මේ වතාවෙ නම් ඔයා ඇත්තටම ආදරෙන් බැඳිලා – 6 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 06 කොටස

මෙතෙක් කතාව

සිනමා නිළියක් වීමට සිහින මැවූ සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දෙන්නේ ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග් විසිනි. නමුත්, එම අවස්ථාව ලබා ගැනීම සඳහා ඇය ස්ටීව්ට ආදරය කළ යුතු වේ. ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකට ලක් වන ඇය ප්‍රහාරකයා තම සැමියා බව හඳුනා ගනී. මේ සිදුවීමෙන් පසු ඇය සිනමාවෙන් ඉවත්වීමට තීරණය කරන අතර, මේ නිසා ඇය ප්‍රධාන චරිතය රඟපාන ඩොලර් මිලියන සියයක් වටිනා මෙගා බජට් චිත්‍රපටයක් වන ‛මෙසලිනා’ අතරමග ඇන හිටීමේ තත්ත්වයක් ඇති වේ. චිත්‍රපට නිෂ්පාදන සමාගම ඇයට ආරක්ෂාව සැපයීමට පොරොන්දු වුවත් ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ චිත්‍රපටය අවසන් කිරීමෙන් පසු ඇයගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති හෙයිනි. මේ අවස්ථාවේදි ලාස් වේගාස් නුවර කැසිනෝ හෝටල් හිමිකරුවෙකු වන ක්‍රොස් ඩි ලේනා ඇයට උදව් කිරීමට පැමිණෙන අතර මෙසලිනා චිත්‍රපටය මිලට ගැනීමට ඔහු ඉදිරිපත් වෙයි.

ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස් සමාගම සමඟ පැවති ව්‍යාපාරික සාකච්ඡාවකින් පසු ‛මෙසලිනා’ චිත්‍රපටය ඩොලර් මිලියන පනහකට මිලට ගැනීමට ක්‍රොස් ඩි ලේනා සමත් විය. මෙම ගනුදෙනුව හේතුවෙන් ලෝඩ්ස්ටෝන් සමාගම චිත්‍රපට සඳහා ආයෝජනය කළ සම්පූර්ණ මුදල නැවත උපයා ගැනීමට ඔවුන්ට හැකිවිය. නමුත් චිත්‍රපට සම්පූර්ණ කරන ලද්දේ නම් ලබා ගත හැකිව තිබූ ප්‍රක්ෂේපිත ආදායම පිළිබඳව කල්පනා කළ ස්ටුඩියෝවේ ප්‍රධානීන්ට මෙම තීරණයට එළැඹීමට පහසු වූයේ නැත.

මෙම ගනුදෙනුව ඔවුන්ට දිස්වූයේ තරමක අතාත්වික එකක් වශයෙනි. ක්‍රොස් ඩි ලේනා මෙහිදී විශාල අවදානමක් ගන්නේ ඇතීනා නැවත රඟපෑමට පැමිණෙනු ඇතැයි යන විශ්වාසයෙනි. ඔහු කෙළින්ම ඩොලර් මිලියන පනහක් ස්ටුඩියෝවට ගෙවන අතර නිෂ්පාදනය සම්පූර්ණ කිරීම සඳහා තවත් මිලියන පනහක් යොදවනු ඇත. නමුත්, ඇතීනා ආපසු නොආවොත් ඒ සම්පූර්ණ ආයෝජනයම වතුරේ යයි. කෙසේ වුවද චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය ස්ටුඩියෝව වෙත තබා ගැනීමට ද ලැබෙන ලාභයෙන් සියයට දොළහක් ස්ටුඩියෝව වෙත ලබා දීමටද මෙහිදී එකඟතාවයක් ඇති විය.

ආපසු ලාස් වේගාස් වෙත පැමිණි ක්‍රොස් ඩි ලේනා ෂනාඩු හෝටලයේ ඉහළ මාලයේ පිහිටි තම කාමරයට වී තමා ගත් බරපතළ තීන්දුව පිළිබඳව මෙනෙහි කළේය. තමා මෙතරම් විශාල අවදානමක් ගත්තේ මන්දැයි ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය. මෙම ආයෝජනය සාර්ථක වුවහොත් ඔහුට විශාල මුදලක් උපයා ගැනීමට හැකි වන අතර සිනමාකරුවෙකු ලෙස සම්පූර්ණයෙන්ම අලුත් ජීවිතයකට පා තැබීමට ද හැකියාවක් ලැබේ. නමුත් ඔහු කල්පනා කළේ ඇත්ත වශයෙන්ම මෙම තීරණය ගැනීමට ඔහු පොළඹවන ලද සැඟවුණු අරමුණ පිළිබඳවය. ඇතීනා ඇක්විටේන් ගේ සුන්දර රූ සපුව මතකයෙන් මොහොතකට හෝ ඉවත් කිරීමට ඔහුට නොහැකි විය. මේ චිත්‍රපටයට දායක වීමත් සමඟ ඇය ඔහු හඳුනා ගනු ඇත. සමහර විට ඇය ඔහුට ආදරය කරනු ඇත. සදාකාලයටම නොවූවත් අඩු ගණනේ මොහොතකට හෝ ඇය ඔහුට ආදරය කරනු ඇත. ඔහුට නැවතත් ඇල්ෆ්‍රඩ් ග්‍රෝන්වෙල්ට් ගේ අනාගත වාක්‍යය සිහිවිය. “ගැහැනියක් වැඩියෙන්ම අනතුරුදායක වෙන්නේ ඇය කරදරයක වැටිලා එයින් බේරාගත යුතු අවස්ථාවක සිටින විටයි. විපතට වැටුණු සුන්දරියන්ගෙන් ප්‍රවේශම් වෙන්න” ග්‍රෝන්වෙල්ට් නිතර කීවේය. එහෙත් මේ මොහොතේ ක්‍රොස් ඩි ලේනා ඒ අවවාද සියල්ල තම මනසින් බැහැර කළේය.

ඇත්ත වශයෙන්ම සුන්දර ඇතීනා ඇක්විටේන් ඉල්ලා සිටින්නේ මොනවාද? වචනවලින් නොකීවත් ඇත්ත වශයෙන්ම ඇය නොකියා කියන්නේ නැවත චිත්‍රපටයට පැමිණීමට නම් කිසිවෙකු විසින් තම සැමියා වූ බොස් ස්කැනට් මරා දැමිය යුතු බව නොවේද? ඒ බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය. චිත්‍රපටය නිෂ්පාදනය කරන අතරතුර ඇයට ආරක්ෂාව ලබා දීමට ස්ටුඩියෝව දෙන පොරොන්දුවෙන් ප්‍රයෝජනයක් නොවන්නේ චිත්‍රපටය අවසන් වීමත් සමඟම ආරක්ෂාව ද ඉවත් වන බැවින් බොස් ස්කැනට්ට නැවත ඇය ලුහුබැඳ ඇයව ඝාතනය කිරීමට වුවද ඉඩ සැලසෙන බැවිනි.

එලායි මාරියන්, බොබී බෑන්ට්ස් සහ ස්කිපි ඩියරී මේ ප්‍රශ්නය තේරුම් ගනිති. එයට දිය යුතු පිළිතුර ද ඔවුහු දනිති. නමුත් එය විවෘතව ප්‍රසිද්ධියේ කතා කිරීමට ඔවුහු බිය වෙති. සමාජ හිනිමගේ ඉහළටම නැගුණු ඔවුන් වැන්නන්ට නැතිවීමට බොහෝ දේ ඇති අතර, අවදානම ඉතා ඉහළය. එයින් ලබා ගන්නා ජයග්‍රහණය මෙතරම් අවදානමක් ගැනීමට තරම් නොවේ.
ඉදිරියේදී ප්‍රධාන අභියෝග දෙකක් තමා ඉදිරියේ ඇති බව ක්‍රොස් කල්පනා කළේය. පළමුවැන්න චිත්‍රපටයේ කීර්ති නාමයට කිසි ලෙසකින්වත් හානියක් නොවන ආකාරයට ඇතීනාගේ ස්වාමිපුරුෂයා වන බොස් ස්කැනට් ඝාතනය කිරීමයි. දෙවැනි සහ වඩාත් බරපතළ අභියෝගය වන්නේ මෙම සැලසුම සඳහා තම පියා වන පිප්පි ඩි ලේනා ගේ සහ ක්ලරිකුසියෝ පාතාල සමාගමේ අනුමැතිය ලබා ගැනීමයි.

මෙම සියලු අභියෝග මැද්දේ ඇතීනා පිළිබඳ මතකය දිය යට සැඟ වූ රබර් බෝලයක් සේ මතු පිටට පැමිණීම වැළැක්වීමට ඔහුට නොහැකි විය. හදවතෙහි සියලු හැඟීම් මතු කොට පෙන්වන කැඩපතක් බඳු ඇයගේ මායාමය මුහුණ, සුන්දර දිගු දෙපා, බුද්ධිමත් බව පිරුණු දෙනෙත් ඔහුගේ සිහියට නැගෙන්නට විය.

ක්‍රොස් දුරකතනය ගෙන ෂනාඩු හෝටලයේ නිරූපිකාවන් අතර ප්‍රධානී වශයෙන් කටයුතු කළ ටිෆනිට තම කාමරයට එන ලෙස දැන්වීය. ඇය පැමිණි විගස කෙළින්ම ඇය බදා වැළඳගත් ඔහු ඇගේ මුළු සිරුරම හාදු වැස්සකින් නහවමින් ඇයට ආදරය කරන්නට විය. ඉතා ඉක්මනින් ඇය හා එක්වුණු ඔහු ඉක්මනින්ම සැනැහී සන්සුන් විය. ඔහුගේ පෙම් කිරීමේ කලාවේ වේගවත් බව ගැන ටිෆනි පුදුමයට පත් විය. මේ නම් ඇය දැන හඳුනාගෙන සිටි පුද්ගලයා නොවේ.

“මේ වතාව නම් ඔයා ඇත්තටම ආදරෙන් බැඳිලා.” ටිෆනි කීවාය.
“ඔව්. මම ඇත්තටම ආදරෙයි.” ක්‍රොස් නැවතත් ඇය සිප ගනිමින් කීවේය.
“මට නෙවෙයි කියලා මම දන්නවා පිස්සො. කවුද ඒ ලකී ගර්ල් ?” ටිෆනි ඇසුවාය ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , ,

Leave a Comment