ඉස්සෙල්ලා පඳුරෙ ඉන්න හාවා අල්ල ගනිමු – පස්සේ බැරියැ ඌව බෙදා ගන්ට – 11 වන කොටස

Feb 20th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද ? 11 වන කොටස

ඇතීනාගෙන් සමුගෙන නැවත ලොස් ඇන්ජලීස් වෙත එන අතරතුර ක්‍රොස් පසුගිය දිනවල සිදු වූ සිදුවීම් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණි. බොස් ස්කැනට්ගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය ඔහු පුවත්පත්වලින් කියෙව්වේ ෂනාඩු හෝටලයේ මතු මහලේ පිහිටි තම කාමරයේ සිටය. සියල්ල සැලසුම් කළ ආකාරයටම සිදුව තිබීම ගැන ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය. මළ සිරුරේ සාක්කුවක තිබී සොයා ගන්නා ලද ලියුම් දෙකක තමා සිය දිවි නසා ගන්නා බවට බොස්ගේ අත් අකුරින් ලියන ලද සටහන් වූයෙන් මරණය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය කර තිබිණි.

ඔහුට පළමු දුරකතන ඇමතුම ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස්හි සභාපති එලායි මාරියන් වෙතින් ලැබුණු අතර නීතිඥවරිය නැතිව තනිවම තමා හමුවන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රොස් ආයෝජනය කළ ඩොලර් මිලියන සියය ආපසු දී එයින් සියයට දහයක කොටසක් ලබා ගැනීමේ එකඟතාවය මත චිත්‍රපටිය ආපසු දීමට ක්‍රොස්ට සිදු විය.

බලාපොරොත්තු වූ පරිදිම ඔහුට දෙවන දුරකතන ඇමතුම ලැබුණේ ජෝර්ජියෝ ක්ලරිකුසියෝ වෙතිනි. කෝග්හි පිහිටි ක්ලරිකුසියෝ පවුල් සමාගමේ මූලස්ථානයට වහාම පැමිණෙන ලෙස ජෝර්ජියෝ විසින් ක්‍රොස්ට දැනුම් දෙන ලදී. පසුවදාම ක්‍රොස් ලාස් වේගාස්හි සිට නැගෙනහිර දෙසට පියාසර කොට ක්ලරිකුසියෝ මන්දිරයට පැමිණියේය. ක්ලරිකුසියෝ පාතාල අධිරාජ්‍යයේ පාලකයා වන අසූ වියැති දොන් දොමිනිකෝ ක්ලරිකුසියෝ, ඔහුගේ පුතුන් තිදෙනා වන ජෝර්ජියෝ, වින්සන්ට් සහ පීට් මෙන්ම දොන් දොමිනිකෝගේ මුනුපුරා වන දාන්තේ ද ඔහු සමඟ දිවා ආහාරය ගැනීම සඳහා වාඩි වූහ.

“ක්‍රොස්, අපට ආරංචියි ඔයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙලා බිස්නස් කරනවා කියලා.” කතාබහ ආරම්භ කරමින් දොන් දොමිනිකෝ ක්ලරිකුසියෝ පැවසීය.
“ඔව්” ක්‍රොස් කීවේය.

“එතකොට ෆිල්ම් එකකට සල්ලි දාන්න ෂනාඩු හොටෙල් එකේ ඔයාට අයිති ෂෙයාර්ස් දාන්න පොරොන්දු වුණා කියන්නේ ඇත්තද?”
ෂනාඩු හෝටලයේ කොටස්වලින් සියයට පනස් එකක අයිතිය සතුව තිබූ ඇල්ෆ්‍රඩ් ග්‍රෝන්වෙල්ට් තම අන්තිම කැමති පත්‍රය මඟින් එම කොටස්වල අයිතිය ක්‍රොස්ට පවරා දී තිබිණ. ඉතිරි කොටස් සියයට හතළිස් නමය අයත් වූයේ ක්ලරිකුසියෝ පවුල් සමාගමටය.

“මම පොරොන්දු වුණේ මට අයිති ෂෙයාර්ස් ගැනයි. ඒ වුණත් මම ඒ පැත්තෙ ඉන්න ඔයාලගේ ඒජන්ට් නේ.” ක්‍රොස් දොන් දොමිනිකෝ අමතා කීය.
“ඔයා ෆැමිලි එකත් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව බරපතළ වැඩකට අත ගහල තියෙනව. ඔයා අපේ දැනමුතුකම් ගන්න හිතුවේ නැහැ. ඒ ඔක්කොටම වඩා බරපතළ ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන් විදියේ ප්‍රචණ්ඩ ක්‍රියාවකත් ඔයා යෙදිල තියෙනව. ඔයා දන්නවනේ අපේ චාරිත්‍රය. එක්කෝ ඒ වගේ දේකදී ඔයා අපේ අවසරය ගන්න ඕන. නැත්නම් ප්‍රතිඵල ආවම ඒවත් තනියම විඳ දරා ගන්න ලෑස්ති වෙන්න ඕන.” දොන් දොමිනිකෝ කීය.

“ඒ මදිවට ඔයා ෆැමිලි එකට අයිති රිසෝසස් එහෙමත් පාවිච්චි කළා.” ජෝර්ජියෝ තදින් කීවේය. “ඔයා සියෙරා නෙවාඩාවල අපේ හන්ටින් ලො’ එක පාවිච්චි කළා. ලියා වාසි, ලෙනාර්ඩ් සෝසා විතරක් නෙමෙයි පැසිෆික් ඕෂන් සෙකියුරිටි සර්විස් එකේ ඇන්ඩෲ පොලාඩ්වත් පාවිච්චි කළා. වෙස්ට් එකේ ඉන්න අපේ බෲග්ලියෝනි හැටියට ඔයාට අයිතියක් තියෙනව තමයි ඒවා පාවිච්චි කරන්න. ඒ වුණාට ඒවා ෆැමිලි එකට අයිති සම්පත්. වාසනාවට වගේ හැමදේම හොඳට සිද්ධ වුණා. වැරදිලාවත් කොහේ හරි මිස් එකක් වෙලා වැඩේ ගහලා ගියානම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා.”
ඩොන් ඩොමිනිකෝ ක්ලරිකුසියෝ නොඉවසිලිමත් ස්වරයකින් මෙසේ කීය.

“ඒ ඔක්කොම කතා ක්‍රොස් දන්නවා. ඒ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. ක්‍රොස්, අවුරුදු ගාණකට කලින් අපි කෙනෙකුට වැඩක් දෙන්න ඔයාට ජොබ් එකක් බාර දුන්නා. ඔයා ඒ ජොබ් එක කරන්න බැහැ කිව්වා. මම ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. දැන් ඔයාගෙ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඔයා වෙන කෙනෙකුට වැඩක් දුන්නා. ඔයා සාමාන්‍යයෙන් මේ විදියට වැඩ කරන කෙනෙක් නෙවෙයි.”

දොන් ක්ලරිකුසියෝ තමා කෙරෙහි සානුකම්පිත බව ක්‍රොස්ට එවේලේ තේරුම් ගියේය. තමාට ඇත්ත කීමට නොහැකි බව ඔහු දන්නේය. තමා මේ සියල්ල කළේ ඇතීනාගේ රුවට වසඟ වීම නිසා බව ප්‍රකාශ කිරීමට නොහැකිය. එය කිසිසේත්ම ප්‍රමාණවත් කරුණු පැහැදිලි කිරීමක් නොවේ. සැබවින්ම එය අපහාසයක් ලෙස සැලකීමට ඉඩ ඇති අතර සමහර විට මාරක වරදක් වීමට ද ඉඩ ඇත. නන්නාඳුනන ගැහැනියක කෙරෙහි ඇති වූ ආකර්ෂණය ක්ලරිකුසියෝ පවුල් සමාගම කෙරෙහි ඇති පක්ෂපාතීත්වය ඉක්මවා යාම වනාහි කිස්සේත්ම සමාව ලැබිය නොහැකි වරදක් වනු ඇත. ක්‍රොස් ප්‍රවේසමෙන් වචන තෝරා බේරාගෙන කතා කළේය.

“සෑහෙන ගාණක් හොයාගන්න පුළුවන් හොඳ ඉන්ස්වෙස්ට්මන්ට් ඔපොර්චුනිටි එකක් මං දැක්කා. අලුත් බිස්නස් එකකට ඔළුව දාගන්න ලැබෙන චාන්ස් එකක්. ඒක මට තනියෙන් ගන්න ඕන කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. හැම දෙයක්ම මට ලැබෙනව වගේම ෆැමිලි එකටත් ලැබෙනව. මේක කළු සල්ලි සුදු කරන්න පුළුවන් නියම සෙල්ලමක්. මට එච්චර කල්පනා කර කර ඉන්න කාලයක් ලැබුණෙ නැහැ, ඉක්මනටම තීරණයක් ගන්න සිද්ධ වුණා. මට මේක හංගගෙන කරන්න වුවමනාවක් තිබුණා නම් මම ෆැමිලි එකේ රිසෝසස් පාවිච්චි කරන්නෙ නෑනෙ. එහෙම කළාම ඔයාලට මේක දැන ගන්න ලැබෙනව කියල මම දන්නවනෙ. මට ඕන වුණේ වැඩේ ඉවර කරලම ඔයාලට විස්තරේ කියන්නයි.”

දොන් ක්ලරිකුසියෝ මේ අවස්ථාවේදී ක්‍රොස් දෙස බලා මඳ සිනා පාමින් මෙසේ විමසීය.
“දැන් ඉතින් වැඩේ කෙරුණද?”
දොන් සියල්ලම දන්නා බව මේ මොහොතේදී ක්‍රොස්ට තේරුම් ගියේය.

“ඊට පස්සේ තව පොඩි ප්‍රශ්නයක් ඇති වුණා.” කියූ ඔහු ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස් සමාගම චිත්‍රපටය නැවතත් ඔහුගෙන් පැහැරගත් ආකාරයත්, ආයෝජනයෙන් සියයට දහයක කොටසක් ලබාගෙන ගනු දෙනුව සමථයකට පත් කරන්නට තමා එලායි මාරියන් සමඟ ඩීල් එකක් දමාගත් ආකාරයත් හෙළිදරව් කළේය.
ඔහුගේ පුදුමයට මෙන් දොන් සිනාසුණේය.

“හරියට හරි ක්‍රොස්. ඔයා හොඳට මේක හැන්ඩ්ල් කරලා තියෙනවා. ඔයා ෆිල්ම් එක ඉල්ලලා උසාවි ගියා නම් ඒක මහ විනාශයක් වෙන්න තිබුණා. අපි උන්ට දිනන්න දෙමු. වැඩේ කියන්නෙ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එවුන් නම් පුදුමාකාර තක්කඩි ටිකක්. හොඳ වෙලාවට අපි ඔය බයිස්කෝප් බිස්නස් එකට අත දාන්නෙ නැතුව පැත්තකට වෙලා හිටියෙ.” මොහොතකට නිහඬ වූ දොන් ඉන් පසු මෙසේ කීය. “අඩු ගාණෙ මේක නිසා ඔයා ටෙන් මිලියන් හම්බ කර ගත්තනෙ. ඒකත් ඉතින් නරකම නැහැ.”

“නෑ, නෑ, මිලියන පහක් මට, ඉතුරු පහ ෆැමිලි එකට.” ක්‍රොස් කීය. “කොහොම වුණත් මම හිතන්නෙ නෑ අපි මේක නිසා අධෛර්යය වෙන්න ඕන කියලා. මම ගාව තව ප්ලෑන් කිහිපයක්ම තියෙනවා. ෆැමිලි එකේ උදව් ලැබෙනවා නම් මට පුළුවන් තව ඉස්සරහට යන්න.”
“එහෙම නම් අපි ෆැමිලි එකට ලැබෙන ෂෙයාර් එක ඊට වඩා වැඩි කරන්න ඕන.” ජෝර්ජියෝද ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස්හි බොබී බෑන්ට්ස්ට සමාන බව ක්‍රොස්ට මොහොතකට සිතිණි. දෙදෙනාම තව තවත් ඉල්ලා සටන් කරන කෑදරයන්ය.

“අයිසෙ ඉස්සෙල්ලාම පඳුරෙ ඉන්න හාවා අල්ල ගනිමු. පස්සේ බැරියැයි ඌව බෙදා ගන්ට” දොන් නොඉවසිල්ලෙන් ජෝර්ජියෝට බාධා කළේය. “හරි ක්‍රොස්, ඔයාට ෆැමිලි එකේ ආශීර්වාදය තියෙනව. හැබැයි බරපතළ දෙයක් කරන්න කලින් අපිත් එක්ක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරල උපදෙස් ගන්න ඕනෑ. තේරුණාද?”

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , ,

Leave a Comment