ඇතීනා තම සිඟිති දියණිය මරා දැම්මාද? 8 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 08 කොටස

මෙතෙක් කතාව

සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ඇය ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග්ට ආදරය කළ යුතු වේ. ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී තම සැමියා විසින් එල්ල කළ ප්‍රහාරයකට ලක් වන ඇය සිනමාවෙන් ඉවත්වීමට තීරණය කරන අතර, මේ නිසා ඇය ප්‍රධාන චරිතය රඟපාන මෙසලිනා’ අතරමග ඇන හිටීමේ තත්ත්වයක් ඇති වේ. මේ අවස්ථාවේදි ලාස් වේගාස් නුවර කැසිනෝ හෝටල් හිමිකරුවෙකු වන ක්‍රොස් ඩි ලේනා ඇයට උදව් කිරීමට පැමිණෙන අතර මෙසලිනා චිත්‍රපටය මිලට ගැනීමට ඔහු ඉදිරිපත් වෙයි. එනමුත් තම සැමියා ජීවත්ව සිටින තාක් තමාට නැවත රඟපෑමට නොහැකි බව ඇතීනා පවසා සිටියි. හදිසියේම ඇතීනාගේ සැමියා සිය දිවි නසා ගැනීම නිසා නැවත මෙසලිනා චිත්‍රපටිය පණ ලබයි. නමුත් චිත්‍රපටි සමාගම ක්‍රොස්ගෙන් චිත්‍රපටය නැවත පැහැර ගනියි. මේ අතර ඇතීනා ක්‍රොස්ට තම නිවසට ඇරයුම් කරන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහාය. බොස් මරා දමන ලද්දේ ක්‍රොස් විසින් යයි ඇය විශ්වාස කරයි.

“ඔයා මොකද බොස් ට ඔයාකාර බය වුණේ? එයා ඔයාගේ කැරියර් එක කඩාකප්පල් කරාවි කියලද?”
ක්‍රොස් ඇගේ දෑතේ බන්ධනයෙන් මිදෙමින් ඇසුවේය.
එක් නිමේෂයකට ඇගේ සුන්දර දෙනෙත් කෝපයකින් ඇවිලිණි.
“නැහැ. මගේ කැරියර් එක නිසා නෙවෙය.” ඇය කීවාය. “එයා මාව මරල දාවි කියන බය නිසාත් නෙවෙයි. මට ඊට වඩා වැදගත් හේතුවක් තිබුණා”
මඳකට නතරවුණු ඇය ඉන්පසු මෙසේ කීවාය.
“මට පුළුවන් ස්ටුඩියෝ එක ආපහු ෆිල්ම් එක ඔයාට දෙන තැනට වැඩ කරන්න. මම ආපහු ෆිල්ම් එකට යන එක ප්‍රතික්ෂේප කරන්නම්.”
“එපා” ක්‍රොස් කීවේය.
සිනාසුණු ඇතීනා සෙල්ලක්කාර උද්යෝගිමත්භාවයකින් යුතුව මෙසේ කීවාය.
“එහෙනම් අපි දෙන්නා ඇඳට යමු. ඔයා හරිම ආකර්ෂණීයයි. මට සහතිකයි අපි දෙන්නට හොඳට සතුටු වෙන්න පුළුවන් කියලා”

ඇය හිතන්නේ තමා මුදලට ගතහැකිය කියාය යන සිතුවිල්ලත් සමඟ ඔහුගේ පළමු ප්‍රතික්‍රියාව වූයේ තදබල කෝපයකි. පිරිමියෙකු තම ශාරීරික ශක්තිය පාවිච්චි කරන්නාක් හා සමානව ඇය ස්ත්‍රියක් ලෙස තම සුන්දරත්වය යොදා ගනිමින් සිටින්නේ චිත්‍රපටියක චරිතයක් රඟපානවා සේය. ඇයගේ හඬේ රැඳී තිබුණු සිහින් සරදම්කාරී ස්වරයත්, ඔහුගේ නිර්භීතකම කෙරෙහි දැක්වූ සරදම සහ ඔහුගේ සත්‍ය ප්‍රේමය සරල නිදිවැදීමක් බවට ලඝු කිරීමත් ඒ සියල්ලටම වඩා ඔහුගේ සිත කරදරයට පත් කළේය. එය හරියට ඇය කෙරෙහි ඔහුගේ ඇති ආදරයත් ඔහු කෙරෙහි ඇයගේ ඇති ආදරය මෙන්ම ව්‍යාජයක් බව ප්‍රකාශ කිරීමක් මෙනි.

ඔහු සන්සුන්ව ඇයට මෙසේ පැවසීය.
“මම බොස් එක්ක ඩීල් එකක් දාගන්න එයා එක්ක කතා කළා. ඒ වෙලාවෙදි එයා ඔයා ගැන ගොඩක් විස්තර කිව්වා.”

“මොනවද එයා කිව්වෙ?” ඇය ඇසුවාය.
ඇය දෙස දරුණු බැල්මක් හෙළු ක්‍රොස් මෙසේ කීය:
“එයා කිව්වා ඔයා එයා අත හැරලා පැනලා එන අතරතුරේ දී ඔයාලා දෙන්නගේ බබාව කාන්තාරේ වල දැම්මා කියලා ඔයා පාපොච්චාරණය කළා කියලා.”

ඇතීනාගේ මුහුණ වෙස්මුහුණක් බවට පත් විය. ඇයගේ දෙනෙත් වල පළාවන් පැහැය වියැකී ගොස් අඳුරු පැහැයක් ගත්තේය. එම රාත්‍රියේ පළමු වතාවට දැන් නම් ඇය රඟපෑමක් කරනවා විය නොහැකි බව ක්‍රොස්ට හැඟුණි. ඇගේ මුහුණේ මතුවූයේ කිසිදු නිළියකට වෑයම් කර ළඟා කර ගත නොහැකි ආකාරයේ පාන්ඩු පැහැයකි. ඇය කෙඳිරිලි හඬින් ඔහුගෙන් මෙසේ ඇසුවාය.

“ඔයා ඇත්තටම විශ්වාස කරනවාද මම මගේ බබාව මැරුවා කියලා?”
“බොස් තමයි මට කිව්වේ ඔයා එයාට එහෙම කතාවක් කිව්වා කියලා”
“මම එයාට එහෙම කිව්වා තමයි.” ඇතීනා කීවාය. “මම දැන් අයෙමත් අහනවා. ඔයා ඇත්තටම විශ්වාස කරනවාද මම මගේ බබාව මැරුවා කියලා?”

සුන්දර ස්ත්‍රියකට පරිභව කිරීම තරම් තවත් භයානක දෙයක් නැත. සත්‍යවාදීව උත්තර දුන්නොත් සදාකාලයටම තමාට ඇය අහිමි වෙන බව ක්‍රොස් ට පැහැදිලි විය. එක්වරම ඔහු ඇය වටා ඉතා මෘදු ලෙස දෑත් යවමින් මෙසේ කීය. “ඔයා ගොඩක් ලස්සනයි. ඔයා වගේ ලස්සන කෙනෙකුට ඒ වගේ දෙයක් කරන්න බැහැ” සියලු සාධක හා සාක්ෂි වලට පයින් ගසා ගැහැණියකගේ සුන්දරත්වය වන්දනාමාන කිරීමට මිනිසුන් තුළ ඇති ආශාව ජය ගත්තේය. “නෑ. මම විශ්වාස කරන්නේ නැහැ ඔයා ඒක කළා කියලා.”

ඇය ඔහු වෙතින් ඉවත් වී මෙසේ ඇසුවාය.
“බොස් ගේ මරණෙට මම වගකිවයුතු වුණත්?”
“ඔයා වගකියන්නෙ මොනවටද? එයා විහින් මැරුණා” ක්‍රොස් කීය.
ඇය ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා සිටින්නට විය. නැවතත් ඇය තම දෝතට ගත් ක්‍රොස් මෙසේ ඇසුවේය.
“ඔයා විශ්වාස කරනවාද මම බොස් ව මැරුවා කියලා?”
අන්තිමේදී තම චරිතය රඟපාන ආකාරය හරියටම තේරුම්ගත් නිළියක සේ ඇතීනා සිනාසුණාය.
“මම මගේ බබාව මැරුවා කියලා ඔයා විශ්වාස නොකරනවා වගේම මමත් ඔයා බොස් ව මැරුවා කියලා විශ්වාස කරන්නෙ නෑ.”
ඔවුහු සිනාසුනහ. ඔවුන් දෙදෙනාම දැන් තමන් එකිනෙකා නිර්දෝෂ බව ප්‍රකාශ කොට ඇත.

රාත්‍රී ආහාරය ගන්නා අතරතුර ඇතීනා විටින් විට ක්‍රොස්ගේ සිරුර ස්පර්ශ කළේ ඔහුගේ සිරුර තුළ කිසියම් සාරයක් සොයන්නාක් මෙනි. ඒ සෑම ස්පර්ශයක් හා සමඟම ඇගේ සිරුර තම සිරුර මත හඟින්නට ඔහු ආශාවෙන් බලාපොරොත්තු විය. රාත්‍රී ආහාරය අවසන් වන විට ඔහුට තවදුරටත් තම ආහාරයෙහි කිසිදු රසයක් නොදැනුණි. අවසානයේදී ඇය ඔහුගේ අතින් ගෙන තම නිදන කාමරය වෙත කැඳවාගෙන ගියාය. ඇය එසේ ඔහු කැඳවාගෙන ගියේ සුන්දර ලෙස සහ අලුත විවාපත් මනාලියක් මෙන් ලැජ්ජාවෙන් රතුවෙමිනි. ඇගේ රංගන හැකියාව පිළිබඳව ක්‍රොස් මවිතයට පත්විය.

ඇතීනා තම අතක් ක්‍රොස්ගේ සිරුර වටා යවා ඔහුගේ එක් උරහිසක් මත තැබුවාය. අනෙක් අතින් ඔහුගේ මුව ඇගේ මුව වෙත ඇද ගත්තාය. දිගු වේලාවක් තිස්සේ ඔවුහු එකිනෙකා සිප ගත්හ. ඇතීනා ඉක්මනින් සිය ඇඳුම් වලින් මිදුනාය. ඇයගේ සුදු පැහැ සිරුර සඳ නැති ඇඳුරු රැයෙහි බබලන්නට විය. ඔහු සිහින මැවූ තරම්ම ඇය සුන්දර විය. ක්‍රොස් ඇගේ සිරුර ස්පර්ශ කරද්දී ඔහුට දැනුණේ ඇගේ සම් මස් විල්ලුද වලින් නිමවූවක් ලෙසිනි. ඇයගේ දෙතොල් මල් සුවඳින් පිරී ඇති සෙයකි. ඔහු ඇයට ආදරය කිරීමට පටන් ගත්තේ එතෙක් කලක් කිසිදා දැන නොසිටි සහ සිහිනෙන් වත් නොපැතූ තරම් බලවත් අනුරාගයකින් ආතුර වෙමිනි.

පසුදින උදෑසන හිරු නැගෙන මොහොතේදී ක්‍රොස් අවදි වූයේ ජීවිතයේ පළමු වතාවට හිසරදයක්ද සමඟය. ඔහු සඳලුතලයට පැමිණ පුටුවක වාඩි වී හිරු නැඟෙනු බලා සිටින්නට විය.

ඇය වූ කලී භයානක ගැහැණියකි. තම බිළිඳු දරුවා මරා කාන්තාරයේ වැලි අතර වළ දැමූ ගැහැණියකි. ඇය තමාගේ අවසානය උදා කරනු ඇත. යළි කිසි දිනෙක ඇය නොදකින්නෙමියි ඔහු මේ මොහොතේ තීරණය කළේය. ඊළඟ මොහොතේ ඔහුට දැනුණේ ඇගේ දෑත් ඔහුගේ ගෙල වටා වෙලෙන උණුසුමයි. “ඔයා ගිහින් වොෂ් එකක් ගන්න. මම ඔයා යන්න කළින් බ්රෙක්ෆස්ට් හදන්නම්” ඇය කීවාය.

ඔහු නාගෙන පැමිණෙන විට ඇය උදය ආහාරය පිළියෙළ කොට සඳලුතලයට රැගෙන ආවාය.
“අපි ආයෙත් හම්බවෙන්නෙ කවදාද?” ඇය ආහාර ගන්න අතරතුර ඔහුගෙන් ඇසුවාය.
“මට ලාස් වේගාස් වල සෑහෙන්න වැඩ තියෙනවා. මම ලබන සතියේ ඔයාට කෝල් කරන්නම්” ක්‍රොස් කීය.
ඇතීනා ඔහුගේ සිතැඟි විනිවිදන අන්දමේ පරීක්ෂාකාරී බැල්මකින් ඔහු දෙස බැලුවාය.
“ඒ කියන්නෙ ගුඩ් බායි කියන එක නේද?” ඇය ඇසුවාය. “ඊයේ රෑ මම නම් ගොඩක් සතුටු වුණා” ඇතීනා කීවාය.
ක්‍රොස් දෙවුර සලා මෙසේ කීය. “ඔයා ඔයාගේ ණය ගෙවලා ඉවර කළා”

ඔහු දෙස බලා ප්‍රසන්න ලෙස සිනාසුණු ඇය මෙසේ කීවාය. “ඔව්, ණය ගෙව්වා, ඒ වුණාට ඒක කළේ පුදුම හිතෙන තරම් හොඳ හිතකින් කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද? කිසිම ඉරිසියාවකින් නොවෙයි”
“ඒක ඇත්ත” ක්‍රොස් කීවේය.

ඇය ඔහුගේ මනස කියවන්නාක් මෙනි. ඊයේ රාත්‍රියේ ඔවුහු එකිනෙකාට බොරු කියා ගත්හ. මේ උදෑසන එම බොරුවලට කිසිදු බලයක් ඉතිරිව නැත. ඇයගේ ඉමහත් සුන්දරත්වය නිසාම ඔහුට ඇය විශ්වාස කිරීමට නොහැකි බව ඇය දැන සිටින්නාක් මෙනි. ඇයගේ පාපොච්චාරණයෙන් පසුව ඔහුට ඇය භයානක ස්ත්‍රියක් ලෙස පෙනෙනු නොඅනුමානය. තරමක් වෙලාවක් ගැඹුරු කල්පනාවකට සමවැදී හුන් ඇය අවසානයේදී ඔහුට මෙසේ කීවාය.

“මම දන්නවා ඔයා ගොඩක් බිසී කියලා. ඒත් මට ඔයාට යමක් පෙන්වන්න තියෙනවා. ඔයාට පුළුවන්ද උදේ වරුවේ මාත් එක්ක ඉඳලා හවස ප්ලේන් එකේ යන්න. මට ඔයාව පොඩි ගමනක් එක්කන් යන්න ඕන”

අවසාන වතාවට ඇය සමඟ ටික වේලාවක් ගත කිරීමට ඇති ආසාව පැරදවීමට ක්‍රොස් ට නොහැකි විය.
“මම නවතින්නම්” ක්‍රොස් කීවේය ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , ,

Leave a Comment