අධිකරණයේ හා ව්‍යවස්‌ථාදායකයේ “ගැටුමට” වඩා නිවසේ ආදායමේ හා වියදමේ ගැටුම බලවත් – විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

Nov 24th, 2012 | By | Category: EDITOR'S CHOICE, මහජන මන්ත‍්‍රණ සභාව

අයවැය ඉදිරිපත් කර ඇත්තේ අධිරාජ්‍යවාදී උවමනාවටයි
– ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

2013 අයවැය මාධ්‍ය සංදර්ශනයට සීමාවෙලා
– සිරිතුංග ජයසූරිය

මෙරට ඇති ප්‍රධාන ඝට්‌ඨනය ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර ඇති ඝට්‌ඨනය නොව නිවසේ ආදායම් හා වියදම් අතර ඇති ඝට්‌ඨනය බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වැනිදා) එම අදහස්‌ පළ කළේ “මෙවර අයවැය ජනතාවට බලපාන්නේ කෙසේද” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභාවේ මංගල රැස්‌වීම කොළඹ නව නගර ශාලාවේදී පැවැති අවස්‌ථාවේදීය.

ආණ්‌ඩුව විසින් 2013 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් සාමාන්‍ය ජනතාවට සහන නොලැබී ඇතැයි පවසමින් එජාපය ඇතුළු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධානයන්හි නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ එකමුතුවෙන් “මහජන මන්ත්‍රණ සභාව” නමැති සංවිධානය පිහිටුවාගෙන ඇත. අයවැයෙන් ජනතාව අසහනයට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් හඬක්‌ නැඟීමට වේදිකාවක්‌ තැනීම මෙම සංවිධානයේ අරමුණ බවත් සංවිධායකයෝ පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“රාජපක්‍ෂ රෙජිමයේ ජනතා මර්දනයට” එරෙහිව ජනතා හඬ නැඟීම සඳහා මේ මහජන මන්ත්‍රණ සභාව අප කැඳෙව්වා. මේ රටේ විතරක්‌ නොවෙයි. ලෝකයේ ඕනෑම රටක එම පාලන යන්ත්‍රය මගින් ජනතා අදහස්‌ ප්‍රකාශ නොවන්නේ නම් එම අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා එම පාලන යන්ත්‍රයට එරෙහි විවිධ සංවිධාන ගොඩනැඟෙනවා. එසේ ගොඩනඟන ඕනෑම සංවිධානයක්‌ සහ බලවේගයක්‌ හේතුවෙන් නියත ලෙසම අදාළ “රෙජිමය” අහෝසිවීම සිදුවනවා.

අවි ආයුධ ගෙන යුද්ධයකට නොගොස්‌ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ රාමුව යටතේ මේ “රෙජිමයේ” මර්දනයට එරෙහිව ජනතාව ඒකරාශී කිරීම මේ මහජන මන්ත්‍රණ සභාව සිදුකරමින් සිටිනවා” ඊට අපේ උපරිම සහයෝගය ලබාදෙනවා.

යුරෝපයේ චාල්ස්‌ රජතුමා එදා පාර්ලිමේන්තුව වසා දැමීමට ගිය අවස්‌ථාවේදී මන්ත්‍රණ සභාවක්‌ ලෙස පාර්ලිමේන්තුව රැස්‌වුණා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට විරුද්ධව ඇමරිකාවේ නියෝජිතයන් ස්‌වාධීනව රැස්‌වී නිදහස්‌ යුද්ධය ආරම්භ කර වර්තමානයේ තිබෙන ඇමරිකාව ගොඩනැඟුවා.

ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමට රුසියාවේ ශාන්ත පීටර්ස්‌බර්ග් නගරයේදී 1917 දී සෝවියට්‌ සභාව රැස්‌වුණා. චීනයේ විවිධ කණ්‌ඩායම් නියෝජනය කළ මහජන චීන මහජන මන්ත්‍රණ සභාව මහජන චීනය ගොඩනැඟුවා. මහජන චීනයේ වර්තමානයේ ක්‍රියාත්මක වන එකම පාර්ලිමේන්තුවේ උපදේශක සභාව ලෙස මහජන මන්ත්‍රණ සභාව ක්‍රියා කරනවා.

රාජපක්‍ෂ රෙජිමය රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ නීතිය ගරු කරනවා නම් ශ්‍රී ලංකාවේදී අපට එවැනි දේශපාලන ව්‍යාපාරයකට යන්න අවශ්‍යතාවක්‌ ඇති වන්නේ නැහැ. පරමාධිපත්‍යය බලය ජනතාව සතු වන නිසා ඕනෑම පාලන යන්ත්‍රයක්‌ ජනතාවගේ අදහස්‌ අනුව ක්‍රියා කළ යුතුයි. මේ ජනතා පරමාධිපත්‍යයේ මූලික ආයතනය ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් අපේ පාර්ලිමේන්තුව ඒ අනුව ක්‍රියා කරන්නේ නැහැ.

මීට පෙර පැවැති 1952 පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක්‌ තිබූ අතර ආණ්‌ඩුවේ තිබූ විවිධ අදහස්‌ නිසා ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන මහත්වරුන් අතර භේදයක්‌ ද තිබුණා. 1956 පාර්ලිමේන්තුවට ද බහුතර බලය තිබූ නමුත් එම පාර්ලිමේන්තුවට සම්පූර්ණ කාලය යන්න නොහැකි වුණා. 1970 සහ 1977 පාර්ලිමේන්තුවටල ද බහුතර බලය තිබුණා. එම පාර්ලිමේන්තුව ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. මේ සෑම පාර්ලිමේන්තුවටකම වඩා වර්තමාන පාර්ලිමේන්තුවේ තිබෙන පැහැදිලි වෙනස වන්නේ ආණ්‌ඩු පක්‍ෂයේ සියයකට අධික පිරිසක්‌ ආණ්‌ඩුවේ තනතුරු දැරීමයි. පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ තනතුරු දැරීම නුසුදුසු වන අතර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ආණ්‌ඩුවට එක්‌වූ තවත් කොටසක්‌ ආණ්‌ඩුවේ සහ ශේ්‍රෂ්ඨාධිකරණයේ සරණින් ඒ ඒ තනතුරුවල සිටිනවා. මේ මන්ත්‍රීවරුන්ට නිදහසේ කිසිවක්‌ කතා කළ නොහැකියි. අලුතින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් විස්‌සක්‌, තිහක්‌ පමණ ප්‍රමාණයක්‌ ද සිටින නමුත් ඒ අය ද නිශ්ශබ්දව සිටිනවා. මේ අයගෙන් අදහස්‌ සහ යෝජනා ප්‍රකාශ නොවන තත්ත්වය හමුවේ එම අදහස්‌ ප්‍රකාශ වීම සිදුවන්නේ විරුද්ධ පක්‍ෂයෙන් පමණයි.

පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක්‌ උද්ගතව තිබෙන්නේ ආණ්‌ඩුව ජනතාව මත පටවා තිබෙන අධික බර නිසයි. ජනතාවට ජීවත් විය නොහැකි වකවානුකුයි උදාවෙලා තියෙන්නේ. විධායකය සහ අධිකරණය අතර තිබෙන ගැටුම ජනමාධ්‍ය ඔස්‌සේ වාර්තා වනවා.

රටක ව්‍යවස්‌ථාවකට මේ සියල්ල ඉතා වැදගත් කරුණු. නමුත් ප්‍රධාන ඝට්‌ඨනය වන්නේ මේ කිසිවක්‌ නොව නිවසේ ආදායම සහ වියදම් අතර තිබෙන ඝට්‌ඨනයයි. වියදම පියවීම සඳහා ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වය හමුවේ ජනතාව විශාල ජීවන ප්‍රශ්නයකට මුහුණදී අන්ත අසරණ වී සිටිනවා. එම නිසා මේ ඝට්‌ඨනයට විසඳුම් ලබාදෙන තුරු කිසිවක්‌ කිරීමට නොහැකි බව පැහැදිලිව කිව යුතුයි.

වැලිකඩ බන්ධනාගාරයට ගොස්‌ එම රැඳවියන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ නීතිය සහ අවනීතිය අතර තිබෙන ඝට්‌ඨනයයි. අධ්‍යාපන අයිතිය සහ එම අයිතිය උල්ලංඝනය කිරීමද, නිදහස්‌ සෞඛ්‍ය අයිතිය සහ එම අයිතිය උල්ලංඝනය කිරීමද අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා.

මේ සමස්‌ත ගැටුම්කාරී තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේ සියල්ලන් නිහඬයි. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් 63 දෙනා පමණයි.

මේ කරුණු කාරණා ගැන කතා කිරීම සඳහා තිබෙන තවත් මාර්ගයක්‌ වන්නේ ජනමාධ්‍යයි. නමුත් එම ජනමාධ්‍ය ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපති ලැප්ටොප් සම්මානලාභීනුයි. එසේ නම් ඒ ගැන තවත් කුමන කතාද…? ලැප් එකයි… ටොප් එකයි නිසා අපි හිරවෙලා.

අරාබිකරයේ මේ ක්‍රියාවලිය නතර කෙරුණේ අරාබි වසන්තය නමැති ව්‍යාපාරය ඔස්‌සේ වන නිසා අපද මේ අයවැය ගැන අපේ අදහස්‌ සහ යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ඇත්තටම ජීවත් විය හැකිද? රටේ ප්‍රශ්න ගණනාවක්‌ තිබෙනවා. මේ තත්ත්වය යටතේ මේ සියල්ල ගැන කතා කර ජනතාව දැනුවත් කරමින් මේ ක්‍රියාවලියට එරෙහිව පෙළගැස්‌සවීම සඳහා මේ මහජන මන්ත්‍රණ සභාව කැඳවීම ගැන මම සියල්ලන්ට ස්‌තුතිවන්ත වනවා. මේ “මහජන මන්ත්‍රණ සභාව” ජනතාවගේ අදහස්‌ සහ යෝජනා ඉදිරිපත් කරන උපදේශක සභාවක්‌ ලෙස අපට ගොඩනැඟිය හැකියි. ජනතාවගේ අදහස්‌ ප්‍රකාශ කිරීමටත්, ජනතාවගේ හඬ නැඟීමටත්, ජනතාව වෙනුවෙන් මේ මහජන මන්ත්‍රණ සභාව රාමුවක්‌ ඇති කළා. තවදුරටත් එකිනෙකාට දොaෂාරෝපණය නොකර කවුරුත් මේ ස්‌ථානයට පැමිණ මේ “මහජන මන්ත්‍රණ සභාවෙන්” ප්‍රයෝජන ගත යුතුයි. සියල්ලන්ම දැන් ස්‌ථාවර නියෝග ගැන කතා කරන නිසා මේ “මහජන මන්ත්‍රණ සභාවටත්” ස්‌ථාවර නියෝග ලබාදීමේ හැකියාව මේ සංවිධායක මණ්‌ඩලයට තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රධාන විපක්‍ෂයේ විරෝධය 2013 මාසයේ සිට මහ පාරට බැස රට පුරා සටන් කිරීමට තීරණය කර තිබෙනවා. මේ “මහජන මන්ත්‍රණ සභාව” සංවිධාන කටයුතු සිදුකරමින් සාර්ථකව ඉදිරියට යනවා නම් අපට ඊටද එක්‌විය හැකියි. මේ මහජන මන්ත්‍රණ සභාව හරහා ජනතා බලය තහවුරු කිරීමට ක්‍රියා කළ යුතුයි.

සියලු බලතල ගෙන රාජපක්‍ෂ රෙජිමයේ මූලික අධිකාරිය බවට “දිවි නැඟුම” පත් කිරීමට යනවා.

මේ වේදිකාවේ සිටින අපට විවිධ දේශපාලන අදහස්‌ තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය, මහජන සුබ සාධනය සහ මහජන නිදහස වෙනුවෙන් අප සියල්ලන් එකට එක්‌වී කැපවී සිටිනවා. එංගලන්තයේ, ඇමරිකාවේ සහ රුසියාවේ එදා සිදුවුණා වාගේ ශ්‍රී ලංකාවේද මේ ආණ්‌ඩුව යටතේ මේ රාමුව සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. අප මේ වේදිකාවේ එකට එක්‌ව සිටින්නේ එම රාමුව නැවත ගොඩනඟා ආරක්‍ෂා කිරීම සඳහායි. මේ “මහජන මන්ත්‍රණ සභාව” අඛණ්‌ඩව රැස්‌වී ජනතාවගේ අදහස්‌ සහ යෝජනා නියෝජනය කරමින් ජනතා හඬ මතු කළොත් ජනතා හඬ තහවුරු කර රාජපක්‍ෂ රෙජිමය අවසන් කිරීමට අපට අවස්‌ථාව උදාවෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා(- ලබන වසර සඳහා ආණ්‌ඩුව ඉදිරිපත් කළ අයවැය අධිරාජ්‍යවාදී වුවමනා මත සැකසූ අයවැයක්‌. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව ඔවුන් සනසන්න මෙම අයවැය සකසා තිබෙනවා. නූතන ක්‍රමය අනුව අධිරාජ්‍යවාදය පතුරුවන්නේ යුද ටැංකි හමුදා පැමිණ නොවෙයි. රටක ආර්ථිකය හසුරුවලයි.

මෙවර අයවැයෙන් සියලු සුබ සාධන කප්පාදුකර තිබෙනවා. ජනතාවට ණය බර පටවා තිබෙනවා. ජනතාවගේ සියලු ඉතුරුම් රාජ්‍ය යාන්ත්‍රණයට යට කරන්න දිවි නැඟුම පනත හරහා කටයුතු කර තිබෙනවා.

එක්‌සත් සමාජවාදී පක්‍ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා(- අයවැය මාධ්‍ය සංදර්ශනයකට සීමාවෙලා. එමගින් මෙරට සාමාන්‍ය ජනතාවට සහන සපයා නැහැ. ඒ වෙනුවට ජනතාව රැවටීමකට ලක්‌කර තිබෙනවා.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා(- අයවැය ගණිත විඡ්ජාවක්‌. ජනතාව බොරු සංඛ්‍යාලේඛනවලින් මුලාකර තිබෙනවා. මෙය රාජපක්‍ෂ ආණ්‌ඩුව නෙවෙයි රාජභක්‍ෂ ආණ්‌ඩුවක්‌. සියලු රාජ්‍ය සම්පත් ඔවුන් හූරා කනවා.

මෙහිදී නව සිහළ උරුමය පක්‍ෂයේ නායක සරත් මනමේන්ද්‍ර, රුහුණ ජනතා පක්‍ෂයේ නායක අරුණ ද සොයිසා, එක්‌සත් ජනතා පෙරමුණු පක්‍ෂයේ එන්. හපුආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක්‌ අදහස්‌ දැක්‌වූහ.

මේ සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් වෘත්තීය සමිති නියෝජිතයන්, සිවිල් සංවිධාන නායකයන් හා නියෝජිතයින් ඇතුළු පිරිsසක්‌ එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර

උපුටා ගැනීම – දිවයින වෙබ් අඩවිය

http://www.divaina.com/2012/11/23/news21.html

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment