දැන්වත් ඔයා මාව විශ්වාස කරනවද? 9 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද? 9 වන කොටස

මෙතෙක් කතාව
සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා සුරූපී ඇතීනා ඇක්විටේන් ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග්ට ආදරය කළ යුතු වේ. පසුව ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී තම සැමියා විසින් එල්ල කළ ප්‍රහාරයකට ලක් වන ඇය සිනමාවෙන් ඉවත්වීමට තීරණය කරන අතර, මේ නිසා ඇය ප්‍රධාන චරිතය රඟපාන ‛මෙසලිනා’ චිත්‍රපටිය අතරමග ඇණ හිටීමේ තත්ත්වයක් ඇති වේ. මේ අවස්ථාවේදි ලාස් වේගාස් නුවර කැසිනෝ හෝටල් හිමිකරුවෙකු වන ක්‍රොස් ඩි ලේනා ඇයට උදව් කිරීමට පැමිණෙන අතර මෙසලිනා චිත්‍රපටය මිලට ගැනීමට ඔහු ඉදිරිපත් වෙයි. හදිසියේම ඇතීනාගේ සැමියා සිය දිවි නසා ගැනීම නිසා නැවත මෙසලිනා චිත්‍රපටිය පණ ලබයි. නමුත් චිත්‍රපටි සමාගම ක්‍රොස්ගෙන් චිත්‍රපටය නැවත පැහැර ගනියි. මේ අතර ඇතීනා ක්‍රොස්ට තම නිවසට ඇරයුම් කරන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහාය. බොස් මරා දමන ලද්දේ ක්‍රොස් විසින් යයි ඇය විශ්වාස කරන අතර එහි ණය ගෙවීම සඳහා ඔහු සමඟ යහන්ගත වීමට ඇය කැමැත්ත පළ කරයි. තමා තුළ ඇය කෙරෙහි ඇති ආදරය ඇය සමඟ යහන්ගත වීමට ඇති ආශාවක් පමණක් ලෙස සරල කොට දැක්වීම නිසා ක්‍රොස් අමනාපයට පත් වේ. ඇය තම දරුවා මරා දමා කාන්තාරයේ වළ දැමූ බව ඇගේ සැමියා තමාට පැවසු බව ක්‍රොස් ඇතීනාට පවසයි.

ඇතීනා ක්‍රොස් ද සමඟ තම මර්සිඩීස් බෙන්ස් එස්.එල්. 300 රථය සැන් දියාගෝ දෙසට වැටී ඇති අධිවේගී මාර්ගය වෙතට පදවාගෙන ගියාය. ක්‍රොස් නිහඬව ඉදිරි අසුනේ වාඩි ගෙන සිටියේය.

කටු කම්බි වැටකින් වට වූ විශාල ඉඩමක රතු පැහැ ගඩොලින් ඉදි කරනු ලැබූ ගොඩනැගිලි හයක් සහිත සංකීර්ණයක් වෙතට ඇතීනා තම කාරය පැද වූවාය. එම භූමියේ පිහිටි චතුරශ්‍රවල කුඩා ළමයි රංචු ගැසී සෙල්ලම් කළහ. එක් ළමයින් කණ්ඩායමක් පාපන්දුවක් සමඟ ක්‍රීඩා කළ අතර තවත් පිරිසක් සරුංගල් යවමින් සිටියහ. වැඩිහිටියන් තුන් හතර දෙනෙක් ඔවුන් දෙස අවධානයෙන් බලා සිටිනු පෙනිණි. නමුත් මෙම දර්ශනයේ කිසියම් අමුත්තක් ඇතැයි ක්‍රොස්ට හැඟී ගියේය. පාපන්දුව අහසේ ඉගිළ ගොස් බිම වැටෙන විට ළමයින් ඒ දෙසට දිව යාම සාමාන්‍ය වුවත් බොහෝ ළමයින් එයින් ඉවතට දිව යන බවද සරුංගල් අහසට නැගුණත් ඒවා ආපසු බිමට නොබසින බවද ඔහුට පෙනිණි.

“අපි මේ කොහේද ඉන්නේ?” ක්‍රොස් විපිළිසරව විමසීය. ඇතීනා කිසිදු පිළිතුරක් නොදී ක්‍රොස්ගේ අතින් ගෙන විමසීම් කාර්යාලය වෙතට ගොස් පහත් හඬින් යමක් විමසුවාය. “මොකක්ද මේ වෙන්න යන්නේ?” ක්‍රොස් නැවතත් ඇසීය. එහෙත් ඇතීනා ක්‍රොස් ද සමඟ ශාලාවට ඇතුළු වී එක් සුන්දර නිදන කාමරයක් වෙත පිවිසුණාය. කාමරය තුළ රෝස පාට ඇඳ ඇතිරිල්ලකින් වැසුණු කුඩා ඇඳක් විය. නමුත් ඇඳෙහි ළමයෙකු ගේ හෝඩුවාවක්වත් නොවීය.

ඇතීනා කාමරයේ මුල්ලක තිබුණු විශාල පෙට්ටියක් වෙත ඇවිද ගියාය. එය ඉහළින් විවෘත කොට තිබුණි. පෙට්ටිය ඇතුළේ කුඩා දරුවෙකු වැතිර සිටිනු ක්‍රොස් දුටුවේය. ඇතීනාගේ කුඩා ප්‍රමාණයේ පිටපතක් යැයි සැලකිය හැකි වසර දහයක් පමණ වයසැති කුඩා දැරියකි. එහෙත් ඇගේ මුහුණෙන් කිසිදු හැඟීමක් හෝ භාව ප්‍රකාශනයක් හෝ පළ නොවීය. දැරිය ඔවුන්ගේ පැමිණීම ගණනකටවත් ගත් බවක් නොපෙනිණ.

ඇතීනා පෙට්ටිය අසළට ගොස් දැරිය වඩා ගත්තාය. ළදරුවෙකු මෙන් ඇය ඔසවා ගෙන දැරියගේ දෙකපොළ සිප ගත්තාය. එහෙත් දැරිය හැකිළි ඈතට ඇදුණාය.

“මගේ අතට එන්න පැටියෝ. ඔයාගේ අම්මා ආවා. අම්මට කිස් එකක් දෙන්නේ නැද්ද?” ඇතීනාගේ එම ආයාචනාත්මක ස්වරය ඇසූ ක්‍රොස්ගේ හදවත බිඳී ගියේය.

දරුවා සුරතල් කොට ඇගේ අවධානය දිනා ගනු පිණිස ගත් සියලු උත්සහයන් අසාර්ථක වූ පසු ඇතීනා සටන අත් හැරියාය.
“මම හෙටත් එන්නං වස්තුව ඔයාව බලන්න. හෙට එද්දී මං අලුත් පාට පෙට්ටියක් ගේ්න්නම් මගේ සමනල් පැටියට.” කියමින් ඇය නැවත දැරියට හාදුවක් දෙන්නට තැත් කළත් දැරිය ඇය තල්ලු කළාය.

මෝටර් රථයේ යතුරු ක්‍රොස්ට භාර දුන් ඇතීනා ආපසු නිවසට එන තුරුම දෑත මත හිස හොවාගෙන වැළපුණාය. ක්‍රොස් තෝන්තු වූ ස්වභාවයෙන් නිහඬවම රිය පැදවීය. නිවසට පැමිණි විට ඇතීනා නැවතත් ආත්ම සංයමය ඇති කර ගත් සෙයක් පෙනිණි. ක්‍රොස් නිවස තුළට ඇදගත් ඇය ඔහුට මුහුණ දී මෙසේ කීවාය.

“ඒ තමයි මම කාන්තාරේ වළ දැම්මා කියලා බොස්ට කියපු මගේ බබා. දැන්වත් ඔයා මාව විශ්වාස කරනවද?” ඒ සමඟම ඇතීනා තමන්ට ආදරය කරන බව මුල්වරට ක්‍රොස් තුළ විශ්වාසයක් ඇති විය ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , ,

Leave a Comment