රටකට මෙහෙම යන්න පුළුවන්ද?

Jan 3rd, 2013 | By | Category: EDITOR'S CHOICE

එජාප උප සභාපති, මහනුවර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී
ලක්‍ෂ්මන් කිරිඇල්ල 

දෝෂාභියෝගයේ ඇත්ත කතාව කුමක්ද? එම පරීක්ෂණ ගලා ආ අයුරු ගැන සැබෑ පසුබිම කුමක්ද? එම තේරීම් කමිටු සාමාජික එජාප උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ලගේ පැහැදිලි කිරීමයි මේ.

ප‍්‍රශ්නය:- ඔබ රටේ ප‍්‍රධානතම තනි පක්ෂය වූ එජාපයේ බලවතෙක්. වසර 23 ක දේශපාලන අත්දැකීම් ඇති නීතිඥයෙක් මෙන්ම දෝෂාභියෝගයට අදාළ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙක්. අග‍්‍රවිනිශ්චයකාරවරියට අදාළ දෝෂාභියෝගයේ මෙතෙක් ගලා යාම ගැන විවිධ විග‍්‍රහ එළිදක්වද්දී ඊට නිල වශයෙන් මැදිහත්වූවකු ලෙස ඔබ රටට කරන විග‍්‍රහය කෙබඳුද?
පිළිතුර:- 
දෝෂාභියෝගයක් ගේන්න කලින් රට දැනුවත් කිරීම බුද්ධිමත් ආණ්ඩුවක ක‍්‍රමයයි. ඒත් මේ පාලකයන් පුදුම හදිසියකිනුයි මේක ගෙනාවේ. මේක පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු වුණේ නොවැම්බර් 06 දායි. පසුව නොවැම්බර් 14, 16, 23 හා දෙසැම්බර් 04 දිනවල ඊට අදාළ පත්කළ තේරීම් කාරක සභාව රැස්වුණා. එතැනදී විපක්ෂයේ අපිත් අගවිනිසුරුවරියත් එම නීතිඥයනුත් ඉල්ලීමක් කරල කිව්වේ ජනමාධ්‍යවලට පරීක්ෂණය විවෘත කරන ලෙසයි. මේ වගේ ලොකු පරීක්ෂණ කරන ලෝක සම්ප‍්‍රදාය එයයි. බිල් ක්ලින්ටන්ට එරෙහි දෝෂාභියෝගය අපි සජීවීව නැරඹුවා. බි‍්‍රතාන්‍ය පුවත්පත් අයිතිකරුවෙකු වූ මර්ඩොක්ට එරෙහිව ක‍්‍රියා කරන විට ඒකත් ලෝකයටම විවෘත වුණා. ඒ වගේම ලංකාවේ නීතිඥ සංගම් නිරීක්ෂකයන්ට මේ දෝෂාභියෝග පරීක්ෂණය විවෘත කරන ලෙසත් අපි කිව්වා. ඒත් ආණ්ඩුවත්, තේරීම් කාරක සභාවේ අයත් ඒවා අමු අමුවේම ප‍්‍රතික්ෂේප කරල තනි මතයටයි කි‍්‍රයා කළේ. අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 130 යටතේ කමිටු සභාපතිට අපේ ඒ යුක්තිගරුක හා ලෝක සම්ප‍්‍රදායන් ක‍්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා. ඒත් මේකේ ආණ්ඩුවට හංගන්න දේවල් තිබූ නිසාත් තමන්ට  ඕනෑ දේ කරගන්න අවශ්‍යව තිබූ නිසා ඒවාට පයින් ගැහුවා.

ප‍්‍රශ්නය:- රැස්වූ මුල් දින හතරේදී තේරීම් කාරක සභාව තුළ සිදුවුණේ මොනවාද?

පිළිතුර:- එතුමියට අදාළ දෝෂාභියෝගයේ චෝදනා ගැන ලියකියවිලි හා සාක්ෂිකරුවන්ගේ ලේඛණ ආණ්ඩුවෙන් ඉල්ලමින් අපි අරගලයක් කළා. දෝෂාභියෝගය ගෙනාපු අයයි ඒක ඔප්පු කළ යුත්තේ කියලා අපි පෙන්නුවා. ඒත් ලියකියවිලි අපට ලැබුණෙ නෑ. අපි සෑහීමකට පත්විය යුතු බවයි මම කිව්වේ.

ප‍්‍රශ්නය:- නමුත් දෙසැම්බර් 05 රැස්වීමේදී දෝෂාභියෝගයට අදාළ ලියකියවිලි හා සාක්ෂි ලේඛණ ලැබුණෙ නැද්ද?

පිළිතුර:- තේරීම් කාරක සභාව රැස්වෙලා මාසයක් ගත වුණාට පසුව අදාළ ලියකියවිලිවලින් කොටසක් විතරයි අපට ලැබුණේ. ඒකෙන් ඇඟවෙන්නෙ කිසිම ලියකියවිල්ලක් නැතුවයි ආණ්ඩුව දෝෂාභියෝග චෝදනා හිතුමතේට හදල තියෙන්නේ. මේකට අන්ධ විදියට පාර්ලිමේන්තුවේ 117 ක් අත්සන් කරල තියෙන්නේ චෝදනා හෝ ලියකියවිලි නොදැක හිස් කොළවලට බවත් ඒ අනුව තහවුරු වෙනවා. දෝෂාභියෝගය දාපු ගමන් චෝදනා දැකපු ගමන් අග‍්‍රවිනිශ්චයකාරවරිය අස්වේවි කියල හිතලයි මෙහෙම කරන්න ඇත්තේ. මොකද දෝෂාභියෝගය අත්සන් කරන වෙලාවේ ලියකියවිලි තිබුණා නම් ඒවා අපට දෙන්න මාසයක් කල් ගතවෙන්නෙ නෑ.

දෙසැම්බර් 05 අපට ලියකියවිලිවලින් කොටසක් ලැබුණා වගේම තේරීම් කාරක සභාව එදා වැදගත් තීන්දු දෙකක් ගත්තා. දෙසැම්බර් 12 තෙක් දෝෂාභියෝගය විභාග කරන්නත් අයවැය අන්තිම ඡන්දය විමසා දෙසැම්බර් 08 ට කලින්දා එනම් 07 දා සිට මේ පරීක්ෂණවලට මාසයක් කල් ගන්නත් තීන්දු කළා. පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය නිසයි ඒ තීන්දුව ගත්තේ. ජනවාරි 07 ඉඳලා යලි මේ පරීක්ෂණය ඉදිරියට ගෙන යන්නත් තීන්දු කළා. කමිටු වාර්තාවේ 1467 පිටුවේ මේ බව සඳහන් වෙනවා. ඒ පළමු තීන්දුවයි. එදින ගත් දෙවැනි තීන්දුව වන්නේ දෝෂාභියෝගයට සාක්ෂිකාරයන් කැඳවන්නේ නැතිව ලියකියවිලි මත පදනම්ව පරීක්ෂණය ඉදිරියට ගෙන යාම සිදුවෙන බවයි. පිටු අංක 1505 ඒක සඳහන් වෙනවා. මේ තීන්දු දෙකම කමිටුවේ සාමාජිකයන් ඒකමතිකවයි ගත්තේ.

කමිටුවේ අපට ලියකියවිලි කොටසක් දෙසැම්බර් 05 දවල් ලැබුණේ. අග‍්‍රවිනිශ්චයකාර තුමියට ඒවා දුන්නේ පසුදා 06 දා සවස 4.30 ට යි. එතැන ලියකියවිලි 100 ක් එනම් කොළ දාහක් තිබුණා. ලියකියවිලි බාරගන්න ගමන් අග‍්‍රවිනිශ්චයකාරතුමිය හා ඇගේ නීතිඥ රොමේෂ් ද සිල්වා කිව්වේ හැම චෝදනාවක්ම බොරු බව අපට ඔප්පු කළ හැකි බවයි. ලියකියවිලි අධ්‍යයනයට ඔවුන් සති 05 ක් කල් ඉල්ලූවා. මේ ලියකියවිලි නිත්‍යානුකූලව ලබාගත් ඒවාත් නොවෙයි. සාක්කියක් ලෙස ලියකියවිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ එය නිත්‍යානුකූලව ලබාගත් එකක් නම් පමණයි. ඒත් දෝෂාභියෝගයට ඉදිරිපත් කළේ පස්ස දොරෙන් ලබාගත් ලියකියවිලියි. බැංකුවල ගිණුම් විස්තර නඩු තීන්දුවකින් විනා වෙනත් ක‍්‍රමයකින් එළියට දෙන්න බෑ. ඒත් බැංකු පස්ස දොරෙන් ඇයගේ ගිණුම්වල විස්තර ආණ්ඩුවට දී තිබෙනවා. ඒක සම්පූර්ණ වැරදියි. අනික ගිණුම්වල විස්තර දෝෂාභියෝගයට අත්සන් කළ මන්ත‍්‍රීවරු දැක්කා නම් ඒ මන්ත‍්‍රීවරුන් විශාල වරදක් කරල තියෙන්නේ. රොමේෂ් සිල්වා කිව්වා මේ ලියකියවිලි ගැන ප‍්‍රශ්නයක් තියෙනවා මේවා නිත්‍යානුකූල ඒවාද කියලත් ඔහු ප‍්‍රශ්න කළා.

 ප‍්‍රශ්නය:- අග‍්‍රවිනිශ්චයකාරවරියට කමිටුව ලබාදුන් පිටු 1000 ක් පමණ වූ ලියකියවිලිවලට පැය 24 ක් තුළ පිළිතුරු ලබාදිය යුතු බවට කමිටුව නියෝග කළාද?

පිළිතුර:- 06 දා සවස 4.30 ට ඇයට ලියකියවිලි දීලා 07 දා උදේ 10.30 ට කමිටුව රැස්වූ විට පිළිතුරු ඉල්ලූවා. පැය 24 ක් වත් ඉඩ ලබා දුන්නේ නෑ. සති 05 ක් කල් ඉල්ලලා කමිටුවේ ආණ්ඩු පක්ෂයේයි අග‍්‍රවිනිශ්චයකාරතුමිය හා නීතිඥයන් අතරයි ලොකු සංවාදයක් ගියා. අග‍්‍රවිනිශ්චයකාරතුමියට විතරක් නෙවෙයි ඒ නීතිඥයන්ටත් ආණ්ඩුවේ අය අපහාස කළා. බැන්නා. පහත් නින්දිත වචන පාවිච්චි කළා. ඇය කාන්තාවක්. ගමෙන් ආපු කෙනෙක්. අනික අග‍්‍රවිනිශ්චයකාරවරියයි. මේ කිසි දෙයක් නොසලකා ආණ්ඩුවේ අය කතා කළේ. ඒ වගේ පහත් නින්දිත අසාධාරණ අවස්ථාවක් මගේ ජීවිතේට දැකලා නෑ. ඒ අවස්ථාව තරම් ලජ්ජා හිතුණු දවසකුත් මට නැහැ. මෙහෙම රටකද අපි ඉන්නේ කියලත් හිතුණා. පැයකට වඩා පහත් විදියට ඇයට හා නීතිඥයන්ට බැන්නා. අපහාස කළා. කාන්තාවක වූ ඇය අග‍්‍රවිනිශ්චයකාරවරිය ලෙස පාර්ලිමේන්තුවට ආවාම ගනුදෙනු කරන ගෞරවණීය සම්ප‍්‍රදායක් තිබෙනවා. ඒවා ගැන නොදන්නා අයයි මේ විදියට හැසුරුණේ.  පාර්ලිමේන්තුවේ අය උත්තරීතරයි. කටින් කියල විතරක් මදි. හැසිරීමෙනුත් ඒක ප‍්‍රදර්ශනය කළ යුතු වෙනවා. ආණ්ඩුවේ අය කල් දෙන්න බැහැ කියන කොට අපි කිව්වේ කල් ඉල්ලීම නිවැරදි සම්ප‍්‍රදායයක් නිසා කල් ලබාදිය යුතු බවයි. ඒ අතරේ රාජිත හා විමල් ඇමැතිවරු මේ තේරීම් කාරක සභාවේ ඉඳීම ගැන ඇයගේ පාර්ශ්වයෙන් විරෝධතා මතු කළා. එතුමිය ඔවුන් දෙදෙනාට අදාළ අධිකරණ තීන්දු දී ඇති නිසා ඇයට එරෙහි කටයුත්තක් විනිශ්චය කරන්න ඔවුන් සුදුසු නැති බවයි කිව්වේ. නීතිඥයන්ට අයිතියක් තියෙනවා නඩුකාරයන්ට විරුද්ධ වෙන්න. එවිට ආත්ම ගෞරවයක් ඇති නඩුකාරයො ඒ නඩුවෙන් ඉවත් වෙනවා. ඒ සම්ප‍්‍රදායයි මෙතනදීත් ඇගේ නීතිඥයා මතු කළේ. ඒත් ඔය තේරීම් කාරක සභාවේ හිටපු සමහරු ඒවා දන්නවද දන්නෙත් නෑ. බැණපු විදියට ඇයගේ පාර්ශ්වයට දැනුණා කල් නොලැබෙනවා කියලා. ඒත් දෙසැ. 05 දා කමිටුව ගත් තීන්දු දෙකෙන් පළමු තීන්දුව වුණේ 07 දා ඉඳලා මාසයක් නිවාඩු ගන්නයි. ඒ තුළ ඇයගේ පාර්ශ්වය ඉල්ලපු සති 05 ක කාලය පහසුවෙන් ලබාදෙන්න තිබුණා. ඒත් ගමේ සමථ මණ්ඩලයේ විතරක් නෙවෙයි ආයතනයක අභ්‍යන්තර පරීක්ෂණයකදීත් කල් ඉල්ලූවාම ලබාදීම සාමාන්‍ය දෙයක්. ඒත් රටේ අග‍්‍රවිනිශ්චයකාරවරියට ඒ සාධාරණය ලැබුණෙ නෑ. 06 දා සවස 4.30 ට ලබාගත් ලියවිලි 1000 කට පසුදා උදේ 10.30 ට උත්තර ලබා දෙන්නැයි ආණ්ඩුවේ අය කරපු නියෝගයම කොච්චර අයුක්ති සහගත පහත් එකක් දැයි ළදරුවෙකුටත් තේරෙනවා.

  ප‍්‍රශ්නය:- එජාප යුගයේ 1984 දී අග‍්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන්ට එරෙහි දෝෂාභියෝගයේදී එජාපය ක‍්‍රියා කළේත් මේ විධියටම දරදඬු හා අයුක්ති සහගත ලෙස බව ඔබට අමතකද?

පිළිතුර:- කිසිසේත්ම නැහැ. 05 දා ආණ්ඩුවේ අය අගවිනිසුරුවරියට හා නීතිඥයන්ට පහත් ලෙස සලකන, කතා කරන අතරේ ඒ අතීතය අපි පෙන්වා දුන්නා. එදා 84 කමිටුවේ සභාපතිකම කළේ ලලිත් ඇතුලත්මුදලියි. එතුමා ඔක්ස්ෆර්ඞ් නීති විශාරදයෙක්. කසිප්පු හෝ හරක් හොරකම් නඩුවලට නොවෙයි එතුමා පෙනී සිටියේ. එදා කමිටුවේ හිටපු ලලිත් ඇතුළු අය නෙවිල් අග‍්‍රවිනිශ්චයකාරතුමාට හා ඒ නීතිඥයන්ට ඉතා ගරු සරුව සැලකුවා. කතා කළා. මාස 06 ක් ඒ දෝෂාභියෝගය විනීත ලෙස විභාග වුණා. නෙවිල් මැතිතුමා කළ කතාවක් ගැනයි ඒ දෝෂාභියෝගය ආවේ. එතුමා ඒක පිළිගත්තා. ඒ නිසා සාක්කි මෙහෙයවන්න තිබුණේ නෑ. නීති තර්කයි මාස 06 ක් ගියේ. කළ කතාවකට දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්ද කියලයි තර්ක මතු වුණේ. අන්තිමේ නෙවිල් සමරකෝන් අදහස් කළා එතුමා පසුව මාස කිහිපයකින් විශ‍්‍රාම ගියා. ජේ.ආර්. එදා ඒ කමිටුවට බලපෑම් නොකළ බවට හොඳම නිදසුන නෙවිල් සමරකෝන් නිදහස්වීමයි. ඒත් අද තත්ත්වය ඒකද? අග‍්‍රවිනිශ්චයකාරවරියට චෝදනාවලට උත්තර දෙන්න පැය 24 ක් වත් දුන්නෙ නෑ. ලංකාව ලෝකය පුරාම මිනී කන්නන්ගේ දේශයක් විධියට මේ වැඩ නිසා තවත් අනාථ වේවි.

 ප‍්‍රශ්නය:- ශිරාණි මැතිණියට අදාළව ලියකියවිලි මත තීන්දු දීමට තේරීම් කාරක සභාව ඒකමතිකව එකඟවී සිට ඇය ඉවත්වූ පසු සාක්ෂිකරුවන් 16 ක් කැඳවීම ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර:- දෙසැම්බර් 06 හවස 4.30 ට ලියකියවිලි ශිරාණි මහත්මියට දීලා පසුදා උදේ උත්තර ඉල්ලූවාම එතුමිය ඇතුළු පිරිස් කල් ඉල්ලලා ඒක නොලැබුණාම තේරීම් කාරක සභාවෙන් යන්න ගියා. පසුදා උදේ එනම් දෙසැම්බර් 07 දා විපක්ෂයේ අපි තේරීම් කාරක සභාවට ගියාම මෙන්න හදිසියේම සාක්ෂිකාරයො 16 ක් ගෙනැත් තිබුණා. සාක්ෂිකාරයො ගේන්නෙ නැති බවට ඒකමතිකව තීන්දුවක් අරන් එතුමිය ගියාට පසුව සාක්ෂිකාරයො ගෙන්වීම කොයිතරම් පහත් ලැජ්ජා නැති වැඩක්ද බලන්න. මේ දෙබිඩි පිළිවෙත ගැන අපි ඇහුවා. අග‍්‍රවිනිශ්චයකාරතුමියට සති 05 ක් කල්දීම ඉතා සාධාරණ නිසා ඒක කරමුයි අපි යෝජනා කළා. ආණ්ඩුවේ අය ඒක ප‍්‍රතික්ෂේප කළා. විත්තිකාරයා නැතිව අහන නඩුවකට අපි ඉඳලා මොකටද. මේ පාපයට අපට හවුල් වෙන්න බැරි බවත් කැකිල්ලේ තීන්දු දෙන තැනක ඉන්න බැරි නිසාත් විපක්ෂයේ හතර දෙනාත් තේරීම් කාරක සභාවෙන් අස්වුණා. මොකද ආණ්ඩුව තනි මතයට තීන්දු අරන් අපිත් සහාය දුන්නා කියල රටට බොරු කියාවි. කාරක සභාව ඇතුළේ වෙන දේවල් රටට පේන්නෙ නැති නිසායි මාධ්‍යවලට විවෘත කරන්න කියලා අපි මුලදිම ඉල්ලූවේ. ශිරාණි මහත්මිය හා විපක්ෂය එළවගන්නයි ආණ්ඩුවට  ඕනෑ වුණේ. ආණ්ඩුවට හංගන්න දේවල් තිබුණා. රහසේ තනියම චෝදනා විභාග කරලා කැකිල්ලේ තීන්දුවක් දෙන්න ක‍්‍රියා කළේ ඒකයි. ඇයට විරුද්ධව කෑලි අහුල ගත්ත චෝදනායි එල්ල කළේ. අන්තිමේ චෝදනා 05 ක් විභාග කරලා අනිත්වා ගැන වචනයක් කතා කළේ නෑ. තමන් කරපු ව්‍යාජ වැඬේ ආණ්ඩුව විසින්ම රටට ඔප්පු කළා. මේ දෝෂාභියෝගයේ වැරදි රැසක් තිබෙනවා. මේ ගැන දීර්ඝකාලීන නිසි පරීක්ෂණයකට ගියා නම් හිර වෙනවා. කුණු හරුප කියලා කට්ටිය එළව ගත්තේ ඒකයි. රටකට මෙහෙම යන්න පුළුවන්ද.

 ප‍්‍රශ්නය:- පිටු 1575 ක්වූ කමිටුවේ වාර්තාව ඒකපාර්ශ්වික හා රටත් ලෝකයාත් පිළිනොගන්නා නිසා දෝ මේ ගැන වෙනත් විමර්ශන කමිටුවකින් සොයා බලන බවට පසුව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කිරීම සුබවාදී නැද්ද?

පිළිතුර:- මේ ඒක පාර්ශ්වික කමිටු වාර්තාව සිහි බුද්ධිය ඇති කෙනෙක් පිළිනොගන්නා බව ස්ථිර නිසා අනාගත්ත දේ බේරගන්නයි ජනාධිපති ඒ ස්ථාවරයට තල්ලූ වුණේ. මේ කමිටුවේ හිටපු ආණ්ඩුවේ අය ඒකපාර්ශ්විකව තීන්දු කරන නිසා අපි ඉවත්වීම නිවැරදි බව ජනාධිපතිගෙ මේ තීන්දුවෙන් සනාථ වෙනවා. මේ කමිටු වාර්තාව විහිළුවක් වෙලා දැන් තියෙන්නේ. ජනාධිපතියි ආණ්ඩුවේ පැරණි වමයි විපක්ෂයේ නඩුකාරයොයි, නීතිඥයොයි, ලෝකයයි මේ රටේ ජනතාවයි ඔක්කොම කියන්නේ ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලායි.

එජාප නායකතුමා දෝෂාභියෝගය ගැන ඉතා නිවැරදි විග‍්‍රහය කළා. දෝෂාභියෝගයක් ගේන්න මන්ත‍්‍රීවරුන්ට පුළුවන්. තේරීම් කාරක සභාවට ඇඟිලි ගහන්න අධිකරණයට බැහැ. ඒත් ඇයට පොදු රාජ්‍ය මණ්ඩල නීති අනුව ඒ විනිශ්චයකාරවරු හරහා සාධාරණ පරීක්ෂණයක් ලබාදිය යුතු බවයි එතුමා කිව්වේ. ඒත් ඇතැම් මාධ්‍ය ආණ්ඩුවට කඬේ යන්න අන්තිම කාරණය හැංගුවා. එජාප නායකයා දෝෂාභියෝගයේදී ආණ්ඩුවට කඬේ යන බව ඇතැම් අය කියන්න ගත්තේ එතැනදීයි.

ප‍්‍රශ්නය:- ලංකාවේ දෝෂාභියෝග ගේන්නේ 78 එජාපය ගෙනා ව්‍යවස්ථාව අනුවයි. ඒ තුළ අද මේ දෝෂාභියෝග කි‍්‍රයාදාමය වැරදි බවට එජාපයට තර්ක කිරීමේ අයිතියක් තියෙනවද?
පිළිතුර:- 84 වෙනකොට මීට වසර 28 කට පෙර දෝෂාභියෝගය යනු එතෙක් අත්හදා බලා නැති දෙයක්. ලෝකය තුළ මේ කාලයේ මීට අදාළ බොහෝ දේ වෙනස් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බිහිවුණාම හැම රටකම ව්‍යවස්ථාවල අඩුපාඩු පෙන්වා දුන්නා. අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 ඒ ස්වභාවික යුක්තියට පටහැනි බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ තුළ සාධාරණ පරීක්ෂණයකට ඉඩ ඇහිරී ඇති බවත් කිව්වා. ඒ 2002 දීයි. එවකට අගමැති රනිල් එක්සත් ජාතීන්ට පොරොන්දුවක් දුන්නා දෝෂාභියෝගයක් ආවොත් අධිකරණ ක‍්‍රියාදාමයකට යටත් කරනවා කියලා. එවකට සොලිසිටර් ජනරාල් හරහායි ඒ පොරොන්දුව ලබාදුන්නේ. 2003 පොදු රාජ්‍ය මණ්ඩල හරාරේ සම්මුතිය ආවා. එජාපය ඊට එකඟ වුණා. ඒ සම්මුතියෙන් කියවුණේ ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක විනිශ්චයකාරවරයෙකු අයින් කරනවා නම් ස්වාධීන නීති විශාරදයන්ගේ පරීක්ෂණයක් කළ යුතු බවත් ඔවුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල විනිශ්චයකාරයන් වෙනවා නම් වඩාත් හොඳ බවයි. ඒ අනුවයි සරත් සිල්වාට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කරන්න එජාප ආණ්ඩුව එවකට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ෆයිස් මුස්තාපා හරහා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ස්වාධීන විනිශ්චයකාරවරු ඉල්ලූවේ. එජාපය ඒ විධියට ඉතා සාධාරණවයි ක‍්‍රියා කළේ.

සංවාද මෙහෙවර අශෝක ජයතුංග

උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවිය

http://www.lankadeepa.lk/index.php/articles/89211

 

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment