දෝෂාභියෝගය ගැන ජෝර්ජ් ඕවෙල්ගේ ගොවිපොළෙන් ඉගෙන ගනිමු!

Feb 5th, 2013 | By | Category: දේශපාලන

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ලත් ප්‍රවීන රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සටන් විරාම ගිවිසුම පැවැති අවදියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. මේ සමඟ පළවන්නේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් Learning from the Orwellian farm management මාතෘකාව ඔස්සේ ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද ලිපියක අනුවාදයයි.

ජෝර්ජ් ඕවෙල්ගේ  The Animal Farm  යන නවකථාව සෝවියට් සමාජවාදී පාලනය පිළිබඳව ලියැවුණු උපහාස කථාවකි. එය ‛ගොවිපොළේ පෙරළිය’ නමින් සිංහල බසට පරිවර්තනය විය. මේ ලිපිය අනුවාදය කළ සම්පත් පුෂ්පකුමාර මීට කලකට ඉහතදී ‛ගොවිපළේ පෙරළිය’ යොදා ගනිමින් ලියූ ‛ආශ්චර්යයේ ඌරු කොටුව’ යන ලිපිය ‛සමබිම’ පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

එතැන සතුන් විශාල සංඛ්‍යාවක් රැස්වී සිටියෝ ය. සමහරු කළු පැහැති කෝට් හැඳ සිටි අතර සමහරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සුදු ජාතික ඇඳුම්වලින් සැරසී සිටියහ. සමහරු ජනාධිපති නීතිඥවරුන් හට ප්‍රදානය කරන ආකාරයේ කළු පැහැති හිස් පලඳනා පැලඳ සිටියහ. ඔවුහු අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් යන අයද සිටියහ. සමහරුන් බටහිර අධිරාජ්‍යයවාදී ගැත්තන්, කොටින් හෝ ඩොලර්වලින් යැපෙන NGO කරුවන් ලෙස සැක කළ හැකි ය. කහ පැහැති සිවුරු හැඳගත් ශ්‍රද්ධාවතුන් බොහොමයක් මෙන් ම සුදු පැහැති දිග ලෝගු ද නළල් තලයේ අළු තවරා ගත් අය ද නිසලව ඔවුන්ගේ හිස් සඟවාගෙන සිටින බව පෙනුණි.

විශාල ජන සන්නිපාතයක් රැස්ව සිටියා වුව ද දිය දහර විදින තුවක්කු, කඳුළු ගෑස්වලින් සන්නද්ධ ආරක්ෂක අංශවල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් නොසිටීම නිසා මෙය සාමාන්‍ය ජීවිතයේ සිදුවීමක් බව සිතිය නොහැකි ය. සැබවින් ම සතුන් වඩාත් හොඳින් හැසිරෙන බැවින් ඔවුන්ට ආරක්ෂක අංශ අවශ්‍ය නොවේ.

ඉතාමත් ම පුදුමය නම් එම ස්ථානය ලිප්ටන් වටරවුම වීමයි. මම රෝල් වී ගොස් මාගේ පැදුරින් බිමට වැටුණෙමි. කෙසේ වෙතත් පැදුරින් බිමට වැටීම උසැති ඇඳකින් බිමට වැටීම තරම් වේදනාවක් ගෙන නොදෙයි.

මැදියම් රැයේ මම අවදි වුව ද මා ජෝර්ඡ් ඔවෙල්ගේ සත්ව ගොවිපළ (The Animal Farm) නැමැති කෘතිය සෙවීමට පටන් ගත්තෙමි. මාගේ මතකයේ පරිදි ජෝන් මහතාගේ මැනෝර් ගොවිපළ කැරලිකාර සතුන් විසින් අත්පත් කර ගැනීමට පෙර මෙවැනි රැස්වීමක් පැවැත්වුණි. ලිප්ටන් වටරවුමේ රැස්වීමෙන් පසුව සමහරුන් කල්පිතයන් ලෙස ඉදිරිපත් කරන අරාබි වසන්තය වැනි අරගලයක් අප බලාපොරොත්තු වෙනවා ද? එය සිහිනයක් පමණි.

මම ඉතා ඉක්මනින් ‛සත්ව ගොවිපළෙන්’ අදාළ සැසදීම් සොයා ගත්තෙමි. පළමු උපුටා ගැනීම ලෙස මා සටහන් කර ගත්තේ,
“සතුන් විසින් ඔවුන්ගේ අපේක්ෂාව පරිදි මෙම සියලු දේ (ඇපල්, තණකොළ) සමාන ලෙස බෙදා හදා ගැනීමට එකඟවන ලදී. එක් දිනකදී පැමිණි නියෝගයකින් කියනු ලැබුනේ සුළඟින් වැටුණු සියලු පලතුරු එක්රැස් කර ඌරන්ගේ භාවිතයට ස්තාලයට රැගෙන එන ලෙසයි.”

මෙම තත්ත්වය පොදු ජන යුගයක්, ධර්මිෂ්ඨ සමාජයක්, සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ජන්දය දුන් ජනතාවගේ අපේක්ෂා භංගත්වය සමඟ සැසදිය නොහැකි ද? මෙම සියලු උත්සාහයන් යටතේ සමානාත්මතාව අමතක වී ධනවතුන් තව තවත් ධනවත් වී පොදු ජනතාව හිඟමනට වැටුණා නොවේ ද? සුළු පිරිසක් හැරෙන්නට දේශපාලන නායකයන් පාලක පෙළපත් ගොඩනන්වා පවත්වා ගෙන යන්නේ නැති ද? මේවා පවත්වාගෙන යාමට ඔවුන් පාර්ලිමේන්තුව ,විධායකය මෙන් ම අධිකරණය සමඟ තිබෙන සම්බන්ධතාවන් භාවිත කරන්නේ නැති ද?
දෙවන උපුටා ගැනීම මෙසේ ය.

“මෙය පිළිබඳව අනෙක් සතුන් මැසිවිලි නඟන්නට විය. නමුත් එහි ප්‍රතිඵලයක් නොවුණි. ස්නෝබෝල් සහ නැපෝලියන් ඇතුළු ඌරන් මෙම කාරණයේදී ඒකමතික භාවයට පැමිණ සිටින ලදී”

මෙම මැසිවිලි සෑම දිනක් ම විපක්ෂය නඟන මැසිවිලි සිහි ගන්වන්නේ
නොමැති ද? රජුගේ පාරිතෝෂිකයෙන් ජීවත්වන අපගේ වාමාංශික දේශපාලඥයන් හැසිරෙන්නේ සත්ව ගොවිපළේ ස්නෝබෝල් ලෙසට නොවේ ද?

18 වන සංශෝධයට එරෙහිව මැසිවිලි නඟමින් වුව ද එයට ඡන්දය දුන්නා නොවේ ද? ඒ හා සමාන ලෙස ම දෝෂාභියෝගී ක්‍රියා පටිපාටිය පිළිබඳව විරෝධතා තිබුණා වුව ද අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට ඡන්දය දෙනු ඇත. දෝෂාභියෝග පටලැවිල්ල පිළිබඳව අඩියක් පිටුපසට ගන්නා ලෙස කියමින් නායකත්වය රහසින් විවේචනය කරනු ලබන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ට සමාන නැති ද? මෙවැනි අවස්ථාවක සත්ව ගොවිපළේ නැපෝලියන් ලෙස ජනාධිපතිවරයා ඒවා ඉවසා සිටින්නේ නැති ද?

ඕවෙල් කියන පරිදි අන් අයට අවශ්‍ය පැහැදිලි කිරීම් කිරීමට ස්ක්විලර් යවන ලදී. ඕවෙල් විස්තර කරන ආකාරයට අතිදක්ෂ කථිකයකු වූ ස්ක්විලර් රවුම් කම්මුල්වලින් යුතු කඩිසර ගමනින් ද විනිවිද යන තියුණු කටහඬින් යුතු කුඩා පුෂ්ටිමත් ඌරෙකි.

අපි අපගේ ටෙලිවිෂන් යන්ත්‍ර ක්‍රියාත්මක කරන වාරයක් පාසා විශේෂයෙන් රාජ්‍ය නාලිකාවලදී මෙවැනි ස්ක්විලර්ලා අපට හමු නොවේ ද? අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නීතිඥයන්, විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරුන්, සමහර පූජ්‍ය පක්ෂය, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්, විද්වතුන් වැනි පුළුල් පරාසයක ස්ක්විලර්ලා අපට හමු නොවේ ද? ඔවෙල්ගේ ස්ක්විලර්ගේ විස්තරය සමඟ ඔවුන් සමපාත වන්නේ නැති ද? මෙයට සමාන ලෙස ම රාජ්‍ය විරෝධී ස්ක්විලර්ලා වෙබ් අඩවි තුළදී අපට හමුවන්නේ නැති ද? දෙවනුව සඳහන් කළ අය ප්‍රකාශ කරන පරමාර්ථය වන අධිකරණ ස්වාධීනත්වය හෝ වඩාත් පුළුල් ලෙස දක්වන පරමාර්ථයක් වන ආණ්ඩු මාරුවකින් අපට සෑහීමකට පත්විය හැකි ද? ආණ්ඩු පාක්ෂික ස්ක්විලර්ලාගේ ප්‍රකාශයන් ඔවෙල්ගේ ස්ක්විලර්ගේ ප්‍රකාශවලට ඉතා සමාන ය.

“සහෝදරවරුනි, ඔබ කල්පනා කරන්න එපා අප ඌරන් ලෙස අපගේ ම ස්වාර්ථය සඳහා හෝ වරප්‍රසාද සඳහා මෙය සිදු කරන බව. අපගෙන් බොහෝ දෙනෙකු ඇපල්වලට සහ කිරිවලට ඉතා අකමැතියි. මමත් පෞද්ගලිකව ඒවාට අකමැතියි. මෙම වෙනස කිරීමේ මූලික පරමාර්ථය අපගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමයි. කිරි සහ ඇපල්වල (මෙය සහෝදරවරුනි විද්‍යාත්මකව ද ඔප්පු කර ඇත.) ඌරන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය කොටස් අන්තර්ගත වී ඇත. අපි ඌරන් ලෙස මොළය වෙහෙසා වැඩ කරමු. මෙම ගොවිපළේ සියලුම සංවිධානාත්මක හා කළමනාකරණ කටයුතු රඳා පවතින්නේ අප මත ය. දිවා රෑ අප අවධානයෙන් සිටින්නේ අපගේ සුභ සාධනය ගැනයි. එම කාරණය සඳහා අප කිරි බී ඇපල් කන්නෙමු. ඌරන් ලෙස මෙම කාරණයේදී අප අසමත් වුවහොත් වන්නේ කුමක්ද කියා දන්නවාද? ජෝන් නැවත ආ හැකියි. සත්තකින් ම ජෝන් නැවතත් පැමිණිය හැකියි.’’ සත්‍ය වශයෙන් ම ස්ක්විලර් පැත්තෙන් පැත්තට පනිමින් වලිගය වනමින් ආයාචනාත්මක ලෙස කෑ ගැසී ය.

“ජෝන් නැවත පැමිණෙනවා දැකීමට කැමති අය තවත් ඔබ අතර සිටිනවා යැයි මා හිතන්නේ නැහැ.” ඕවෙල් පැවසූ පරිදිම පාලක ගෝත්‍රය ලෙස ඌරන් තෝරාගනු ලැබීම වනාහි නිසැකවම අනෙක් සතුන් අතර අසන්තෝෂයට හේතු වනු ඇති බැවින් මා කළේ හුදෙක්ම ඕවේලියානු උපහාස කථා කලාව අනුගමනය කිරීම බැවින් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් මගේ අදහස් ඉවසනු ලැබෙතැයි මම ප්‍රාර්ථනා කරමි. ඕවෙල් අවධානය යොමුකළේ රුසියානු දේශපාලනයේ ගති ලක්ෂණ දෙස වුවත් මම එය සාර්වත්‍රික එකක් සේ සලකමි.

අතීතය හා වර්තමානය දෙස හැරී බලන්න. සෑම ආණ්ඩුවකට ම ස්ක්විලර්ලාගේ වාග් අලංකාර තිබී ඇත. උදාහරණ ලෙස යුද්ධයට, එදිරිවාදීකම් අත්හිටුවීමට, පෞද්ගලීකරණයට, පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කිරීමට, අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයට, මේ සියල්ල ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක් මිස ස්වාර්ථය හෝ වරප්‍රසාද සඳහා නොවේයයි ඔවුන් කියයි. යුද්ධය වනාහි මානුෂවාදී මෙහෙයුමකි, මානුෂීය මුහුණුවරකින් යුක්ත පෞද්ගලීකරණයකි, දූෂිත අධිකරණයක් නුසුදුසු බැවින් දෝෂාභියෝගය ජනතාවගේ යහපතට ය. මෙවැනි වැදගත් කාරණා මත අපි දෝෂාභියෝගයට අවධානය යොමු කරමු. සමහරු කියන ආකාරයට දෝෂාභියෝගය පළිගැනීමක් නොව ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලය හා වරප්‍රසාද මත ව්‍යවස්ථාදායකය විසින් ගෙන එන ලද්දකි. ජේ.ආර්.ජයවර්ධන විසින් පළිගැනීමේ චේතනාවෙන් නෙවිල් සමරකෝන්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයට වෙනස් එකක් වෙයි. මෑතදී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු දෝෂාභියෝගය ගෙන ඒමට අකැමැත්තක් දැක්වූ බවයි. එසේනම් අපට විශ්වාස කිරීමට සිදුවන්නේ 117ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රධානියාගේ සිතුවිලි ඉතා සාහසික ලෙස කෙලෙසා දමා දුෂ්ට ක්‍රියාවක් කර ඔහු ජාත්‍යන්තර අවමානයට පත්කර ඇති බවයි. මෙය සමාන වන්නේ සත්ව ගොවිපළේ ස්නෝබෝල් තමන් නීචයන් සමඟ සම්බන්ධ නැතැයි කියමින් නිදහස් වීම සමඟයි. මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක් අතකින් වාසනාවන්ත ය. මන්ද ඔවුන් සිටින්නේ සත්ව ගොවිපළක නොවන බැවිණි.

බොහෝ ආණ්ඩු හිතවාදී ස්ක්විලර් ලා විසින් ජනාධිපතිවරයාගේ මතය නායකත්වයට පැහැදිලිව අවශ්‍ය ආකාරයට ප්‍රතිරාවය කරනු පෙනෙයි. සත්ව ගොවිපළේ සතුන් නැපෝලියන් විශ්වාස කරමින් වැඩ කටයුතු අතහැර ඌරන්ගේ නායකත්වයෙන් අශ්වයින්, හරකුන්, බැටළුවන්, කුකුළන් ලෙස ‛නැපෝලියන් සහෝදරයා දිනේවා!’ යන්න සටහන් කළ බැනරය යටතේ ගොවිපළ පරිශ්‍රය වටා හමුදා ආකාරයේ පෙළපාළි පැවැත් වූ ලෙසට තමන් විශ්වාස කරන්නා වූ දෙයට වඩා වෙනස් දෙයක් කරමින් සිටී. මෙය ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නැති ද?

මෙහි සැඟවී ඇති අනතුර නම් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නොදැනුවත්ව ම නායකයා විසින් හෙළා දකින ආකාරයේ ව්‍යවස්ථාමය ව්‍යසනයක් නිර්මාණය කර තිබීමයි. මම සිහිනෙන් දුටු පරිදි ඌරන් විසින් ජෝන් මැනෝර් ගොවිපළෙන් එලවා දැමීමට පොදුවේ ඒකරාශී වූ ආකාරයේ සැඟවුණු උනන්දුවක් මේ තුළ ඇත්දැයි අප දන්නවා ද? මෙය අනුභූතික තර්ජනයක් නොවෙයි ද?

ව්‍යවස්ථාදායකය කියන්නා වූ ලෙස රටේ කළමනාකරණ ව්‍යුහයේ සහ සංවිධාන ව්‍යුහයේ සීමාවලින් මිදුණු අභ්‍යන්තරිකව අභියෝග කළ නොහැකි බලයක් ඔවුන්ට ඇති බවයි. මෙයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන අධිකරණය කියනු ලබන්නේ එහි ක්‍රියාකාරීත්වයට කරනු ලබන බාහිර බලපෑම් නොසලකා හරින බවයි. මෙහිදී නිවැරදි කවුරුන් ද?

අප බලාපොරොත්තුවන්නේ මෙම රාජ්‍යයේ ප්‍රධාන බල කනු තුන එනම් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන සමෝධානික ලෙස කටයුතු කරනු මිස සත්ව ගොවිපළේ එන ලෙසට ගව මඩුවේ සටන ලෙස හදුන්වන යාබද ගොවිපළේ මිනිසුන් විසින් කරන ලද හදිසි පහරදීමක් ආකාරයේ සටන් කිරීමක් නොවෙයි.

ආණ්ඩුව අනුගත වී සිටින දෝෂාභියෝගී ක්‍රියාවලියට නෛතික අනුමැතිය ලබාගත හොත් එය ජයග්‍රහණය කරනු ඇත. නමුත් එය අසාර්ථක වුවහොත් සිදුවන්නේ කුමක් ද? ආණ්ඩු හිතවාදී ස්ක්විලර්ලාගේ පූර්ව නිගමනය අනුව සහ සත්ව ගොවිපළේ යෙදුමකට අනුව ත්‍රස්තවාදීන්ගේ සහ දේශද්‍රෝහීන්ගේ උදව් ඇතිව බටහිර ඩයස්පෝරාව ජෝන් නැවත බලයට ගෙන එනු ඇත. මෙය සත්ව ගොවිපළේ ජෝන් සමඟ පින්ච්ෆීල්ඩ් පිටත සිට මැනෝර් ගොවිපළේ බලය ඇල්ලීම සඳහා කඩාවැදීම ලෙස දැකිය හැකි ය. පෙර කී ස්ක්විලර්ලා පැත්තෙන් පැත්තට පනිමින් වලිගය කරකවමින් මෙය සිදුකරන ආකාරය ඔවෙල් මනාව චිත්‍රණය කර ඇත.

සත්ව ගොවිපළේ දැක්වෙන ආකාරයට ඌරන් විසින් පාලනය කරන ලද මැනෝර් ගොවිපළ ප්‍රධාන සම්මුතීන් හතක් මත පදනම් විය. සත්වැනි එක වූයේ සියලු සතුන් සමානයි යන්නයි. මෙම උපහාසාත්මක රචනයේ අවසානයට අනුව පළමු සම්මුතීන් හය ම අවසානයේ අතුරුදන් වූ අතර හත්වැන්න ‛සියලු සතුන් සමාන ය, නමුත් සමහර සතුන් අනෙක් සතුන්ට වඩාත් සමාන ය’ ලෙසට වෙනස් කරන ලැබී ය. ඕනෑ ම ආණ්ඩුවක දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සියලු මිනිසුන් සමාන ය. නමුත් බලය ලැබීමෙන් පසු බලය හා ආධිපත්‍යය විදහා දැක්වීමේ සීමාව අහස්තලය කරා පුළුල් වී පසුව සියල්ල වෙනස් වී යයි. සමහර නායකයන්ගේ උද්ධච්ච ප්‍රකාශයන්ගෙන් එය පෙන්නුම් කළ හැකි ද? ඔවුන්ට නීතිමය පිළිගැනීමක් නොලැබෙනු ඇත්නම් ඔවුන් ඒ ආකාරයෙන් හැසිරෙනු ඇද්ද?

සත්ව ගොවිපළ අවසාන වන්නේ මිනිසුන් සහ ඌරන් එකතු වී එකිනෙකා “එක්සත්වීම” යනුවෙන් කෑ ගසමින් එතෙක් වූ වරදවා වටහා ගැනීම්, සැකයන්, අවිශ්වාසයන් සියල්ල දුරු කර දමමින් විල්කින්ටන් මහතා විසින් සත්ව ගොවිපළට සෞදිය පිරීමෙනි. වර්තමාන ශ්‍රී ලංකා සන්දර්භය තුළ මෙය සිදුවනවානම් සත්තකින් ම මම සතුටු වෙමි.

කෙසේ වෙතත් ඔවෙල්ගේ සත්ව ගොවිපලේ යුක්රේනියානු මුද්‍රණය සඳහා ලියන ලද පෙරවදනේ දක්වා ඇති ආකාරයට ඔහුගේ චේතනාව වූයේ සතුන් හා මිනිසුන් අතර සංහිඳියාවක් ඇති කිරීම නොවේ. ඔහු පෞද්ගලිකව විශ්වාස කළ ආකාරයට එවැනි සබඳතාවක් දිගුකල් නොපැවතිය හැකි අතර එවැන්නක් සිදුවීම අවාසනාවකි. මෙහිදී ඔවෙල් නිවැරදි විය හැකි ය. සත්ව ගොවිපළේ කියවෙන ආකාරයට ගැටුම්කාරී පාර්ශ්ව එකිනෙක එකතු කිරීම ඌරන් පසු පස කකුල් දෙකෙන් ඇවිද යන තරම් දුෂ්කර කාර්යයකි.

ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ පාලනයට ආදරය කරන අයෙකු ලෙස එහිදී ඔවෙල් වැරදි ය. පෙනෙන ලෙසට මෙහි ඇති විවාදකාරී කරුණ විසඳිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලබන අර්ථ දැක්වීමකින් පමණි. නමුත් අධිකරණය නිකුත් කරනු ලබන නියමයකට විධායකය එකඟ වේ යැයි දන්නේ කවුරුන් ද? සමහර සිදුවීම් සන්සන්දනය කළ හැක්කේ අපගේ දැනට පවතින තත්ත්වයන්ට අනුකූලව ය.

ඌරන්ගේ නායකයා වන නැපෝලියන් සතුන්ගේ උදාන ගීතය ලෙස භාවිත කළ ‛එංගලන්තයේ තිරිසන් සතුන්’ ගීතය අතහැර දැමීමට තීරණය කරන කළේ ය. ඔවෙල් කියන පරිදි “සහෝදරවරුනි එය තවදුරටත් අවශ්‍ය නැත.” ස්ක්විලර් අපහසුවෙන් කීය. ‛එංගලන්තයේ තිරිසන් සතුනි’ ගීතය කැරලිකරුවන්ගේ ගීතයයි. කැරැල්ල දැන් සම්පූර්ණයි. මෙදින සවස සිදු කළ ද්‍රෝහීන්ට දඬුවම් පැමිණවීම එහි අවසාන ක්‍රියාවලි යයි. අභ්‍යන්තරික හා බාහිර සතුරන් සියල්ල යටත් කර ඇත. ‛එංගලන්තයේ තිරිසන් සතුනි’ ගීතය මගින් අප ප්‍රකාශ කරනු ලබන්නේ වඩාත් යහපත් සමාජයක අභිලාෂයකි.

නමුත් එම සමාජය දැන් පිහිටුවා හමාරයි. එම නිසා තව දුරටත් පැහැදිලිව එම ගීතය අවශ්‍ය නැත.
අභ්‍යන්තරික හා බාහිර සතුරන් මුලිනුපුටා දැමීමේ කඩතුරාවෙන් වැසුණු ජවනිකාවක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන ව්‍යවස්ථා අර්ථ දැක්වීමේ තීරණය අවසානයේ ‛එංගලන්තයේ තිරිසන් සතුනි’ ගීතයට අත් වූ තත්ත්වයට පත්වේ ද?

තරමක්දුරට අවදානම් සහගත වුවත් ජෝර්ඡ් ඔවෙල් අප හමුවට පැමිණියා නම් වෙනත් දේශපාලන ප්‍රහසනයකට අවශ්‍ය අමුද්‍රව්‍ය හමුවනු ඇත∎

පරිවර්තනය – සම්පත් පුෂ්පකුමාර

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment