නෝනා, අපි සංතෝසෙන් ඉන්නවා කියලා පත්තරේ දාන්න

Feb 13th, 2013 | By | Category: විශේෂාංග

යුද්ධය අවසන් වී අවුරුදු තුනකට පසු උතුරට වසන්තය හා නැගෙනහිරට නවෝදය උදා වුණාද? පුදුමාතලන්හි දෙමළ සහෝදරයෙකු හා කළ සමීප කතා බහක්……

කොහොම ද දැන් ජීවිතේ, මට කියන්න පුළුවන් ද විස්තර ටිකක්?
අනේ නෝනා, විස්තර කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැනේ. මගේ නම නම් පත්තරවල දාන්න එපා, නෝනලා දන්නවනේ අපට කතා කරන්න බැහැ. මං විස්තර කියන්නම් ඒත් නම දාන්න එපා.
මගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා, අයියගෙ ළමයිනුයි, මගේ ළමයිනුයි. මම තමයි ඔක්කොම බලා ගන්නේ. කුළී වැඩ කරලා තමයි ජීවිතේ ගැට ගහගන්නේ. මම ඉපදුණේ පොල්ගහවෙල. 78 කලබල කාලේදී තමයි මුලතිව්වලට ආවේ.

78 කලබල කාලේ කොහොම ද? ඒ කාලේ මොන වගේ දේවල්වලට ද මුහුණ දෙන්න වුණේ?
ඒ කාලේ මට ගොඩක් සිංහල යාළුවෝ හිටියා, ඒ හැමෝම හොඳ උදවි ය. ගෙවල්වල අය කලබල වෙලා යන්න ලැහැස්ති වුණා. සිංහල යාළුවෝ කිව්වා, යන්න එපා අපි බලාගන්නම් කියලා. ඒත් අපේ අයට ගොඩක් කරදර වුණා. දෙමළ කඩවල් මංකොල්ල කෑවා, ගෙවල් ගිණි තිබ්බා. අපි ගෙනියන්න පුළුවන් බඩු මුට්ටුත් අරගෙන මුලතිව්වලට ආවා. වෙන යන්න තැනක් ඒ වෙලාවෙ තිබ්බෙ නැහැ. ගොඩක් අයට හිරිහැර වුණා.
ඉන්දියන් හමුදාව ආපු කාලෙ මගේ අයියට වෙඩි තියලා මරලා දැම්මා. ඒක අත්වැරදීමක් වෙන්න ඕනෙ, එයා කිසි ම දේකට සම්බන්ධ වුණේ නැහැ. වෙළෙඳාමෙ ගිහින් එද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. හේතුවක් අද වෙනතුරුත් දන්නේ නැහැ.

මට කියන්න ගෙදර විස්තර, ඒවගේ ම කොහොම ද ඔයාලගෙ ජීවිතවලට යුද්ධය බලපෑවේ කියලා?
මට ළමයි 8 දෙනක් ඉන්නවා, අයියාගේ ළමයිත් එක්ක ම. මගේ තුන්වෙනි දරුවා යුද්ධෙදී මැරුණා, අඩු වයසින් ම. එයා L.T.T.E. එකට බැඳුණා සාමාන්‍යය පෙළ කරන කාලයේදී. 2001 දී තමයි දැන ගත්තේ. අපිට ළමයව දකින්නවත් ලැබුණෙ නැහැ, මැරුණා කියලා විතරයි දන්නේ. වළ දාන්න ළමයාගේ මිනියවත් ලැබුණෙ නැහැ. මගේ තව පුතෙක් L.T.T.E. එකේ හිටියා. එයා පුනරුත්ථාපන කඳවුරේ ඉඳලා ආවට පස්සේ රට ගියා.

යුද්ධය කාලයේදී ඔබ මොන වගේ සිදුවීම් ද අත්වින්ඳේ?
අනේ නෝනා, අපි ගොඩක් දුක් වින්ඳා, කියන්න බැරි තරම්. ආයෙත් යුද්ධයක් නම් එපා. සාම ගිවිසුම කාලේ ටිකක් බය නැතිව හිටියා. ඒත් 2008 තමයි අපි වෙරළට අරන් ගියේ, ජීවත් වෙන්න ආසාවක් තිබුණා ළමයි හන්දා, කවුරුත් මැරෙන්න කැමති නැහැනේ. අපි කන්න බොන්න නැතිව තැන් තැන්වලට ගාල් වෙවී පුදුමාතලන්, කයිවේලි, සුමන්දරපුරම් වගේ හැම තැනකට ම ගියා. කන්න බොන්න නැතිව හාමතේ ඇවිද්දා. අවසානේ 2009 මැයි මාසේ 18 වෙනිදා හමුදාවට භාර වුණා.

ඊට පස්සෙ ප්‍රභාකරන් අල්ලාගත්තා, සිංහල හමුදාව යුද්ධය ජයග්‍රහණය කළා. මොකද හිතුනේ?
නෝනා අපි ඒ ගැන කතා නොකර ඉමු. අපි භාර වුණාට පස්සේ අපිව දැම්මේ මැණික් ෆාම්වලට. අපි අව්වට වේලි වේලි – වැස්සට තෙමි තෙමී තමයි ඒවයෙ හිටියේ. අපිට කෑම බීම ලැබුණත් ඒවා ප්‍රමාණවත් වුණේ නැහැ. මිනිස්සුන්ව ගාල් කරලා තමයි ඒවායේ හිටියේ. යන්න එන්නවත් කිසි ම නිදහසක් තිබුණේ නැහැ.

මේ වෙද්දී ඒ තත්ත්වය අවසන් වෙලා, අවතැන් කඳවුරුවලින් මිනිසුන්ව නැවත පදිංචි කරලා තියෙනවා නේද?
ඔව්, අපේ ගෙවල් හැමදේම විනාශ වෙලා. මේ හැමදේම අලුතින් පටන් ගන්න අපට සිද්ධ වුණා. ටකරන් කොලයි ලී දඬුයි එක්ක හාල් දුන්නා කියලා ඒවායින් මොනව ද කරන්න පුළුවන්? යුද්ධය ඉවර වුණා කියලා අපට තිබුණු කරදර ඉවර වෙලා නැහැ. මගේ පුතා L.T.T.E. හිටපු සාමාජිකයෙක්, එයා මුලතිව් කඳවුරේ ඉඳලා පුනරුත්ථාපනය කරලා, එයාව නිදහස් කරා කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ කියලා. එයා දැන් රට ඉන්නේ. ඉතින් සැරින් සැරේ හමුදාවෙන් ඇවිත් පුතා කොහේ ද ඉන්නේ, මොනව ද කරන්නේ කියලා කරදර කර කර විස්තර අහනවා.

එයාල ඒ වෙලාවට මොනව ද ඔයාලට කියන්නේ?
මෙහේ ඉන්න කල් අපි තමයි ඔයාලව භාරව ඉන්නේ කියලා කියනවා. යුද්ධයෙන් පස්සෙ වුණත් මෙහේ ගොඩක් පිටට නොපෙනෙන දේ සිද්ධ වෙනවා. ඒ දේවල් ගැන කවුරුවත් කට අරින්නේ නැහැ. හැමෝම බයයි.

දැන් යුද්ධයෙන් පස්සෙ උතුරෙ පාරවල් හැදිලා, හැම දේම වෙනස් වෙලා, තවදුරටත් ෂෙල් වෙඩි-ක්ලේමෝ පුපුරන්නෙ නැහැ කියල ගොඩක් අය කියනවා. ඇත්තට ම දැන් තියෙන තත්ත්වය ගැන මොකද හිතන්නේ?
හරියට ඉන්න ගෙයක් නැති අපිට මොන පාරවල් ද නෝනා? මගේ එක පුතෙක් හමුදාවෙන් අල්ලන් ගිහිල්ලා. හේතුව කැලේ දර කපන්න යාම. අපිට කැලේට යන්න තහනම්. පුතා ගියේ ගේ හදාගන්න වැඩට ලී කපන්න. ඒවා තේක්ක බුරුත නෙවෙයි, නෝනලා ලිපේ දාන විදිහේ ලී. ඒකට තමයි පුතාව හමුදාවෙන් අල්ලගෙන ගිහිල්ලා පොලීසියට භාර දීලා තියෙන්නේ. එයා දැන් අනුරාධපුර හිරේ ඉන්නේ.
මම සිංහල ගමේ උපන් මිනිහෙක්. සිංහල දෙමළ මිනිස්සු මේ දෙගොල්ලො ම එකට ඉන්න ඕන. අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න, ජීවත් වෙන්න. එක පැත්තකින් බයයි. නිදහසක් නැහැ. මට කියන්න තියෙන්නේ අපි ගොඩක් දුක් වින්ඳා, කියන්න බැරි තරම් දුක් වින්ඳා. මේ හොඳට ම ඇති, අපිත් ආසයි නිදහසේ ජීවත් වෙන්න. ආයෙමත් යුද්ධ එපා, ඊට වඩා හොඳයි මැරිලා යනවානම්. සිංහල මිනිස්සු වගේ ම දෙමළ මිනිහත් ආසයි නිදහසේ ජීවත් වෙන්න.
නෝනා, පත්තරේට දානවානම් කියන්න අපි සංතෝසෙන් ඉන්නවා කියලා∎

තුෂාරා සෙව්වන්දි විතාරණ

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment