ලොව සුන්දරම ගැහැණිය -03 කොටස

Feb 13th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද 03 කොටස

මෙතෙක් කතාව 
ඇතීනා ඇක්විටේන් අතිශය රූමත් නැඟී එන නිළියකි. චිත්‍රපටයක තරු චරිතයක් රඟපෑමේ වරම් ලබාගැනීමට ඇයට ක්‍ෂේත්‍රයේ වසර පහක් බලා ඉන්නට සිදුවිය. ස්ටීවන් ස්ටෝලිංග් ඒ වන විටත් දිඳුලන සුපිරි නළුවෙකි. දිනක් ඇතීනාගේ කළමනාකරු මෙලෝ ස්ටුවර්ට් සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් ගේ පණිවිඩයක් රැගෙන ඇතීනා වෙත පැමිණෙයි. ඒ ස්ටීවන්ගේ මීලඟ චිත්‍රපටියේ තරු චරිතය සඳහා ඇතීනා තෝරාගත් පව කීමටය. නමුත් චිත්‍රපටයේ තරු චරිතය ලබාදීම වෙනුවෙන් ඇතීනා විසින් ස්ටීවන්ට ආදරය කළ යුතු බව ද මෙලෝ විසින් ඇතීනාට පවසා සිටියි. මහත්මා ලීලාවෙන් ගෙන එන මෙම අවිනීත යෝජනාවට එකඟ නොවුණහොත් ඇය චිත්‍රපටියෙන් කැපී යනු ඇත. අවසානයේ දී වෘත්තීය නිළියක් ලෙස මෙම යෝජනාවට කැමති වෙන ඇතීනා තම ප්‍රථම චිත්‍රපටියෙන් ම සාර්ථකත්වයක් ලබයි. ස්ටීවන් සමග ඇගේ ඇති සම්බන්ධය අවසන් වන අතර මීළඟ අවුරුදු පහ තුළ ඇය ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම නඟී. ජනප්‍රියත්වයෙන් පහත වැටෙන ස්ටීව් අවසානයේ දී ‛මෙසලිනා’ චිත්‍රපටියේ ප්‍රධාන පිරිමි චරිතය තමාට ලබාදෙන ලෙස ඇතීනාගෙන් ඉල්ලයි. ඇය ඔහුට එම චරිතය ලබාදෙන්නේ ඒ වෙනුවෙන් ඔහු තමා සමඟ නිදාගැනීමට අවශ්‍ය නැතැයි සරදම් සහගත ලෙස පවසමිනි.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් හි ඩොරති චැන්ඩ්ලර් පැවිලිනය ඉදිරිපිට රැස් වූ අති විශාල ජනකාය මේ නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඇකඩමි සම්මාන උළෙලට සහභාගීවීමට තම ප්‍රියතම සිනමා තාරකාවන් සම්ප්‍රාප්ත වනතුරුය. මෙම උත්සවයේ සේයා රූ ලොව පුරා විසුරුවා හැරීමට සූදානමින් සිටින රූපවාහිනී කැමරා සහ වාර්තාකරුවන්ගෙන් මුළු වීදියම පිරී පැවතුණි. විශේෂයෙන් ඉදිකරන ලද දැවැන්ත ප්‍රේක්‍ෂකාගාර දැනමටත් ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. තම ප්‍රියතම ශ්‍රේෂ්ඨ සිනමා තාරකාවන් සැබෑ ලෝකයට අයත් ලෙයින් මසින් සෑදුණු මිනිසුන් ලෙස ජය පැරදුම දෙකට මුහුණ දෙන ආකාරය පියවි දෙනෙතින් දැක බලා ගැනීමට ප්‍රේක්‍ෂකයන්ට අද රාත්‍රියේ අවස්ථාව ලැබෙනු ඇත.

බොස් ස්කැනට් ගේ රතු පැහැ කෙස් කළඹ කැලිෆෝනියානු වසන්ත සමයේ ලෙමන් පැහැති හිරු එළියෙන් නැහැවේ. තව මොහොතකින් තමා කරන්නට යන ක්‍රියාව ලොව පුරා බිලියනයනකට අධික ජනකායක් විසින් නරඹනු ඇති බව සිතන විට ඔහුගේ මුළු ආත්මය ම ප්‍රමුදිත විය. තම ශක්තිමත් උඩුකය වැසෙන සේ ජැකට්ටුවක් පැළඳ සිටි ඔහුගේ එක් අතක රිදී පැහැති විශාල ප්‍රමාණයේ ඊවියන් වතුර බෝතලයක් විය. දුඹුරු පැහැ නිල ඇඳුම් ලා ගත් ආරක්‍ෂක භටයන් තම සිහින් බැටන් පොලු ඉණ පැළඳි හොල්ස්ටර්වල රඳවාගෙන වළල්ලක ආකාරයට රැඳී සිටියේ සම්භාවනීය සිනමාකරුවන් අතරට ප්‍රේක්‍ෂකයන් කඩාවැදීම වළක්වනු පිණිස ය. නමුත් ස්කැනට් ඔවුන් පිළිබඳව ගණනකට නොගත්තේ ය. තමා ඔවුන්ට වඩා වේගවත්, ශක්තිමත් හා විශාල බව ද ඔහු දනියි. ඔහු තරමක් හෝ පරීක්‍ෂාකාරී වූයේ වළල්ල ඉදිරියට පැමිණෙන රූපවාහිනී වාර්තාකරුවන් හා කැමරා ශිල්පීන් ගැනය. නමුත් සිදුවීම වැළැක්වීමට වඩා ඔවුන් උනන්දු වනු ඇත්තේ එය පටිගත කරගෙන විකාශනය කිරීමට ය.

සුදු පැහැති ලිමෝසින් රථයක් පැවිලියනයේ දොරටුව අසලට සම්ප්‍රාප්ත විය. ඇතීනා ඇක්විටේන් එම රථයෙන් බිමට බසිනු ස්කැනට් දුටුවේ ය. සිනමා සඟරා වෙතින් ලොව සුන්දරම ගැහැණිය යන විරුදාවලිය ලබා සිටි ඇතීනා පැමිණෙත් ම රැස්ව සිටි මහා ජනකාය ඇගේ නම කියමින් හඬ නඟන්නට වූහ. කැමරා ඇය වටා පෙළ ගැසී සිටියේ ලොව පුරා ඈත එපිට අස්සක් මුල්ලක් නෑරම ඇයගේ සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ය.
රථයෙන් බට ඇතීනා රැස්ව සිටි ප්‍රේක්‍ෂකයන් දෙසට හැරී අත වනා අචාර කළාය.

ඒ අතර ස්කැනට් ප්‍රේක්‍ෂකාගාරයේ වැටට උඩින් පැන මාර්ග බාධක මඟහරිමින් සිග් සැග් ආකාරයට ඉදිරියට දිව ආවේය. තමා එසේ එනු දැක දුඹුරු පැහැති නිළ ඇඳුම් ලා ගත් ආරක්‍ෂක භටයන් එක පෙළකට ගොනු වෙනු ඔහු දුටුවේ ය. වසර ගණනකට පෙර රගර් පිටියේ දී තමා ටැකල් කිරීමට පැමිණි ක්‍රීඩකයන් මඟහැර දිව ගිය පුරුද්ද අනුව යමින් ඔහු ඔවුන් මඟහැර ඉදිරියට ම ගියේ ය. හරියට ම නිවැරදි තත්පරයට ඔහු තම ඉලක්කය කරා ලඟා විය.

මේ අතර ඇතීනා රූපවාහිනී නාලිකාවක මයික්‍රෆෝනයකට කතා කරමින් සිටියා ය. ඇය තම හිස මඳක් ඔසවා ගෙන තම මුහුණේ සුන්දරම පැතිකඩ කැමරාවට හසුවන පරිදි නිරූපණ විලාසයකින් සිටියා ය. ඇය අසල මිනිසුන් තිදෙනෙක් ද වූහ. පිරිස අතරින් දිව ආ ආකාරය හා ආරක්‍ෂක භටයින්ගේ නොසන්සුන්භාවය නිසා කැමරා විසින් තමා ග්‍රහණය කරගත් බව ස්කැනට් සහතික කරගත්තේය. දැන් ලොව පුරා රූපවාහිනී තිර මත දිස්වනු ඇත්තේ ඔහුගේ දැවැන්ත රූපකායයි. මොහොතකින් ඇතීනා ආසන්නයට පැමිණි ස්කැනට් තමා අත වූ බෝතලයේ වූ ද්‍රාවණය ඇතීනාගේ සුන්දර මුහුණ ඉලක්ක කොට විසි කළේය.

‛‛පර බැල්ලි මෙන්න තොට ඇසිඩ් පාරක්’’
ඔහු කෑගැසුවේය. ඉන්පසු කෙලින්ම කැමරා දෙස බැලූ ඔහු මෙසේ කීවේ ය.
‛‛ඕකිට හොඳ වැඩේ’’

දුඹුරු කමිසකාර භටයන් තම බැටන් පොලු ඔසවාගෙන රැල්ලක් මෙන් ඔහු වෙත කඩා පැන්නාහ. ස්කැනට් දණ ගැසුවේය.
ඔහු කෑගසන හඬ ඇසී හිස හරවා බැලූ ඇතීනාගේ කම්මුල සහ කන් පෙත්ත මත ස්කැනට් එල්ල කළ ද්‍රාවණය ඉසිරී ගියේය. අවසාන මොහොතේ ඇය ප්‍රහාරකයගේ මුහුණ දුටුවාය. රූපවාහිනී නරඹමින් සිටි සියක් කෝටියක් ප්‍රේක්‍ෂකයන් මේ සියල්ල සජීවීව දැකගත්හ. ඇයගේ සුන්දර මුහුණ , ඇගේ කොපුල මත වැටුණ රිදීමය ද්‍රාවණය, කම්පනය සහ භීතිය, තම ප්‍රහාරකයා ඇය විසින් හඳුනාගත් බව හා ඇගේ මහේශාක්‍ය සුන්දරත්වය සැනෙකින් සම්පූර්ණයෙන් දිය කර දමමින් ඇගෙන් පළ වූ සැබෑ භීතිය.

පොලිසිය ස්කැනට් ඇදගෙන ඉවතට ගෙන යනු ලොව පුරා රූපවාහිනී තිරමත දිස්විය. ඔහු තම මාංචු සහිත දෑත් ඔසවා ජයග්‍රහණයේ සලකුණු ප්‍රේක්‍ෂකයන්ට දක්වා ආචාර කළේ සිනමා නළුවෙකු පරිද්දෙනි.

කම්පනයෙන් මිදෙන්නට උත්සහා දරමින් ඇතීනා ඇක්විටේන් ස්වයංක්‍රීයව ම ඇගේ කොපුල මත ගලා ගිය දියරය අත්ලෙන් පිස දැමුවාය. පුදුමයකට මෙන් ඇයට කිසිදු දැවිල්ලක් නොදැනුණි. ඇගේ අත්ල මත රැඳුණු දියරය වියළී යන්නට පටන් ගත්තේය. සතර අතින් මහා ජනකාය ඇය වෙතට පැමිණෙනන්ට වන්හ. ඇය ආරක්‍ෂා කිරීමට හා ඇය එතනින් ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය විය. ඇය පහසුවෙන් සිටගෙන ඉතා සන්සුන්ව ජනතාව දෙසට හැරී මෙසේ කීවාය.

‛‛මේ නිකන් වතුර වගයක්’’
එය තිරකොට දැනගනු පිණිස මෙන් ඇඟිල්ලක රැදුනු බිඳුවක් තොල ගා බැලූ ඇය මඳහසක් මුවඟට නගා ගන්නට තැත් කළාය.
‛‛ඒ මගේ හස්බන්ඩ්. එයා කළොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි’’

ඇතීනා මහත් ධෛර්යයක් පෙන්නුම් කරමින් ඇකඩමි සම්මාන පිරිනමන පැවිලියනය තුළට පිවිසියා ය.
වසරේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් ඇය පිදුම් ලබන විට මුළු ප්‍රේක්‍ෂාගාරය ම නැඟී සිට දීර්ඝ අත්පොළසන් නාදයකින් ඇයට ආචාර කළහ.

සම්මාන ප්‍රදානය අවසන් වූ වහාම තම ජයග්‍රහණය සැමරීම පිණිසවත් නතර නොවී ඩොරති චැන්ඩ්ලියර් පැවිලිනයෙන් පිටත්ව තම නිවස බලා පැමිණි වහාම යහනට ගොස් නිදා ගැන්මට තැත් කළ ද පැය ගණනක් ඇදෙහි වැතිර ඔබ මොබ පෙරළෙමින් සිටියා විනා නිදි දෙව්දුව ඇද කරා පැමිණියේ නැත. ඇගේ හදවත තවමත් බියේ ගැහෙයි.

‛‛ආයෙත් මෙවැනි දෙයක් කරන්න මම එයාට ඉඩ තියන්නේ නැහැ. ආපහු නම් මේ වගේ බයේ ගැහි ගැහී ජීවත් වෙන්නේ නැහැ.’’ ඈ සිතුවාය. තමා පැරදවීමට බොස්ට ඉඩදිය නොහැක. තමා මේ තත්ත්වයට පැමිණියේ දිගු කලක් තිස්සේ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙනි. කිසියම් දිනක ඔහු විසින් තමා මරා දමනු ඇති බවට ඇයට කිසිදු සැකයක් නැත. නමුත් ඊට පෙර ඔහු ඇයව සෙල්ලමට ගනු ඇත. තමා ඉමහත් වද වේදනාවන්ට හා දුක් පීඩාවන්ට පමුණුවනු ඇත. තම සුන්දරත්වය විරූපී කළහොත් නැවතත් තමා ඔහු සතු කරගත හැකිය යන හැඟීමෙන් යුතුව තමා අවලස්සන කරනු ඇත.
තම ජිවිතය බේරා ගැනීම සඳහා තීරණයක් ගත යුත්තේ තමා ම බව ඇතීනාට වැටහුණි. අවසානයේ දී ඇය තීරණයකට එළඹුණාය.
……………………………………………………………………………………
බොස් හට එදින රාත්‍රිය ගත කිරීමට සිදු වූයේ පොලිස් අත්අඩංගුවේ ය. පසු දින උදේ ඔහු මුදා හැරුණු විට ඔහුගේ නීතීඥයා බොස් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර තිබුණි.

‛‛මම තමයි ඇතීනා ඇක්විටේන්ගේ විවාහක සැමියා. ඒත් මම අවුරුදු දහයක් තිස්සේ එයාව මුණ ගැහිලා නැහැ.’’ බොස් වාර්තාකරුවන් හමුවේ කියා සිටියේ ය.
‛‛මම පුංචි විහිලුවක් කළේ. මම විසි කළේ වතුර වගයක්’’ යැයි කියූ හේ ඇතීනා තමන්ට විරුද්ධව චෝදනා කර නඩු නොපවරන බව තමාට විශ්වාස යැයි ප්‍රකාශ කළේය.
‛‛ඇතීනා මට නඩු දාන්නේ නැහැ. ඒක මට ෂුවර්. බැරිවෙලාවත් එයා එහෙම කළොත් මට සිද්ධ වෙනවා එයාගේ ටොප් සීක්‍රට් කතන්දර ටික හෙළිදරව් කරන්න.’’
බොස් කළ එක ප්‍රකාශයක් සත්‍ය බව පැහැදිලි විය. ප්‍රහාරය පිළිබඳව ඔහුට විරුද්ධව නඩු පැවරීමට ඇතීනා ක්‍රියා නොකළාය. එයින් පෙනෙන්නේ ඇය ඒ කතා සියල්ල ප්‍රතික්‍ෂෙප නොකරන බව ද? සම්මානලාභී සුන්දර නිළියගේ අතීතය අප හිතන තරම් සුන්දර නැද්ද?

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , ,

Leave a Comment