ඔයා ඇත්තටම නිර්දෝෂි ද? 10 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 10 වන කොටස

‛‛මම බොස් අත ඇරලා පැනලා යන කොට බෙතනිව තියලා ගියා සැන් දියාගෝවල ඉන්න දුර නෑකමක් තියෙන පවුලක් ළඟ. මම එයාව එහේ තියලා ගියේ කොහොම හරි සාර්ථක නිළියක් වෙන්න ඕන නිසයි. මම අපි දෙන්නටම ජීවත් වෙන්න සල්ලි හොයන්න ඕනනේ. මම දැනගෙන හිටියා මම ටැලන්ටඩ් කියලා. දකින දකින හැමෝම කිව්වේ මම මාර ලස්සනයි කියලා. මං හිතුවා මම දියුණු වෙලා ඉහළට ගියාම මට බබාව මගේ ළඟට ගන්න පුළුවන් කියලා.’’

‛‛ඉතින් මම ලොස් ඇන්ජලීස්වල වැඩ කරලා සැන් දියාගෝවලට යනවා බබාව බලන්න මාසෙකට දවසක් විතර. අන්තිමේදී මම බෙතනිට අවුරුදු තුනක් වෙනකොට මම එයාව මං ළඟට ගන්න යනකොට තමයි මට තේරුණේ එයා ජීවත් වෙන්නේ වෙනමම ලෝකෙක කියලා. මම කලබල වුණා. දොස්තරලට පෙන්නුවා. මම හිතුවා මේක තරමක මන්ද බුද්ධික භාවයක් ද කියලත්. ඒත් දොස්තරලා කිව්වා බෙතනි ජීවත් වෙන්නේ එයාගෙම ලෝකෙක කියලා. එයා දන්නේ නැහැ අනික් මිනිස්සු ජීවත් වෙනවා කියලා. එයා අනික් මිනිස්සු ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් නැහැ. කිසිම කෙනෙක් ගැනවත් කිසිම දෙයක් ගැනවත් කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අන්තිමේදී මම එයාව මේ ක්ලිනික් එකට ගෙනත් නැවැත්තුවා. එහේදි තමයි එයාලා හොයා ගත්තේ අර හගින් මැෂින්’ එකට එයා ප්‍රතිචාර දක්වනවා කියලා.’

ක්‍රොස් නිහඬවම එයට සවන් දෙමින් ඇය දෙස බලා සිටියේය. ඇතීනා දිගටම කතා කළාය.
‛‛බෙතනි ඔස්ටිස්ටික් ළමයෙක් කියන්නේ එයාට කවදාවත් මට ආදරය කරන්න බැහැ කියන එකයි. මම ඒ කාලේ හිතුවා මම බෙතනිව දාලා සාර්ථක නිළියක් වෙන්න ගිය නිසා මට ලැබුණු පනිෂ්මන්ට් එකක්ද මේ කියලා. ඒත් ස්පෙෂලිස්ට්ලා කියන්නේ බොස් එයාව පොඩි කාලෙ බිමට අත ඇරිය නිසා හරි, මම එයාව දාලා ආපු නිසා හරි වෙච්ච දෙයක් නෙවෙයි කියලයි’’

‛‛මේ ගැන මුලින්ම දැනගත්ත වෙලාවේ මම සෑහෙන්න කල්පනා කළා. මට දැඩි තීරණයක් ගන්න සිද්ධ වෙන බව තේරුණා. මට තේරුණා මම සෑහෙන්න සල්ලි හම්බ කළේ නැත්නම් මට බෙතනිව රැක බලා ගන්න බැරි වෙන බව. ඒ නිසා මම එයාව ක්ලිනික් එකේ නැවැත්තුවා. අන්තිමේදී මම ෆේමස් වුණා, පොහොසත් වුණා. ඉස්සර තිබුණු ප්‍රශ්න එකක්වත් මට දැන් ප්‍රශ්නයක් නෙවෙයි. මට ඕන වුණේ බෙතනි එක්ක ඉන්නයි. මේ ප්‍රශ්නෙ ආවේ නැති වුණත් මෙසලිනා ෆිල්ම් එකෙන් පස්සේ මම සිනමාවෙන් සමුගන්නයි හිතන් හිටියේ’’
‛‛ඇයි? ඔයා මොකක්ද කරන්න හිතාගෙන හිටියේ?’’ ක්‍රොස් ඇසීය.

‛‛ෆ්‍රාන්ස්වල තියෙනවා ස්පෙෂල් ක්ලිනික් එකක්. මම හිතන් හිටියේ මේ ෆිල්ම් එකෙන් පස්සේ බෙතනිව අරගෙන එහේ යන්නයි. එතකොට තමයි බොස් කඩා පාත් වුණේ. මම දැනගත්තා අනිවාර්යෙන්ම බොස් මාව මරන බව. එහෙම වුණා නම් මගේ කෙල්ල ලෝකේ තනි වෙනවා. මම නැතිනම් කෙල්ලට මේ ලෝකේ කවුරුත් නැහැ. ඒක නිසයි මම එක විදියකින් බොස් මරන්න කන්ට්‍රූක්ට් එකක් දුන්නා වගේ වැඩක් කළේ. ඒ පාපය මම භාර ගන්නවා.’ මදක් නැවතුණු ඇතීනා ක්‍රොස් දෙස බලා මෙසේ ඇසුවාය. ‛ටෙලි නාට්‍යයක් වගේ නේද?’’

‛‛මොකක්ද අර බෙතනි බැහැලා ඉන්න පෙට්ටිය එතකොට?’’ ක්‍රොස් විමසීය.

‛‛ඒක තමා මගේ එකම බලාපොරොත්තුව. ගොඩක් ඔස්ටිස්ටික් ළමයි ඩිප්‍රෙස් වුණාම ඒ හගින් බොක්ස් එක පාවිච්චි කරනවා. ඒක නිකන් හරියට කවුරු හරි බදා වැළඳ ගන්නවා වගේ අත්දැකීමක්. කවදා හරි මම ඒ හගින් බොක්ස් එකේ තැන අරගෙන බෙතනිව බලා ගන්නවා. ඒක තමයි දැන් මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව. ඒ ඇරුණම මගේ ජීවිතේ වෙන කිසිම අර්ථයක් නැහැ. මේක හරිම විහිළුවක් වගෙයි නේද?’’
“ස්ටුඩියෝ එක කියනවා මට ආදරය කරන මිනිස්සුන්ගෙන් මට ලියුම් දහස් ගණනක් ලැබෙනවලු. මම පාරේ යනකොට මිනිස්සු මාව අතගාන්න හදනවා. නොයෙක් මිනිස්සු එයාලා මට ආදරෙයි මැරෙන්න හදනවා. බෙතනි හැර කවුරුත් මට ආදරෙයි. ඒත් මම ආදරේ බෙතනිට. මට ඕනේ එයා විතරයි’’

‛‛මට පුළුවන් විදියට මම ඔයාට උදව් කරන්නම්’’ ක්‍රොස් කීය.
‛‛එහෙනම් ලබන සතියේ මට කෝල් එකක් දෙන්න. ෆිල්ම් එක ඉවර වෙනකල් අපට පුළුවන් තරම් කාලයක් අපි එකට ඉඳිමු’’ ඇතීනා කීවාය.
‛‛මම අනිවාර්යෙන්ම කෝල් කරනවා. මට මගේ නිර්දෝෂීකම ඔප්පු කරන්න බැහැ. ඒ වුණත් මගේ ජීවිතේ හැම දේකටම වඩා මම ඔයාට ආදරෙයි’’ක්‍රොස් කීවේය.
‛‛ඔයා ඇත්තටම නිර්දෝෂියි ද?’’ඇතීනා ඇසුවාය.
‛‛ඔව්’’

ඇතීනාගේ නිර්දෝෂීභාවය සාක්ෂි සහිතවම ඔප්පු වීමෙන් පසු බොස්ගේ මරණය කෙරෙහි තමාගේ ඇති සම්බන්ධය ගැන ඇතීනාට දැන ගැනීමට ඉඩ තබන්නට තරම් ධෛර්යයක් ක්‍රොස්ට නොමැති විය.

මේ අතර ඇතීනා සිටියේ ක්‍රොස් පිළිබඳව විනිශ්චයක යෙදෙමිනි. ඇය දැන හඳුනාගෙන සිටි සියලු දෙනා අතරින් ක්‍රොස් හැර කිසිවෙකු ඇගේ දියණිය දැක තිබුණේ නැත. එය එක්තරා විදියක පරීක්ෂණයක් විය. ඇතීනාගේ ජීවිතයේ බලවත්ම කම්පනයක් ඇති කළ අත්දැකීමක් වූයේ, තමා කෙතරම් සුන්දර වුවත්, තමා කෙතරම් කුසලතා පූර්ණ වුවත්, ඉතාම කිට්ටු යහළු යෙහෙළියන්, තමන්ට ආදරය කළ මිනිසුන්, ඇයට ආදර ගෞරව කරන නෑ හිතවතුන් පවා ඇගේ විපතේ දී ඒ ගැන සතුටු වන බවය.

විවාහ ජීවිතයේදී පළමු වතාවට බොස් ඇගේ කම්මුලට ගැසූ විට දන්න කියන හැම කෙනෙකුම බොස්ට දොස් පැවරූ නමුත්, ඒ හැම කෙනෙකුගේම දෑස් අග රැඳී ක්ෂණයකින් ඇති වී නැති වී ගිය ඊර්ෂ්‍යාකාරී සන්තෘප්තිය ඇය දුටුවාය. මුලින්ම ඇය සිතුවේ ඒ තමාගේ සංවේදීභාවය නිසා ඇති වූ පරිකල්පනයක් පමණක් බවය. නමුත් දෙවනි වතාවටත් බොස් ඇගේ කම්මුලට පහර දුන් පසු ඇය එම බැල්ම නැවත නැවතත් දුටුවාය. මේ නිසා ඇය දරුණු ලෙස පීඩාවට පත් වූවාය. මේ වතාවේ ඇය එය සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තාය. ඇත්ත තමයි ඔවුන් සියලු දෙනා ඇයට ආදරය කරන්න ඇති. ඒ ගැන ඇයට සැකයක් නැත. නමුත් අබ ඇටයක් තරම්වත් ද්වේශයක් නැති කිසිවකු සොයා ගැනීමට නැති හැටිය. ඕනෑම ආකාරයකින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම වනාහි ඊර්ෂ්‍යාව ජනනය කිරීමකි. එවන් බොහෝ දෙනා අතරෙන් ඇතීනා සිය මිතුරිය ක්ලෝඩියාට කැමති වූයේ කිසි දිනක එම ඊර්ෂ්‍යා සහගත බැල්මෙන් ඇය තමා දෙස බලා නොමැති බැවිනි.

ඇතීනා බෙතනි තම එදිනෙදා ජීවිතයෙන් ඈත් කොට තැබුවේ එබැවිනි. ඇයගේ අතිමහත් සුන්දරත්වය වෙනුවෙන් ඇය දඬුවම් කරනු ලැබ ඇතැයි යන සිතුවිල්ල සමඟ ඇති වෙන සංතෘප්තිය තමා ළඟින් ඇසුරු කරන අය වෙතින් පළවණු ඇයට ඉවසිය නොහැකි විය.
ඇතීනා තම සුන්දරත්වයෙහි බලය ගැන දැන සිටියද, එම බලය පාවිච්චි කළද, ඇය එයට අවමන් කළාය.

එබැවින් ක්‍රොස් ඩි ලේනා බෙතනි මුණ ගැසෙන විට ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවන ආකාරය දෙස ඇය සැලකිල්ලෙන් නිරීක්ෂණය කළාය. ඔහු පළමුව මදක් පැකිළුණද ඉන්පසු ඔහු තුළ කිසිදු වෙනසක් දකින්නට නොහැකි විය. ඔහු බෙතනි නිසා ඇය මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය දුටු විට ඉහත කී ද්වේශ සහගත තෘප්තිය ඔහු කෙරෙන් දිස් නොවුණ බව ඇයට පැහැදිලිය. ක්‍රොස් තමා කෙරෙහි ගැලවිය නොහැකි ලෙස ආදරයෙන් බැඳී ඇති බව ඇතීනාට වැටහිණි ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , ,

Leave a Comment