බමුණන්ට අන්ත පරාජයක්‌

Jan 20th, 2013 | By | Category: EDITOR'S CHOICE

තවත් වසන්තයක්‌ හේමන්තයක්‌ බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නොවේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේදී ක්‍රිකට්‌ වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකිය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස්‌ දංගෙඩියට යෑවීමට හැකි සියල්ල කරනු ඇත. ඒ අතර බටහිරයන් ආණ්‌ඩුවට බලපෑම් කර ආණ්‌ඩුව වැට්‌ටවීම සඳහා ආර්ථික සම්බාධක පැනවීමට ද අවශ්‍ය වුවහොත් නේටෝ සංවිධානය හෝ වෙනත් සංවිධානයක්‌ හෝ ඔස්‌සේ ආක්‍රමණයක්‌ ඇතිකිරීමට වුවද පසුබට නොවනු ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය හොබවනතාක්‌ ඒ මහතා ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණයක්‌ ඉදිරියට ගෙන යැමේ අපහසුතාවක්‌ ඇත. එබැවින් බටහිරයන්ට ඒ මහතා පළමුවෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව වෙයි. සියලු වසන්ත, සම්බාධක, ආක්‍රමණ ඒ සඳහා වෙයි. මේ එකක්‌වත් කුමන්ත්‍රණ නොවේ. ඒ බටහිරයන් තමන් අකමැති ආණ්‌ඩු සම්බන්ධයෙන් ගන්නා පියවර වෙයි. ශ්‍රී.ල.නි.ප. ජාතිකත්වයේ පක්‍ෂය වුවද මේ ආණ්‌ඩුව ද අනෙක්‌ ශ්‍රී ල නි ප ආණ්‌ඩු මෙන් ම මුළුමණින් ම ජාතිකත්ව ප්‍රතිපත්ති පිළිපදින ආණ්‌ඩුවක්‌ නොවේ. එයට ප්‍රධාන හේතුව මෙරට උගතුන් යෑයි කියාගන්නා අනුකාරක බමුණන්ට ජාතිකත්ව ප්‍රතිපත්ති සකස්‌ කිරීමට ඇති නො හැකියාව ය. බමුණු කුලයට කළ හැක්‌කේ ලිබරල් හෝ මාක්‌ස්‌වාදී හෝ වෙනත් බටහිරවාදී හෝ මතවාද පුනරුච්චාරණය කිරීම පමණකි. කෙසේ වුවත් එ ජා ප ආණ්‌ඩු මෙන් නොව ශ්‍රී ල නි ප ආණ්‌ඩු ඇතැම්විට බටහිර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරයි. ඒ සමග බමුණු කුලයේ ඇතැම්හු ද පෞද්ගලික හෝ ජාතික හෝ හේතු නිසා ආණ්‌ඩුව සමග එකතු වෙති. ඒ ව්‍යතිරේක වෙයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව බටහිරයන්ට හා ඉන්දියාවට එරෙහිව ජාතිකත්ව මතවාදයක පිහිටා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළේ ය.

බටහිරයන් හා ඉන්දියාව (විශේෂයෙන් ම රෝ සංවිධානය) ආණ්‌ඩුව වැට්‌ටවීමට වලිකන්නේ එබැවිනි. එහෙත් ඔවුහු ඒ බවක්‌ නොකියති. ඔවුන් හා බමුණු කුලය ඒ වෙනුවට කියන්නේ ඊනියා යහපාලනය, භාෂණයේ නිදහස, අධිකරණයේ ස්‌වාධීනත්වය, බහුවිධත්වය ආදිය මේ ආණ්‌ඩුව යටතේ නැති බව ය. මේ කිසිවක්‌ ලෝකයේ කොහේවත් නැත. මේ හුදු වචන පමණ ය. වත්මන් ලෝකයෙහි චක්‍රවර්තී රාජ්‍ය හෝ දශරාජ ධර්මය හෝ දකින්නට නැත. එසේ වීමට ඇති සම්භාවිතාව ශුන්‍යයට ආසන්න වුවත් යම් අයුරකින් ඊළඟ මැතිවරණයෙහි දී එ ජා ප බලයට පත්වුවහොත් ඇතිවන ආණ්‌ඩුවෙන් යහපාලනයක්‌ බලාපොරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමකි. අධිකරණයේ ස්‌වාධීනත්වය ගැන ද කිවහැක්‌කේ එවැන්නක්‌ පමණ ය. එක්‌ තුණ්‌ඩු කෑල්ලෙන් රටම අකර්මන්‍ය කළ ජ. වි. පෙරමුණට සම්මජාතියේ බලය නොලැබෙන බැවින් ඔවුන් ගැන හෝ විවිධ ත්‍රිරෝද පක්‍ෂ ගැන හෝ සඳහන් කිරීම අනවශ්‍ය ය. අවුරුදු හයසියයකට පමණ පසු රට එක්‌සේසත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා හැකිතාක්‌ කල් ජනාධිපති ධුරයේ රඳවා ගත යුත්තේ ඒ මහතාට වඩා ජාතිකත්වයකින් බටහිරයන්ට මුහුණදිය හැකි දේශපාලන නායකයකු පේන තෙක්‌ මානයක නොමැති වීමත් බටහිරයන් ඒ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කර ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන යැමට අරඇඳීමත් නිසා ය. ඒ සන්දර්භයෙහි ඒ මහතාට තවත් වරක්‌ ජනාධිපති ධුරයට තරග කළ හැකි අයුරින් 18 වැනි සංශෝධනයක්‌ සම්මත කිරීම බොරු යහපාලනයක්‌ ගැන විශ්වාසයක්‌ නැති මට ප්‍රශ්නයක්‌ නො වේ. ඒ මහතා තවත් වරක්‌ ජනාධිපති ධුරයට පත්කිරීමෙන් බටහිරයන්ට හා බමුණන්ට අතුල් පහරක්‌ දීමට මෙරට පොදු ජනයාට හෙවත් සාමාන්‍ය ජනයාට හැකියාව තිබිය යුතුය. බහුවිධත්වයක්‌ ගැන කතාකරන බමුණෝ අධ්‍යාපනයෙහි කිසිදු බහුවිධත්වයකට ඉඩ නොදෙති. මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ අධිපතිවාදී බටහිර දැනුම පමණකි. සිංහල වෙදකම සිංහල ගොවිකම ආදිය ඉගැන්වෙන ආයතන මෙරට නැත. අපේ දැනුම මිථ්‍යාවන් යෑයි කියමින් ඊනියා යථාර්ථවාදී වාස්‌තවිකවාදී බටහිර විද්‍යාවක්‌ පමණක්‌ උගන්වන බමුණන් බහුවිධත්වයක්‌ ගැන කතාකරන්නේ පුන නූල පමණක්‌ ඇතිව ය.

ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස පත්කරනු ලැබුයේ ඇගේ අතීත වාර්තාව නොදැන යෑයි කිව නොහැකි ය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරියක වූ ඇය ජී. එල්. පීරිස්‌ මහතා උපකුලපතිව සිටි සමයේ නීති පීඨයේ පීඨාධිපතිනිය බවට ද පත්වූවා ය. ඇය ශේ්‍රෂ්ඨාධිකරණයට පත්කෙරුණේ ද ඒ මහතා ඇමැතිවරයකුව සිටි සමයේ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. ඇය එඩිතර සටන්කාමී අයකු ලෙස ප්‍රසිද්ධියක්‌ නොදැරී ය. ඇය බලය විමධ්‍යගත කිරීමට පක්‍ෂව ලිපි ලියා තිබිණි. ඇය අගවිනිසුරුවරිය වන විට ඇගේ සැමියා පිළිබඳ ආණ්‌ඩුව නොදැන සිටියා ද නොවේ. ඒ කිසිවක්‌ එදා ආණ්‌ඩුවටවත් ඇයටවත් තීරණාත්මක හෝ වැදගත් හෝ නොවීය. ඇය ආණ්‌ඩුවත් සමග විරසක වූයේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය පසුගිය වසරේ දිවි නැඟුම පනතටත් ඉසෙඩ් ලකුණු විනිශ්චයටත් පෙර සිදුවී යෑයි විශ්වාස කළ හැකිය. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය ඇයගේ තීන්දුව විසින් අවුල් කෙරිණි. එය අවුල් කළ අනෙක්‌ අය වූයේ තටිල් මහතා ජෝසෆ් ස්‌ටාලින් මහතා ආදීන් ය.

වෙනත් වසරවලට වඩා පන්දහසක්‌ පමණ සිසුන් වැඩිපුර සරසවිවලට ඇතුළත් කරගැනීමට සිදුවී ඇත්තේ 2011 උසස්‌ පෙළ පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන් දක්‍ෂයන් වීම නිසා නොව අධිකරණ තීන්දුවේ අවුල් ස්‌වභාවය නිසා ය. එහෙත් ඇය ඉතා සටන්කාමී ලෙස දෝෂාභියෝගයට මුහුණ දුන්නා ය. ඇයට එහි දී බමුණු කුලයේ හා බටහිරයන්ගේ නොමඳ සහාය ලැබී ඇති බව පැහැදිලි ය. ඉදිරියටත් ඒ සහාය ඇයට ලැබෙනු ඇත. ඇයට බටහිරයන් ආසියාතිකයන්ට දෙන උසස්‌ රැකියාවක්‌ ලබාදෙනු ඇත. ඇය දෝෂාභියෝගයකින් ඉවත් කරනු ලැබූවකු වීම ඇයට කැලළක්‌ නොවනු ඇත්තේ කැළැල් තීරණය කෙරෙන්නේ ද බටහිරයන් අතින් වීම නිසා ය. කෙසේ වෙතත් පසුගිය වසරේ යම් දිනයක බටහිරයන් විසින් ඇය දිනාගනු ලැබ ඇති බව පැහැදිලි ය. ඒ ඇය අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමෙන් පසුව ය. බටහිරයන් සරත් ෆොන්සේකා දිනාගත්තේ ඔහු විශ්‍රාම යැමෙන් පසුවය. ඔහුට විරුද්ධව ඇමරිකාවේ අධිකරණයක තිබූ යුද්ධාපරාධ නඩුවක්‌ අස්‌කරගනු ලැබූයේ ඔහු ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ බටහිරයන්ගේ සාක්‍ෂිකරුවකු කිරීමට හා ජනාධිපති අපේක්‍ෂකයකු බවට පත්කිරීමට ය. මේ බව අපි ඒ දිනවල කියා ඔහු අත්අඩංගුවට ගතයුතු බව කීවෙමු. ශිරාණි බණ්‌ඩාරනායක බමුණන්ගේ සහාය ඇතිව බටහිරයන් විසින් දිනාගනු ලැබූයේ ඇය විශ්‍රාම යැමට ද කලිනි. ඉන්පසු බමුණෝ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඇගේ අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය මගින් ආණ්‌ඩුවට අභියෝග කළහ. ඒ අලුත්කඩේ වසන්තය සඳහාය. එතරම් එඩිතර කාන්තාවක ලෙස ප්‍රසිද්ධ නැති ඇය ජනාධිපති ආරාධනා ප්‍රතික්‍ෂේප කිරීමට ඉදිරියට පැමිණියා ය. අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය (විධායකය) අතර කිසිදා තරගයක්‌ නො වී ය. බමුණෝ තමන් හා පොදු ජනයා ලෙස බණ්‌ඩාරනායක මහතා විසින් හඳුන්වනු ලැබූ සාමාන්‍ය ජනයා අතර ආධිපත්‍යය සඳහා වූ අරගලය වසන් කිරීමට එවැනි තරගයක්‌ මැවූහ. ජනාධිපතිතුමා පොදු ජනයා නියෝජනය කළේ ය.

මෙරට ව්‍යවස්‌ථාවට අනුව අධිකරණ බලතල ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන ආයතන හා වෙනත් ආයතන පාර්ලිමේන්තුව විසින් එහිදී යොදාගැනෙන උපකරණ පමණකි. 4 (ඇ) ව්‍යවස්‌ථාවෙහි ඒ බව පැහැදිලිව සඳහන් වෙයි. ඉහළ උසාවිවල විනිසුරුවන් පිළිබඳ අධිකරණ බලතල ඔවුන්ට ම දිය නොහැකි ය. ඔවුන්ට අනෙක්‌ අයගේ නඩු ඇසිය හැකි වුවත් තමන්ගේ වෘත්තීය දෝෂ පිළිබඳ නඩු ඇසිය නොහැකි ය. විනිසුරුවන් පිළිබඳ නඩුවකදී ඔවුහු සාමාන්‍ය පුරවැසියෝ නොවෙති. එබැවින් ඔවුන් සම්බන්ධ නඩු (පෞද්ගලික නඩු නොවේ) ඇසීමට වෙනත් ආයතනයක්‌ තිබිය යුතු ය. ඒ ආයතනයේ තීන්දුවලට එරෙහිව ඔවුන්ට කිසිවක්‌ කළ හැකි නො වේ. ඒ ආයතනය 107 (2) ව්‍යවස්‌ථාවෙහි සඳහන් වන පරිදි ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ය. එහිදී පාර්ලිමේන්තුව අදාළ විනිසුරු වැරැදිකරුද නිවැරැදිකරුද යන්න තීරණය කරන අතර ජනාධිපතිතුමා විනිශ්චය (තීන්දුව) ලබාදෙයි. 107 (3) ව්‍යවස්‌ථාවෙන් කියෑවෙන්නේ පාර්ලිමේන්තුව නීතිය (එනම් පනත්) මගින් හෝ ස්‌ථාවර නියෝග මගින් අදාළ අන්වේෂණය හා චෝදනා සාධනය සඳහා සැලසුම් කළ යුතු බව ය. 107 (2) මෙන් ම 107 (3) ද මෙරට උපරිම නීතිය වෙයි.

80 වැනි ව්‍යවස්‌ථාව යටතේ කිසිම උසාවියකට සම්මත වී ඇති පනත් අභියෝගයට ලක්‌කළ නොහැකි ය. 107 (3) සම්මත වී ඇති නීතියකි. එය අභියෝගයට ලක්‌කිරීමට සංශෝධනය කිරීමට උසාවියට නො හැකි ය. 107 (3) ට අනුව ස්‌ථාවර නියෝග මගින් වුවද පාර්ලිමේන්තුවට අන්වේෂණය හා සාධනය සඳහා සැලසුම් කළ හැකි බව ය. ස්‌ථාවර නියෝග නීතිය නොවන නමුත් දෝෂාභියෝග සඳහා 107 (3) යටතේ ස්‌ථාවර නියෝග යොදාගැනීම නීතියට එකඟ ය. නීතියට එකඟව ක්‍රියාකිරීම නීත්‍යානුකූල නොවන්නේ කිනම් නීතියක්‌ හෝ න්‍යායයක්‌ හෝ අනුව දැයි අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ විනිසුරුවෝ ද, නීතිඥ බමුණෝ ද වෙනත් බමුණෝ ද බමුණු උපකුලකයක්‌ වූ ජඩමාධ්‍යකරුවෝ ද පවසත් ද? අනෙක්‌ අතට 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බිත්ති හතර තුළ සිදුවන ක්‍රියා උසාවියක දී අභියෝගයට ලක්‌කළ හැකි නො වේ.

මෙරට රිට්‌ ආඥ නිකුත් කරන්නේ බිරිතානි සම්ප්‍රදාය අනුව ය. පසුගිය අවුරුදු සියගණනක්‌ තුළ බිරිතානි අධිකරණයක්‌ පාර්ලිමේන්තුවට රිට්‌ ආඥවක්‌ නිකුත් කර නැත්නම් එයින් කියෑවෙන්නේ පාර්ලිමේන්තුවට එවැනි ආඥ නිකුත් කිරීමට බලය නැති බව මිස එක්‌ ජඩමාධ්‍යකරුවකු කී අන්දමට අපට අනුගමනය කිරීමට සම්ප්‍රදායක්‌ නැති බව නොවේ. විනිසුරුවන් සම්බන්ධ වෘත්තීය නඩුවලදී ඒ සඳහා 107 (2) න් වෙනම ආයතනයක්‌ පිළිගැනී ඇත්තේ විනිසුරුවන්ට ඒ සඳහා කිසිදු බලයක්‌ නොමැති බැවිනි. අභියාචනාධිකරණයට දෝෂාභියෝග නඩුවල විනිශ්චය දීමට නොහැකි ය. අදාළ විනිසුරුවන් කළ යුතුව තිබුණේ ඉදිරිපත් වූ පෙත්සම් ඉවතලීම ය. ඔවුන් එසේ කරනු වෙනුවට සැලැස්‌මකට අනුව ක්‍රියාකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 107 (3) පිළිබඳ අර්ථනිරූපණයක්‌ ඉල්ලා සිටි බව පෙනී යයි. ශ්‍රේෂ්ඨාධිකරණය ද එය ඉවතට දැමිය යුතුව තිබූ නමුත් පාර්ලිමේන්තු බලතල පවරා ගනිමින් 107 (3) සංශෝධනය කර නීතිය මගින් පමණක්‌ සැලසුම් කිරීමට හැකි යෑයි තීන්දු කළේ ය. මේ වැරදි තීන්දුවලට එරෙහිව පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නම් එය 107 (2) ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වනු ඇත. පාර්ලිමේන්තුවට කළ හැකිව තිබුණේ ඒ තීන්දු ප්‍රතික්‍ෂේප කිරීමත් අදාළ විනිසුරුවන්ට එරෙහිව දෝෂාභියෝග ගෙන ඒමත් ය. දෙවැන්න කෙරේ දැයි අපි නො දනිමු. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ව්‍යවස්‌ථාවට අනුව විනිසුරු දෝෂාභියෝග සම්බන්ධයෙන් පොදු ජනයාගේ හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ය. අද පොදු රාජ්‍ය මණ්‌ඩල සභා, ඊනියා අන්තර්ජාතික ජුරි ආදිය හරහා අප රටට බලපෑම් කිරීමට බටහිරයෝ සූදානම් වෙති. එහෙත් මේ බලපෑම්වලට ආණ්‌ඩුව යටත් නොවනු ඇත්තේ සාමාන්‍ය ජනතාව තවමත් ආණ්‌ඩුව සමග බැවිනි. මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන රැස්‌වීම් ආණ්‌ඩුව තුට්‌ටුවකටවත් මායිම් කර නැත. එයට ආණ්‌ඩුවට අපේ ප්‍රශංසාව හිමිවෙයි. බමුණන් ඊනියා ජාත්‍යන්තරය හරහා කුමක්‌ බලාපොරොත්තු වුවත් කළ හැකි කෙන්ගෙඩියක්‌ නැත.

ඉරිදා දිවයින පුවත්පතේ නලින් ද සිල්වාගේ දැක්ම විශේෂාංගයෙන් උපුටා ගන්නා ලදී.

http://www.divaina.com/2013/01/20/nalin.html

Recent Posts

Tags: , , , , ,

Leave a Comment