සංවිධාන විශාල වශයෙන් කටයුතු කළා. අද තරම් මේ කාර්ය කිරීමට පහසු නොවූ පුරුෂාධිපති බලය කේන්ද්‍රගත වූ දේශපාලන සංවිධාන තුළ කාන්තාවන්ගේ ඉල්ලීම්වලට එතරම් හොඳ ප්‍රතිචාරයක් එදා ලැබුණේ නැහැ.

ලංකාව, දකුණු ආසියාව තුළ ප්‍රථමයෙන්ම සර්වජන ඡන්ද බලය හිමි කරගත්තා වූ රට විදියට අනිකුත් රටවල් සමඟ සංසන්දනය කරන විට පසුගිය දශකය තුළ අපට වඩා ඉදිරියට ඒ රටවල් ගමන් කර තිබෙනවා. සාක්ෂරතාවය අතින් ඉදිරියෙන් සිටියත් අපේ පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 5%ක් සහ පළාත් සභා සහ පළාත් පාලනයේ එය 2%කටත් අඩු මට්ටමක පැවතුණේ. ඒ අනුව කාන්තාවන් ඉදිරියට ගෙන ඒමට තිබෙන බාධා හඳුනා ගැනීමට කාන්තා ව්‍යාපාර විශාල වශයෙන් පර්යේෂණ සිදු කළා වගේම ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකාවන් පවා මේ වෙනුවෙන් දිගින් දිගටම මැදිහත් වුණා. විශේෂයෙන්ම මෙහිදී හඳුනාගනු ලැබුවා, කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය දේශපාලනික වශයෙන් කාන්තාවන්ට නායකත්වය ගැනීමට බාධාවක්ව ඇති බව, මනාප ක්‍රමය සමඟ කාන්තාවන්ට තරග කිරීමට විශාල ආර්ථීකමය දායකත්වයක් අවශ්‍ය වීම මෙන්ම දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් වන සැබෑ පියවරයන් නොමැති බව. මේ සියල්ල මත කාන්තා සංවිධාන විශාල මැදිහත් වීමක් කළා දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කර ගැනීම වෙනුවෙන්.

 කාන්තාවන්ට ලබා දී තිබෙන 25% ක කෝටාව පිළිබඳව සමාජයේ යම් කුකුසක් තිබෙනව නේද?

ගයනි – මේ කෝටාව සමඟ කාන්තාවන් ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබනවා. 2016 අංක 1 දරන පනතින් 25% වූ අනිවාර්ය නියෝජන අවස්ථාව කාන්තාවන්ට ලබා දුන්නා. 2012 අංක 22 දරන පනත හරහා පළාත් පාලනයට හඳුන්වා දුන් මිශ්‍ර මැතිවරණ ක්‍රමය සම්බන්ධව ඇති වූ විවෙචන සහ මතභේද හේතුවෙන් මේ 25% ආරක්ෂා වේදෝ යන කුකුස කාන්තාවන්ට පැවතුණා. 2017 අංක 16 දරන පනත පාර්ලිමේන්තුවේ සම්මත වන අවස්ථාවේදී මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙමින් කොහොමද මේ තුළින් 25% කාන්තා නියෝජනය ආරක්ෂා කරන්නේ, කොහොමද කාන්තාවන් මේ තුළින් ඉදිරියට ගන්නෙ? යන සංවාදය ඇති වුණා. මේ සම්බන්ධයෙන් දිවයින පුරා අපි විසින් කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී කාන්තාවන් අපෙන් ඇහුවේ තරග කිරීමේ අවස්ථාවකින් තොරව මේ කෝටාව ලබා දීමෙන් ඔවුන්ගේ ගෞරවයට යම් හානියක් වේද යන්න. මොකද බොහෝ අය හිතනවා මේක කාන්තාවන්ට පිනට ලැබුණ අවස්ථාවක් බව. ඒ නිසා කාන්තාවන්ටත් තරග කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න යන ඉල්ලීම ඔවුන් වෙතින්ම මතු වුණා. ඒ අනුව කාන්තාවන්ට 10%ක් තරග කිරීමේ අවස්ථාවත් සමඟ 25%ක කෝටාව නව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත තුළ සහතික කර තිබෙන නිසා කිසිදු කුකුසක් ඇති කර ගත යුතු නැහැ.

 මේ 25%ක කෝටාව සකස් වෙන්නෙ කොහොමද?

ගයනි   – මෙතන කෝටාවන් දෙකක් තිබෙනවා. එකක් නාමයෝජනා පත්‍රය තුළ හිමිවන පංගුව. එනම් තරග කිරීමේ ලැයිස්තුව තුළ බල ප්‍රදේශයේ සභික සංඛ්‍යාවෙන් 10%ක අවස්ථාවක් කාන්තාවන්ට තරග කිරීම සඳහා හිමිවෙනවා. දෙවැනි ලැයිස්තුව හෙවත් අමතර ලැයිස්තුව තුළ අපේක්ෂකයන්ගෙන් 50%ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුයි. මෙය පළමු කෝටාව වන අතර දෙවැනි කෝටාවේදී පළාත් පාලන සභිකයින් තෝරා පත් කර ගැනීමේදී පනතේ 27 (ඉ) වගන්තියේ සඳහන් වන ආකාරයට මැතිවරණ කොමිෂන් සභාව විසින් බල ප්‍රදේශයේ සභික සංඛ්‍යාවෙන් 25%ක් කාන්තාවන් වන බවට සනාථ කළ යුතුයි. ඒ වගේම මේ නව මැතිවරණ ක්‍රමය තුළ පවතින විශේෂ ලක්ෂණය වන්නේ පරාජය වූ අපේක්ෂකයන්ට පවා පළාත් පාලන ආයතන තුළට පිවිසීමේ අවස්ථාව හිමිවීම. ඒ නිසාම කාන්තා නියෝජනයේ 25% සහතික කිරීම සඳහා කාන්තාවන් සොයා ගැනීමේ සඳහා වන කාර්යයේදී මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී තිබෙනවා පරාජය වූ අපේක්ෂකයන් තුළින් හෝ කාන්තාවන් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට.

එයින් අදහස් කරන්නෙ දිර්ඝ කාලීන අරගලයකින් මේ ජයග්‍රහණය අත්පත් කරගත්තත් දේශපාලන පක්ෂවලට මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා කාන්තාවන් සොයා ගැනීම අභියෝගයක් වූ බවද?

නිමල්කා – මම සතුටුට පත් වෙනවා මේ සම්බන්ධයෙන් කාන්තාවන් තුළ තිබුණා වූ උද්යෝගය පිළිබඳව. සමහර දේශපාලන පක්ෂ දිර්ඝ කාලයක් මුළුල්ලේ මේ සම්බන්ධව යම් මැදිහත් වීමක් කරමින් කාන්තාවන් පුහුණු කළ නිසාත් සමහර දේශපාලන පක්ෂවල කාන්තා සංවිධාන මේ වෙනුවෙන් වැඩ කරමින් සිටි නිසාත් විශාල කාන්තා සහභාගීත්වයක් මේ සම්බන්ධව දකින්න තිබුණා. නමුත් සමහර දේශපාලන පක්ෂවලට කාන්තාවෝ හිටියේ නැහැ. ඔවුන් තමන් වටා ඒකරාශීව සිටින කුඩා දේශපාලන කණ්ඩායම් හරහා කාන්තා අපේක්ෂිකාවන් සොයා ගත්තා. ඒ වගේම ඇතැම් දේශපාලන පක්ෂවලට කාන්තාවන් දේශපාලනයට ගත යුතුයි කියන හුරුව නොතිබුණ නිසා දේශපාලන හිත මිත්‍රකම් මත බිරින්දෑවරුන් දියණියන් මැතිවරණයට ඉදිරිපත් කිරීමත් සිදුවුණා. නමුත් සෑම පක්ෂයක්ම කාන්තාවන් කෙසේ හෝ සොයාගෙන මැතිවරණයට ඉදිරිපත් කිරීමට යොමුව තිබීම පිළිබඳ සතුටු විය හැකියි. නමුත් මෙය හුදු සංකේතාත්මක කාරණයක් නොවිය යුතුයි. 25% කාන්තා නියෝජනයෙහි අරමුණ විය යුත්තේ දේශපාලනයේ යම් වෙනසක් විපර්යාසයක් ඇති කර ගැනීම.

ඉන්දියාවේ පංචායත් රාජ්‍ය ක්‍රමය පිළිබඳ කාරණයේදී එදා ඉන්දීය කාන්තාවන් ඊට ඉදිරිපත් වෙන්නෙ අද ලංකාවේ කාන්තාවන් මැතිවරණයට ඉදිරිපත් වන ආකාරයටමයි. ඥාති මිත්‍ර පදනම මත, නැතිනම් පරදින අපේක්ෂිකාව ඉදිරිපත් කිරීමෙන් ලැයිස්තුව හරහා තමන්ට අවශ්‍ය කාන්තාව ඇතුළත් කර ගැනීම, වගේම පංචායත් රාජ්‍ය ක්‍රමයේදී කාන්තාව මෙහෙය වූයේ ඇගේ ස්වාමීපුරුෂයා. ඉන්දියාවට මේ ක්‍රමය හඳුන්වා දුන් මුල්කාලයේ කාන්තා නියෝජනය 4%ක වගේ ප්‍රමණයක් ගත්තත් අද වන විට එහි කාන්තා නියෝජනය 40% දක්වා ප්‍රමාණයකට වැඩි වී තිබෙනවා. දක්ෂ කාන්තාවන් මේ ක්‍රමය තුළ තේරී පත් වීම සමඟ ඉන්දීය ග්‍රාම රාජ්‍ය විශාල දීප්තියක් අත්කර ගෙන තිබෙනවා. මේ කෝටාව දීමට එහා අද ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම පංචායත් ආයතන පිහිටුවා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන හා ඒකාබද්ධව මේ කාන්තාවන්ගේ මූලික දැනුම වර්ධනය කිරීම සඳහා වන පියවරයන් ගෙන තිබෙනවා. ලංකාවේත් මුල් යුගයේදී මේ කියන්නා වූ සියලු ප්‍රශ්න තිබිය හැකියි. නමුත් මේ කාරණයේදී ප්‍රයෝජනයට ගන්න ඉන්දීය අත්දැකීම අපට තිබෙනවා.

 25%ක කෝටාවක් කාන්තාවන්ට ලබා දීමෙන් ලංකාවේ ග්‍රාම සංවර්ධනයේ යම් වෙනසක් කිරීමට හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

ගයනි – පළාත් පාලන අායතනයක් බිහිවන්නෙ නීතිමය පසුබිමක් තුළ. ඒ නිසා පළාත් පාලන ආයතනයක වගකීම් මොනවද යන්න එම නීතිමය පසුබිම තුළ පැහැදිලිව අර්ථ නිරූපනය කර තිබෙනවා. ජීවිතයට සම්බන්ධ සියලුම කාරණා, මව් කුස සිට මරණය දක්වා වූ සියලුම කාරණා විධිමත් කිරීමේ කාර්ය පැවරී තිබෙන්නෙ පළාත් පාලන ආයතනයට. එහිදී කාන්තාවන්ට පැවරෙන වගකීම සුවිශාලයි. උදාහරණයක් ලෙස මාතෘ සායන, පෙර පාසැල, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, මහජන පොළ, වීදි ලාම්පු, ජල අවශ්‍යතා යන සියල්ල කාන්තාවන් සමඟ බැදී තිබෙනවා. මෙය තවදුරටත් කාන්තාව සම්බන්ධ කාරණයක් පමණක් නොවෙයි ඔවුන්ගේ මැදිහත් වීම පවුලක් ගමක් රටක් වෙනුවෙන් කරන මැදිහත් වීමක්. අපේ රටේ කාන්තාවන් මේ ආකාරයට දේශපාලන අත්දැකීම ලබන්නෙ පළමු වතාවට. ඔවුන්ට දේශපාලන අත්දැකීම් ලබා ගැනීමට, ඒ සම්බන්ධ දැනුම ලබා ගැනීමට අපේ රටේ තිබෙන අවස්ථා අඩුයි. මෙහිදී අමාත්‍යාංශයට විශාල වගකීමක් පැවරෙනවා මෙම කාන්තාවන් පුහුණු කිරීමට. ඒ සඳහා අප පුහුණු ආයතනය ඔස්සේ එම කාන්තාවන් දැනුවත් කිරීමට සුදානම්ව සිටිනවා.

 කාන්තාවන් පළාත් පාලනයේ නියමුවන් කිරීමේ වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද? 

නිමල්කා – අපේ රටේ ග්‍රාමීය සංයුතිය තුළ කාන්තාවන් ප්‍රමාණාත්මකව වැඩියි. උතුරු නැගෙනහිර ගත්තත් එය වෙනසක් නැහැ. කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විශාල වශයෙන් ශ්‍රමය වගුරන්නෙ අද කාන්තාවන්. ග්‍රාමීය පොළ ගත්තම එහි බඩු විකුණන බහුතරයක් කාන්තාවන්. මැද පෙරදිගට සංක්‍රමණය වන බහුතරය කාන්තාවන්. ප්‍රාදේශිය සභා කියන්නෙ ලංකාවේ තිබෙන එක් පොහොසත් ආයතනයක්. ග්‍රාමීය කාන්තාවන්ට ඇයි මැදපෙරදිගට සංක්‍රමණය වෙන්න සිදුවෙන්නෙ? ගමේ නිෂ්පාදන අවශ්‍යතා මොනවාද යන්න සම්බන්ධ සවිඥානික බවක් ප්‍රාදේශිය සභාවට අවශ්‍යයි. ගමේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කෘෂිකාර්මික අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව ප්‍රාදේශිය සභාවකට තිබෙනවා. නමුත් එවැනි කිසිවක් සිදුවන බවක් මෙතෙක් දකින්න තිබුණේ නැහැ. එවන් දැක්මක් ගිලිහුණු රටකට ප්‍රදේශයක පාලනයට කාන්තාවන් පැමිණෙන විට ඒ කාන්තාවන්ට වගකීමක් පැවරෙනවා ප්‍රදේශයේ ප්‍රශ්න අරගෙන පළාත් පාලන ආයතනයට පිවිසෙන්න. ඒ සඳහායි ඔවුන් පළාත් පාලනයේ නියමුවන් විය යුත්තේ.

මැතිවරණ ව්‍යාපාරය තුළ පුරුෂයන් හා සමගාමීව කාන්තාවට ක්‍රියාකාරී වීමට සිදුවෙනවා. දේශපාලන පක්ෂ සහ පුරුෂ පාර්ශ්වය වෙතින් ඔවුන්ට ලැබෙන සහය සම්බන්ධව ඔබේ නීරික්ෂණ කෙබඳුද?

නිමල්කා – කාන්තාවන්ට ලබා දුන් මේ කෝටාවට එහා ගිහින් බැලුවොත් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළදී ඔවුන් සුළු කොට තැකීමක් දකින්න ලැබෙනවා. විශේෂයෙන් පුරුෂයන් සමඟ කතා පැවැත්වීමේදී පුරුෂයන් හා සමගාමීව ක්‍රියාකාරීත්වයේ නොයෙදුණු කාන්තාවන්ට නව දේශපාලන පරිසරයේ නුහුරු බව සමඟ ඔවුන් සුළු කොට සැලකීමකට ලක් වෙනවා. රූපවාහිනි තිරයේ දකින්න ලැබෙන මැතිරවරණ රැළි පවා පුරුෂ කේන්ද්‍රීයව දකින්න ලැබෙන්නෙ. ඒ ප්‍රදේශය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන කාන්තාවන්ගේ මුහුණු එවන් මැතිවරණ රැළියක දකින්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. එම කාන්තාවන් දිරිගන්වන සුළු ආකාරයේ මැදිහත් වීමක් එවන් රැළි තුළ හෝ පුරුෂයන් විසින් ගෙන යන මැතිවරණ ව්‍යාපාර තුළ මම තවම දැක නැහැ. ඒ නිසාම කාන්තාව දිරිගන්වා මැතිවරණයට ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී ඇයට මේ සඳහා සහය දීම දේශපාලන පක්ෂවල සහ සිවිල් සමාජයේ වගකීමක්. විශේෂයෙන්ම නිවසක සියලු දේ කළ කාන්තාව මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වීමේදී නිවසේ මඟ හැරෙන වැඩ කටයුතු සම්බන්ධයෙන් පවා ඇයට සහයක් අවශ්‍යයි. ඒ නිසා මේ අභියෝගය කාන්තාව ජයගන්න නම් මුළු මහත් සමාජයක සහයෝගය ඇයට අවශ්‍ය කරනවා. ඇයගේ ගෞරවය, ඇයගේ අභිමානය ආරක්ෂා වන පරිදි දේශපාලන නායිකාවන් වශයෙන් ඔවුන් අනාගතයට ගොඩනැන්වීමෙහිලා සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් තිබෙනවා.

 මෙම 25% තහවුරු කිරීම සඳහා පෙබරවාරි 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිෂන් සභාවට කුමනාකාරයේ අභියෝගයක්ද තිබෙන්නෙ?

ගයනි – පනතේ 27(ඉ) වගන්තිය ඔස්සේ කාන්තා දේශපාලනයේ 25% ක් තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්ය වගකීමක් පැවරෙන බව සඳහන් වුනත් නැවත 65(අ) (ආ) වගන්ති මඟින් දක්වා තිබෙනවා කුමන ආකාරයෙන්ද මේ කාන්තාවන් අරඹයා 25% සහතික කළ යුත්තේ යන කාරණය. මෙවර මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් තරග කළත් පළාත් පාලන ආයතනය සඳහා ඔවුන් තේරී පත් වෙන්නෙ සමානුපාතිකව. උදාහරණයක් ලෙස, යම් කිසි පක්ෂයක් ලැබී තිබෙන කොට්ඨාස දහයම ජයග්‍රහණය කළොත්, ජයග්‍රහණය කරන ලද සියල්ලම පුරුෂයන් නම්, අමතර ලැයිස්තුවෙන් සභික සංඛ්‍යාවක් හිමි වී නැති නම් එවන් අවස්ථාවකදී කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා කොමිෂන් සභාවට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒ අනුව 65(අ) (ආ) වගන්ති මඟින් එවන් පක්ෂ කාන්තා නියෝජනය සහතික කිරීමෙන් ඉවත් කර තිබෙනවා. බල ප්‍රදේශය තුළ ඡන්ද සංඛ්‍යාවෙන් 20%ට වඩා අඩුවෙන් ලබා ගන්නා පක්ෂ, සභිකයින් තුන්දෙනෙක් ලබා ගත්තොත් පමණයි ඔවුන් කාන්තා නියෝජනයක් ලබා දිය යුත්තේ. ඒ කියන්නා වූ පක්ෂ මෙම වගන්තිය තුළින් ඉවත් කර තිබෙනවා. මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙන වගකීම වන්නේ ඉතිරි පක්ෂවලින් කාන්තා නියෝජනය තහවුරු කිරීම.

දේශපාලනිකව අලුත් සංස්කෘතියක් ගොඩනගා ගැනීම වෙනුවෙන් උදාවී තිබෙන මේ අවස්ථාවේ ඡන්දදායකයාගේ කාර්ය භාරය කුමක්ද? 

නිමල්කා – මම හිතන්නේ මේ කාර්යයේ විශාලම වගකීම පැවරෙන්නෙ ඡන්දදායකයන්ට. අපේ රටේ ඡන්දදායක ක්‍රියාකාරීත්වය කාන්තාවට සංවේදී නැහැ. අපේ ඡන්දදායකයා තවමත් ජීවත්වෙන්නෙ බලය කියන ප්‍රතිරූපය සමඟ. ඒ ප්‍රතිරූපය ඉදිරියේ ඔවුන්ට පෙනෙන්නෙ පුරුෂ බලය සහ පුරුෂ නායකත්වය පිළිබඳ දේශපාලන සිතියම. නමුත් මේ දේශපාලන සිතියම අභියෝගයට ලක්වෙන අවස්ථාවක් එළැඹිලා තිබෙන්නෙ. ඡන්දදායකයා සමඟ සාකච්ඡා කරද්දී දැනෙන දේ තමයි ඔවුන් මේ ඉදිරිපත් වුණ ස්ත්‍රිය දිහා බලන්නෙ ඔවුන්ට මේක කරන්න පුළුවන්ද යන දෙගිඩියාවකින්. නමුත් ඡන්දදායකයා තේරුම් ගත යුතුයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයේ එක් අවස්ථාවක් බව. මොකද 52% ක් වන කාන්තා ජනගහනය ලංකා දේශපාලනය තුළ නොසිටීම නිසා මතුව තිබෙන්නා වූ අගාධයන් පිළිබඳ අප තේරුම් ගත යුතුයි. කාන්තාවන් තමන්ගේ ගම සංවර්ධනය කිරීමේ නියමුවන් හැටියට එක්කාසු කර ගැනීමේ අවස්ථාවක් ඡන්දදායකයාට ලබා දී තිබෙනවා නීතිමය පදනමකින්. ඒ නිසා 2015 ජනවාරි 08 ගෙන ගිය අරගලයේ එක අදියරක් ලෙස මෙය මතු කර ගෙන කාන්තා දේශපාලනයේ ඵෙතිහාසික අවස්ථාවක, අපේ ඡන්දදායකයාගෙන් මම ඉල්ලනවා මේ කාන්තා දේශපාලනයේ 25% තහවුරු කිරීම වෙනුවෙන් සහය දෙන්න කියල.■

2018.01.28 රාවය සමබිම අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment