‘‘වෙඩිතබා මරා දැමිය හැකියි, ඒත් සිහිකරන්න බෑ’’

Feb 27th, 2013 | By | Category: EDITOR'S CHOICE

‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව සාමකාමී විරෝධයන් දක්වන්නටත් නිදහසක් නැති‘සහෝදර රෙජීමය’ ගැන ඇතුළතින් කැකැරුණු කෝපයත් වේදනාවත් කෙතෙක් වෙතත්, ඕනෑම මොහොතක වෙඩි තැබීමට තුවක්කු මානාගෙන සිටින මිනිසුන් සමග වාද කිරීම කෙසේ නම් කරන්නද?)

මේ අධිකරණ නියෝගය ලබා ගෙන, ධර්ම චක‍්‍රය අතෙහි පැළද සිටි පොලිස් නිළධාරීන්, පැමිණ සිටි ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වාරණය කරන ලද්දේ අන් කිසිවක් නිසා නොව, එදිනට හරියටම වසරකට පෙර ආණ්ඩුවේ සන්නද්ධ හේවායින් විසින් තබනලද වෙඩි පහරකින් ඝාතනය වූ හලාවත, එගොඩවැල්ලේ, ඇන්ටනී ප‍්‍රනාන්දු ධීවරයා මෙන්ම විරෝධතාවයේදී තුවාල ලබා සිට පසුව සිය දිවි හානි කරගත් ජේසුමරිය කංග්ස්ලි ධීවරයින් සිහිකිරීමට පැමිණි සහෝදර ධීවර සගයන් ඇතුලූ එම ඝාතනයට විරුද්ධ බොහෝ මිනිසුන් ඉදිරියේ ය.

‘කිසිම විරෝධයකටවත්, රැස්වීමක්වත් දින 14 යනතුරැ හලාවත නගරය තුල කරන්න බෑ.‘

‘කිසිම විරෝධයකටවත්, රැස්වීමක්වත් දින 14 යනතුරැ හලාවත නගරය තුල කරන්න බෑ.‘
‘‘හාමුදුරුවනේ උසාවි නියෝගයක් දීලා තියනවා මේ ඒ නියෝගය. කිසිම පෙළපාලියක්, උද්ඝෝෂණයක් කිසිම දෙයක් බෑ. මෙන්න මම කියවන්නම්..අවසාන කෑල්ල කියවන්නම්. එයින් අපට නඩු විධිවිධාන සංග‍්‍රහයේ ……වගන්තිය ප‍්‍රකාරව, 2013. 02. 15 වන දින මහජන ජීවිතවලට සහ දේපලවලට හානි කරවන පරිදි උද්ඝෝෂණ ක‍්‍රියා, පෙළපාලි හෝ රැස්වීම් කරන ඕනෑම පුද්ගලයෙකු එකී ක‍්‍රියාවන් වැලැක්වීම සදහා නීතිය අනුව විදිවිධාන සළස්වා ඇති ආකාරයේ ක‍්‍රියා කිරීමට හලාවත පොලීසියට මෙයින් අවසරය ලබා දෙන අතර එකී කිසිදු ක‍්‍රියාවක් සිදු කිරීමෙන් වැළකිය යුතු බවට විවෘත්ත ආඥාවක් නිකුත් කරමි. එය අද දින සිට දින 14ක කාලයක් බලපැවැත්විය යුතුයි. ප‍්‍රගතිය වාර්තා කිරීමට 2013.03.01 දින, උත්තරීතර අධිකරණයෙන් දීලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ. නගරය තුළ.’’ තව දුරටත් පොලිස් නිළධාරියා විසින් අධිකරණ නියෝගය උපුටා දක්වමින් පැවසීය.

‘‘නගර සීමාව කොහෙද මහත්තයෝ තියෙන්නේ?’’
 යැයි පැමිණ සිටි භික්ෂූන් වහන්සේ නමක් විමසීය.

‘‘නගරයේ සීමාව ඔන්න ඔය හැමතැනම තියනවා.’’ නිළ ඇදුම් ඇද සිටි පොලිස් නිළධාරියාගේ පිළිතුර විය.

‘‘මෙයින් එක දෙයක් පැහැදිලි වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වලපල්ලේ කියන එක. මිනිසුන්ට කතා කිරීමේ සහ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය, මීට අවුරුද්දකට උඩදී විනාශවෙච්ච ඒ ධීවරයා වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව පවා නැති කර තිබෙන එක කණගාටුවක්.’’ යැයි එම අවස්ථාවට පැමිණ සිටි බැදිවැවේ දියසේන හිමියන් පැවසීය.

‘‘ඕක කරන්න දෙන්න බෑ.’’ නැවතත් පොලිස් නිළධාරියා පැවසීය.

හලාවත නගරයට ඉහළින් හිරු මුදුන් වී මද වේලාවක් ගත වුවත් තවමත් නගරය උණුසුම් වී තිබිණි. ඇන්ටනී මරා දමා වසරක් පිරෙන මොහොතේ ඔහු සැමරීමට මෙන්ම එවන් ම්ලේච්ඡු ඝාතනය වලට විරුද්ධ මිනිසුන්, ගැහැණුන් මෙන්ම පූජ්‍ය පක්ෂයද හලාවත ඔරලෝසු කනුව අසල ඇන්ටනී ලා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියත් එයට නීතිය හරස් වී ඇත. නමුත් ඇන්ටනීගේ සගයන්ට, ධීවරයින්ට සහ ධීවර සංවිධාන සහ ඝාතනයන්ට විරුද්ධ පුරවැසියන්ට සිදු වූයේ හලාවත නගරයෙන් පිටතට ගොස් ඇන්ටනී වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නට බලකිරීමේ විරෝධතාවය පවත්වන්නට ය. මේ රාජපක්ෂ රෙජීමයේ දකුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරමය.

පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ඝාතනය කල සිය සටයන්ගේ පිංතූර සහිත පුවරැවක් සමග විරෝධතා කරැවෙක්

පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ඝාතනය කල සිය සටයන්ගේ පිංතූර සහිත පුවරැවක් සමග විරෝධතා කරැවෙක්
මරා දැමුවත් තවමත් ඇන්ටනීට බිය පොලීසිය

2012 වසරේ පෙබරවාරි 14 දා ආණ්ඩුව විසින් තෙල් මිලට ගිනි තැබුවේ ය. ඉන් අනතුරුව පහන් වූ 15වන දින ඉන්ධන මිළ ඉහළ යාමට එරෙහිව විථි බට මහා ජන පිරිස් සාමකාමීව විරෝධතාවයන්වල නිරත වූහ. එයිනුත් විශේෂයෙන් ධීවරයන් ඔවුන්ගේ විරෝධතාවය ඉතා ප‍්‍රභල බලපෑම් සහගත ලෙස ගෙන ගියහ. එයින් විශේෂයෙන් දකුණේ මුහුදු තීරය ඉතා උණුසුම් විය. එයිනුත් හලාවත මුහුදු තීරයේ ධීවරයින් ඔවුන්ගේ විරෝධය ප‍්‍රභල ලෙස පැවත් වූ අතර පෙර සූදානමකින් තබා තිබූ සන්නද්ධ හමුදාව පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් ලවා එම ධිවරයන් මර්ධනය කිරීම ඇරඹුනි.

මර්ධනයේ සාහසිකත්වය තරම කියාපාමින් සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුනු හලාවත ධීවරයින්ට රාජපක්ෂ ආණ්ඩුවේ සන්නද්ධ හේවායින් විසින් වෙඩි තැබූහ. ඉන් ඇන්ටනී ප‍්‍රනාන්දු ධීවරයා ඝාතනය වී කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබූහ.

අද ද පොලීසිය ද, ආණ්ඩුව ද බිය වී සිටිනුයේ සිය අයිතීන් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයේ යෙදී ආණ්ඩුවේ තුවක්කුවෙන් වෙඩි කෑ මිය ගිය හලාවත, එගොඩවැල්ලේ ඇන්ටනී ප‍්‍රනාන්දුටය.

නගරයේ විරෝධතාවයට ඉඩනොදීම නිසා නගරයෙන් පිටතට යන විරෝධතා කරැවන්

නගරයේ විරෝධතාවයට ඉඩනොදීම නිසා නගරයෙන් පිටතට යන විරෝධතා කරැවන්
කෙසේ නමුත් එවක ඉන්ධන මිල වැඩි කිරීම නිසා ප‍්‍රභල වී තිබූ විරෝධතාවයන් වලට වෙඩි තැබූ ආණ්ඩුවේ සන්නද්ධ හේවායින් ඇන්ටනීව බිලි ගත්තේ ය. අවසානයේ දී 2009 මැයි 19 වනදායින් පසුව අපට නිදහසේ අපේම ජීවිතයක් ගත කිරීමට හැකි වෙතැයි කිරිබත් කෑ දකුණේ මිනිසාට, උතුරට හරවා තිබූ තුවක්කුව පත්තු විය. 2009 දක්වා දේශපේ‍්‍රමී උණ්ඩය ඊට වසර 3ක් යෑමට මත්තෙන් දකුණේ ධීවරයෙකු වූ ඇන්ටනීගේ හිස පසා කරගෙන ගියේ ය. උණු ලේ හලාවත වෙරළ සිප ගනිද්දී ඇන්ටීන්ගේ සගයන් ආණ්ඩුවේ එකදු පාර්ශවයකටවත් එගොඩ වැල්ලට පැමිණීම තහනම් කළේය. පොලීසියට සහ හමුදාවට බලා සිටින්නට සිදු විය. විරෝධය වෙනත් අතකට උණුසුම් විය. ඒ අහිංසක ධීවරයෙකුගේ ජීවිතය ද බිල්ලට ගනිමිනි.

The burial of Antony Fernando Warnakulasuriya, a fisherman killed by police on February 16, took place at Egodawatte cemetery in Chilaw on Saturday.

The burial of Antony Fernando Warnakulasuriya, a fisherman killed by police on February 16, took place at Egodawatte cemetery in Chilaw on Saturday.


ඒ මරාදැමූවන්ට අදත් පොලීසිය බිය වී ඇත.

කෙසේ නමුත් පසුව රාජපක්ෂ ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවයි. ජීවිතයේ සුව`දට වඩා, ලේ සුවදට ඉව අලලන්ට පුරුදු වී සිටි දකුණේ පාලකයින්ට, ධීවරයින්ගේ හෝ උතුරේ ද, දකුණේ ද මිනිසුන්ගේ ජීවත්වීමේ දී ඇති වී තිබූ වේදනාව දැනුනේ නැත. ජීවිතයක් බිල්ලට ගන්නා තෙක් එය දැනුනේ නැත.

එැබැවින් ඇන්ටනී ප‍්‍රනාන්දු අද ද ධිවරයන්ට මෙන්ම ජීවත්වීමේ නිදහස වෙනුවෙන් සටන් කරන සියලූ පුරවැසියන්ට වීරයෙකි.

ඒ විරෝධතා බිමේ දී සන්නද්ධ හමුදා විසින් වෙඩි තැබීම ගැන එය ඇසින් දුටූ අයෙක් 2012 පෙබරවාරියේදී (ඇන්ටනීගේ අවසන් කටයුතු දිනයේදී) ‘විකල්ප’ වෙබ් අඩවිය සමග සිය ඇසින් දුටුදේ පවසා තිබේ. එය නැවතත් මෙසේ සටහන් කරන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ මුග්ධ පිළිවෙත යළි යළිත් ආශ්චර්යමත් ලංකාවේ උතුරේ ද, දකුණේ ද, සිදුකරමින් තිබෙන නිසා ය.

”එදා අපි පාරට යනකොට ඔක්කොම අය එක තැන ගොඩගැහිලා හිටියා. ෆාදර් කට්ටියව නතරකරගෙන හිටියා. එකපාරම කඳුළු ගෑස් එකක් ඇවිල්ලා වැටුණා. අපි මුහුදු වෙරළට දිව්වා. මුහුදු වෙරළට යනකොට වෙරළෙත් කඳුළු ගෑස් ගහලා. ඉතින් මිනිස්සු මුහුදු වතුරෙන් මුහුණ හෝදගෙන ඉස්සරහටම ගියා. ආමි එකේ කට්ටිය පිටි පස්සට පිටි පස්සට ගිහිල්ලා එක තැනකට එකතු වුණා. එක පාරටම ඉස්සරහට ඇවිල්ලා දණ ගහගෙන වෙඩි තියන්න ගත්තා. එස්.ටී.එෆ් එකෙන් ඉස්සරහට ඇවිත් වෙඩි තිබ්බා. ඉස්සරහට හිටපු තුන්දෙනාටම තිබ්බා. මා ගාව හිටපු දෙන්න ඇදගෙන වැටුණා. ඊට පස්සෙ මටත් වෙඩි තියන්න කියලා මම කිව්වා. මට තිබ්බෙ නැහැ. වැටිලා හිටපු දෙන්නව කරේ තියාගෙන මම පිටිපස්සට ආවා. පිටිපස්සට එනකොට මටත් වෙඩි තිබ්බා. එස්.ටී.එෆ් එකේ දෙන්නා මුහුදු වෙරළේ හිටපු දෙන්නට තිබ්බා. පොලීසියෙ එක්කෙනා තුවක්කුව උස්සලා මැරුණ එක්කෙනාගෙ ඔළුවටම තිබ්බා. ෆාදර් ඇවිල්ලා වෙඩි තියන්න එපා කියලා කිව්වා. ඒත් වෙඩි තිබ්බා. වෙඩි වැදුණු එක්කෙනාව අරන් යන කොට හමුදාවෙ කට්ටිය එයාව අරන් යන්න ඉඩ දුන්නා. පොලීසිය අය ඇවිල්ලා උස්සන් යන හතර දෙනාටත් ගහලා, මිනියටත් බිම දාලා පාග පාග ගැහුවා. එයාව කොහොම හරි ඉස්පිරිතාලෙට ගෙනියන කොට මැරිලා.”


වසරක් ඉක්ම ගිය කලහී..

මෙසේ ඝාතනය කරන ලද ඇන්ටනී ප‍්‍රනාන්දු මෙන්ම විරෝධතාවයේදී ඇති වූ තත්ත්වයෙන් හෙම්බත්ව පීඩා විදිමින් සිටි ජේසුමරිය කිංස්ලි සිය සමීපතමයින් හැරදමා ගොස් මෙය ලියන මොහොත වන විට වසරකට වැඩිය. එසේම සිය ජීවත්වීමේ අරගල වෙනුවෙන් සටන් කර මිය ගිය බෙනට්(ඉරණවිල අරගලය), සෝමසිරි (නොරෙච්චෝලේ අරගලය) මිනිසුන් ද පුත්තලම් දිස්ත‍්‍රික්කය තුළ ජනතා අරගල වලදී දිවි පිදූවන් ය.
පොහොසත් වන්නට නොව යහමින් ජීවත් වන්නට බලා සිටි ඇන්ටනීගේ ආදරණීය බිරිදගේ සෝ සුසුම්, කිංස්ලිගේ, බෙනට්ගේ සහ සෝමසිරි ඇතුලූ, මුග්ධ පාලකයින්ගේ වෙඩිපහරින් මිය ගිය අයගේ සමීපතමයින්ගේ වේදනාව අරලිය මැදුරට කිසිදාක නොදැනෙනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මීට වසරකුත් මාස කිහිපයකට පෙර නිදහස් වෙළද කලාපයේ තම රැකියාව වෙනුවෙන් සහෝදර කම්කරුවන් සමග වීථී බට රොෂේන් චානකටත් මෙපරිද්දෙන්ම ආණ්ඩුවේ සන්නද්ධ හෙවායන් විසින් වෙඩි තබා ඝාතනය කළේය. නමුත් එයවත් මේ වනවිට අරළිය මැදුරට දැනුනේ නැත. එය කිසි දිනක දැනෙන්නේ නැති සේයකි. ඒ තරමටම එය මිනිස් රුධිරයට වහ වැටි ඇතැයි වරෙක හැගී යන්නේ එබැවිනි.
5 350
එපමණක් ද නොවේ හලාවත දී ඇන්ටනී වෙඩි තබා මරා දමන තෙක් ශාන්ත සෙබස්කතියන් මුනිවරයාගේ සුරුවම ද බලා සිටියේ ය. එසේම අධිකරණ විනිසුරුවරයාගේ නිවසද, ඉහල පොලිස් නිළධරයෙකුගේ නිවස ද ඒ අසලම වුවත් ඇන්ටනී වෙඩි කා වැල්ල සිප ගනිද්දී බලා සිටියේ ය. දැන් ඇන්ටනීගේ බිරිදට තම ආරණීය සැමියා නැත. අසරණ වූ දරුවන් දෙදෙනාට තම පියා නැත.

එගොඩවැල්ලේ ඇන්ටනීගේ සමීපතමයින්ට සහෝදරයෙක්, මිතුරෙක් නැත. ඒත් ජීවිතය වෙනුවෙන් වීථි බට ජනයාගේ කම්පනය ආණ්ඩුවේ මූනිස්සමෙන් යටකර දැමිය හැකිය යන මූසල සිතුවිල්ල ඉතා ඉක්මනින් විථි බට ජනයා විසින්ම සුනු විසුනු කරන කාලය නම් වැඩි ඈතක නැත.

හලාවත සුදසුන ශාලාවේදී, නිදහසේ වේදකාව විසින් සංවිධානය කර තිබූ, ඇන්ටනී ඇතුලූ මරා දමනු ලැබූ සගයින් සිහිකිරීමේ වැඩසටහනේ දී, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් ගායනා කළ උපහාර ගීයක මෙම සටහනත්,

සුන්දරය ජීවිත කුසුම
අඑයමක මෙන් රොන් සුනු සළන
සුභ අරුණ පැහැයට පෙම් බදින
සුන්දරය ජීවිත කුසුම

විස කුරිරු රැය අවි අත දරන
නටුවෙන් පැහැර පෙති විසුනු කර
ලේ ගලා යන මුහුටයෙන
සුන්දර වේද ජීවිත කුසුම

මහපොළව තුරුළිය විද ගැහැට
පිදු තිළිණයකි ජීවිත කුසුම
එක රැයෙන් උපනිද මල් සුවද
ඝාතකයෙකුට නම් එක මොහොත

කඑවර උනා නිවුනා පහන
හෙට දිලෙයි සිය දහසක් පහන්
සිය දහස් ගණනක අත්වලින්
හෙට දිලෙයි සිය දහසක් පහන්

ඔබ ඇද වැටුනු බව නම් සැබැයි
ඒත් මැරුණු බිජුවක සේ නොවෙයි
මේ පොලොව සරුසාරයි රුවයි
මතු දිනේ නිසැකව දඑ දමයි

සුන්දරය ජීවිත කුසුම
අඑයමක මෙන් රොන් සුනු සළන
සුභ අරුණ පැහැයට පෙම් බදින
සුන්දරය ජීවිත කුසුම

සේම….එදින හලාවත නගරය පුරා බෙදා හැරි පත‍්‍රිකාවේ තිබූ මෙම සටහනත් මෙස් ලියා තබමි…‘‘අකාලයේ මරා දැමුණු..ඉරණවිල-බෙනට්, නොරෙච්චෝලේ-සෝමසිරි, හලාවත-ඇන්ටනී, සිහිකරමු.
යළි සිදුවීමට ඉඩනොදෙමු..

සම්පත් සමරකෝන් | Sampath Samarakoon

[ඇන්ටනී ඇතුලු මරා දැමූවන්ට යුක්තිය ඉටුකිරීමට බලකරීමට, නිදහසේ වේදිකාව විසින් සවිධානය කර තිබූ සාමකාමී විරෝධය හලාවත නගරය තුළ සිදුකිරීමට අවසර ලබා නොදීමෙන් පසු නගරයෙන් පිට සිදුකල විරෝධයේ රෑපමය සටහන්…]


විකල්ප වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි. http://www.vikalpa.org

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment