ලෝකය ලංකාව වීම සහ ලංකාව හම්බන්තොට වීම

Feb 7th, 2013 | By | Category: RECENT ARTICLE, දේශපාලන

[හර්ෂ ගුණසේන]

ආණ්ඩුවේ ඉදිරි සැලැස්ම සිංගප්පුරුවේ ලී ක්වාන් යූ යුගයේදී මෙන් හෝ මැලේසියාවේ මහතීර් මොහමඩ් යුගයේදී මෙන් හෝ රට නවීකරණයට වැඩි බරක් තබමින් ද ප්‍රජාතන්ත්‍රවාදයට අඩු බරක් තබමින්ද කරන ලද සැලැස්මක් බව පෙනෙන්නට තිබේ. එමෙන්ම  දේශීය ජනබලය තිබේනම් ජාත්‍යන්තර බලවේගයන්ට කළහැකි දෙයක් නොමැති බව ඔහු සිතන බවත් පෙනෙන්නට තිබේ.

ආසියාතික රටවල ජනතාවගේ සංස්කෘතික හැඩගැසීම් අනුව පුද්ගල ස්වාධිපත්‍යය (liberty), සමානතාවය (equality) සහ සාධාරණත්වය (justice)  යන බටහිර වටිනාකම් ඔවුන් ගේ වටිනාකම් නොවේ. පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළ මේවා අවශ්‍යයෙන්ම වටිනාකම් වුවත් කණ්ඩායම්වාදී ආසියාතික සංස්කෘතීන් තුළ වටිනාකම් වන්නේ කණ්ඩායම තුළ සම්බන්ධතා වර්ධනය කර ගැනීමත් කණ්ඩායම තුළ සමානත්වය සහ සාධාරණත්වය ඇතිකිරිමත්ය.   පුද්ගල ස්වාධීනත්වය ඔවුන්ගේ වටිනාකමක් නොවේ. මෙම කණ්ඩායම් වර්ගය, කුලය හෝ ආගම විය හැකිය.

යුද්ධයෙන් පසු සිංහල ජන බලය තවමත් ජනාධිපතිවරයා අත තිබෙන මුලික හේතුවක් වන්නේ සිංහලයාට විරුද්ධව ආ දෙමළා පරාජය කළ ප්‍රධාන පුද්ගලයා ජනාධිපතිවරයා බවට සිංහලයන්ගේ  තිබෙන හැඟීමයි. එය ඔවුන්ගේ කණ්ඩායම්වාදී බව මගින් වඩාත් උත්සන්න කර ඇත. රටට එනම් සිංහලයන්ට විරුද්ධව ඇතැයි කියන බටහිර කුමන්ත්‍රණ පිලිබඳ ප්‍රලාප මගින් මෙම හැඟීම් වඩාත් වර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙම ජනබලය තිබේනම් ජාත්‍යන්තර බලවේගයන්ට කළහැකි දෙයක් නැතැයි සිතීම මුලාවකි. උදාහරණයක් වශයෙන් යුරෝපා සංගමය මගින් සුනාමි සමයේදී මෙරටින් යුරෝපා රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා ලබාදුන් GSP + බදු සහනය  දීර්ඝ කිරීම සඳහා ජනතාවට හිතකර මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමට යම් කොන්දේසි යුරෝපා සංගමය මගින් පනවන ලදී. ආණ්ඩුව ජනතාවට හිතකර වුද තම අත්තනෝමතිකත්වයට අහිතකර වුද එම යෝජනා ක්‍රියාත්මක නොකළ අතර යුරෝපා සංගමය අප රටට වන බදු සහනය අත්හිටවන ලදී. මෙය රටට අහිතකර නොවන බව දක්වමින්  මහ බැංකු අධිපතිවරයා ඇතුළු බලධාරීන් කළ පණ්ඩිත කථාවලට සවන් දීමටද ජනතාවට සිදුවිය. දැන් සිදුවී ඇත්තේ කුමක්ද? බංගලි දේශය ඇතුළු GSP + බදු සහනය ලබන අනෙකුත් රටවල් සමඟ තරඟ කිරීමට නොහැකිව මෙරට කර්මාන්තශාලා එකිනෙක වැසී යාමයි. අයිවන් මහතා සඳහන් කළාක් මෙන් රටේ අපනයන වැඩි ප්‍රමාණයක් බටහිර රටවල් මගින් මිලදී ගන්නා තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර බලවේගයන්ට කළහැකි බොහෝ දේ තිබේ. අනාගතයේදී මානව හිමිකම් කොමිසම මගින් මෙරටට විරුද්ධ යෝජනාවක් සම්මත කිරීම සහ පොදුරාජ්‍ය මණ්ඩලය මගින් අපගේ සාමාජිකත්වය අත්හිටුවීම වැනි දේ සිදුවුවහොත් ඒවායේ ආර්ථික ප්‍රතිවිපාක තිබෙන බව අප මතකතබා ගත යුතුය.

ජනාධිපතිවරයාගේ රට නවීකරණය කිරීමේ සැලැස්මට මුදල් අවශ්‍යය ය. මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා අපට නොයෙකුත් බටහිර රටවලින් ඉතාම අඩු පොලී අනුපාත වලට  මුදල් ලැබුණි. සමහර මුදල් තනිකරම ආධාර වශයෙන් ලැබුණි. එවැනි එක රටක් වන ස්වීඩනය පසුගියදා මෙරට තානාපති කාර්යාලය ඉවත් කරගෙන එම කටයුතු ඉන්දියාවේ ස්වීඩන තානාපති කාර්යාලයට බාර දුනි. එරට විදේශ ඇමති වරයාට යුද්ධයේ අවසන් සමයේදී මෙරටට ඒමට විසා ලබානොදීමද  මෙයට හේතුවක් වන්නට ඇත. දැනට ආණ්ඩුවට මුදල් ආධාර දෙන ප්‍රධාන ආයතනයක් වන්නේ චීන එක්සිම් බැංකුවයි. එම බැංකුව මුදල් දෙන්නේ ලාභ සඳහායි. හම්බන්තොට වරාය සඳහා 8% ජාත්‍යන්තර වශයෙන් ගිනි පොලියට මෙම බැංකුව මුදල් ලබාදී ඇත. ණය ලබාදීම සඳහා ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කරමින් සිටි. ආණ්ඩුව මෙම කොන්දේසි ඉටුකිරීමට මානව හිමිකම් සුරැකීමේ යුරෝපා සංගමයේ කොන්දේසි ඉටු කිරීමට වඩා වැඩි වෙහෙසක් ගනී.

රටේ සංවර්ධනය සිදුවන බව පෙනෙන්නේද ප්‍රශස්ත අන්දමට නොවේ.   එය සිදුවන්නේ ජනාධිපතිවරයාගේ ගම් ප්‍රදේශය ඇතුලත් හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙනය.  හම්බන්තොට වරාය ඉදිකලපසු  නැව් පැමිණීමට අවහිර වනසේ ගල් පර්වතයක් එහි තිබු බව හෙළිවිය. එය එසේ නොවන බව ආණ්ඩුව කියාසිටි අතර එක්තරා කුප්‍රකට ඇමතිවරයෙක් ඒසඳහා විවාදයකටද සුදානම් විය. පසුව එය පුපුරවා හැරි අතර වරායේ අරමුණ වන ජාත්‍යන්තර නැව් වලට සේවා සැපයීම තවම ආරම්භ වී නැත.   දෙවැනි ගුවන් තොටුපලක් රටට අවශ්‍ය නමුත් එය මත්තල තිබිය යුතු වන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි. මේවා ඉදිකළ පසු හැකි ඉක්මනින් ආදායම් ලැබිය හැකි තත්ත්වයකට පත් කරගත යුතුය.

රටේ ඉතිරි කිරීම් ඇත්තේ ඉතා අඩු මට්ටමකය. එබැවින් විදේශ ආයෝජන අත්‍යවශ්‍යය. විදේශ ආයෝජකයන්ට මෙහි එන ලෙස කියා සිටියත් පුද්ගලික සමාගම් පවරා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල පාලනය කරන එමෙන්ම වාණිජ බැංකුවල අභ්‍යන්තර තොරතුරු දන්නා මහ බැංකුව මගින් අර්ථසාධක අරමුදලේ ධනය යොදවා වාණිජ බැංකුවල කොටස් මිලදී ගෙන එම බැංකුවල පාලනයට හවුල් වීම, අගවිනිසුරුවරියට එරෙහි ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගය මගින් රටේ නීතියක් නොමැති බව තහවුරු කිරීම යනාදී ක්‍රියා මගින් ආණ්ඩුව ඔවුන්ගේ විශ්වාසය දිනෙන් දින පලුදු කරමින් සිටි. ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන පැමිණෙන්නේ බටහිර රටවලිනි.බටහිර රටවලට එමෙන්ම මානව හිමිකම්වලට විරුද්ධ ආණ්ඩුවේ ස්ථාවරය මගින් ඔවුන් තවදුරටත් අපෙන් ඈත් කරනු ඇත.

ලි ක්වාන් යූ හා මහතීර් මොහමඩ් වාර්ගික ගැටුම් මැනවින් කළමනාකරණය කර තිබුණි. බටහිර රටවලට ඔවුන්ට විරුද්ධ වීමට හේතුවක් නොතිබුණි. ලංකාවේ මෙන් එම රටවල මහා පරිමාණ මානව හිමිකම් කඩවීම්ද මහා පරිමාණයෙන් ජිවිත විනාශවූ කැරලි ද ඇතිවී නොතිබුණි. එමෙන්ම එම රටවල්ද බටහිරට විරුද්ධ නොවුහ. ආසියාතික ජනතාවට උරුම ඉහතින් දැක්වූ සංස්කෘතිකාංග සමග අධිකාරිවාදී  පාලන තන්ත්‍රයක් ඔවුහු පවත්වාගෙන ගියහ. රාජපක්ෂ පාලනය මෙන් ඔවුහු දුෂණය අනුමත නොකළ අතර දුෂණයට විරුද්ධ පියවර ගත්හ. එමෙන්ම ඔවුන්ගේ පාලන නීති විරෝධී වුයේ නැත. ලංකාවේ දැන් සිටින්නේ නීති විරෝධී ලෙස පත්කළ අගවිනිසුරුවරයෙකි. මෙයට අමතරව ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අනුදැනුම ඇතුව කරන අපරාධ දිනෙන්  දින ඉහළ යන අතර එම දේශපාලනඥයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා  බවක්ද පෙනෙන්නට නැත. නීතියේ අධිපත්‍ය දිනෙන් දින බිඳ වැටෙමින් පවතී. නීතියේ අධිපත්‍යය  බිඳ වැටුණු තැන ආර්ථික සංවර්ධනයක් නොමැත. එමෙන්ම ලි ක්වාන් යූ ට සහ මහතීර් මොහමඩ්ට  ඉදිරි දැක්මක් තිබුණි. එමෙන්ම ඒවා ප්‍රකාශයට පත්කර තිබුණි. එම සැලැස්ම මහින්ද චින්තනය මෙන් ඡන්දය සඳහා පාවිච්චි කර පසුව උල්ලංඝනය කරන සැලැස්ම නොවිය.

ආණ්ඩුව නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අතහැර දමා  ඇත.  ඒ වෙනුවට ආණ්ඩුව ඉන්දියාව සමඟද බටහිර සමඟද චීනය පසෙකින් තබාගෙන කේවල් කරයි. උදාහරණයක් ලෙස පසුගියදා ඇමෙරිකාව විසින් හමුදා ජෙනරාල්වරයකුට යුද්ධ අපරාධ චෝදනා යටතේ හමුදා පුහුණුව ලබාදීම ප්‍රතික්ෂේප කල පසු එම චෝදනා වැරදි බවත් ඇමෙරිකාව පුහුණුව ලබානොදෙන්නේ නම් චීනයෙන් එම පුහුණුව ලබාගත හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා කියා සිටියේය. මෙය නොකළ යුතු ප්‍රකාශයකි. ජාත්‍යන්තර තලයේ පීචං මට්ටමින් සිටිය යුතු යයි එයින් අදහස් වන්නේ නැත. ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙනු කරන විධියක් තිබේ. ආණ්ඩුවේ නිලධාරීන්ට රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය සමඟ මෙසේ සෙල්ලම් කිරීමට ඉඩදීම භයානක ප්‍රතිවිපාක ඇතිවීමට හේතුවනු ඇත.මෙය කිසිසේත්ම නොබැඳි ප්‍රතිපත්තිය නොවේ.

අපට පෙනෙන අන්දමට රට යන්නේ අගාධයටය. වරක් වික්ටර් අයිවන් මහතා සඳහන් කල පරිදි යුද්ධය අවසන්වූ පසු තිබු මහින්ද රාජපක්ෂ ගේ විශාල ප්‍රතිරූපයට සරිලනසේ ක්‍රියා කිරීමට ඔහු අසමත් වී ඇත. එම ප්‍රතිරූපය තුළ ඇත්තේ පැරණි පුංචි මහින්ද රාජපක්ෂමය. ඔහු තමා මෙන්ම රටද පුංචි කරමින් සිටි. ලොකු වැඩ කිරීමට ඔහු පොළඹවා ගැනීම ජනතාව ඉදිරියේ ඇති අභියෝගයයි.

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment

snowflake snowflake snowflake snowflake snowflake snowflake snowflake snowflake snowflake snowflakeSeason Greetings powered by seasongreets
Close