පුංචි ඡන්දයෙන් ඇරඹෙන – නව මැතිවරණ ක්‍රමය

Feb 1st, 2018 | By | Category: LEAD NEWS, කාලීන, දේශපාලන, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, මැතිවරණ, සමබිම පුවත්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිබිඹු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින් මැතිවරණයක් යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහෝත්සවය ලෙස අර්ථ ගන්වා ඇත. මිලියන 15 කට මඳක් අධික ශ‍්‍රී ලාංකේය ඡන්ද දායකයන් පිරිසක් මෙවර ද සූදානම් වන්නේ තම පළාත් පාලන ආයතන හෙවත් පුංචි ආණ්ඩු සඳහා සභිකයන් තෝරා ගැනීමටයි.

“පුංචි මිනිසාගේ කතිරයේ බලය” ඉමහත් ප‍්‍රහර්ෂයට නැංවෙන මෙසමයේ දක්නට ඇති සුවිශේෂී වෙනස්කමක් ඇත්තේය. එනම් මෙතෙක් දශක තුනක පමණ කාල පරාසයක් පුරාම අනුදත් මනාප ක‍්‍රමය ඇතුළත් සමානුපාතික මැතිවරණ ක‍්‍රමය වෙනුවට මෙවර උපයෝගී කර ගනුයේ මිශ‍්‍ර සමානුපාතික සභික ක‍්‍රමය (Mix Member Proportional System) වීමයි. කලකට පෙර මෙරටේ ස්ථාපිතව පැවති කේවල ක‍්‍රමය තුළ විද්‍යමාන වූ මූලික ලක්ෂණය වූයේ “පළමුව ජය ටැඹ කරා යන්නා ජයග‍්‍රහණය කෙරේ” යන්නයි. එහෙත් බහුතරයේ මතය හැමවිටම නිවැරදි නොවන බව ප‍්‍රත්‍යක්ෂ කරුණක් බැවින් පසුකාලීනව සමානුපාතික ක‍්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. එය පැවති ක‍්‍රමයට වඩා යෝග්‍ය මැතිවරණ ක‍්‍රමයක් වුව ද ඊට සමගාමීව හඳුන්වා දුන් මනාප ක‍්‍රමය පිළිබඳව මෙරටේ ජනයා තුළ ප‍්‍රසාදයක් නොපැවතියේය. ජනතා මතය වූයේ එය දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේත් – පිටතත් අර්බුද මවන තරගකාරී ක‍්‍රමයක් බවයි. තවද මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයේ උල්පත, මනාප ක‍්‍රමය බව ද තවත් සමහරෙක් පැවසූහ.

අප වැනි බහු වාර්ගික හා බහු ආගමික රටක ඒ ඒ ජන කොටස්වල දේශපාලන අභිලාෂ සමනය කිරීමේ සමත් වඩාත් යෝග්‍ය ක‍්‍රමයක් ලෙස හඳුන්වා දුන් එකී ක‍්‍රමය මෙලෙස අප‍්‍රසාදයට ලක් වීම ලාංකේය සමාජය ගැඹුරින් සලකා බැලිය යුතු කරුණක් විය යුත්තේය. ඒ කෙසේ වුව ද ලොව පරසිදු එක් මැතිවරණ රීතියක් වන්නේ “එක් පුද්ගලයෙක් සඳහා එක් ඡන්දයක්” යන්නයි. සෑම ඡන්ද දායකයෙකුගේම ඡන්දයකට සමාන වටිනාකමක් ලබා දීම මෙහි අරමුණයි. වසර 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන් නව මැතිවරණ ක‍්‍රමයේ පදනම වන්නේ ද එයයි.

නව මැතිවරණ ක‍්‍රමයේ සුවිශේෂතා

1. කොට්ඨාශ පදනම් කරගත් සීමා නිර්ණය : අද වනවිට මුළු රටම කොට්ඨාශ 4919 කට බෙදා ඇත්තේය. ඒ කේවල කොට්ඨාශ (එක් සභිකයෙක් සහිත), බහු සභික කොට්ඨාශ (සභිකයන් දෙදෙනෙක් සහ තිදෙනෙක් සහිත) වශයෙනි. ජාතික සීමා නිර්ණය කමිටුව මෙහි වගකීම දැරීය. සීමා නිර්ණය සමාලෝචන කමිටුව ද තම නිර්දේශ ඒ සඳහා ලබා දුනි. මෙලෙස සැකසූ කොට්ඨාශ, ග‍්‍රාම නිලධාරී වසම් එකක් හෝ කිහිපයක් එකට එකතු කොට ඡන්ද දායකයන් සීමාසහිත ප‍්‍රමාණයක් සහිතව නිර්මාණය කර ඇත. මෙකී කොට්ඨාශ මෙරටට හඳුන්වා දුන් නවතම පාලන ඒකකය වන්නේය.

2. සභිකයන් තෝරා පත් කර ගැනීම : මිශ‍්‍ර ක‍්‍රමයක් යටතේ සභිකයන් තෝරා පත් ගන්නේය. එනම් 60% කොට්ඨාශ ක‍්‍රමය යටතේ සහ 40% සමානුපාතික ක‍්‍රමය යටතේය. සභාවේ මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් වන ප‍්‍රමාණයක් කාන්තාවන් කොට්ඨාශ සඳහා තරග කළ යුතුය. එලෙස ප‍්‍රතිශතාත්මකව දැක්වුව ද මෙම ක‍්‍රමයේ මූලික සංකල්පය නම් යම් සභාවකට තෝරා පත්කර ගන්නා සභිකයන් සියලූ දෙනාම සමනුපාතිකමය ක‍්‍රමයක් ඔස්සේ තෝරා ගැනීමයි. සෑම සභාවකටම තේරී පත්වන සභිකයන් දස දෙනෙකුගෙන් හය දෙනෙක්ම එනම් 60%ක ප‍්‍රමාණයක් ඍජු ඡන්දයෙන් තේරී පත්වන විට ඉතිරි සිව් දෙනා තෝරා පත්කර ගන්නේ අදාළ දේශපාලන පක්‍ෂයේ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසිනි. එහෙත් එකී 40% නම් කිරීම සඳහා පාදක කරගනු ලබන්නේ එකී දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලැබූ වලංගු ඡන්ද සංඛ්‍යාවයි.

3. සභිකයන් තෝරා ගැනීමේ සරල ක‍්‍රමවේදය හා ඡන්ද පත‍්‍රිකාව : ඡන්ද පත‍්‍රිකාව ඉතා සරල වී ඇත. මනාප ලකුණු කිරීමක් නැත. දේශපාලන පක්ෂයේ/ස්වාධීන කණ්ඩායමේ නම සහ ළකුණ සඳහන් ඡන්ද පත‍්‍රිකාව සඳහා කතිරය යෙදීම සෑහේ. වෙනදා අපේක්ෂකයන් තිදෙනෙක් දක්වා මනාප පළ කිරීමට තිබූ අවස්ථාව අහිමිව ගොස් ඇත. ඡන්ද දායකයන්ගේ වරණය අහිමි වී ඇති අතර අපේක්ෂකයන් තෝරාගනු ලබන්නේ අදාළ දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් නායකයන් විසිනි. මේ අනුව පූර්ව නාම යෝජනා සමය තීරණාත්මකය.

4. කාන්තා දේශපාලන නියෝජනය තහවුරු කිරීම : කාන්තා දේශපාලන නියෝජනය ප‍්‍රථම වරට නීතිගත කර ඇත්තේය. ඒ 25% ක නියෝජනයක් සඳහා වූ පංගුවකි. නැතහොත් කෝටාවක් ලෙසිනි. මින් අනතුරුව පිහිටුවීමට නියමිත සෑම පළාත් පාලන ආයතනයකම සමස්ත සභික සංඛ්‍යාවෙන් 1/4 ක් හෙවත් 25% ක අවම කාන්තා නියෝජනයක් තහවුරුව පැවතීම අනිවාර්ය වේ. එය නිතැතින්ම පෙරළිකාරී මෙන්ම කාලීන සමාජ දේශපාලනික අවශ්‍යතා සලකා බලා ගන්නා ලද ප‍්‍රශංසාත්මක වූ ප‍්‍රතිපත්තිමය තීරණයකි. ඒ අනුව නව ක‍්‍රමවේදය තුළ ඉදිරි පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන අවම කාන්තා සභිකයන් ප‍්‍රමාණය 1900කට මඳක් වැඩිය. අවසන් වරට පැවති පළාත් පාලන ඡන්ද විමසීමට අනුව පළාත් පාලන ආයතන සියල්ල සඳහාම පත්ව සිටි සමස්ත කාන්තා සභික ප‍්‍රමාණය වූයේ 86 කි.

5. ජනතාවට සමීප ජනතා නියෝජිතයන් බිහිවීම : කොට්ඨාශයක් යනු මෙතැන් පටන් ජනතාවට වඩාත් සමීපතම දේශපාලන ඒකකය වන්නේය. ඒ අනුව මින්පසු සභිකයෙක් නොමැති කොට්ඨාශයක් තිබිය නොහැකි අතර දෙවන වර ජනතා වරමක් පතන්නේ නම් තම වගකීම මනාව ඉටු කළ යුතුව ඇත්තේය. එකී සභිකයන්ගේ කටයුතු වඩාත් සමීපව නිරීක්‍ෂණය කිරීමට ඡන්ද දායකයන්ට අවකාශ සැලසී ඇත.

6. අහිමි වූ තරුණ කෝටාව සහ දෙගුණ වූ සභික සංඛ්‍යාව : පළාත් පාලන ආයතන, තරුණ දේශපාලන නායකයන් බිහිකළ පාරාදීසයක් බඳුය. ඒ නාම යෝජනා පත‍්‍ර සඳහා 40% ක කෝටාවක් තරුණයන්ට ලබා දීමෙනි. මෙවර එම අවස්ථාව අහිමි කොට ඇත. ඊට සමගාමීව සභික ප‍්‍රමාණය දෙගුණ වී ඇත්තේය. කොළඹ මහ නගර සභාවේ පෙර පැවති සභික සංඛ්‍යාව 53කි. මෙවර එය 110ක් වී ඇත. තවද මෙවර නිශ්චිත සභික සංඛ්‍යාවකින් යුත් පළාත් පාලන ආයතන නොමැත. යම් සභාවක තරගකාරී මැතිවරණ ප‍්‍රතිඵලයක් ලැබුණු කලෙක අමතර සභිකයන් ද ලබා දීමට සිදු විය හැකිය. එය එල්ලන ලද අමතර සභික ආසන (Overhang) ලෙස හැඳින්විය හැකිය.

7. මැතිවරණ ප‍්‍රචාරය හා මැතිවරණ වියදම් : මෙම මැතිවරණ ක‍්‍රමයේ මූලික පරමාර්ථය “ගමට වග කියන ගමේ නියෝජිතයෙක් හඳුන්වා දීමය” එවැනි ක‍්‍රමවේදයක් කරා යෑමේ අවශ්‍යතාවය මතු වූයේ ද මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය උදෙසා යොදවන අසීමිත පිරිවැය පාලනය කිරීම සඳහාය. ඒ අනුව ගම හා සමීප අපේක්‍ෂකයෙක් වේ ද ඔහුට හෝ ඇයට ඉතා අවම පිරිවැයකින් තම මැතිවරණ ව්‍යාපාරය සිදු කිරීමේ අවකාශ ඇත. එහෙත් සීමිත ඡන්ද දායකයන් පිරිසක් සහිත කොට්ඨාශයක් වෙත අසීමිත ධනයක් හා සම්පත් යෙදවීමේ හැකියාවක් ද නැත්තේ නොවේ. එවැන්නක් පාලනය කළ හැක්කේ මැතිවරණ වියදම් නියාමනයට අදාළ නීතිරීති හඳුන්වා දීම මගිනි.

8. සභාපතිවරයා තෝරාපත් ගැනීම : බහුතර සභික සංඛ්‍යාවක් තේරී පත් වූ විටෙක සභාපතිවරයා නම් කිරීම පක්‍ෂ ලේකම්වරයා/ස්වාධීන කණ්ඩායම් නායකයා සතු වගකීමකි. එසේ නොවන කල, එකී ක‍්‍රියාවලිය පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කැඳවන පළමු රැස්වීමේදී සිදු කෙරේ. එම තනතුර සඳහා ඉදිරිපත් වන එක් එක් සභිකයන් අතරින් වැඩි කැමැත්තක් හිමි වන සභිකයා අදාළ තනතුරට පත් වේ.

9. මැතිවරණ ප‍්‍රතිඵල හා පළාත් පාලන ආයතන පිහිටුවීම : යම් පළාත් පාලන ආයතනයක් සඳහා ප‍්‍රකාශ වී ඇති වලංගු ඡන්ද සංඛ්‍යාව, අදාළ පළාත් පාලන ආයතනය සඳහා හිමිව ඇති සමස්ත සභික සංඛ්‍යාවෙන් බෙදීම පළමුව සිදු කෙරේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලැබෙන සංඛ්‍යාව තීරක අංකය (Qualifying Number) නම් වේ. තීරක අංකය යනු යම් සභික ධූරයක් ලැබීම සඳහා ලබා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාවයි. අනතුරුව ඒ ඒ පක්‍ෂ/ස්වාධීන කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට සමගාමීව තීරක අංකය සලකා බලා සභික ධූර සංඛ්‍යාව තීරණය කෙරේ.

10. කාන්තා සභිකයන් තෝරා පත් කර ගැනීම : යම් පළාත් පාලන ආයතනයක් සඳහා තරග කරන ලද දේශපාලන පක්‍ෂ/ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයන් සියල්ල එකට එකතු කිරීම පළමුව සිදු කෙරේ. අනතුරුව එකී සංඛ්‍යාව, පළාත් පාලන ආයතනයට වෙන් කොට ඇති කාන්තා සභිකධූර ප‍්‍රමාණයෙන් බෙදීම සිදු කෙරේ. එහිදී ලැබෙන පිළිතුරට සමගාමීව ඒ ඒ දේශපාලන පක්‍ෂ/ස්වාධීන කණ්ඩායම් නම් කළ යුතු අවම කාන්තා සභිකයන් සංඛ්‍යාව නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ දේශපාලන පක්‍ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දේ. එකී ගණනය සඳහා පහත දක්වා ඇති පරිදි සභික ධූර ලබා ඇති දේශපාලන පක්‍ෂ/ස්වාධීන කණ්ඩායම් සලකා නොබැලේ.

  • තමන් වෙත හිමිවිය යුතු සභික ධූර සංඛ්‍යාවට සමානව හෝ ඊට වැඩි සභික ධූර ප‍්‍රමාණයක් කොට්ඨාශ පදනමින් ජයග‍්‍රහණය කර තිබෙන දේශපාලන පක්‍ෂය/ස්වාධීන කණ්ඩායම්

  • පළාත් පාලන ආයතනය සඳහා භාවිත වී ඇති සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 20% ක් ලබාගෙන නොමැති දේශපාලන පක්‍ෂ/ස්වාධීන කණ්ඩායම් හෝ සභික ධූර තුනකට අඩු එනම්, දෙකක් හෝ එකක් ලබා ඇති දේශපාලන පක්‍ෂ/ස්වාධීන කණ්ඩායම්

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක  මංජුල ගජනායක විසින් සමබිම 2018 නොවැම්බර් – දෙසැම්බර් කලාපයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment