විජාතික කුමන්ත්‍රණය පරදවන්නේ මෙහෙමයි

Jan 26th, 2013 | By | Category: දේශපාලන

[උපුල් කුමරප්පෙරුම]

අද රටේම ඇති ප්‍රධාන අභියෝගය ජාත්‍යන්තර ප්‍රජාව රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම යයි ආණ්ඩුව කියයි. ආණ්ඩුව කියන්නේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමේ කාර්යයට මේ රටේ කොටසක්ද සම්බන්ධ බවයි. ජාත්‍යන්තර ප්‍රජාව රට දිහා බලාගෙන ඉන්නේ ඇයිදැයි යන්න සොයා බැලීම වැදගත් වේ.

අතීතයේ පටන් ජාත්‍යන්තරය අපගේ කටයුතු වලට මැදිහත් වුයේය. නිදහසෙන් පසු අප විවිධ ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකයකු බවට පත් වුයේය. ජාත්‍යන්තර සම්මුතීන්, ජාත්‍යන්තර නීතීන් පිළිගනිමින් ඒවාට අත්සන් කරමින් අප ද ජාත්‍යන්තරයේ කොටසක් බවට පත්වුණේය. මේ සම්මුතීන් සංවිධාන පිළිගැනීමෙන් අපද වගකිවයුතු රටක් බවට ලෝකයාට පෙන්වූයේය. ඵසේම මෙසේ අප ජාත්‍යන්තර සමාජයේ කොටස්කරුවකු වීම තුලම ඵ් සමාජය ව්සින් පිලිගනු ලැබ භාවිතයේ පවතින සමාජ පාලන නීතිරීති සහ ක්‍රමවේදයන්ට ගරු කිරීමෙී වගකීමක් අප හට ඇති විය. මේ සියලු සංකල්පයන් පැමිණෙන්නේ රටක පාලකයන්ට තනිව තම හිතුමනාපයට රටක් පාලනය කල නොහැකිය යන සිද්ධාන්තය සමගය. අප අත්සන් කරනු ලැබු සියලු සම්මුතීන්,ප්‍රඥාප්තීන් වලින් අප පිලිගෙන ඇත්තේ මේ රටෙහි ජනතාව මෙන්ම සකල වැසියා කෙරෙහිම රාජ්‍යයක් වශයෙන් අප වගකීමක් ඇති බවයි. මේ සම්මුතීන්, ප්‍රඥාප්තීන් මගින් රාජ්‍යයේ පාලකයන් සදාචාරාත්මක ආධිපත්‍යයකින් (Moral Authority) යටත් කොට ඇත්තේය. රටක පාලකයාගේ පාලනය මේ සදාචාරාත්මක ආධිපත්‍යය මගින් පාලනය කරන තත්වයක් ඇති කොට ඇත්තේය. එම ක්‍රායාවලියෙහි පරමාර්ථය නම් පාලකයෙකු නීත්‍යනුකූලව රටක පාලනය ගෙනයායුතු බවට පාලකයාට ඒත්තු ගැන්වීමයි.

අද රටේ නිතර දෙවේලේ ඇසෙන ප්‍රධානතම දෝෂාරෝපණය වී ඇත්තේ විජාතික දේශපාලන කුමන්ත්‍රණ හරහා රට අස්ථාවර කිරීමේ සැළැස්මක් ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට මේ රටේ ඒජන්තවරුද සම්බන්ධ වී ඇති බවයි. සලකා බැලිය යුත්තේ විජාතික බලවේගයකට මැදිහත් වීමේ හැකියාවක් ලැබෙන්නේ කෙසේද යන්නයි. විජාතික බලවේගයකට එසේ රටේ අභ්‍යන්තරයට බලපෑම් කිරීමේ හැකියාව ලැබෙන්නේ ජනතා හිතවාදී නොවන දේශපාලන තත්වයක්, නීතියේ කඩා වැටීමක් වැනි තත්වයකට රටක් පත්වී ඇති අවස්ථාවකය. මෙය ඓතිහාසික නිදර්ශන මගින් පැහැදිලි කිරීම ප්‍රශ්නය වඩා සරළ කරයි.

අප ඉතිහාසයට අනුව චූලෝදර සහ මහෝදර නා රජවරුන් මැණික් පුටුවකට යුද්ධයක් ආරම්භ කළහ. යුද්ධය ආරම්භයත් සමග ඇතිවූ අස්ථාවරභාවය, ජීවිත විනාශය දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමකොට චූලෝදර සහ මහෝදර රජවරුන්ට එකී යුද්ධයෙන් සිදුවන ආදීනව අවබෝධ කරවමින් ධර්මය දේශනා කරන ලද අතර එකී දේශනාවලින් අනතරුව චූලෝදර සහ මහෝදර යුද්ධය අවසන් කිරීමට කටයුතු කළහ.

තවත් නිදර්ශනයක් ලෙස මහින්දාගමනය සැලකිය හැකිය. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණෙන්නේ බෞද්ධ දර්ශනය ලංකාවේ ස්ථාපිත කිරීමටය. මිහිදු මහ රහතන් වහන්සේට රටෙහි රජතුමන් හමුවන්නේ රජුන් දඩ කෙළියේ යමින් සිටියදීය. මිහිදු මහ රහතන් වහන්සේ දඩ කෙළියේ යන දෙවන පෑතිස් රජතුමන්ට පවසන්නේ ඔහු මේ රටේ භාරකරු බවත් මේ රටේ සතා සිවුපාවන් ගහකොළ ඇතුලු සියලු දේ රැකීමේ වගකීමක් ඔහුට ඇති බවත් රටේ රජු ලෙස රටෙහි සම්පත් විනාශ කිරීමට අයිතියක් ඔහුට ලැබී නොමැති බවත්ය.

අද දේශපාලන සන්දර්භය තුළ පෙරකී සිද්ධින් සිදුවූයේ නම් බුදුන් වහන්සේ සහ මිහිදු මහ රහතන් වහන්සේ විදේශ රටක ප්‍රශ්නයකට මැදිහත් වන බවට චෝදනා නැගෙනු ඇත. චූලෝදර මහෝදර ප්‍රශ්නය මේ රටේ අභ්‍යන්තර ගැටලුවක් බවට ප්‍රකාශ කරනු ඇත. මිහිදු මහ රහතන් වහන්සේ මහජන භාර සිද්ධාන්තය ප්‍රකාශ කිරීමෙන් රාජ උදහසට ලක්වීමේ හැකියාවක් ඇත. එසේම ඉන්දියාව අනවශ්‍යය ලෙස අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වන බවට චෝදනා කරනු ඇත. මෙම නිදර්ශන දෙකම සැළකීමේදී කිව හැක්කේ බුදුන් වහන්සේ සහ මිහිදු මහ රහතන් වහන්සේ යන ශාස්තෘන් දෙදෙනාම සදාචාරාත්මක ආධිපත්‍යයකින් කටයුතු කර ඇති බවයි. ඵසේම මෙම සිද්ධි දෙකෙහිදීම පාලකයන් ඵම සාදාචාරාත්මක ආධිපත්‍යට ගරු කීරීමට තරම් සදාචාර සම්පන්න නායකයෝ වූහ. අතීතයේ පටන් සදාචාරාත්මක ආධිපත්‍යය යන සංකල්පය දියුණු ශිෂ්ටාචාරවල පැවතී ඇති බවට මේ නිදසුන් වලින් පැහැදිලි වේ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග ඵක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවෙන්නේය. සදාචාරාත්මක ආධිපත්‍යය යන සංකල්පය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය ඔස්සේ ලෝකය පුරා ප්‍රචලිත කරවන්නේය. මානව හිමිකම් හඳුන්වාදීම , මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය හඳුන්වා දීම සාමාජික රටවල් මෙයට අත්සන් කිරීම තුල ඵ් රටවල පාලකයන්ව ඔවුන්ගේ ක්‍රියාවන්ට ලෝකයට වගකිව යුතුය යන හැඟීම මගින් ඇති කර ඇත්තේය. රටක පවතින නීති ක්‍රමයට අමතරව විශ්ව නීතියකින් රටක් බැඳ තැබීමෙන් විශ්ව නීතිය රටෙහි සදාචාරාත්මක ආධිපත්‍යය දරන්නා බවට පත් කර ඇත.

රටක පාලනය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් පැමිණෙන අවස්ථාවකදී අද මේ රටේ ඇතැම් අය පිළිලයක් ලෙස සලකන ජාත්‍යන්තර ප්‍රජාව ඵම රටට බලපෑම් කරන්නේ ඵකී විශ්ව නීතිය නම් රාමුව තුළට ඵම රට තල්ලු කර ගැනීමටය. අපේ මෑත ඉතිහාසයේදී මේ තත්වයට උදාහරණ රාශියක් සපයා ඇත.

ප්‍රේමදාස පාලන සමයේදී ඵකල රජය ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වග විභාගයක් නැතිව ඝාතනය කල අවස්ථාවේදී ඵම ජන සංහාරයට ලාංකික නීති ක්‍රමය තුල නිසි පිලිසරණක් සොයා ගත නොහැකි වු තැන එවකට විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි අද ජනාධිපති මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් සහ සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු මහත්මීන් ජිනීවා ගොස් තම අවනඩුව ඡාත්‍යන්තර ප්‍රජාවට පවසන්නේ ඔය කියන සදාචාරාත්මක ආධිපත්‍යය යොදා ගනිමින් පාලනයේ හිතුවක්කාරී ස්වභාවය මෙල්ල කිරීමටය. ආණ්ඩුවක් හිතුවක්කාරී ලෙස ක්‍රියා කරද්දී, රටේ නීතියට නොබැඳී ආණ්ඩුවක් කටයුතු කරද්දී ඵ් ආණ්ඩු පිලිපදින බවට අත්සන් කර පොරොන්දු වූ ලෝක පාලන නීතිය අනුව කටයුකු කරන ලෙසට එම ආණ්ඩුවට බලපෑම් කිරීමට ජාත්‍යන්තරයට හැකියාවක් ඇත්තේය. මේ ගමන යද්දී මහින්ද රාජපක්ෂ මහතා දේශ ද්‍රෝහියෙක් ලෙස ලේබල් කළේය. රට පාවාදෙන බවට චෝදනා කළේය. කටුනායක ගුවන් තොටු පොලේදී හිරිහැරයන්ට භාජනය කළේය. රටෙහි නීතියෙහි පිළිසරණක් නැති තැන තම රට රැක දෙන්න යයි ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය. ඔහු සහ වාසු ජිනීවා යන්නේ රටෙහි නීතිය යළිත් ස්ථාපනය කිරීමේ උදාර අරමුණ සිත්හි තබාගෙනය.

මෑත කාලයේ මේ රටටද ඔය කියන ජාත්‍යන්තර බලපෑම් ප්‍රබල ලෙස ඵල්ල වන්නට විය . මේ බලපෑම රජය දකින්නේ ඡාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා රජය පෙරලා රට අස්ථාවර කොට ඵල්. ටී. ටීඊයට වෙනම රාජ්‍යයක් ලබා දීමට කරන කුමන්ත්‍රණයක් ලෙසය. සිද්ධි වශයෙන් සමහරෙක් අරගෙන බැලුවහොත් ඡාත්‍යන්තර බලපෑම ඇති වී ඇති සිද්ධීන් සමග රජයේ ස්ථාවරයෙහි ගැලපීමක් ඇත්ද යන්න සොයා බැලිය යුතුය.

ත්‍රිකුණාමලයේ ළමුන් පස්දෙනා ඝාතනය සහ මුතූර්හි රාජ්‍යය නොවන සංවිධාන සාමාජිකයන් ඝාතනය යන සිද්ධි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් කරන්නේ ලංකාවේ මේ සිද්ධි සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවුනේය යන චෝදනා නිසාය. නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කලේ නම් , අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙනාවේ නම් නඩු විභාගයක් පැවැත්වුයේ නම් ඔය කියන බලපෑම රජයට ඵල්ල වේද යන්න සැක සහිතය.

යුද්ධයෙන් පසු යුද්ධය ,යුද්ධයට හේතුව සහ පශ්චාත් යුධ ප්‍රතිසංස්කරණ ක්‍රම වේදය සොයන්නට රජය කොමිසමක් පත් කළේය. කොමිසම බොහෝ දේ විභාග කලේය. වාර්තාවක් සැදුවේය. නිර්දේශ ඉදිරිපත් කලේය. අද ජාත්‍යන්තර බලපෑම ඇති වී ඇත්තේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට බල කරමිනි. කොමිසමේ නිර්දේශ සද්භාවයෙන් ක්‍රියාත්මක කළේ නම් ජාත්‍යන්තරයට කියන්න දෙයක් ඉතිරි වන්නේ නැත. පසුගිය දින වල හිටපු අග්‍රවිනිශ්චකාරවරියට ඵරෙහිව දෝශාභියෝගයක් පැවතිනි. ඇය ඇයට සාධාරණ නඩු විභාගයක් නොලැබෙන බව පවසමින් ඵයින් ඉවත් වුවාය. පසුව ඇය වැරදිකාරිය කොට ගෙදර යැවීය. පසුව සමස්ථ ක්‍රියාදාමයටම විරුද්ධව දැඩි ජාත්‍යන්තර බලපෑමක් ඵල්ල වූයේය. නිසි ක්‍රියාදාමයක් උපයෝගී කරගෙන ඇයට විරුද්ධව නඩු විභාගය පවත්වන ලෙසට බලපෑම් ඵල්ල කළේය. සලකා බැලිය යුතු ප්‍රධාන සාධකය වන්නේ නිසි ක්‍රියාදාමයක් තුල ක්‍රියාත්මක වුයේ නම් ඔය කියන ජාත්‍යන්තර බලපෑම් ඵල්ල කිරීමට හැකියාවක් ජාත්‍යන්තරයට තිබුනේද යන්නය.

ඉහත උදාහරණ සැලකීමේ දී පෙනීයන්නේ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්වීම් සහ බලපෑම් සිදුවන සෑම අවස්ථාවකදීම ඵසේ ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑමක් ඵල්ල කීරීමේ හැකියාව ඇති කරන ක්‍රියාදාමය රජය විසින් සිදු කර ඇති බවයි. ඵසේම ජාත්‍යන්තර ප්‍රජාව ගේ මැදිහත්වීම සහ බලපෑම කුමන ආකාරයේ මැදිහත් වීමක්ද බලපෑමක්ද යන්න සොයා බැලිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රේමදාස පාලන සමයේ ජිනීවා ගොස් ලංකාවේ ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලේ ප්‍රතිඵලය වන්නේ ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඝාතන නතර කිරීමට රජයට බල කිරීමත් වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස රජයට බල කිරීමත්ය. මේ සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර බලපෑම ඇති කරන්නේ ලංකාව විසින් පිළිගනු ලැබූ සදාචාරාත්මක ආධිපත්‍යයට යටත්ව කටයුතු කරන ලෙස බල කිරීමටය. රජයක් හිතුවක්කාරී ලෙස ජාත්‍යන්තරව පිළිගන්නා ලද සම්මතයන්ගෙන් එපිටට ගොස් කටයුතු කිරීමෙන් අවසාන වශයෙන් සිදුවිය හැක්කේ ඒ රාජ්‍යය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රතික්ෂේප වීමයි. මෙය ඉතා භයානක තත්වයකි. එසේ රටක් ජාත්‍යන්තරව ප්‍රතික්ෂේප වීම තුළ එම තත්වය රටෙහි ජනතාවටද සෘජුව බලපානු ඇත. ලිබියාව සිරියාව වැනි රටවල සිදු වූයේද ජාත්‍යන්තරව ප්‍රතික්ෂේප වූ රාජ්‍යයන් අභ්‍යන්තරයෙහි ඇති වූ ජනතා නැගී සිටීමය.

ජාත්‍යන්තරය රජයකට බලපෑම් කරන්නේ ඒ රාජ්‍යයෙහි නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමක් හෝ වෙනත් ආකාරයක අපගමනයකට එකී රාජ්‍යය ගමන් කරන්නේ නම් වේ. ඔය කියන බලපෑමක පරමාර්ථය සරළව කියන්නේ නම් රටක ජනතාවට නිසි පිළිගැනීමක් ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීමය. මේ බලපෑමට විරුද්ධ වීම ඇත්තෙන්ම රටෙහි ජනතාවට විරුද්ධ වීමය. රටෙහි ජනතාවට පිළිගැනීමක් ලබා දීමට විරුද්ධ වීමය. රටෙහි ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වීමය.

ආණ්ඩුවේ ඒජන්තවරු කියන රජයේ අස්ථාවර කිරීමේ හෝ රජය පෙරලීමේ කුමන්ත්‍රණය ඇත්ත වශයෙන්ම බැලුවහොත් සිදු කරන්නේ මේ රටෙහි විපක්ෂය හෝ සිවිල් සංවිධාන හෝ රටට අහිතකර යැයි රජය හඳුන්වන පුද්ගලයන් හෝ නොව රජයමය. දිනපතා මේ රටෙහි සමස්ථ ජනගහණය වෙත සෑම මාධ්‍යයක් තුළින්ම රැගෙන යන රට පෙරළීමේ විදේශ කුමන්ත්‍රණයේ පණිවුඩය නවත්වාලිය හැක්කේ රජයටමය. ඒ කෙසේද යත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්නේ නම් සහ රජය තම රට වැසියා සම්බන්ධයෙන් ඇති වගකීම නිසි අවබෝධයකින් ඉෂ්ඨ කරන්නේ නම් විජාතික කුමන්ත්‍රණය එතැනින් අවසන් වන්නේය.

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment