අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙල ගැසෙන්න එන්න – නලාකරුවෝ නොවූ කලාකරුවෝ කියති

Nov 16th, 2012 | By | Category: EDITOR'S CHOICE

අගවිනිසුරුවරියගේ තනතුරේ ගෞරවය සහ ඇගේ සැමියා ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලැබීම අතර මුල සිටම නොපෑහීමක් පැවති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් ආරෝපණය කෙරෙන සදාචාරමය දෝෂදර්ශනය, අගවිනිසුරුවරියට තරමටම, එම පත්වීම කළ ජනාධිපතිවරයා වෙත ද පැවරේ.

   පසු ගිය කාලයේ ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වීම, මේ රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑවේය. විධායකය විසින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමේ තවත් එක් ආයතනයක් වශයෙන් අධිකරණය පාවිච්චි කළ අවස්ථා විරල නැත. එය වර්තමාන ජනාධිපතිවරයාගේ සහ වර්තමාන අගවිනිසුරුවරියගේ පූර්වගාමීන් දක්වා දිවෙන කැලැල් සහිත දීර්ඝ ඉතිහාසයකි.

   වර්තමාන දෝෂාභියෝගය, තවත් පිම්මකින් එම තත්ත්වය උත්සන්න කිරීමක් වශයෙන් අපි දකිමු. අධිකරණය හීලෑ කර ගැනීමේ  ඕනෑම ව්‍යාපෘතියක් රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය, විධායකයේ ගොදුරක් කර ගැනීමේ අවසාන කඩඉම වන්නේය. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා නීතිය ඉදිරියට පමුණුවා නැත. ‘දිවි නැගුම’ ඇතුළු මෑතක දී අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ කෙටුම්පත් ගණනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු මාලාව සහ මේ දෝෂාභියෝගය අතර සෘජු සම්බන්ධයක් ඇති බව, අනිත් අතින්, පැහැදිළිව පෙනෙන්ට තිබේ.

   එසේම, චූදිතයාව විභාගයට ලක්කෙරෙන පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු සමස්ත ක‍්‍රියාවලිය, විධායකයේ අභිමතයට ව්‍යවස්ථානුකූල මුහුණුවරක් ආරෝපණය කෙරෙන ව්‍යාජ යාන්ත‍්‍රණයකට අඩු දෙයක් නොවන බැවින්, මේ දෝෂාභියෝගය වනාහී අගවිනිසුරුවරියට පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු සෑම සාමාජික සාමාජිකාවකටම කෙරෙන අනතුරු ඇඟවීමක් ද වන්නේය.

   මේ මගින් අපට ඒත්තුගන්වන වැදගත්ම පණිවිඩය වන්නේ, නීතිපති, විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් ඇතුළු පොලීසිය සහ රාජ්‍ය පරිපාලනය වැනි අනෙක් සියලූ වැදගත් හා ප‍්‍රධාන රාජ්‍ය ආයතන ස්වාධීන කොමිෂන් සභා මාර්ගයෙන් පාලනය විය යුතුය යන්නයි. අධිකරණයේ අගවිනිසුරු පත්වීම ඇතුලූ දැනට විධායක ජනාධිපති විසින් දෙනු ලබන අධිකරණයේ සියලූ පත්වීම්, වහා ඒ විධායක ධුරයේ දේශපාලනයෙන් නිදහස් කරගත යුතු බවයි. කොටින්ම, විධායකය හා පාර්ලිමේන්තුව යොදා ගනිමින් කරන්නාවූ අහිතකර සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා නවතා ගත හැකි, ස්වාධීන බල ව්‍යූහයක් නව ව්‍යවස්ථාමය පදනමකින් පිහිටුවා ගත යුතු බවයි.

   ඒ පුළුල් දර්ශනය තුළ හිඳිමින්, කලාකරුවන් සහ සංස්කෘතික ක‍්‍රියාධරයන් වශයෙන් මේ රටේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපි සැළකිලිමත් වෙමු. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් අප තුළ තිබේ.

   වර්තමාන දෝෂාභියෝගය අප දකින්නේ ඒ නිදහස අධිකරණයෙන් උදුරා ගැනීමේ වෑයමක් වශයෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසයක් ඇති සෑම පුරවැසියෙකුම, මේ අවස්ථාවේ දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුත්තේ එබැවිනි.

ධර්මසිරි බණ්ඩාරනායක

ජයතිලක බණ්ඩාර

චන්ද්‍රගුප්ත තේනුවර

චූලානන්ද සමරනායක

ගාමිණි වියන්ගොඩ

කේ. ඩබ්ලියු. ජනරංජන

සුදර්ශන ගුණවර්ධන

කුසල් පෙරේරා

ධර්මසේන පතිරාජ

පරාක‍්‍රම නිරිඇල්ල

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

නලා කරුවකු නොවී කලාකරුවකු වූ ඔබටත් මෙම ඉල්ලීමට එක්ව අත්සන් තැබීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයන්ට කතා කරන්න

: සුදර්ශන -077-734 2834 : කුසල් – 077-350 8328

උපුටා ගැනීම –  ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය

www.lankaenews.com

Recent Posts

Tags: , , , , ,

Leave a Comment