පළාත් පාලනේටයි – පළාත් සභාවටයි; ස්ත‍්‍රී කෝටාව බෙදුවේ හැඳි දෙකකින් ද?

Feb 7th, 2018 | By | Category: EDITOR'S CHOICE, Today Lead News, කාන්තා, කාලීන, දේශපාලන, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, පුවත්, මැතිවරණ

බි‍්‍රතාන්‍යයේ පළමු අගමැතිනිය, මාග‍්‍රට් තැචර් විසින්, දේශපාලනයෙහි නියැලෙන ස්ත‍්‍රිය අගයමින් කළ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය යළි සිහිපත් කරගනිමින්, ලිපියෙහි අඩංගුව වෙත පිවිසෙන්න. ඔබගේ ‘පිරිමි හිත’ රිදුනා නම්, මාගේ බලවත් කනගාටුව…!

“If you want a speech you should ask a man” but if you want something done you should ask a woman…” – Margaret Thatcher

“ඔබට කතාවක් අහන්නට ඕනෑ නම්, පිරිමියෙකුගෙන් අහගන්න. නමුත් ඔබට වැඩක් කෙරෙන්නට ඕනෑ නම්, ගැහැනියකගෙන් අහන්න” – මාග‍්‍රට් තැචර්

(මෙම උපුටනයෙහි අදාළතාවයක් ඇත්තේ, ලිපියෙහි අවසාන ඩිංගටය. ලිපියෙහි සාකච්ඡාව සිදු කෙරෙන්නේ ඉහත මාතෘකාවට අදාළවය)
නව මැතිවරණ ක‍්‍රමය යටතේ, පළාත් පාලන සහ පළාත් සභාවලට 25‍% ක ස්ත‍්‍රී කෝටාවක් ලැබීම, ශ‍්‍රී ලාංකේය ස්ත‍්‍රියගේ දේශපාලන අයිතිවාසිකම් අරගලයෙහි ප‍්‍රධාන කේවල් කිරීමක් වූ, ‘දේශපාලනයෙහි ස්ත‍්‍රී නියෝජනයට කෝටාවක් අනිවාර්යය කළ යුතුය’ යන්න යම්තාක් දුරකට තෘප්ත කිරීමක් ලෙස ඇගයිය හැකිය.

2017 අවසාන වන විටත්, ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිට පළාත් පාලන ආයතන දක්වාම පැවැති ස්ත‍්‍රී නියෝජනය, ආසන්න 5‍% ක සීමාවේ පැවැති බවත්, ඒ අනුව ශ‍්‍රී ලංකාව ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ද දුර්වලම තත්ත්වයක් පෙන්නුම් කළ බවත් අමතක කළ නොහැකිය.

කෙසේ වෙතත්, දැන් අප ගත කරමින් සිටින්නේ, ස්ත‍්‍රීන් ද 25‍% කින් සමන්විත විය යුතු වන පරිදි පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයින් තෝරාපත්කර ගැනීමට කැඳවා තිබෙන පළාත් පාලන මැතිවරණයක, ‘පූර්ව මැතිවරණ අවධිය’ කි.

ලැබුණු කෝටාවෙන් සැනසීමට පත් නොවී, අප තවදුරටත් හාරා පාරා බලන්නේ කුමක්ද?

2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතෙහි ‘ස්ත‍්‍රී කෝටාව’ කෙරෙහි බලපවත්වන විධි විධානවල ‘ස්ථාවරභාවය’ 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත තුළ දක්නට නොමැතිවීම පිළිබඳවය.

අපගේ සැකය සාධාරණ වන්නේ, 17/2017 පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතෙහි 58 වැනි වගන්තියෙහි අවසානය මෙවැන්නක් වන නිසාය.

‘එසේම තවදුරටත්, මේ පනත ප‍්‍රකාර සංස්ථාපනය කරන ලද පළාත් සභාවක්, මේ උපවගන්තියේ විධිවිධාන සමග අනුකූල වීමට නොහැකි වීම නිසා පමණක්ම, නීත්‍යනුකූල නොවන බවට සලකනු නොලැබිය යුතුය.’
එමඟින් වගන්තිය මුලින් සඳහන් කරනු ලැබ තිබෙන ‘ස්ත‍්‍රී නියෝජනය 25% ක් විය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් වගබලා ගත යුතුය’ යන අවධාරණය හෑල්ලූ කරයි.

විය හැක්කේ කුමක්ද?

නව මැතිවරණ ක‍්‍රමය යටතේ ද, පරාජිතයින් නැවත පත් වීම වළක්වා නැති වීම සහ පත්කරන ලැයිස්තු වෙනස් කිරීම වළක්වා නැති වීම යන ‘ලූප් හෝල්’ සමඟ අත්පුඩි තලන්නට කැමැති විය හැකි, 17/2017 පළාත් සභා (සංශෝධන) පනතෙහි 58 වැනි වගන්තියේ අවසානයෙහි තිබෙන ‘ලූප් හෝල්’ එක අහිංසක නැත.

‘ස්ත‍්‍රියක වීම’ නිසාම ‘ලිස්ට් එකට නම දමාගෙන ඇතුළට රිංගා ගැනීමට වරම් ලබන’ දේශපාලනඥ තාත්තලාගේ දියණිවරුන්, තම තමන්ගේ පරාජිත පියවරුන් වෙනුවෙන් ඉල්ලා අස්වී, සිය අසුන ‘පූජා කරන’ ක‍්‍රමයක් පවා ඇතිවන්නට පුළුවන. මෙහිදී උදාහරණයක් ලෙස දුව – පියා නෑකම මත විය හැක්කක් පුරෝකථනය කළ ද, ඊට වඩා වෙනස් ආකාරයෙන් දේශපාලනඥයින්ට ළබැඳියාවන් වන ස්ත‍්‍රීන් ද මේ ‘පූජාව’ ඒ විදියටම කරන්නට ඉඩ ඇත. ‘සෙලිබි‍්‍රටි වෙළඹක්’ දමා කොට්ඨාසය දිනාගන්නනට හිතන ජොකියන් වැනි දේශපාලනඥයින් ද අනාගතයේ දී අපට හමුවිය නොහැකිද? ඒ අනුව පළාත් සභා වෙත ලැබී ඇති ස්ත‍්‍රී කෝටාව ‘එක් අතකින් දී අනෙක් අතින් ගන්නා වර්ගයේ එකක්’ වීමට ඉඩ නැතිද?

පළාත් පාලනයේ කෝටාව ස්ථාවරයි…

16/2017 පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත මඟින්, ‘පළාත් පාලන ආයතනවලට තේරී පත්වන ස්ත‍්‍රී මහජන නියෝජිතවරියක් ඉල්ලා අස්වීමෙන් හෝ වෙනයම් කරුණකින් අසුන අහිමි කරගන්නේ නම්, ඊට ස්ත‍්‍රියකම පත් කිරීම’ අනිවාර්යය කර ඇත. එය ස්ත‍්‍රී කෝටාව පිළිබඳ ‘ස්ථාවරභාවය’ ආරක්ෂා කරන ප‍්‍රතිපාදනයකි. ඒ අනුව සාපේක්ෂව බලන කල, පළාත් සභාවේ ස්ත‍්‍රී නියෝජනයට දී ඇති කෝටාවට සාපේක්ෂව පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රී නියෝජනයට දී ඇති කෝටාව ‘ස්ථාවරභාවය’ අතින්, විශ්වාස කටයුතුය.

තැන් දෙකට දෙවිදියකට දෙන්නේ ඇයි?

පළාත් සභාව, එහි ව්‍යුහයෙන්ම, ඊට පැවරී ඇති බලයේ ස්වභාවයෙන්ම, ‘පළාත් පාලන ආයතනවලට වඩා බලවත් ආයතනයක් බව’ අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම පවත්නා දේශපාලන සංස්කෘතිය අනුවත්, එය ‘කෝඩුකාර මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත අරන් යන රාජකීය මාවතේ ගෙත්තම් පාන’ද වෙයි. එම නිසා පළාත් සභාව, පළාත් පාලන ආයතන මෙන්, ගමේ එකක් නොව, ‘දියවන්නාව තරණයට ඉලක්කය ගත හැකි මානයේ’ පිහිටියා වූ එකක් වන බැවින්, ඊට ඇති ඉල්ලූම ද වැඩිය. ඒ අනුව, පළාත් සභා සංශෝධන පනතේ හිදැස, මෙතුවක් කාලෙකටත්, පිරිමින්ගේ වූ පළාත් සභා ආසන ස්ත‍්‍රීන්ගේ වීම තවදුරටත් හැකිතාක් පාලනය කර තබා ගැනීම උදෙසා හිතා මතාම ඇති කළ එකක් ද යන සැකය පැන නැගේ.

ඉදිරියේදී, පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය වීමක් වුවහොත් එහිදී ද, ‘ස්ත‍්‍රී නියෝජනයට කෝටාවක් ලැබුණොත්, එහි අනිවාර්යයභාවය සහතික වීම හෝ නොවීම මත, මෙම උපකල්පනය ‘හොඳින්ම සුද්ද කර ගත’ හැක. නැතිනම් ඉදිරි පළාත් සභා මැතිවරණයක පශ්චාත් මැතිවරණ සමය තෙක් සැකය දරා ගත යුතුය.

කෙසේ වෙතත්, මෙම කෙටි ලිපියේ ප‍්‍රවේශයට පෙර, ලියුම්කාරිය විසින් උපුටන ලද මාග‍්‍රට් තැචර්ගේ ‘කීම’ ද මතක තබාගෙන, එළඹෙන පෙබරවාරි 10 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස්, ස්ත‍්‍රියකට ඡන්දය දෙන්න. පනතෙහි ප‍්‍රතිපාදන අනුව, ඒ අසුන කවදාවත්ම පිරිමියෙකුගේ උදුරා ගැනීමට ලක්වන්නට ඉඩ දී නොමැත. “පත්වන ස්ත‍්‍රීන් කවුද? ඔවුන් මොනවා කරාවිද? සෑහීමකට පත් විය හැකි ද?”
මේ ප‍්‍රශ්න අනාගතයට ඉතිරි කර ගනිමු.

සුරේඛා සමරසේන විසින් සමබිම 78 වන කලාපයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , ,

Leave a Comment