ඇතීනා නැවත රඟපෑමට එක්වෙයි ! – 7 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද 07 කොටස

මෙතෙක් කතාව

සිනමා නිළියක් වීමට සිහින මැවූ සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දෙන්නේ ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග් විසිනි. නමුත්, එම අවස්ථාව ලබා ගැනීම සඳහා ඇය ස්ටීව්ට ආදරය කළ යුතු වේ. ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකට ලක් වන ඇය ප්‍රහාරකයා තම සැමියා බව හඳුනා ගනී. මේ සිදුවීමෙන් පසු ඇය සිනමාවෙන් ඉවත්වීමට තීරණය කරන අතර, මේ නිසා ඇය ප්‍රධාන චරිතය රඟපාන ඩොලර් මිලියන සියයක් වටිනා මෙගා බජට් චිත්‍රපටයක් වන ‛මෙසලිනා’ අතරමග ඇන හිටීමේ තත්ත්වයක් ඇති වේ. චිත්‍රපට නිෂ්පාදන සමාගම ඇයට ආරක්ෂාව සැපයීමට පොරොන්දු වුවත් ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ චිත්‍රපටය අවසන් කිරීමෙන් පසු ඇයගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති හෙයිනි. මේ අවස්ථාවේදි ලාස් වේගාස් නුවර කැසිනෝ හෝටල් හිමිකරුවෙකු වන ක්‍රොස් ඩි ලේනා ඇයට උදව් කිරීමට පැමිණෙන අතර මෙසලිනා චිත්‍රපටය මිලට ගැනීමට ඔහු ඉදිරිපත් වෙයි. එනමුත් තම සැමියා ජීවත්ව සිටින තාක් තමාට නැවත රඟපෑමට නොහැකි බව ඇතීනා පවසා සිටියි.

නාඳුනන පුද්ගයෙකු විසින් ලබා දුන් ඔත්තුවක් අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ඈත කැලේ පෙදෙසක ගසක එල්ලී මිය ගිය බොස් ස්කැනට් ගේ මළ සිරුර සොයා ගන්නා ලදී. ඔහුගේ කබා සාක්කුවක ‛තමා දිවි නසාගන්නා බවට’ ඔහුගේම අත් අකුරෙන් ලියූ සටහන් දෙකක් විය. මරණය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය විය.

බොස් ස්කැනට් ගේ මරණයත් සමඟම මෙසලිනා චිත්‍රපටියට එල්ල වූ සියලු අපල උපද්‍රව දුරු වී ගියේය. ඇතීනා නැවත චිත්‍රපටියට පැමිණෙන බව ඇගේ නියෝජිත මෙලෝ ස්ටුවර්ට් ලෝඩ්ස්ටෝන් සමාගමට දැන්වීය. එහෙත් දැන් ‛මෙසලිනා’ හි අයිතිය ඇත්තේ ස්ටූඩියෝවට නොව ක්‍රොස් ඩි ලේනාට ය. ක්‍රොස් ප්‍රශ්නය විසඳීම සඳහා කිසිවක් නොකළ බැවින් චිත්‍රපටය ඔහුට දීම සාධාරණ නැතැයි ලෝඩ්ස්ටෝන් සභාපති තැන්පත් එලී මැරියන් තර්ක කළේය. චිත්‍රපටය බෙදා හැරීමෙන් පමණක් වුවද ස්ටුඩියෝවට විශාල මුදලක් ලැබෙන බව සැබෑය. එහෙත් ඩි ලේනා තමාට වඩා මුදලක් ඉපැයීම අසාධාරණය.
ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝව චිත්‍රපටය ආපසු ඉල්ලා නඩු මඟට යන බව ක්‍රොස්ට දැනුම් දුන්නේය. අධිකරණයේදී තමාට ජයගත හැකි බව ක්‍රොස්ගේ නීතිඥවරිය පැවසුවද දිග්ගැස්සුණු අධිකරණ ක්‍රියා මාර්ගයකට යාමට ක්‍රොස් අදි මදි කළේය. තමා ආයෝජනය කළ මුදල් සියල්ලම සහ චිත්‍රපටයේ දළ ලාභයෙන් සියයට දහයක් ලබා ගැනීමේ එකඟත්වය මත තමන් ආයෝජනය කළ මුදල ආපසු ලබාගෙන “මෙසලිනා” නැවත ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස් සමාගම වෙත පවරා දීමට ක්‍රොස් එකඟ විය.

බොස් ස්කැනට්ගේ මරණයෙන් සතියකට පසු ක්‍රොස්ට ඇතීනා ඇක්විටේන් වෙතින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා මලිබුහි පිහිටි ඇයගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනයක් ලැබිණ. ක්‍රොස් ලාස් වේගාස් සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කොට මෝටර් රථයක් කුලියට ගෙන ඇතීනාගේ නිවසට ගියේය. නිවසට යොදා තිබුණු ආරක්ෂාව ඉවත් කොට තිබිණි. ඇතීනා ඔහු එනතුරු බලා සිටියාය. එදා ඇය අන් කවරදාවකටත් වඩා සුන්දර විය. ඇය කොළ පැහැති බ්ලවුසයකින් සහ ස්ලැක් එකකින් සැරසී සිටියාය.

“මගේ ෆිල්ම් කැරියර් එක බේරලා දීපු එක ගැන ඔයාට ගොඩක් ස්තූතියි.” ඇතීනා කීවාය.
“මම හිතුවා ඔයාට හොඳ ගාණක් දීලා ෆිල්ම් එක කරන්න ඔයාව කැමති කරවාගන්න පුළුවන් වෙයි කියලා.” ක්‍රොස් කීවේය.
“මගේ දුර්වලකම් කොච්චරවත් තියෙනවා. ඒත් මම සල්ලිවලට නම් කෑදර නැහැ.” කියූ ඇතීනා, “මට ආරංචි වුණා මගේ හස්බන්ඩ් මැරුණට පස්සේ ස්ටූඩියෝ එක ඔයාගෙන් ආපහු ෆිල්ම් එක ඉල්ලුවා කියලා. ඊට පස්සේ ඔයා පර්සන්ටේජ් එකක් අරගෙන ෆිල්ම් එක ආපහු දුන්නලු නේද?” යි ඇසුවාය. ඇතීනා පිළිබඳව හදවතේ තෙරපෙන හැඟුම් සඟවා ගෙන ඔහු සන්සුන් මුහුණක් මවා ගත්තේය.

“මම හිතන්නේ මම හොඳ බිස්නස්මන් කෙනෙක් නෙවෙයි.”
“කොන්ට්‍රුක් එක ලිව්වේ මොලී ෆ්ලැන්ඩර්ස්. එයාට වරදින්න බැහැ. ඔයාට උසාවි ගියත් දිනන්න තිබුණා.”
“ඇත්තටම මට ඕන වුණේ නැහැ ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝව තරහ කරගන්න. මම කැමතියි දිගටම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න.” ක්‍රොස් කීවේය.
“මට පුළුවන් ඔයාට උදව් කරන්න. මට පුළුවන් ෆිල්ම් එකට යන එක තවදුරටත් ප්‍රතික්ෂේප කරන්න.” ඇතීනා කීවාය.
ඇතීනා තමා වෙනුවෙන් එවැනි කැප කිරීමක් කිරීමට වචනයෙන් හෝ සුදානම් වීම පිළිබඳව ඔහුගේ සිත ප්‍රහර්ශයට පත්විය.
“ඇයි ඔයා ඒ වගේ දෙයක් කරන්නේ මං වෙනුවෙන්?” ක්‍රොස් ඇසීය. ඇතීනා සුන්දර බව සැබෑය. එහෙත් ඇය බුද්ධිමත් නැතැයි ඉන් අදහස් නොවේ.
ඇතීනා සෙමෙන් හිස හරහා ඔහු දෙස බලා මෙසේ කීවාය.
“ඇයි මම එහෙම කරන්නේ? මම ඔය කාටවත් වඩා හොඳට බොස් ස්කැනට් ගැන දන්නවා. සුවිසයිඩ් නෝට්ස් එකක් නෙවෙයි සීයක් ලියලා තිබුණත් මම හොඳටම දන්නවා එයා කවදාවත් සියදිවි නසා ගන්නෙ නැහැ කියලා. අන්න ඒකයි”
“මැරිච්ච අය මැරුණා, දැන් ඒ ගැන කතා කරලා ඵලක් තියෙනවද?” ක්‍රොස් ඇසීය.
“ඔව් ඒක ඇත්ත.” ඔහුගේ නෙත් දෙස එක එල්ලේ බලමින් ඇය කීවාය.
“ ඔන්න ඔයා ෆිල්ම් එක සල්ලිවලට ගන්නවා. එතකොට එකපාරටම බොස් සියදිවි නසා ගන්නවා. මිනීමරුවා හැටියට මගේ තේරීම ඔයා තමයි.”
“ස්ටුඩියෝ එකට බැරිද ඒක කරන්න? එලායි මාරියන් කියන්නෙ ඇමෙරිකාවේ ඉන්න බලවත්ම මිනිසුන්ගෙන් කෙනෙක්. එතකොට බොබී බැන්ට්ස්, ස්කිපී ඩියරි වගේ කෙනෙක් මේක කළා වෙන්න බැරිද?” ක්‍රොස් ඇසීය. ඇතීනා හිස දෙපසට වනා නොඑකඟතාවය පළ කළාය.

“මම ඉල්ලන්නේ මොනවද කියලා ඔයාට තේරුණා වගේම ස්ටුඩියෝ එකටත් හොඳටම තේරුණා. නමුත් එයාලා ඒක කළේ නැහැ. එයාලා ෆිල්ම් එක ඔයාට වික්කා. ෆිල්ම් එක කරලා ඉවර වුණාට පස්සේ මම මැරුණත් එයාලට ගාණක් නැහැ. නමුත් ඔයා මං ගැන හිතුවා. එදා ඔයා මට උදව් කරන්න බැරි එක ගැන කනගාටුයි කියලා කිව්ව වෙලාවේ වුණත් මට තේරුණා ඔයා මට උදව් කරනවා කියලා. ඔයා ෆිල්ම් එක සල්ලිවලට ගත්තා කියලා ආරංචි වුණ ගමන්ම මට තේරුණා ඔයා මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ වුණත් මම හිතුවේ නැහැ ඔයා ඒක මෙච්චර දක්ෂ විදියට කරයි කියලා.”
හදිස්සියේම ඇතීනා ඔහු වෙතට පැමිණි අතර ඔහු තමා හිඳ සිටි අසුනෙන් නැගිට්ටේය. ඔහුට ඇගේ සිරුරේ සුසුම් සුවඳ දැනෙන්නට විය.

“මගේ ජීවිතේටම මම කළ එකම නපුර තමයි මේක. මම කෙනෙකුව මිනී මරුවෙක් කළා. මීට වඩා හොඳයි මම අතින්ම ඒ වැඩේ කළා නම්. ඒත් මට එච්චර හයියක් තිබ්බේ නැහැ.” ඇතීනා කීවාය.
“මම මොනව හරි කරාවි කියලා ඔයාට මෙච්චර ෂුවර් ඇයි? ක්‍රොස් ඇසීය.
“ඔයාගේ නංගි ක්ලෝඩියා මට ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. මට තේරුණා ඒ දවස්වලම ඔයා කවුද කියලා.

ඊළඟට ඔයා මා දිහා බලපු විදිහ. ගොඩක් පිරිමි ඒ විදිහට මං දිහා බලලා තියෙනවා. මම විළිබිය නැති විදියට හැසිරෙනවා නෙවෙයි. මම දන්නවා මම ලස්සනයි කියලා. මම පුංචි කාලේ ඉඳන් මට මිනිස්සු ඒ බව කියලා තියෙනවා. මම හැමදාම දැනගෙන හිටියා මට පවර් එකක් තියෙන බව. නමුත් මට කවදාවත් ඒ බලය හරියට තේරුම් ගන්න බැරි වුණා. මම එහෙම බලයක් තිබුණාට ඇත්තටම කැමති නැහැ, ඒත් මම ඒ පවර් එක පාවිච්චි කරනවා. මිනිස්සු ඒකට කියන්නේ ‛ආදරය’ කියලා” ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment