අවාසනාවට ඇත්ත කතාවක්…

Feb 13th, 2013 | By | Category: යාන් හෑලි

සිතාරා ගමේ ඉපදී කොළඹ නගරයට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. ඉතා ම කලබලකාරී සහ එමෙන් ම වෙහෙසකාරී සතියක් කාර්යාලයේ ගත කිරීමෙන් අනතුරුව එළඹුණු සිකුරාදා සිතාරා පිටත්වුණේ දෙමාපියන් ජීවත්වන ගම් පළාත බලා යන්නටයි.

නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට හෙවත් ඒ. සී. බස් එකකට ගොඩනැගුණු සිතාරා ජනේලය අයිනේ ආසනයක හරි බරි ගැහී වාඩිවී, සැනසුම් සුසුමක් හෙළා දෑස පියා ගත්තා.

බස් එක ගමන ආරම්භ කරමින් මගී වේදිකාව අසලින් ඉදිරියට ඇදෙනවාත් එක්කම අන්තිම මගියා බසයේ එල්ලුණා. ඉන්පස්සේ ඔහු ඉතිරිව තිබුණු එකම ආසනයේ හිඳ ගත්තා. දෛවෝපගත විදියට ඒ ඉතිරිවෙලා තිබුණු එකම ආසනය තිබුණේ සිතාරා වාඩිවී හිටපු ආසනයට යාබදවයි. හැමදේම පටන් ගත්තේ එතනින්.

සිතාරාගේ ඇඟේ ගෑවී නොගෑවී හිඳගත් ඔහු සිතාරා දිහා නෙත් කොනෙන් බැලුවා. ඔහු ඊළඟට කළේ එවන් අවස්ථාවකදී බොහොමයක් පිරිමි සාමාන්‍යයෙන් කරන දේයි. ඔහු තමන්ගේ කලිසමේ සාක්කුවට අත දාලා තමන්ගේ ජංගම දුරකථනය අතට අරගෙන මහ සද්දෙන් කතා කරන්න පටන් ගත්තා.

“හායි, මේ ප්‍රසංග! ඔව්, ඔව්, මම බස් එකේ ඉන්නේ. ඔව් බබා මම දන්නවා දැන් වෙලාව හතර හමාර නෙවෙයි හය හමාරයි කියල. ඉතිං පොඩ්ඩක් මං කියන දේ අහන්න වස්තුව, අද හදිසි මීටිං එකක් තිබුණා, ඔෆිස් එකේ. ඒක මාර වෙලාවක් ඇදුණා………නෑ පැටියෝ භාෂිණී එක්ක නෙවෙයි, බොස් එක්කයි මීටිං එක තිබුණේ. ඔයා ඉතිං කිව්වට පිළිගන්නෙ නැහැනේ. මං ආදරේ ඔයාට විතරයි. සත්තයි වස්තුව…”

කතාව ඉවර වෙන පාටක් නැහැ. සිතාරට වමනෙ යන්නෙ නැති ටික විතරයි. මදැයි යන්තම් ඇහැ පියාගෙන කණක් ඇහිල පැය දෙක තුනක් ඉන්න හැදුව. දැන් ඉතින් ඉවරයි. ඇය එහෙම කල්පනා කළේ පුදුම කේන්තියකින්. සිතාරා කොයිතරම් ඔහු දිහා බලල විරෝධය පළ කළත්, උගුර පෑදුවත් ඔහු සිතාරාගෙ විරෝධය සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව දිගටම කතාව.

විනාඩි පහළොවක් විතර ගත වුණා. ඔන්න සිතාරට හොඳ අදහසක් ආවා. ඇය හොඳට ඔහු වෙතට ළං වෙලා හරියටම ජංගම දුරකථනය ඉලක්ක කරලා, තමන්ට පුළුවන් තරම් සුරතල්, බොළඳ කටහඬින් මෙහෙම කිව්වා.

“අනේ ප්‍රසංග, දැන් ඇති අනේ. ඔය ෆෝන් එක ඕෆ් කරලා දාල මා ළඟට එන්නකො පැටියෝ !”∎

Recent Posts

Tags: , , ,

Leave a Comment