අපි ආයෙත් දෙමළ මිනිසා රැවටුවාද?

Nov 26th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ලංකාවේ ප්‍රසිද්ධ නීතිඥයෙකි. ඔහු කලක සිටම පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කරයි. 2006 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔහු ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරන ලදී. 
තානාපති පදවියට ආයුබෝවන් කීමෙන් පසු පෙරළා ලංකාවට පැමිණි ඔහු සුපුරුදු නීති වෘත්තියේ යෙදෙයි. ඒ අතරේදී ඔහු ඉතාලියේ ජීවත්වන ලාංකික දෙමළ ජනතාව සම්බන්ධයෙන් තම අත්දැකීම් ඇසුරෙන් දි අයිලන්ඩ් පුවත්පතට ලිවීය.
පහත පළවන්නේ එම ලිපියේ සිංහල අනුවාදයයි. මෙම ලිපියේ අදහස් ලේඛකයාගේය.

1983 ජූලි කලබලයෙන් පසු මෙරට විසූ උගත් දෙමළ ජනතාවට ඉතිරි වූ එකම විකල්පය රට හැර යාමයි. එසේ රට හැර ගිය දෙමළ ජනයා විශේෂයෙන් යුරෝපීය රටවල නගර මූලික කරගෙන සාමුහිකව නැවතත් තම තමන්ගේ ජීවිත ගොඩනඟා ගැනීම ආරම්භ කළහ.

මෙසේ දෙමළ ජනයා සංක්‍රමණය වූ රටවල් අතුරින් දෙමළ ජනගහණයට වඩා වැඩි සිංහල ජනගහණයක් ඇති එකම රට ඉතාලියයි. බොහෝ විට එයට හේතුව වන්නට ඇත්තේ ධර්ම ප්‍රචාරය සඳහා මෙරටට පැමිණි මිෂනාරිවරුන් නැවත සිය රට බලා යද්දී මෙරට මුහුදුබඩ පළාත් ආශ්‍රිතව ජීවත් වූ භක්තිමත් කතෝලිකයන්ද තමන් හා කැටුව යාම විය හැක. මේ නිසා මීගමුව ආදී ප්‍රදේශවලින් සිංහල සංක්‍රමණිකයන් දහස් ගණනින් ඉතාලිය වෙත ඇදී යන්නට විය. දෙමළ ජනතාව තම රට හැර ඉතාලියට සංක්‍රමණය වූයේ හේතු දෙකක් නිසාවෙනි. මූලිකම හේතුව තමන් වෙත මුදා හැරුණු වර්ගවාදී ප්‍රචණ්ඩත්වය හමුවේ ඔවුන් සරණාගතයන් බවට පත්වීමයි. දෙවැනුව තමන් අත්විඳි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් මිදීමේ අවශ්‍යයතාවයි. මෙසේ සංක්‍රමණය වූ දෙමළ ජනතාව ප්‍රධාන වශයෙන් එරට රෙජ්ජොනෙමීලියා (Regio Emilliar) සහ සිසිලි දූපත් හි පෞරාණික නගරයක් වන පැලෙර්මෝ (Palermo) යන නගර මූලික කරගෙන ද තවත් පිරිසක් ලෙච්චෙ (Lecce), මෝදෙනා (Modena) සහ මිලානෝ ආදී නරගවල ද නැවතත් සිය දෛනික කටයුතු ආරම්භ කළහ.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ මුල් කාලයේ මා බොහෝ විට දුටු දෙයක් නම් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හෝ වෙනත් එවැනි කාර්යයක් සඳහා තානාපති කර්යාලයට පැමිණියේ එරට වාසය කළ දෙමළ ජනතාවගෙන් අතිශය සුළු ප්‍රමාණයක්ය යන්නයි. එහෙත් ඒ වෙනුවට දෙමළ ජනතාවගේ එවැනි කාර්යයන් ඉටු කර දීමට දෙමළ බ්‍රෝකර්වරුන් හෝ නියෝජිතයන් නිතරම තානාපති කාර්යාලයට පැමිණෙනු සුලබ ලෙස දැකිය හැකි විය. මේ ගැන වැඩිදුරටත් සොයා බැලූ විට මට දැන ගන්නට ලැබුණේ මෙකී නියෝජිතයන් තානාපති කාර්යාලය පිළිබඳ දෙමළ ජනතාවට මවා පෙන්වා ඇති චිත්‍රය කිසිසේත් යහපත් එකක් නොවන බවයි. ‛ඔබ වැරදීමකින් හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියොත්, ඔවුන් ඔබව අත්අඩංගුවට ගනීවි, ආපහු ශ්‍රී ලංකාවට යවයි’ ඉහත කී නියෝජිතයන් දෙමළ ජනතාව තානාපති කාර්යාලයට පැමිණීම වැළැක්වූයේ එවැනි ගොතන ලද කතාවක් කියා පෑමෙනි. ඉතාලියේ වාසය කළ දෙමළ ජනයාගෙන් බොහෝ ප්‍රමාණයක් නීති විරෝධී අයුරින් එරටට සංක්‍රමණය වූවන්ය. නැතහොත් ඔවුන් කිසියම් හෝ ආකාරයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව සිටි අයවළුන්ය. මේ ජනතාවගෙන් බහුතරයක් දෙමළ පමණක් කතා කළ අය වූ අතර, සිංහල සහ ඉංග්‍රීසි පමණක් කතා කරන අවම වශයෙන් ඉතාලි භාෂාව හෝ නොදන්නා තානාපති කාර්යාලයේ සිංහල කාර්ය මණ්ඩලයට තම ගැටලු කියා පෑමට උත්සාහ කිරීම ප්‍රයෝජනයක් නැති කාර්යයක්ය යන මතය ඔවුන් අතර ඉක්මනින්ම පැතිර ගොස් තිබිණි.

තමන් විසින් තානාපති කාර්යාලයට පැමිණ ඉටු කර දෙන යම් යම් කාර්යයන් වෙනුවෙන් මේ අසරණ දෙමළ මිනිසුන්ගෙන් මේ නියෝජිතයන් යුරෝ 100 සිට 300 දක්වා ගණනින් අකාරුණික ලෙස මුදල් අය කරගනු පැහැදිලිව පෙනුණි. සංක්‍රමණිකයන් පිරිසක් පමණක් වන තමන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු ඇතැයි මේ ජනතාව බියට පත් කරනු ලැබ තිබිණි. ඒ නිසාම ඔවුන් මේ තත්ත්වයට විරුද්ධව කිසිම ආකාරයක පියවරක් ගත නොහැකිව සිටියහ. දෙමළ ජනතාවගේ මේ තත්ත්වය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ රැස්වීමකදී සාකච්ඡාවට ගත් අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් යෝජනා කළේ මේ සහෝදර මිනිසුන් එල්.ටී.ටී.ඊ.යෙහි ත්‍රස්තවාදී ක්‍රියාවන්ගේ සහ අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතිවල ගොදුරක් වීමෙන් මුදවා ගත යුතු බවයි. එසේම ඔවුන් සහ තානාපති කාර්යාලය අතර සුහදතාව ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය බවද යෝජනා විය. තානාපති කාර්යාලයේ සේවාවන් ජංගම සේවාවක් හරහා මෙම ජනයා වෙතටම ගෙන යාම දෙපාර්ශ්වය අතර සමීපතාවන් වැඩි දියුණු කිරීමට ගත හැකි හොඳම පියවරක් විය. එහෙත් ප්‍රශ්නය වූයේ තානාපති කාර්යාලයේ මූල්‍ය අරමුදල් දුර්වල තත්ත්වයක පැවතීමය. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අපට ලබා දුන් මූල්‍ය පහසුකම් මෙවැනි ජංගම සේවාවකට කිසිසේත් ප්‍රමාණවත් නොවිණි.

මේ අතරවාරයේ දිනක් ලෙච්චේ ප්‍රදේශයෙහි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අප තානාපති කාර්යාලයට පැමිණියේය. සිය විශ්වවිද්‍යාලය තුළ කලා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මේ මහාචාර්යවරයා සැලසුම් කර තිබූ අතර, ඒ සඳහා ශ්‍රී ලාංකික කලා කෘති ද එක් කිරීමට ඔහු තානාපති කාර්යාලයේ සහයෝගය බලාපොරොත්තු විය. තම පළාතෙහි ශ්‍රී ලාංකික දෙමළ ජනයා 500 ක් පමණ වාසය කරන බව ඔහු පැවසීය. ඔවුන් වෙනුවෙන් තානාපති කාර්යාලයේ ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීමටද මේ මහාචාර්යවරයා අපට ආරාධනා කළ අතර ඒ සියලු කටයුතු සැලසුම් කිරීමටද ඔහුම ඉදිරිපත් විය.

ලෙච්චේ නගරයේ සිංහල ප්‍රජාවට වඩා වැඩි දෙමළ ජනගහණයක් වාසය කළේය. ඉහත කී මහාචාර්යවරයාගේ ආරාධනයෙන් අප ක්‍රියාත්මක කළ ජංගම සේවය එවැනි බහුතර දෙමළ ජනතාවක් වාසය කළ ප්‍රදේශයක තානාපති කාර්යාලයක් සිය සේවාවන් ලබා දුන් ප්‍රථම අවස්ථාව වූ අතර එය බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකව අවසන් විය. මුල්ම දිනයේදී සුපුරුදු පරිදි දෙමළ ජනතාව ජංගම සේවය වෙත පැමිණීමට අදිමදි කළහ. ඇතැම් අවස්ථාවකදී එල්.ටී.ටී.ඊ. නියෝජිතයන් විසින් ජංගම සේවය වෙත පැමිණීමට උත්සාහ කළ දෙමළ ජනයාට බාධා පමුණුවා ඇත. ජංගම සේවය තානාපති කාර්යාලයෙන් පවත්වන එකක් නිසා අදාළ ප්‍රදේශය ශ්‍රී ලංකා රජයේ නීතිය බල පවත්නා භූමි ප්‍රදේශයක් බවත් ඒ නිසා එහිදී සංක්‍රමණික දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමටත් සංක්‍රමණික නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමටත් තානාපති කාර්යාලය ක්‍රියාකරනු ඇති බවත් කියා, ඔවුන් විසින් දෙමළ ජනතාව බිය ගන්වා ඇත. මේ බව අනාවරණය වූ පසු පැමිණෙන දෙමළ ජනතාවට වඩ වඩාත් උණුසුම්ව සහ සුහදශීලීව සහයෝගය දක්වන්නට අපි කටයුතු කළෙමු. තානාපති කාර්යාලය දෙමළ ජනයාට සෙසු ශ්‍රී ලාංකික ජනවර්ගවලට වඩා වෙනස් ලෙස නොසලකන බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට අප සමත් වූ අතර, අපගේ කටයුතු සඳහා සහයෝගය ලබා දුන් ලෙච්චේහි මහාචාර්යවරයා පැමිණ සිටි පිරිසට කළ සංග්‍රහයන්ගෙන් පසුව තත්ත්වය වඩාත් මිත්‍රශීලී බවට පත්විය.

වරක් සිය දරුවාද තුරුළු කොටගෙන කඳුළු වගුරවමින් සිටි දෙමළ ජාතික මවක් මා අභිමුවට ගෙන එන ලදී. “ඇයි මොකක්ද ප්‍රශ්නය, ඇයි අඬන්නේ?”යි මා ඇසූ විට ඇය ප්‍රකාශ කළේ තමන්ගේ තානාපති කාර්යාලය විසින් ඇය පිළිගෙන ඇයට ලබාදුන් සහයෝගය නිසා ඇය දරාගත නොහැකි තරම් සතුටට පත්ව සිටින බවයි. යුද්ධය ඇවිළෙමින් යද්දී ඇගේ සැමියා සහ ඇයගේ තවත් දරුවෙක් එයට බිලි විණි. තමන්ගේ මුළු ලෝකයම එසේ අහිමි වූවත් මව්බිම හැර දමා වෙනත් රටක පදිංචියට පැමිණීමට හිත හදා ගැනීම අතිශය අපහසු විණැයි ඈ විස්තර කළාය. යුරෝපයේ එල්.ටී.ටී.ඊ. මතවාදීන් විසින් ඉතාලියේ සරණාගතභාවය සඳහා අයදුම් කිරීමට ඇයට උපදෙස් දී ඇති අතර කිසිම ලෙසකින් තානාපති කාර්යාලයේ පිළිසරණ සොයා නොයන ලෙස ඈ බියගන්වා ඇත. එල්.ටී.ටී.ඊ.ය මසකට ඇයගෙන් යුරෝ 20 ක් කප්පම් වශයෙන් ලබා ගත්හ. ඇතැම් විට ඒ ගණන යුරෝ 100 ක් වැනි විශාල මුදලක් විය. ඇයට ඒ කප්පම් මුදල ගෙවීම පැහැර හැරීම කිසිසේත් කළ හැක්කක් නොවිණි. ඒ එල්.ටී.ටී.ඊ.ය විසින් පැහැරගෙන යන ලදුව වන්නියේ රජයේ හමුදාවන්ට විරුද්ධව සටන් කිරීම සඳහා යොදවා තිබූ ඇයගේ පුතාගේ ජීවිතය රැකුනේ ඇය මේ කප්පම් මුදල් ගෙවන තාක් පමණක් නිසාවෙනි. “අපි වන්නියේ ඉන්න කාලෙවත් සිංහල මිනිස්සු එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බේ නෑ. අපිට කියලා තිබ්බේ සිංහල හමුදාව අපි ගැන දැනගත්තොත් ඇවිත් අපේ ගෙවල් දොරවල් මංකොල්ල කාලා අපිව මරලා දායි කියලා, සිංහල හමුදාව දෙමළ අපෙන් පළිගන්න මං වගේ වයසක ගෑණු උදවිය පවා දූෂණය කරලා දානවා කියලයි අපිට කිව්වේ. ශ්‍රී ලංකාව සිංහල මිනිස්සු විතරක් ඉන්න රටක් කරන්න සිංහල හමුදාව හැම දෙමළ මනුස්සයෙක්වම මරලා දානවා කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් අද මෙතෙන්ට ආවම මට තේරුණා ඒක ඇත්ත නෙවෙයි කියලා. සිංහල මිනිස්සු හරිම හොඳයි, හරිම කරුණාවන්තයි, උදව් කරනවා. ඒ බව හැමෝටම කියන්න” මේ ඒ කාන්තාව හඬා වැටෙමින් කියූ වචන විය.

දෙවැනි දවසේ ජංගම සේවයට පැමිණි පුද්ගලයන් ගණන බොහෝ සෙයින් ඉහළ ගියහ. තානාපති කාර්යාලයෙන් ජංගම සේවයට සහභාගී වූ නිලධාරීන් තුන් හතර දෙනාට එම ප්‍රමාණය දරා ගැනීමට පවා අපහසු වූ අතර රාත්‍රී 11 පසුවීත් අපි දිගින් දිගටම වැඩෙහි යෙදී සිටියහ. ජංගම සේවයට පැමිණි දෙමළ ජනතාව ගැන කල්පනා කිරීමේදී මට අවබෝධ වූ එක් කරුණක් නම් ලෙච්චේහි දෙමළ ජනතාව සංස්කෘතික අතින් තවමත් නොවනස්ව සිටි ආකාරයයි. ඒ අතින් ඔවුන් සිංහල මිනිසුන්ට වඩා වෙනස් වූ අතර ඔවුන් තුළ වූ ශ්‍රී ලාංකික බව නොවෙනස්ව ඉතිරිව තිබිණි. දෙමළ කාන්තාවන් සාම්ප්‍රදායික සාරියත් බුලත් සැපීමේ පුරුද්දත් අත හැර නොතිබූ අතර එකිනෙකා සමඟ දෙමළ භාෂාවෙන්ම කතා කළහ. දෙමළ පිරිමින්ට සිය සාම්ප්‍රදායික වේට්ටිය අතහැර ඒ වෙනුවට කලිසම තෝරා ගන්නට සිදුව තිබිණි. එහෙත් සිය නිවෙස් තුළදී ඔවුන්ද සිය සාම්ප්‍රදායික ඇඳුම් අත් නොහැරි අතර වන්නියේදී ඔවුන් පවත්වාගෙන ගිය සුපුරුදු ජීවන රටාවම මෙහිදීද අත් නොහැර භාවිත කෙරිණි. ගැහැනු පිරිමි දෙපිරිසම අප්‍රමාණ භක්තියක් සිය දෙවියන් කෙරෙහි දැක්වූ අතර සිය දරුවන්ට භරත සහ කතකලී නර්තනයන් ඉගැන්වීමට ගුරුවරියක් සොයා ගැනීමට උදව් වන්නට හැකිදැයි ඔවුහු මගෙන් විමසා සිටියහ.

ප්‍රජාවේ නායකත්වය ගෙන කටයුතු කළ පැසුණු පුද්ගලයා මා හා දිගු කතාවකට මුල පිරීය. මේ පිළිකුල් සහගත යුද්ධය කවදා ඉවර වේවිදැයි විමසූ ඔහු “වෙනම රටක්වත් වෙනම පිළිගැනීමක්වත් අපිට ඕන නැහැ” යයි කියා සිටියේය. ජංගම සේවයට පැමිණි සියලු දෙනා තම ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය පුදුමාකාර ලෙස ආරක්ෂා කර ගෙන සිටිනු මා දුටුවෙමි. තමන් සතුව ඇති ඉතාම වටිනා දේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත බව ඔවුහු ප්‍රකාශ කළෝය. මෙපමණ කාලයක් මේ මිනිසුන් එල්.ටී.ටී.ඊ.ය විසින් පතුරුවා තිබූ බොරුවට රැවටී අපෙන් ඈත්ව සිටීම ගැන මට දැවැන්ත දුකක් ඇති විය.

“ශ්‍රී ලංකා රජය මේ මොහොතේ කටයුතු කරන්නේ ත්‍රස්තවාදය නමැති ශාපය අවසන් කරන්න, ජනාධිපති මහින්ද රාජපක්ෂ දකුණේ ඉපදුණු කෙනෙක්, එතුමාට අවශ්‍ය කරලා තියෙන්නේ උතුර හා දකුණ නැවත එකට සම්බන්ධ කරන්න, සහෝදරත්වයක් ගොඩනගන්න. එතුමා පෙරොන්දු වෙලා තිබෙනවා යුද්ධය අවසන් කළ වහාම බලය බෙදීමේ ක්‍රියාවලියකට යන්න. ඒ නිසා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න රජය සැලසුම් කරමින් ඉන්නේ”. මා සමඟ කතා බහ කළ පුද්ගලයාට මේ කරුණු පැහැදිලි කළ මම ඔහුට මේ දේවල් ඒත්තු ගන්වන්නට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් තානාපති කාර්යාලය වෙත නිකුත් කර තිබූ චක්‍රලේඛ කිහිපයක් සහ රජයේ බලය බෙදීමේ ඉදිරි වැඩපිළිවෙළ පැහැදිලි කර කොළඹින් නිකුත් කර තිබූ ප්‍රකාශන කිහිපයකුත් ඔහුට කියවන්නට ලබා දුන්නෙමි. මගේ අදහස වුණේ ඉන්දු-ලංකා සාම ක්‍රියාවලිය අතර මග නැවතුණේ ප්‍රභාකරන් නිසා බවයි. එවිට ඔහුගේ ප්‍රශ්නය වුණේ “ජනතා විමුක්ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වගේ ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධ වුණු අන්තවාදී සිංහල කොටස් සාම ක්‍රියාවලිය අඩපණ වීමට වගකිව යුතු නැද්ද?” යන්නයි. දිගින් දිගටම කතා කළ ඔහු අවසානයේ ඉන්දු- ලංකා සාම ක්‍රියාවලියට සහයෝගය දැක්වූ ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංගයන් පවා ඝාතනය කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බව පැවසුවේය.

“ඒ හැම දෙයක්ම අපේ අතින් සිදුවෙච්ච ඓතිහාසික වැරදි, නමුත් වර්තමාන රජය සහතික කරලා කියලා තියෙනවා 13 වෙනි සංශෝධනයටත් එහා ගියා විසඳුමක් දෙන්න ඔවුන් සූදානම් කියලා. ප්‍රභාකරන් සහ මේ විනාශකාරී ත්‍රස්තවාදය අවසන් කළාට පස්සෙ දෙමළ ජනතාවට බලතල ලබා දීමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. ඒ නිසා මේ යුද්ධය ඉවර කරන්න ඔබ මේ මිනිසුන් ගේ සහයෝගය අපට ලබා දෙන්න, යුද්ධය ජයග්‍රහණය කරන්න අපට දෙමළ ජනතාවගේ උදව් අවශ්‍යයි, ඔවුන්ට කියන්න කිසිම ආකාරයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කප්පම් දෙන්න එපා කියලා, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන සෘජුවම මට තොරතුරු දැනුම් දෙන්න, අපි ඔබේ ආරක්ෂාව තහවුරු කරන්නම්”. මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

මගේ ඉල්ලීමට ඔහු ඉක්මනින් පිළිතුරු දුන්නේ, “අපි ඔබතුමාව විශ්වාස කරනවා, ඒත් අපිට ශ්‍රී ලංකාවේ නායකයන්ව විශ්වාස කරන්න පුළුවන්ද? යුද්ධය ඉවර කරාට පස්සේ ඒ ගොල්ලෝ අපිව ආයෙමත් රවට්ටයිද? මොකද හැමදාමත් සිංහල නායකයෝ දෙමළ අපිව රැවැට්ටුවා. දැන් බලන්න ඩී.එස්. සේනානායක අගමැතිවරයා, එයා ඉන්දු-පාකිස්ථාන සම්භවයක් තියෙන වතුකරයේ දෙමළ අය දහස් ගණනකගෙ පුරවැසිකම අහෝසි කරලා එයාලට රටක් නැති කළා” යනුවෙනි. මම ඔහුට රජය මේ කටුක යථාර්තයන් ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, රජය ජාත්‍යන්තරය හමුවේ දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දුවක් දීලා තිබෙන බවත්, අනිවාර්යයෙන්ම රජය දෙමළ ජනතාව සමඟ දේශපාලන විසඳුමකට එළැඹෙන බවත් කිව්වා. හැම දේකටම බාධාව, ප්‍රශ්නය වෙලා තිබෙන්නේ යුද්ධය සහ ප්‍රභාකරන් බවත් යුද්ධය අවසන් කළ වහාම දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීම වගේම, මෙච්චර කාලයක් නොසලකා හැර තිබුණු උතුරේ ඔවුන්ගේ ගම්බිම් සංවර්ධනය කරන්නත් රජය සැලසුම් සකස් කරලා තිබෙන බවත් මම වැඩිදුරටත් ඔහුට කියා සිටියා. ලෙච්චේ නගරයේ පැවැත්වුණු මේ ජංගම සේවයෙන් පස්සේ අපි රෙජ්ජොනෙමීලියා සහ පැලෙර්මෝ වගේ තවත් නගර කිහිපයකටත් තානාපති කාර්යාලයේ ජංගම සේවය ව්‍යාප්ත කළා.

මා ඉල්ලා සිටි ආකාරයටම ඉතාලියේ වාසය කළ දෙමළ ජනතාව යුද්ධය අවසාන කිරීම සඳහා සිය සහාය දැක්වීය. ඉතාලි පොලීසියේ සහ දෙමළ ජනතාවගේ සහාය මත ඉතාලියේ සිට ක්‍රියාත්මක වූ ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 32 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනිණි. ඉතාලි දෙමළ ප්‍රජාවගේ නායකයින් දිගින් දිගටම තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර වරක් එයින් එක් අයෙක් යුද්ධයේ අවසානයෙන් පසුව මා සමඟ බොහෝ වේලාවක් කතාබහ කළේය. “1958 ඉදන් අද මේ මොහොත වෙනකන්ම අපේ දෙමළ මිනිස්සු ලංකාවේ අනෙක් කිසිම ජන කොට්ඨාසයකට වඩා තමන්ගේ ලේ වගුරුවලා තිබෙනවා. අපේ සමහරුන්ව ගහලා – මරලා දැම්මා. අපේ ඇස් ඉස්සරහම අපේ ගෙවල් දොරවල් ගිනි තියලා අපිව පාරට ඇදලා දැම්මා. එක රැයකින් අපි යන එන මං නැති අනාථයෝ වුණා. අපේ මුළු ලෝකයම විනාශ වුණා. වෙනම රාජ්‍යයක් ඉල්ලන්න කියලා අපිට කියපු දේශපාලනඥයන්ට කිසිම දෙයක් නැති වුණේ නැහැ. ඒ ගොල්ලන්ගේ ළමයි එංගලන්තෙ, යුරෝපයේ රටවල ඉගෙන ගන්නවා, අපේ ළමයින්ට ඉගෙන ගන්න ටකරන් මඩුවක්වත් නැහැ. අපේ තරුණ පිරිමි ළමයින්ව ගැහැනු ළමයින්ව එල්.ටී.ටී.ඊ. එකෙන් පැහැරගෙන ගිහින් යුද්ධෙට දානවා. අපේ මිනිස්සු කිසිම දෙයක් කරගන්න බැරිව දුක් විඳිනවා. දැන්නම් ඉතින් යුද්ධය ඉවරයි, ප්‍රභාකරනුත් ඉවරයි. මම විශ්වාස කරනවා අන්තිමට හරි එල්.ටී.ටී.ඊ.යට කප්පම් නොගෙවා ඉඳලා අපි අපේ රට වෙනුවෙන් යමක් කරා කියලා.”

දෙමළ ජනතාව ප්‍රතිසන්ධානය සඳහා වන රජයේ වැඩපිළිවෙළට සහාය දීමට අවංකවම කැපවී සිටින බව ඔහු මා සමඟ කියා සිටියේය. “හැබැයි ඔබ අතීතයේදී මොන වරද කළත්, ඉදිරියේදී කාටවත් කියන්න ඉඩ තියන්න එපා රජය නැවත වතාවක් දෙමළ මිනිස්සුන්ව රැවැට්ටුවා කියලා. එල්.ටී.ටී.ඊ. එක හැමදාම කිව්වේ ඒ කතාව, එයාලා අපිට කිව්වා අඩුම තරමේ මැරුණු සිංහල මිනිහෙක්වවත් විශ්වාස කරන්න එපා කියලා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ආයෙ වතාවක් අපිව රවට්ටන්නේ නැහැ නේද? දෙමළ මිනිස්සුන්ට නැවත වතාවක් දුක් විඳින්න ඉඩ තියන්න එපා, අපි හැමදාම දුක් වින්ඳා. මේ ප්‍රශ්න නිසා අපි හැමදාම කඳුළු හෙළුවා, දැන් අපිට තවත් අඬන්න ශක්තියක් නැහැ. අපිට ඕන අපේ සිංහල – මුස්ලිම් සහෝදරවරු එක්ක සතුටින්, හිනාවෙලා ඉන්න. අපිට ඕන අපි ඉපදුණු අපේ මව්බිම දෙකට බෙදන්නේ නැතිව හැමෝම එක්ක සතුටින් ජීවත් වෙන්න. හැමෝම එකට එකතු වෙලා තමන්ගේ ජාතිය, ආගම, භාෂාව ගැන ආඩම්බර වෙන රටක් විතරයි අපිට ඕන.” ඔහු බොහෝ වෙලා මා සමඟ මෙසේ කතා කරමින් සිටියේය.

දැන් මා තවදුරටත් ඉතාලියේ තානාපතිවරයා නොවේ. මා නිහඬව මගේ මේ අතීත සිතුවිලි අතර අතරමංව නැවත නැවතත් කල්පනා කරන්නේ එකම දෙයකි, අපි නැවතත් අපේ සහෝදර දෙමළ ජනතාව රැවැට්ටුවා ද?∎

හේමන්ත වර්ණකුලසූරිය ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියූ Tears of the Tamil  ලිපිය ඇසුරෙන් ‛සමබිම’ වෙනුවෙන් සිංහල අනුවාදය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රගීත් ලියනාරච්චි

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment