ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව

Mar 12th, 2012 | By | Category: දේශපාලන, පුද්ගල නිදහස
දඹුල්ල ප‍්‍රදේශයේ පුද්ගලික ලැගුම්හල් සම්බන්ධයෙන් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමක් පිළිබඳව ප‍්‍රශංසනාත්මක ලිපියක් 2011 දෙසැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස නම් පුද්ගලයෙකු විසින් පළ කොට තිබුණි. දඹුල්ල පොලීසිය විසින් අදාළ සෝදිසි මෙහෙයුම දියත් කරන ලද්දේ ඔවුන් විසින්ම පසුගිය ඉරිදාවක එම පුවත්පතේම පළ කරන ලද යම්කිසි හෙළිදරව් කිරීමක් පාදක කරගෙන බව ලියුම්කරු සඳහන් කරන්නේ යම්කිසි ආඩම්බරයකින් බවද පෙනුණි. ඊට අමතරව පසුගිය ඉරිදා (2011.12.18) දිනද ලැගුම්හල් හා වෙනත් රහසිගත ස්ථාන කරා යන පෙම්වතුන් හා අනෙකුත් ලිංගික සතුට සොයන්නන් පිළිබඳ දීර්ඝ ගවේෂණාත්මක ලිපියක් පළකර තිබුණි. මෙහිදී මෙම ලිපිවල ලියුම්කරුවන් විසින් ඉස්මතු කරන ලද්දාවූ කාරණා සුචරිතවාදී සමාජ දෘෂ්ටිකෝණයෙන් සාධාරණ බව පෙනී ගියද මේ සම්බන්ධයෙන් නෛතික දෘෂ්ටි කෝණයෙන්ද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම උචිත යැයි මට හැඟුණි.
මෙහිදී මෙම ලිපි දෙකම සම්පාදනය වී ඇත්තේ ලැගුම්හල් කරා ලිංගිකත්වය සෙවීමේ අරමුණින් යන සියල්ලන් කෙරෙහිම විරෝධාකල්පයකින් බව පැහැදිලිය. මූලික වශයෙන් මෙහි අරමුණ වී ඇති මෙම අපචාරවලට ගොදුරු වන්නාවූ පාසල් දරු දැරියන් ගලවා ගැනීම ඉතා උතුම් අරමුණක් බවට මෙම ලියුම්කරුටද විවාදයක් නැත. සදාචාරමය වශයෙන් ගත්කල අනාචාරයේ හැසිරෙන්නන් හා බාලවයස්කාර පෙම්වතුන් සාකච්ඡාවෙන් බැහැර කරන්නේ නම් ඉහත කී කාණ්ඩ දෙකටම අයත් නොවන පෙම්වතුන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදුවී ඇත. පෙම්වතුන්ට පෙම් කිරීමට අයිතියක් ඇත. එසේම බාලවයස්කරුවකු නොවන ඕනෑම අයෙකුට තමා කැමති අයෙකු සමඟ ලිංගිකව හැසිරීමට ද අයිතියක් ඇත.
මෙම පෞද්ගලික ලැගුම්හල් සහ ඒවායේ ලැගුම්ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි යම් වපසරියක් ඇත. සමාජයේ ආරක්ෂාව උදෙසා එම වපසරිය තුළ ක‍්‍රියාත්මක වන පොලීසිය සමාජයේ ආරක්ෂාව උදෙසාම එම වපසරිය ඉක්මවා යාමෙන් වැළකිය යුතු බව අපගේ හැඟීමයි. සදාචාරය වැනි කාරණා සම්බන්ධයෙන් පොලීසියේ ක‍්‍රියාකාරිත්වයට යම් ‘බුරුලක්’ දිය යුතු බවද ඇතැම්හු විශ්වාස කරති. පොලීසිය ඇතැම් අවස්ථාවලදී තම සීමාවන් ඉක්මවා ක‍්‍රියාකිරීමට පෙළඹෙන්නේ ඇතැමුන් සාධාරණීකරණය කරන මේ “බුරුල” ප‍්‍රයෝජනයට ගනිමිනි. අඟුලාන සිදුවීම, දොම්පේ සිදුවීම හා කටුනායක නිදහස් වෙළඳකලාපයේ සිදුවීම වැනි අවාසනාවන්ත තත්වයන් පොලීසිය එකී “බුරුලෙන්” ප‍්‍රයෝජන ගත් අවස්ථා සඳහා මෑත කාලීන උදාහරණ වේ.
මෙහිදී ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.
ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.
යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.
යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හල තුළ ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.
යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.
විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.
එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.
වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.
කුරුණෑගල නගරයේ වර්තමාන තත්වය මෙය වටහා ගැනීමට මනා උදාහරණයකි. කුරුණෑගල නගරයේ වර්තමානයේ පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමට හෝ ස්ථානයක් නොමැත. රජපිහිල්ල උද්‍යානයේ පෙම්වතුන්ට රැඳී සිටීමට ඉඩ නොදෙයි. වැව රවුමේ බංකු වෙන්ව ඇත්තේ විශ‍්‍රාමික වයෝවෘද්ධ මහත්වරුන්ට හා රාජකාරීමය කටයුතු සඳහා නගරයට පැමිණෙන්නන්ට කල් මැරීම සඳහාය. ඇතුගල ප‍්‍රදේශය දැන් පෙම්වතුන්ට සපුරා තහනම් කලාපයකි. කුරුණෑගල බස් නැවතුම්පළේ හෝ වෙළඳ සංකීර්ණයේ හෝ පෙම් පිළිසඳරක යෙදී සිටීමට කිසිඳු පෙම් යුවලකට ඉඩක් නැත. කුරුණෑගලදී නිදහසේ පෙම් පිළිසඳරක යෙදීමට නම් එක්කෝ ඇවිද ඇවිද කතා කළ යුතුය. නැතිනම් තමාගේම කියා වාහනයක් තිබිය යුතුය. එවිට එය මඟ නවත්වා සුළු වේලාවක් නිදහසේ කතා කළ හැකිය. තමාගේම කියා වාහනයක් ඇත්තේ තරුණ පෙම්වතුන්ගෙන් කීයෙන් කී දෙනාටද? ඉදින් එසේ සදාචාරවත් ලෙස තම පෙම් සබඳතාව පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ අවුරා ඇති කල පෙම්වතුන් ඉබේම තල්ලූ වන්නේ කාගෙන්වත් කරදරයක් නැති, කාටවත් කරදරයක් නැති, පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකෙන ලැගුම්හල් කරා නොවේද?
සමාජයක පැවැත්මට සහ අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට සදාචාරවත් බව හා සංස්කෘතිය වැදගත් සාධකයන් වන බව සත්‍යයකි. එසේ වුවද සංස්කෘතිය, සදාචාරය වැනි පුද්ගලබද්ධ කාරණාවන් සම්බන්ධයෙන් නීතියට ක‍්‍රියාත්මක විය හැකි යම් සීමාවක් පවතී. එසේ සීමාවක් පනවා ඇත්තේද මානව සමාජයේම සුබසිද්ධිය උදෙසා බව අමතක නොකළ යුතුය. එබැවින් සදාචාරය සුරක්ෂිත කිරීමෙහිලා ආගමික හා සිවිල් සංවිධාන සතු වගකීම පොලීසිය වෙත ආරෝපණය කොට පොලීසියේ යකඩ අතින් සදාචාරය සුරක්ෂිත කරවාගන්නට යාම ආනුශංගික ගැටලූ රාශියකට අත වැනීමක්ම වන්නේය.
කාංචන බණ්ඩාර අතාවුද

Recent Posts

Tags: ,

13 Comments to “ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව”

  1. Suresh Tissamaharama says:

    කියන්න ඕන ටික ලස්සනට කියල තියනවා…හොඳ ලිපියක්..

  2. Max says:

    Excellent Article ! love & sex are not a crimes !

  3. Lak says:

    Very true….. excellent… thumbs up……..

  4. Neel says:

    පුතේ උඹ හොදට නාඩි වැටෙන එකෙක්. කියල වැඩක් නැහැ ලිපියනම් මරු. ඒ තමයි ඇත්ත. වැඩේ කියන්නෙ නීතිය හදන රකින උන්ට මෙව නොතේරෙන එකනේ. උන් කවදවත් මේව කොරල නැහැලු. පව් අහින්සකයො.


  5. An excellent review, thanks for educating the ppl.

  6. Silmiya says:

    Lankawe ethi Dewenthama Samaya adaviya ha ekwenna pivisenna http://ceycupid.com

  7. perera says:

    danuwath kalata thank,s

  8. kapila silva says:

    Excellent article. We need this type of writers to empower the people’s rights

  9. madu says:

    කොච්ච්ර කිව්වත් වැඩක් නැ මේවා කිරියත්මක කරන උන් ගොරකත් මස් කරනවා දන්නවනේ මෙයාලාගේ වැඩ

  10. sisira says:

    very nice declaration about this topic


  11. මෑතක කියවූ සර්ව සම්පූර්ණම සාරවත්ම ලිපිය !
    ලැගුම්හලට යාමට සිදුවීමේ යථාර්තය හෙවත් ලිපියේ අවසාන කොටස ඉතාමත්ම වැදගත්, හැම මාධ්‍යයකම පුන පුනා ලිය විය යුතු සත්‍යයක්…..

    පෙම්වතුන් දෙදෙනෙක් අතින් අල්ලාගෙන සිටීමත් වරදකැයි හංවඩු ගැසෙන සමාජයක ඔව්න් ලැගුම් හලට තල්ලු කරන්නේ කවුරුන්ද ?????????????????

  12. Kosi says:

    සාධාරණ දුර පෙනෙන ඇහැකින් බලලා තියෙනවා, එයයි විය යුත්තේ, ජය!

  13. madhu says:

    නියමයි මචන් ,මේක තමයි විය යුත්තේ,මේ වගේ විදියට හිතන එවුන් මේ ලංකාවේ දුර්ලබයි ,මේක බලදාරින්ගේ ඇස ගැටෙත්වා,,,,,,,,,ජයවේවා!

Leave a Comment