අපේ එකා ශේප් කිරීම සහ අපේ නොවන එකා දංගෙඩියට යැවීම.

Dec 22nd, 2012 | By | Category: නීතිය

පසුගිය කාලයේදී මේ රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකක් කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවන්හල විවෘත කළ දා ඔහු තරාතිරම නොබලා වැරදි කලවුනට දඬුවම් ලබා දෙන බවට ප්‍රකාශ කළ අතර ඉන් පසුව වරලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ නව මූලස්ථානය විවෘත කළ දා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ඔවුන්ගේ හිතවතෙකු වූ බැවින් ගනුදෙනුව යථාතත්වයට පත්කොට ඔහුව ශේප් කරන්නට උපදෙස් දුන් බව ප්‍රකාශ කළේය.

මේ ප්‍රකාශ දෙකම රටේ යහ පාලනය හා සම්බන්ධ වන ප්‍රකාශ දෙකක් වන අතර මෙම ප්‍රකාශ දෙකම බරපතල ප්‍රකාශ දෙකකි. එයින් පළමු ප්‍රකාශය ඉතා නිවැරදි ප්‍රකාශයක් වන අතර රටක පැවැත්ම තීරණය කල හැකි වූ ප්‍රකාශයකි. එහෙත් දෙවන ප්‍රකාශය ඉතා බරපතල ලෙස රටේ යහ පාලනය හා ගැටෙන ප්‍රකාශයක් වන අතර එය රටේ නීතියේ ආධිපත්‍යය හා බරපතල ගැටීමක් ඇති කරන ප්‍රකාශයක් වන්නේය.

ඒ කෙසේද යත් මෙම පණිවුඩය රටේ ඉහළ සිට පහළට කාන්දු වන්නේ කුමක් කළද ශේප්කරගත හැකිය යන සිතුවිල්ල සමගය.

රටක පාලනයට අතිශය වැදගත් වන්නාවූ එක් කරුණක් නම් පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයේ ඇති නොකිලිටිභාවය සහ නිර්දේශපාලනීකරණයයි. එසේම රටක යහපාලනය පවත්වාගෙනයාමට නම් දියුණු නීති පද්ධතියක් සහ අපක්ෂපාතී අධිකරණ පද්ධතියක පැවැත්ම අත්‍යාවශ්‍යය වන්නේය. එවිට අපරාධකරුවෙකු ශේප්කිරීම දේශපාලන යාන්ත්‍රණයකට සිදුකල නොහැකි දෙයක් වන්නේය.

රටක අධිකරණ පද්ධතිය, නීති පද්ධතිය, නීති ක්‍රියාත්මක කරනු ලබන්නාවූ ආයතන පද්ධතිය රටක් නිසි මාර්ගයේ තබාගෙන ධාවනය කරනු ලබන්නාවූ නැවිගේටරයක් ලෙස කටයුතු කරනු ඇත. මක් නිසාද යත් මෙම පද්ධති එකක් හෝ දුර්වල වුවහොත් හෝ අකර්මන්‍ය වුවහොත් අනෙක් පද්ධතිවල ක්‍රියාකාරීත්වයට එයින් සෘජු බලපෑමක් ඇති වීමයි. එසේම රටක ගුණාත්මක සංවර්ධනය රඳා පවතිනු ලබන්නේද නීතියේ ක්‍රියාකාරීත්වය මත ඇති කරනු ලබන්නාවූ ක්‍රමවේදයන් සහ ශික්ෂණයන් මතයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සෘජුවම බද්ධ වු කොටස් කරුවන් තිදෙනෙකු ඇත. එනම් අධිකරණය, පොලීසිය හා නීතිපතිවරයා වේ. මෙම ආයතන ත්‍රිත්වය එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු ආයතනයන් වන අතර මෙම ආයතන එක් වීමෙන් සෑදුනු අධිකරණ පද්ධතිය රටේ යහපාලනය හා නීතියේ පැවැත්ම අධීක්ෂණය කරනු ලබන මුරකරු වන්නේය.

රටක මිනිසුන් නීතියට ගරුකරනු ලබන ජාතියක් බවට පත්කිරීමේ වගකීම එරට රජය සතු වන්නේය. පිට රටකදී මාර්ග නීති නොකඩන ශ්‍රී ලාංකිකයා ලංකාවේදි මාර්ග නීති කඩන්නේ නීතිය නොදැනිම නිසා නොව රජය විසින් තම වගකීම හරි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා සහ ඔහුට නීතියට ගරු කිරීමට ඇති අවශ්‍යයතාවය රජය පෙන්වා දී නොමැති නිසා සහ නීතිය කඩන්නන්ට ආවරණයක් සකසා ගත හැකි දේශපාලන වටපිටාවක් රටෙහි පැවතීම නිසාය.

නීතියට ගරු කිරීම ගමේ අප්පුහාමි විසින් පමණක් කළ යුත්තක් නොවන අතර එය ආරම්භ කළ යුත්තේ නීතිය සාදන්නන් දෙසිය විසි පහකින් සමන්විත පාර්ලිමේන්තුව විසින්ය. එසේම පාර්ලිමේන්තුවේ සිටින නීති සාදන්නන් දෙසිය විසි පහට එක් නීතියකුත් ගමේ අප්පුහාමිට තව නීතියකුත් තියෙන්නටද නොහැකිය.

අවාසනාවකට පසුගිය කාලයේ අත්දුටු සිද්ධීන් ආවර්ජනය කිරීමේදී පද්ධතීන් විනාශ වීම සහ ඒ නිසා ගොඩනැගුණු අනීතික සංස්කෘතිය රීතියක් බවට පත්වී ඇති බව පෙනේ. තම පාක්ෂිකයාගේ නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන්, රාජ්‍යය දේපල සොරුන්, මංකොල්ලකරුවන් බුරුතු පිටින් එලියට පැමිණියේය. විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණීමෙන් තවත් බර ගණනකගේ නඩු කුණු කූඩයට ගියේය. මේ සියලු දේ සිදුවන්නේ ප්‍රසිද්ධියේය. එමෙන්ම මේ සෑම අවස්ථාවකදීම මේ රටේ සමාජයට පණිවුඩ කිහිපයක් ලබාදීමට වගකිවයුතු ආයතන සමත්වූහ.

චූදිතයකුට වුවද දේශපාලන බලපෑම ඔස්සේ පහසුවෙන් ගැලවිමේ මගක් ඇතැයි යන පණිවුඩය රටට ලබා දුන්නේය.
වින්දිතයා වෙත ලබා දුන් පණිවුඩය වන්නේ යුක්තිය ඉල්ලා සිටීමෙන් වැඩක් නැත යන්නත්, ඔවුන්ට නීතියේ සරණක් නැත යන්නත්, නීතියට බියවීමෙන් හෝ ගෞරව කිරීමෙන් ප්‍රතිඵලයක් නැත යන්නය.

මෙම ක්‍රියාදාමයෙන් ලබාදුන් අනෙක් පණිවුඩය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් පරාදීන ආයතන බවත් එම ආයතන පාලකයන්ගේ අවශ්‍යතාවය මත දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවත්ය. ඉහත තත්වයන් මත තමන්ට යුක්තිය ඉෂ්ට නොවේය යන සිතිවිල්ල හයියක් නැති හැම මිනිසකුගේම සිත් තුළට කිඳා බැසීම පුදුමයට කාරණයක් නොවන්නේ යම් යම් අවස්ථාවලදි වින්දිතයා විසින් නීතිය අතට ගෙන කටයුතු කිරීමේ නිදර්ශන නිසාය. සරළව කියන්නේ නම් මෙම තත්වය නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින්ම ඇති කරන ලද බවයි. මේ තත්වය මත නඩුවක් ඇති චූදිතයා මෙන්ම වින්දිතයාද දේශපාලනය කරන සංස්කෘතියක් ඇති කර ඇත. එය දේශපාලනය කිරීමට ඇති ආශාව හෝ හැකියාව නිසා නොව තම නඩුවට එමගින් වාසියක් ඇති කර ගන්නට හැකියාවක් ඇත්දැයි යන සිතුවිල්ල නිසාය.

එසේම දුර්වල සහ දේශපාලනීකරණය වූ නීතිය ක්‍රයාත්මක කිරීමේ යාන්ත්‍රණයක ආධාරයෙන් තමන්ට අහිතකර වන්නාවු ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් නිෂ්ක්‍රීය කිරීමටද ඒ හා සමාන ක්‍රියාදාමයන් උපයෝගී කර ගැනීමට පසු බට නොවන්නේය. පසුගිය කාලයේදී මෙරට සිදුවූ සමහර අත්අඩංගුවට ගැනීම් නඩු පැවරීම් මෙම තත්වය සනාථ කරන අතර මෙකී ආයතන දේශපාලන මෙවලම් ස්වරූපයෙන් කටයුතු කල ආකාරය රටම දන්නේය. අවාසනාවකට එකී ආයතන ප්‍රධානීන් හෝ පාලකයන් මෙකී ක්‍රියාකලාපයන් නිසා මෙම ආයතනයන්හි විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ඇතිවන්නාවූ සැකය යන කරුණ අමතක කරන ලද අතර එම ආයතනයන්හි යහ පැවැත්ම දීර්ඝ කාලීනව රටෙහි යහපාලනයට කෙතරම් වැදගත් වන්නේද යන්න අමතක කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිට හූ කියා අගවිනිසුරුවරියට විරෝධය පෑමේ සිට මාධ්‍ය වලින් එල්ල කරන ලද ප්‍රහාරයන්ද මෙයට නිදසුන් වන්නේය. අගවිනිසුරුවරිය වරදක් කර ඇත්නම් එය විභාග කළ යුතු පිළිවෙළක් ඇත්තේය. එය විභාග කර පාර්ලිමේන්තුව තිරණය කරන තුරු ඇය අගවිනිසුරුවරිය වන්නේය. හු කිව්වෝ හු කිවිවේ පුද්ගලයාට නොව තනතුරටය. අධිකරණයටය. විරෝධය පැවේ අධිකරණය දුන් තීන්දු වලටය. පොලීසිය මේවා බලා සිටියේය. කිසිවක් කළේ නැත. නීතිය ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවන් බොහොමයක් තිබුනද කිසිවෙකු ක්‍රියාත්මක නොවුනේය. මෙය පූර්වාදර්ශයක් විය හැකිය. ගමේ ප්‍රාදේශිය සභාවේ මැම්බර් මහත්තයාගේ සිට ඉහළට ඕනෑම අයකු තමන්ට නොදිරවන නඩුකාරයකු පැන්නීමට මෙම ක්‍රමවේදය උපයෝගී කරගන්න බැරිකමක් නැත.

මේ සියලු තත්වයන්ගෙන් පැහැදිලි වන්නේ පද්ධතියක් විනාශ කිරීම වුවද අවශ්‍යයතාවය මත සිදු කල හැකි බවත් ආයතනයේ ගරුත්වය හෝ පැවැත්ම යන කරුණ අදාල නොවන බවත්ය. වසර කිහිපයකට පසු ඉරිදා පුවත්පතක ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ අතිරේකයක “එදා අධිකරණයට හූ කියූ හැටි” ලෙස යමෙකු පාපෙචිචාරණයක් රසවත් ලෙස කරයි නම් එයටද පුදුම විය යුතු නැත. මන්ද අදද එවැනි අපරාධ විශේෂාංග ලිපි ලෙස එම පුවත්පත්වල සටහන් කරන බැවිනි.

උපුල් කුමාරප්පෙරුම

Recent Posts

Tags: , , , ,

Leave a Comment