ඔබට මතක නෑ මට අමතක නෑ

Dec 26th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය

මෙවර මෙම ලිපිය ඇරඹෙන්නේ දැනුම මිනුම ප්‍රශ්න වටයකිනි. කරුණා අම්මාන් මැතිතුමාගේ සහචරයින් විසින් මරා දමන ලද පොලිස් නිලධාරීන් සංඛ්‍යාව කොපමණ දැයි ඔබගෙන් ඇසුවහොත් පිළිතුර කුමක්ද? පිළිතුර 600ක් බව පැහැදිළි ය. අරන්තලාවේදී ඝාතනය කරන ලද භික්ෂූන් සංඛ්‍යාව කොපමණද? කොටි සංවිධානය සිදු කළ ප්‍රකට ප්‍රහාර 3ක් ඔබට නම් කළ හැකි ද? ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරඟයේදී මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් නොවන්නේ ඒවා කජු කන්නාක් මෙන් ලේසි ප්‍රශ්න නිසා විය යුතුය. මේ සිදුවීම් හා ගණන් හිලව් අපට ඉතා හොඳින් මතක තිබෙන්නේ ඇයි?

ප්‍රභාකරන් විසින් සිදුකළ මිලේච්ඡ ඝාතන පිළිබඳව මතක තිබෙන අපට සිංහල දේශප්‍රේමීන්ගේ ඝාතන පහසුවෙන් අමතක වී යයි. මියගිය වැසියන්ගේ ගණන් හිලව් ද අමතක වෙයි. 1958 ජාතිවාදී කළබලය සම්බන්ධයෙන් රාවය පුවත්පත මගින් ප්‍රකාශයට පත්කළ ‛අර්බුදයේ අන්දරය’ නැමැති පොතෙන් පහත කරුණු උපුටා දැක්වීමට කැමැත්තෙමි.

“58 ජාතිවාදී කෝලාහලය ආරම්භ වන්නේ වවුනියාවේ පැවති ෆෙඩරල් පක්ෂයේ පස්වැනි සම්මේලනයට ගොස් ආපසු මඩකළපුව බලා එන දෙමළ නියෝජිතයින් රැගත් දුම්රියට පොළොන්නරුවේදී එල්ල කරන ලද පහර දීමකිනි.” මගීන්ට පහර දීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඇති බව දුම්රිය නියාමකයින්ට දැනගන්නට ලැබී ඔවුන් දුම්රියේ සිටි දෙමළ මගීන් මගදී බස්සවා ඇති බවත් අවසානයේ දුම්රිය පොළොන්නරුවට එන විට එහි සිට ඇත්තේ එක් දෙමළ ජාතිකයෙකු පමණක් බවත් එහි සඳහන් ය. දෙමළ මිනිසුන්ට (සිවිල් වැසියන්ට) පහර දීම සඳහා පොළොන්නරුව දුම්රිය ස්ථානයේ විශාල පිරිසක් රැස්වී සිටියත් ඔවුන්ට සිය දුෂ්ඨ අරමුණ ඉටු කරගැනීමට නොහැකි වී ඇත.

ඉන් පසුව පොළොන්නරුවේ සහ හිඟුරක්ගොඩ රජයේ ගොවිපොලවල සිටි දෙමළ කම්කරුවන්ට පහර දීම අරඹන ලද අතර දෙමළ කම්කරුවන් ඔවුන් එනු දැක උක් වගා බිමකට රිංගා සැඟවුණු බවත් ඉන් පසුව දේශප්‍රේමී ජනයා විසින් එම උක් වගාවට ගිණි තැබූ බවත් එම කෘතියේ සඳහන් ය. නිරායුධ දෙමළ මිනිසුන් ගින්නෙන් බේරීමට දුවන විට කඩු කැති පොරෝ ආදියෙන් ඔවුන් කොටා, පොලු වලින් ගසා මැරූ බව ද එහි සඳහන් වේ.

“එක් ගැහැණියක් මැරයන්ගේ වධවලින් බේරීමට දරුවන් දෙදෙනාත් වැළඳගෙන ලිඳකට පැන්නාය. අට මසක දරු ගැබක් ඇති මාතාවකගේ බඩ පලා ඈ ලේ ගලා මැරෙන තුරු වැටී සිටින්නට ඉඩ හැරියහ…” ආදී වශයෙන් දෙමළ ජනයාට එරෙහිව කළ අපරාධ ලැයිස්තුවක් එහි අඩංගු වේ.

මෙම විස්තරය අප්‍රසන්න නමුත් කියවීමට ඉතා වටිනා එකක් වන අතර ඒ සියල්ල මෙහි උපුටා දැක්වීම අසීරු ය. එබැවින් මෙම සිදුවීම් පිලිබඳව එම කෘතියේ ඇති විස්තරය කියවන මෙන් මම පාඨකයාට ආරාධනා කරමි. පනස් ගණන්වල සිංහල දේශප්‍රේමීන් විසින් දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන ලද මිලේච්ඡ අපරාධ මෙහි සඳහන් වෙයි. ඒ ප්‍රභාකරන්ගේ අපරාධ ඇරඹෙන්නට බොහෝ කලකට පෙරදීය. යුද්ධයේ ඉතිහාසය ගැන සිංහල භාෂාවෙන් ලියන කිසිදු මාධ්‍යවේදියෙකු මෙම සිදුවීම් පිළිබඳව කිසි තැනෙක ලියා තිබෙනු මා දැක නැත. ඒවා ඉතිහාසයෙන් අමතක වන්නට හැරීම වඩා යහපත් යැයි ඔවුන් සිතන බව පෙනේ. ඒ වෙනුවට ඔවුන් ප්‍රිය කරන්නේ එම අපරාධවල ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ප්‍රභාකරන් නැමැති ‛යක්ෂයා’ ගේ මිලේච්ඡ අපරාධ ගැන ලියන්නට ය. අරන්තලාවේ හාමුදුරුවන් ඝාතනය කළ හැටි, පල්ලියගොඩැල්ලේ කිරි දරුවන් කපා කොටා ඝාතනය කළ හැටි, දළදා මාලිගාවට පහර දුන් හැටි….ආදී වශයෙනි.

1983 කළු ජූලියේදී මියගිය දෙමළ වැසියන් සංඛ්‍යාව ඔබ දන්නවාද? මෙය ලියන මම ද ඒ ගණන් හිලව් දැනගත්තේ මේ සටහන තබන්නට සූදානම් වන මොහොතේය. උතුරේ මිලිටරි ප්‍රහාරයකට උත්තර දීමක් ලෙස දකුණේ සිංහල වැසියන් විසින් අහිංසක දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව මුදාහරින ලද මේ භීෂණයේදී මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ හා මංකොල්ල කෑම් ද සිදුවිය. ඒ සිංහලයා සිය දේශප්‍රේමය පෙන්වූ හැටි ය. මෙම කෝලාහලයේදී බොරැල්ල බස් නැවතුමේදී නිරුවත් කර ඝාතනය කරන ලද දෙමළ වැසියෙකුගේ සුප්‍රසිද්ධ ඡායාරූපය ඔබ දැක ඇතිවාට සැක නැත. මරා දමන්නට මොහොතකට පෙර එම මිනිසාට පහර දෙමින් විනෝද වන දේශප්‍රේමී තරුණයන්ගේ ප්‍රීතිමත් මුහුණු කිහිපයක් ද එහි සටහන් වී ඇත. ‛කළු ජූලිය’ කියූ සැණින් මගේ මතකයට එන්නේ මේ ඡායාරූපයයි. කළු ජූලිය අමතක කිරීමට අප කොතරම් කැමැති වුවත් දෙමළ වැසියන් එය අමතක කරන්නට සූදානම් යැයි මම නොසිතමි. එය අමතක කරන ලෙස ඔවුන්ට බල කරන්නට ද අපට නොහැකිය.
1987 හමුදා ගුවන් ප්‍රහාර වලින් යාපනයේ ශිව කෝවිල විනාශ වී ඇත. ඒ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරන්නට දශකයකට පෙරාතුව ය.

කෙසේ හෝ මේ සියල්ලට පසුව ප්‍රභාකරන් විසින් ඒ හා සමාන භීෂණයක් අප මත මුදාහරින විට අපට සිංහල ශබ්දකෝෂයෙන් ‛මිලේච්ඡත්වය’ නැමැති වචනය සොයාගන්නට සිදුවිය. එතෙක් සිංහල සමාජයට ඒ වචනය හා එහි තේරුම අමතකව තිබුණේ කෙසේද? ඉන් පසුව එළැඹි දශක තුනක කාලය තුළ සිංහල ගම්මානවලට පහර දීම්, බස් බෝම්බ පිපිරවීම්, පන්සල්වලට පහර දීම් වැනි සිදුවීම් විස්තර කරන්නට මේ වචනය යොදාගන්නා ලදී. ‛මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්’ යන්න සිංහල ජනතාවගේ තුඩ තුඩ රැව්දෙන වචන ත්‍රිත්වයක් බවට පත්විය.

අවසානයේ 2009 වසරේදී ප්‍රභාකරන් නැමැති ‛යක්ෂයා’ මරාදමන ලදී. ඒ මෙහෙයුමේදී මියගිය දෙමළ වැසියන් සංඛ්‍යාව කොපමණද ? සාමාන්‍ය සිංහල වැසියෙකුගෙන් මේ ප්‍රශ්නය ඇසුවහොත් ඔහු අන්දුන් කුන්දුන් වනු ඇත. ‛කොහෙද එහෙම මැරිල තියෙන්නේ ?’

සමහර විශ්ලේෂකයන් පවසන්නේ යුද්ධයේ අවසන් සමයේ උතුරේ 60,000 ක පමණ සිවිල් වැසියන් ප්‍රමාණයක් මියගොස් ඇති බවය. ආණ්ඩුව පවසන්නේ මේ කතාව බොරු බවත්, ඇත්ත වශයෙන්ම මියගියේ 8000 ක් පමණ බවත් ය. මේ 8000 කොස් ඇට ද කජු ඇට ද? ප්‍රහාරයකින් සිංහල වැසියන් 8000 ක් මියගියේ නම් ප්‍රතිචාරය කෙසේ වනු ඇතිද?

මේ සම්බන්ධව රජය විසින් පත් කළ ‛උගත් පාඩම් කොමිසමේ’ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය. “මානුෂවාදී නීති උල්ලංඝණය ගැන චෝදනා විමසා බැලීමේදී සතුටට පත්විය හැකිය. යුද හමුදාව සිවිල් ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දී ඇත…” ඒ අතරම එහි සඳහන් වන්නේ රෝහල්වලට පවා ෂෙල් වෙඩි එල්ල වූ බව ය. අර්බුදය එකම පිරිසක් විසින් සකස් කළ එකම වාර්තාවක පිටු දෙකක ඇතුළත් මෙම ප්‍රකාශ දෙකෙන්ම විදහා පෙන්වයි. සිවිල් ජනතාව ප්‍රතිකාර ගන්නා රෝහල් වලට ෂෙල් වෙඩි එල්ල වීම සහ යුද හමුදාව සිවිල් ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දී ඇත යන්න පරස්පර විරෝධීය. මේ සිදුවීම් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට දිවි හිමියෙන් විරුද්ධ වන දේශප්‍රේමීන් ඕනෑ තරම්ය. ඒ අතරම වසර ගණනාවකට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් බිම හෙලූ ලයන් එයාර් ගුවන් යානයේ මගීන්ගේ මළ සිරුරු ගොඩගැනීම පිළිබඳව මේ දිනවල බොහෝ අය උනන්දුය.

යුද්ධය අවසාන වී ඇති වර්තමානයේ දෙමළ ජනතාව වෙත අලුත් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ඉතාම ශිෂ්ඨ ලෙස ඉදිරිපත් වී ඇති මෙම යෝජනාවේ නම වගවීමක් පිළිබඳ අබමල් රේණුවක හෝ සඳහනක් නොමැති ‛ප්‍රතිසන්ධානගතවීම’ යන්නය. ආණ්ඩුව ප්‍රතිසන්ධානගතවීම යනුවෙන් අදහස් කරන්නේ උතුරේ සිදුවූ සියල්ල අමතක කර සමගියෙන් අත්වැල් බැඳගෙන සංවර්ධනයේ ගමන යාමට අගතියට පත් දෙමළ ජනතාවගෙන් කොන්දේසි විරහිත එකඟ වීමකි.

උතුරේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය එවැනිය. හැමෝම කියන්නේ අපි අතීතය අමතක කරමු, අලුතෙන් සියල්ල ආරම්භ කරමු, රට ගොඩනගමු වැනි සුන්දර කතාය. මිනිසෙකුගේ අතපය බැඳ හතර හන්දි කැඩෙන තුරු පොල්ලකින් ගසා, ඉන්පසු ‛අපි පසුගිය දේවල් අමතක කරමු, ප්‍රතිසන්ධානය වෙමු’ කියා කියන්නේ නම්, ඒ කතාව සරලය – සුන්දරය. නමුත් වේදනාව දැනෙන්නේ ගුටි කාපු කෙනාට මිසක් ගහපු කෙනාට නොවන්නේය. දෙමළ මිනිස්සු සියල්ල අමතක කර අලුතෙන් සාදා දුන් පැල්පත් වලට වී පූස් පැටව් මෙන් ජීවත් වන්නේ නම් දකුණේ සිංහල මිනිස්සු ඉතා කැමති බව පෙනේ. අවසානයේ ආණ්ඩුව යෝජනා කරන මේ නව ආරේ ප්‍රතිසන්ධානය වීමේ යටි අරුත සරලව කියන්නේ මෙසේයි. ‛අපේ මිලේච්ඡත්වය අමතක කරන්න, නමුත් ඔබේ මිලේච්ඡත්වය අපි ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියා තබන්නෙමු. ඒ සඳහා අපිත් සමඟ අත්වැල් බැඳගන්න’. ආණ්ඩුව ප්‍රතිසන්ධානය කියා කියන්නේ එවැනි කාළකණ්ණි මිනිස්කමට නොවටිනා ඉල්ලීමකටය∎

ප්‍රියලාල් සිරිසේන

Recent Posts

Tags: , , , , ,

Leave a Comment