කාන්තා නියෝජනය නමට පමණක් ද? 

Feb 6th, 2018 | By | Category: EDITOR'S CHOICE, Election Updates, LEAD NEWS, TOP NEWS, කාන්තා, දේශපාලන, පුවත්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

කාන්තා දේශපාලන නියෝජනත්වය මැතිවරණ නීතියෙන් තහවුරුවී ඇති පසුබිම තුළ ප්‍රචණ්ඩත්වය යොදාගෙන කාන්තාවන් දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඈත් කිරීමට උත්සාහයක් තිබෙන බව උතුරු නැගෙනහිර ක්‍රියාකාරීව සිටින සංවිධාන අටක එකතුවක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women Action Network) පසුගිය ජනවාරි 22වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. එම නිවේදනය මගින් දැනට සියයට 1.9ක්  පමණ වන පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%කට ගෙන ඒමේ නිසි ප්‍රයෝජනය ගැනීමට කාන්තාවන්ට දේශපාලනය කිරීමේ පසුබිම රටේ තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම වැල්ලවාය සහ පුත්තලමේදී අපේක්ෂිකාවන් ඉලක්ක කොට සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පෙන්වා දෙන මෙම නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා සිටින්නේ ශාරිරික ප්‍රචණ්ඩත්වයෙන් පමණක් නොව වෙනත් ආකාරයේ අපහාස, තර්ජන, බාධාකිරීම්, මුදල් ලබා නොදීම, ආගමික ප්‍රචාර, පවුලට කරන බලපෑම්, වැනි සංකීර්ණ, නිහඬ මෙන්ම සැඟවුණ ආකාරයන් මගින් අපේක්ෂිකාවන් දුර්වල කරන ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බවයි. විශේෂයෙන්ම වැඩි අවධානමක සිටින දෙමළ සහ මුස්ලිම් සමාජයන්ගේ අපේක්ෂිකාවන්ගේ තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බව මෙම වාර්තාවේ අවධාරණය කර තිබේ. ඒ අනුව කාන්තාවන්ට අවම නියෝජනයක් ලබා දීම හුදු නාමික හෝ නීතිමය කරුණක් බවට පත්වීමට ඉඩ නොදී එයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද රජයේ වගකීමකි. 

කාන්තාවන්ට ඓතිහාසික වශයෙන් සිදුවූ අසාධාරණයක් වෙනස් කරමින් ලබා ගත් මෙම 25% නියෝජනත්වයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනිම වෙනුවෙන් වෙහෙසන සමබිම අපි, මැතිවරණ ප්‍රචාරක කටයුතු යුහුසුළුව සිදුවන මේ මොහොතේ අපේක්ෂිකාවන්ගේ සහ ඔවුන්ව දිරිමත් කරන කාන්තා ක්‍රියාධරිනියන් කිහිපදෙනෙකුගේ මැතිවරණ අත්දැකීම් බෙදා ගැනීමට ඉඩ වෙන් කළේය. 

ඒ අනුව කන්තලේ ප්‍රදේශයේ සියලු ජාතිකත්වයන් නියෝජනය වන පරිදි කාන්තා අපේක්ෂිකාවන් 24 දෙනෙක් ඉදිරිපත් කරමින් පළිහ ලකුණින් තරග කරන කන්තලේ ස්වාධීන කණ්ඩයම් 01 හි අපේක්ෂිකාවන් වෙනුවෙන් සහ කුරූණෑගල දිස්ත්‍රික්කයෙන් පක්ෂ කිහිපයකින් ඉදිරිපත්වන අපේක්ෂිකාවන්ගේ අදහස් මගින් මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රායෝගික තලයේ අත්දැකීම් බෙදා ගැනීමට අපට අවස්ථාව ලැබුණි.

3තාම කාන්තා දේශපාලන ආකෘතියක්  ගොඩනැගිල නැහැ – සුමිකා පෙරේරා (ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය)

දකුණු ආසියාවේ බොහෝ රටවල් මේ පංගු ක්‍රමය භාවිත කර ගම් මට්ටමේ දේශපාලනයෙන් වියුක්තව සිටි කාන්තාවන් දේශපාලනය තුළ සක්‍රීය කිරීමට සමත් වී තිබෙනවා. ඉන්දියාවේ විශාල වශයෙන් ග්‍රාමීය සංවර්ධනයේ පිබිදීමක් සිදුවෙමින් තිබෙනවා. එයට හේතුව ගම්මට්ටමේ කාන්තාවන් දේශපාලනය තුළ වඩාත් සක්‍රීය පිරිසක් බවට පත් කිරීමට ඔවුන්ට හැකි වීම. ඒ නිසා මම මේ කෝටාව දකින්නෙ තාවකාලිකව අපට අත්‍යාවශ්‍ය වුණු පිළියමක් වශයෙන්. ඒ වෙනුවෙන් කාන්තා ව්‍යාපාර අවුරුදු විස්සක් පමණ අරගල කළා.

නමුත් මේ තුළ පවා ඇයට මුහුණ දීමට විශාල වශයෙන් අභියෝග තිබෙනවා. තමන්ගේ කොට්ඨාසයේ දිර්ඝ කාලයක් වැඩකරපු බොහෝ කාන්තාවන්ට ඒ කොට්ඨාසයෙන් ඉදිරිපත් වීමට තිබෙන අවස්ථාව පවා ආසන සංවිධායකවරු විසින් අහිමි කළ අවස්ථා තිබෙනවා. ඡන්දය ඉල්ලලා දිනන්න පුළුවන් කාන්තාවන් ලැයිස්තුවලට යොමු කර තිබෙන අවස්ථා තිබෙනවා. මෙැවනි තත්ත්වයන් සමඟයි කාන්තාවන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට සිදුව තිබෙන්නෙ. මෙතෙක් කලක් ප්‍රාදේශීය පාලනය හැඩ ගැසුණු ආකාරයක් තිබෙනවා. කාන්තාවන්ට කටයුතු කරන්න සිදුවෙන්නෙ පුරුෂයන් දිර්ඝ කාලයක් තමන්ට ඕනෑ විදියට කොටා ගත්ත බිමක ඉඳල. නමුත් කාන්තාවන් ප්‍රාදේශීය පාලනය තුළට ඇතුළත් වීම සමඟ මේ ක්‍රමයේ විශාල වෙනසක් ඇති වෙයි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා. ගමේ පාරක් පාලමක් බෝක්කුවක් හැදීම පමණක් නෙවෙයි ගමේ පානීය ජල අවශ්‍යතාවය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, මාතෘ සායන ආදී කාන්තා අවශ්‍යතා සම්බන්ධයෙන් සංවේදී බවක් කාන්තාවන් ග්‍රාමීය පාරිපාලනය තුළට පිවිසීමෙන් ඇති වනු ඇති බවයි අපේ විශ්වාසය. බොහෝ අය කියනවා කාන්තාව, කාන්තාවට ඡන්දය දිය යුතුයි කියල. නමුත් කාන්තාව ජයග්‍රහණය කළ යුත්තේ ප්‍රජාවගේ ඡන්දයෙන්. ඇය වැඩ කළ යුත්තේ කාන්තාවට පමණක්ම නෙවෙයි. සියලු ප්‍රජාව වෙනුවෙන් එක සේ වැඩ කිරීමේ ඇය සතු වගකීමක්.

කාන්තාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන බවට වාර්තා පළ වෙනවා. මේ මැතිවරණ ක්‍රමය ගෙන ආවේම පැවතුන දේශපාලන ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන්. දේශපාලන ප්‍රචණ්ඩත්වය යම් ආකාරයකට අපේ දේශපාලන සංස්කෘතියේ පැවතුන දෙයක්. නමුත් මේ නව මැතිවරණ ක්‍රමය සමඟ එම තත්ත්වයේ විශාල වෙනසක් දකින්න ලැබෙනවා. ඒ සමඟ මම දකින දෙයක් මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය යන්න සම්බන්ධයෙන් අපේ අර්ථ නිරූපණයත් වෙනස් විය යුතුව තිබෙනවා. තවදුරටත් කාන්තාව විෂයෙහි ප්‍රචණ්ඩත්වය කියන්නෙ පහරදීම්, බෝම්බ ගැසීම්, බැන වැදීම් පමණක් නොවෙයි. කාන්තාවට දේශපාලන දැනුම නොමැති බවට ගෙන යන ප්‍රචාර, සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට අපහාස වන ආකාරයට ගෙන යන ප්‍රචාර, විවිධ පුරුෂයන් සම්බන්ධ කරමින් කාන්තාවන්ට සිදුකරන විවේචන, ඇය අදින ඇඳුම පවා විවෙචනයට ලක්කිරීම තුළින් ඇයට සිදුවන මානසික පීඩනය තවමත් ප්‍රචණ්ඩත්වයෙහිලා සලකා නීරක්ෂණය වීමක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තුළින් පවා සිදුව නැහැ.

පළාත් පාලනයේ කාන්තා නියෝජනය සඳහා 25%ක් හිමි වීම කියන්නෙ විශාල ජයග්‍රහණයක්. එය දිනාගන්න ගෙන ගිය අරගලය වගේම අරගලයක් කළ යුතුව තිබෙනවා ඒ අභියෝගය ජයගැනීම වෙනුවෙන් සහ කාන්තාවන් දේශපාලනයට පැමිණීමේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන්. ඒ නිසාම මේ ලද අවස්ථාව දෙස අපි සුබවාදීව බැලිය යුතුයි. ■

emvideo-vimeo-15942305කාන්තා දේශපාලනය හාස්‍යට කරුණක් නොවෙයි – චූලනී කොඩිකාර (ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා)

ඉතිහාසයේ සිටම කාන්තාව කියන්නෙ දේශපාලන පක්ෂ සහ ඡන්දදායකයන් යන දෙපිරිසෙන්ම  වෙනස්කොට සැලකීමට භාජනය වෙන පිරිසක්. ඒ නිසාමයි මේ කෝටාව වැදගත් වෙන්නේ. කෝටාව යනු නීතිමය සමානාත්මතාවය යන සංකල්පයයෙන් තිරසාර සමානාත්මතා සංකල්පය වෙත මාරු වීමක්.  නමුත් කාන්තාවන් සඳහා මෙවැනි කෝටාවක් ගෙන ඒමේදී ඇතැම් සුළු පක්ෂ පවා විශාල වශයෙන් එරෙහි වුණා. ලංකාවේ මේ කෝටාව සම්බන්ධව සාකච්ඡා ආරම්භ කරන විටත් ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල කාන්තාවන් සඳහා කෝටවක් දී තිබුණා. ඒනිසාම අපි හිතුවේ මේ කෝටාව අපට පහසුවෙන් දිනා ගැනීමට හැකි වෙයි කියල. නමුත් කාන්තා ව්‍යාපාර සහ කාන්තා ක්‍රියාධරනියන්ට සිදුවුණා මේ වෙනුවෙන් දිර්ඝ කාලයක් අරගල කිරීමට. එම අරගල තුළින් අද මේ කෝටාව දිනා ගැනීමට කාන්තාව සමත් වී තිබෙනවා. මට අනුව මීට එරෙහිව නැගෙන පෙර කී ආකාරයේ සියලුු සංස්කෘතික මතවාදවලට නීතිමය ප්‍රතිචාරයක් මේ කෝටාව තුළින් ලැබී තිබෙනවා.

අද මේ කෝටාව හරහා ගමේ කාන්තාව සක්‍රීය ලෙස දේශපාලන ක්‍රියාවලියට පිවිසී තිබෙනවා. නමුත් ඇතැම් පුරුෂ දේශපාලනඥයන්ට මෙය උහුලා ගන්න බැරිකමක් මම දකිනවා. ඒ තත්ත්වය සමඟ ඔවුන් මේ කෝටාව මතවාදීමය වශයෙන් සහ ක්‍රියාවන් තුළින් ප්‍රතික්ෂේප කරන ආකාරය දකින්න පුළුවන්. එවැනි අවස්ථාවන් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වුණා. දකුණෙත් නැගෙනහිරත් කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වී තිබෙනවා. අනෙක් අතින් ඇතැම් දේශපාලනඥයන් මෙවැනි කෝටාවක් කාන්තාවට ලැබී නොමැති බවට පවා අදහස් පළ කළා. දේශපාලනය තුළ කාන්තා නියෝජනය සිදුවූ ඉතිහාසය පිරික්සීමේදීත් දකින්න ලැබෙන තත්ත්වයක් ඇය කායික ප්‍රචණ්ඩත්වයටත් වඩා වාචික ප්‍රචණ්ඩත්වයට ලක් වීම. මේ සියලු තත්ත්වයන් සමඟ බැලීමේදී කාන්තාව දේශපාලනය තුළ ක්‍රියාකාරී වීම මුළුමනින්ම පුරුෂයන් පිළිගන්නා තත්ත්වයකට පත් වීමට තවත් කාලයක් ගත වනු ඇති බවයි මගේ විශ්වාසය.

විශේෂයෙන්ම මේ කෝටාව සහ දේශපාලනය තුළ කාන්තාව ක්‍රියාකාරී වීම යන්න හාස්‍යට උපහාසයට ලක්කරන ආකාරයේ විවිධ ප්‍රචාරයන් සිදුවන ප්‍රවනතාවයක් ඉස්මතුව තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ප්‍රවාහය කර ගනිමින් මේවා ක්‍රියාත්මක වන ආකාරය දකින්න පුළුවන්. අපි මේ සම්බන්ධව පළාත් පාලන අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කළා. අපි හිතනවා දේශපාලන පක්ෂවලට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නෙ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් ආකාරයකට මූලධර්ම පද්ධතියක් අවශ්‍ය වෙන බව. කෙසේ නමුත් කාන්තාවන්ට දේශපාලනයට පිවිසීම සඳහා ලැබුණ මේ දිරිගැන්වීම පිරිමි ආධිපත්‍යට විශාල අභියෝගයක්ව තිබෙනවා. කෙසේ නමුත් මෙය දේශපාලනය තුළ කාන්තාව වඩාත් සවිබලගැන්වීමක් ලෙස දැකිය හැකියි. ■

01.Ms.Podimenikeකකුලෙන් ඇද්දත්  අපි ඉදිරියට යනවා – ආර්.පී. පොඩිමැණිකේ (නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානය)

කන්තලේ ස්වාධීන කණ්ඩායම් 01න් තරග වදින සහ අමතර ලැස්තුවෙන් මෙවර ඉදිරිපත් කර සිටින්නෙ කාන්තාවන්ම පමණක් වීම සුවිශේෂියි. ඒ වගේම මෙම කණ්ඩායමේ සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත්ව සිටිනවා. කණ්ඩායම් නායිකාව වශයෙන් ක්‍රියාකරන්නෙත් දෙමළ කාන්තාවක්.

මේ සුවිශේෂිත්වය නිසාම අපි යම් යම් දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම නාමයෝජනා පත්‍රය ලබාදීමේ සිට අපි විවිධ ප්‍රශ්නවලට මුහුණපා තිබෙනවා. කන්තලේ කියන්නේ සියලු ජනවර්ග නියෝජනය වන ප්‍රදේශයක්. ඒ නිසා අපිට හැකියාවක් නැහැ ඒ නියෝජනය නොතකා හැර ලැයිස්තු ඉදිරිපත් කිරීමට. විශේෂයෙන්ම ඒ ඒ ජන කණ්ඩායම්වල අදහස් තීන්දු තීරණ ප්‍රාදේශිය සභාව තුළ නියෝජනය විය යුතුයි. විශේෂයෙන්ම කාන්තාවන් වශයෙන් කාන්තාවන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳ සංවේදී විය හැක්කේ තවත් කාන්තාවකට. මේ සියලු කාරණා පදනම් කරගෙනයි කන්තලේ ස්වාධීන කණ්ඩායම් 01 සඳහා අපේක්ෂිකාවන් ඉදිරිපත් කර තිබෙන්නෙ. නමුත් දේශපාලනයේ මුල්බැසගත් පුරුෂයන් සමඟ මේ ගමන යෑම අතිශය දුෂ්කරයි වගේම අභියෝගාත්මයි. අපිට මේ කාර්යට ලැබෙන සහට වඩා කකුලෙන් ඇදීම් වැඩියි.

අපේ මේ කණ්ඩායමට ජාතිවාදී ලේබල් අලවන්න බොහෝ දෙනා උත්සාහ දරනවා. නිර්ණාමික දුරකතන ඇමතුම්වලින් මේ අපේක්ෂිකාවන් බියවද්දන්න උත්සාහ දරනවා. නමුත් දිර්ඝ කාලයක් සටන් කරල දිනාගත්ත මේ අවස්ථාව කිසිදු ආකාරයකින් අහිමි කරගැනීමට අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ සියලුු කකුලෙන් ඇදීම් මැද කන්තලේ ස්වාධීන කණ්ඩායම් 01 තමන්ගේ මැතිවරණ කටයුතු මෙහෙයවමින් සිටිනවා. මොකද අපි විශ්වාස කරනවා මෙතෙක් පළාත් පාලනයේ නැති කරන්න බැරි වුණ දුෂණ වංචා නැති කරන්න කාන්තාවට පුළුවන් බව. ■

27591372_1786587324718744_1249927225_nගම වෙනුවෙන් තීරණ ගන්න කාන්තාවටත් පුළුවන් – ඉන්ද්‍රානී රත්නායක (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – අඹන්පොළ, කලාප අංක 03)

ගමේ කාන්තාවෝ විදියට දේශපාලනය අපෙන් දුරස්ථ කර තිබුණ වටපිටාවක මේ කෝටාව හරහා කාන්තාවන්ට සමාන අවස්ථාවක් දී තිබෙනවා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට. මෙය සුවිශේෂී අවස්ථාවක්. ගම වෙනුවෙන් හැමදාම ප්‍රාදේශිය සභාවට ගියේ පුරුෂයෝ. මීට පෙර කාන්තාවන්ට නාමයෝජනා පවා ලැබුණේ නැහැ. නමුත් මෙවර ගම වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ගමේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්න කාන්තාවට විශේෂ අවස්ථාවක් හිමි වී තිබෙනවා. පුරුෂයන් සමඟ දේශපාලනයේ යෙදීම කියන එක අභියෝගාත්මකයි.  නමුත් කාන්තාවන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ගමේ ජනතාව තුළ පවා හොඳ හැඟීමක් තිබෙනවා. ■

29499කලින් උත්සාහ කරත් අවස්ථාලැබුණේ නැහැ – සුජීවා ප්‍රියදර්ශනි හපුආරච්චි (එක්සත් ජනතා නිදහස් සන්ධානය- මහානාන්නේරිය, කලාප අංක 06)

මෙවර කාන්තාවන්ට නීතිමය වශයෙන් වටපිටාව සකස් වී තිබෙනවා දේශපාලනය තුළ තමන්ගේ නියෝජනය වැඩි කිරීම වෙනුවෙන්. නමුත් අපි කාලයක් උත්සාහ දැරුවා මැතිවරණවලට ඉදිරිපත් වීමට. ඒ අවස්ථාවල අපිව ප්‍රතික්ෂේප වීමට පදනම වුණේ අපි කාන්තාවන් වීම. මොකද දේශපාලනය පුරුෂයන්ට කියන මතය තමයි මුල් බැහැගෙන තිබෙන්නෙ. නමුත් මේ අවස්ථාව සමඟ අපි ගම සංවර්ධනය කිරීමේ යම් නිශ්චිත වැඩපිළිවෙළක් සමඟ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඉන්නවා.  මම හිතන්නේ කාන්තාව දේශපාලනය තුළ වැඩි වැඩියෙන් නියෝජනය වීම සමාජයට හිතකර වනු ඇති බවයි. ■

27662041_1786586818052128_165460609_nමේ විධායක ජනාධිපතිනියක් ඉඳලත් නොලැබුණු අවස්ථාවක් – දීපා හේරත් ( එක්සත් ජාතික පක්ෂය නීලගිරි කොට්ඨාසය)

අපේ රටේ විධායක ජනාධිපතිනියක් විධායක අගමැතිනියක් ඉඳලවත් කාන්තාවන් වෙනුවෙන් මෙවන් අවස්ථාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමෙන් එහාට 25%ක් වන අනිවාර්ය කාන්තා නියෝජනය තුළ අපිට අවස්ථාව ලැබෙනවා ප්‍රාදේශිය පාලනය වෙනුවෙන් මැදිහත් වීමට. ගමේ සෑම කාර්යකම සෑම සමිතියකම ඉදිරියෙන් ඉන්නේ කාන්තාවෝ. ඒත් දේශපාලනය තුළ කාන්තාවට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රාදේශිය පාලනය තුළ කාන්තාවට නායකත්වයක් හිමවුනොත් ඇයට අවස්ථාව තිබෙනවා ගමේ වැඩ කරන දක්ෂ කාන්තාවන් සවිබල ගන්වමින් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්න. ඒ නිසා මේ අවස්ථාව සමස්ත කාන්තාව ලද විශිෂ්ට ජයග්‍රහණයක්. ■

02.Arulanandan Jeravajini (1)ග්‍රාමීය කාන්තාව සවිබලගැන්වීම  අපේ අරමුණයි – අරුලානන්දන් ජෙරාවජිනි (කණ්ඩායම් නායිකා- කන්තලේ ස්වාධීන කණ්ඩායම් 01)

අපේ ලැයිස්තු දෙකෙන් සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් වී තිබෙනවා. මොකද කන්තලේ කියන්නේ සියලු‍ ජාතීන් ජීවත් වෙන ගමක්. නමුත් අනෙකුත් පක්ෂ මෙය වැරදි ලෙස නිර්වචනය කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මම දෙමළ කාන්තාවක් වීම නිසාම විශාල අභියෝග රැසකට මුහුණ දුන්නා. යුද්ධය එක්ක අවුරුදු තිහක් අපි දුක්විදලා තිබෙනවා. මේ ඡන්දයට ඉදිරිපත් වීමෙන් අපි අපේක්ෂා කළේ ජනවර්ග අතර සාමය සංහිඳියාව ඇතිකරමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළින් ප්‍රාදේශිය පරිපාලනයට සම්බන්ධ වීමත් ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීමත්. ■

2018-02-05ගම  සංවර්ධනයට අපිට සැළැස්මක් තියෙනවා – ගපුහින්නෙ ගෙදර වසන්තා කුමාරි (කන්තලේ ස්වාධීන  කණ්ඩායම් 01- ගංතලාව)

කාන්තාවට ඡන්දය දෙන්න එපා කියන පිරිස් ඉන්නවා. නමුත් තේරුම් ගත යුතුයි මෙවර මැතිවරණය පැවැත්වෙන්නෙ මනාප ක්‍රමයට නොවෙන බව. කාන්තාවට දෙන ඡන්දය ගමේ රටේ සංවර්ධනය වෙනුවෙන් දෙන ඡන්දයක් හැටියටයි අපි දකින්නෙ. මොකද ගමේ පරිපාලනය සම්බන්ධව තීරණ ගන්න මුල් වුණ පුරුෂයන්ට මෙතෙක් බැරි වුණා ගමක් අපේක්ෂා කළ සංවර්ධන මට්ටම වෙත යන්න හෝ කාන්තාවන්ට සංවේදී තීන්දු තීරණ ක්‍රියාත්මක කරන තැනක් බවට ප්‍රාදේශීය සභාව පත් කරන්න. මෙවර කාන්තාවන්ට අවස්ථාව තිබෙනවා ගමේ, කාන්තාවන්ගේ ප්‍රශ්න අරගෙන ප්‍රාදේශීය සභාවට ගිහින් එහි වෙනසක් ඇති කරන්න. ■

2018.02.04 වන දින සමබිම රාවය අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Leave a Comment