මව්බිම යනු පාලක රෙජීමය නොවේ -මෙවර ජිනීවාවලදි වඩා ප්‍රබල යෝජනාවක් ඒවි

Mar 1st, 2013 | By | Category: sunday1, සමබිම ඉරිදා අතිරේකය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වන සැසිවාරය 2013 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ‛පැලේ ඩි නේෂන්ස්’ හිදී පැවැත්වේ. ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව යෝජනාවක් පසුගිය මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළේය. ආණ්ඩුව විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස එම යෝජනාව මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙන්ම එයින් ආවරණය නොවුණු වගවීම පිළිබඳ කරුණු ආමන්ත්‍රණය කිරීම ප්‍රමාණවත් පරිදි සිදු නොවීම නිසා මෙවර සැසිවාරයේදී තවත් යෝජනාවක් ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය සැරසේ. එම යෝජනාවට ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ සහය ලැබෙන බව මේ වනවිටත් ප්‍රකාශ වී ඇත.

මෙවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගිවීම සඳහා ‛නිදහසේ වේදිකාව’ නියෝජනය කරමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සහ නීතිඥ සම්පත් පුෂ්පකුමාර මහතා මේ වනවිටත් ජිනීවා නුවර බලා ගොස් සිටිති.

මානව හිමිකම් කවුන්සිල සැසිවාරය, ඇමරිකානු යෝජනාව සහ සිවිල් සමාජයේ භූමිකාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් ‛නිදහසේ වේදිකාව’ විසින් පෙබරවාරි 20 වනදා කොළඹදී පවත්වන ලදී. එම සාකච්ඡාවට නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු (වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය), නීතිඥ සුදර්ශන ගුණවර්ධන (රයිට්ස් නව් සංවිධානය), බ්‍රිටෝ ප්‍රනාන්දු (අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව) සහ හර්මන් කුමාර (ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය) සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතාද සහභාගි විය.

එම සාකච්ඡාවේදී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කරන ලද විශේෂාංගයක් මෙවර ‛සමබිම’ ඉරිදා සංග්‍රහය ඔබ වෙත ගෙන එයි.

[ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු]

බියක් නැති රටක්, නිදහසේ ලියන්න පුළුවන් වාතාවරණයක් සහ නීතියේ ආධිපත්‍ය රජයන පාලනයක් මේ රට තුළ ඇති කිරීම පිළිබඳව තිබෙන අභියෝගය පිළිබඳ සාකච්ඡාව, අවාසනාවකට – මම ඒක අවාසනාවක් කියලා තරයේම කියනවා- අපිට ඒක කරන්න සිදුවෙලා තියෙන්නේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය තුළයි. මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේයි. මානව හිමිකම් සම්බන්ධ ප්‍රඥප්තිවලට, සම්මුතිවලට අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් විදිහට තමන්ගේ පුරවැසියන්ගේ නිදහස සම්බන්ධයෙන්, තමන්ගේ පුරවැසියන්ගේ භාෂණයේ නිදහස, ලිවීමේ නිදහස, සංවිධානය වීමේ නිදහස, දේශපාලන මත දැරීමේ නිදහස වගේ සියලුම කාරණා උල්ලංඝනය වෙන ආකාරයට ශ්‍රී ලංකාව කටයුතු කර තබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අපට තිබෙන සහනය වන ලංකාවේ ජාතික තලයේ ආයතන පවා ජාත්‍යන්තරය ඉදිරියේ බොරු කිව්ව මනුස්සයෙක්ගේ අතට භාරදීම හරහා සිදුවී තිබෙන විපත් තමයි මානව හිමිකම් පිළිබඳව තිබෙන ප්‍රධානතම අභියෝග හැටියට මේ වන විට අපට හඳුනාගන්න තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා අපට කියන්න පුළුවන් නම් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳව තමන් නොදන්නා බව නොකියා, ‛නෑ මම දන්නවා, එක්නැලිගොඩ ඉන්නවා. කොහෙද ඉන්නේ කියලත් අපි දන්නවා, එයාව අපි හොයාගන්නවා’ කියලා බොරු කියපු, රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයක් දරමින් ජාත්‍යන්තරය ඉදිරියේ මේ රට නියෝජනය කළ රජයේ නිලධාරියෙක් තමයි අද ජනාධිපතිතුමාගේ ප්‍රධාන අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත් කර තියෙන්නේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන් නොසලකා හැරීමේ පාපය

පසුගිය මාර්තු මාසයේ ඉදිරිපත් කරන ලද යෝජනාවේ සඳහන් වන ප්‍රධානම අදහස තමයි LLRC වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. අද මානව හිමිකම් කවුන්සිලයට සිදු වී තිබෙන්නේ ඒ අයගේ ප්‍රමිතීන් සඳහා සටන් කිරීමටයි. මානව හිමිකම් කවුන්සිලයේ දෙන පොරොන්දු පිළිබඳව තක්සේරු කිරීමේ ප්‍රමිතීන් තියෙනවා. දැන් වෙනකොට මේ මුළු ක්‍රියාකාරීත්වය හරහාම ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර නීති නොසලකා විතරක් නෙවෙයි, මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතනයන් පවා අපකීර්තියට පත්වෙන ආකාරයට හැසිරෙන බව ඔවුන් විසින්ම සනාථ කර ඇති නිසා තමයි අපි මේ කාරණාව කියන්නේ. ශ්‍රී ලංකාවේ කීර්තිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තිබුණා වූ සදාචාරය සහ සංස්කෘතිය වෙනුවෙන් තමයි අද ජිනීවා නගරයේදී සිවිල් සමාජයට පෙනී සිටීමට සිදුවෙලා තිබෙන්නේ.

ජිනීවා නගරයට යන්නේ අකීකරුව හැසිරුණු නිසා දඬු කඳේ ගහපු ආණ්ඩුවක්

ආණ්ඩුව හා රට අතර වෙනසක් තියෙන බව අපි හොඳින් තේරුම් ගත යුතුයි. මහින්ද රාජපක්ෂ කියන්නේ රට නෙවෙයි, සන්ධාන ආණ්ඩුව කියන්නේ රට නෙවෙයි. ඔවුන් කෙටි කාලයකට මේ රට පාලනය කරන භාරකරුවන් පිරිසක් පමණයි. එතකොට රට වෙනුවෙන් මේ රාජ්‍ය විසින් අත්සන් කරපු ඒ ප්‍රඥප්ති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට වගකීමක් තියෙනවා. මේක බරපතළ කාරණාවක් හැටියට අපි තේරුම් ගන්න ඕන. මේ වතාවේ ජිනීවා නගරයට යන්නේ අකීකරුව හැසිරුණු නිසා දඬු කඳේ ගහපු ආණ්ඩුවක්. අපි මේක ගණන් ගන්නේ නැහැ, අපි ජිනීවාවලට මෙවර යවන්නේ සාමාන්‍ය මට්ටමේ නියෝජිත කණ්ඩායමක් විතරයි කියලා ආණ්ඩුව කියනවා. නමුත් ඔවුන් දන්නවා මේ රට ඇතුළේ නීතිය මායිම් නොකරමින් ආණ්ඩුව දක්වන හැසිරීම තමන්ට ජිනීවාවලදී කරන්න බැහැ කියලා. ආණ්ඩුවට හැසිරිය යුතු විදිහ ජාත්‍යන්තර ප්‍රජාව සහ මානව හිමිකම් කවුන්සිලය විසින් දැනටමත් පෙන්වලා දීලා තියෙනවා. ඒක නිසා ජිනීවාවලදී වෙන්න නියමිතව තිබෙන්නේ බොහෝම බරපතළ ක්‍රියාවලියක් බව හොඳට මතක තබා ගන්න . නමුත් රජය මේ රටේ ජනතාවට කියන්න උත්සාහ කරන්නේ ඒක එතරම් බරපතළ දෙයක් නෙවෙයි කියලයි.

ජාත්‍යන්තරයට දෙන පොරොන්දු කැඩීම

ජිනීවාවලදී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වීමට නියමිත යෝජනාවලිය ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධ ප්‍රශ්න ගැන අනිවාර්යයෙන්ම කතා කරයි. ඒ වගේම ප්‍රතිසන්ධානය සහ වගවීම කියන කාරණා ජිනීවාවලදී සාකච්ඡාවට ගැනීමට නියමිත වෙලා තිබෙන්නේ හුදෙක් ඒ වචනාර්ථයෙන්ම නෙවෙයි, අතුරුදහන්වූවන්ට මොකක්ද වුණේ? නීති විරෝධී ඝාතනයන් ගැන මොනවද කියන්න තිබෙන කරුණු? එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් සහ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ 13 වන සංශෝධනයටත් එහා ගිය විසඳුමක් මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව කියමින් 2009දී රටක් වශයෙන් අපි දුන්න පොරොන්දුවට මොකක්ද වුණේ? යන ප්‍රශ්නවලට සංයුක්ත පිළිතුරු සපයන්න සිදු වෙනවා. ඒ නිසා මාර්තු මාසයේදී ජිනීවාවලදී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවලියෙන් සිදුවන්නේ ලංකා රජය තමන් විසින් මෙතෙක් දී තිබෙන පොරොන්දු නිසි ලෙස ඉටු කිරීමට අසමත්වීම පරීක්ෂා කිරීමයි. ඒ අතරිනුත්, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය අසමත්වීම පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්තුමියගේ කාර්යාලයේ සහාය ලබාගෙන, ඒ සහාය ඇතිව LLRC වාර්තාව සහ වෙනත් වාර්තා ක්‍රියාවට නංවන්න කියන කාරණාව ඒ යෝජනාවේ සඳහන් කර තිබුණා. LLRC වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ කාරණාවේදී ආණ්ඩුව විශාල ප්‍රෝඩාවක් කරනවා.

මාර්තු මාසයේ අපට ප්‍රබල යෝජනාවක් අවශ්‍යයි

දැන් ප්‍රධාන වශයෙන් අපි ජාත්‍යන්තරයට දෙන පණිවිඩයක් තියෙනවා. අපට අවශ්‍ය නැහැ තවත් දත් නැති යෝජනාවක්. දැන් එක යෝජනාවක් කිව්වා LLRC වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් මේ මාර්තු මාසයේ අපට ප්‍රබල යෝජනාවක් අවශ්‍යයි කියන තැන සිවිල් සමාජය ඉන්නවා. පසුගිය වසර පුරාම මේ රටේ සිදුවුණු සිදුවීම් සලකන විට, විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ තරුණයන් පස් දෙනාගේ මරණය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ අවසන් වෙලා නැහැ. මූතූර්වල ඇක්ෂන් ෆේම් රාජ්‍ය නොවන ආයතනයේ දරුවන් 17 දෙනාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගවිභාගයක් නිසි පරිදි සිදු වී නැහැ. අවසන් නොවූ කරුණු -කාරණා රාශියක් තිබෙන බව මහ කොමසාරිස්වරිය මෑතකදී එළි දක්වන ලද තමන්ගේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. ජාත්‍යන්තරය සූදානම් එයට සහයෝගය දෙන්න, නමුත් ලංකාවේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සහයෝගය ලබාගෙන නැහැ. පොලීසියට ඒ සම්බන්ධයෙන් යමක් කරන්න හැකියාවක් නැත්නම්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට තාක්ෂණික මෙවලම් නැත්නම් ජාත්‍යන්තරය සූදානම් ඒ අවශ්‍ය සහයෝගය දෙන්න. නමුත් ආණ්ඩුව මේ සහයෝගය ලබා ගන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා නොවිසඳුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ප්‍රශ්න ලංකාවට තිබෙන බව අද වෙනකොට ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා.

සාධාරණය පරීක්ණයක් කරන්න ශ්‍රී ලංකා රජයට ශක්‍යතාවයක් නැහැ

මේ තත්ත්වය තුළ අපට කියන්න සිදු වී තිබෙනවා යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ මානව හිමිකම් කඩ කිරීම්, යුද අපරාධ සිදුකිරීම් සහ කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුකිරීම සම්බන්ධ චෝදනා ඇතුළුව මානව හිමිකම් කඩකිරීමේ දරුණු සිද්ධීන් සම්බන්ධයෙන් වගවිභාග කිරීමට යම් ශක්තිමත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය බව. මොකද අපි විශ්වාස කරන විදිහට මේ කාරණා සම්බන්ධයෙන් සාධාරණය පරීක්ණයක් කරන්න ශ්‍රී ලංකා රජයට ශක්‍යතාවයක් නැහැ, ඒ විතරක් නෙවෙයි දේශපාලන වුවමනාවකුත් නැහැ. යුද හමුදාව විසින් පසුගිය දිනෙක ආරක්ෂක ලේකම්වරයාට භාර දුන් වාර්තාවේ සඳහන් වෙන්නේ මොනවද? ඒ වාර්තාවේ කියනවා ලංකාවේ බරපතළ ගණයේ යුද අපරාධ කිසිවක් සිදුවෙලා නැහැ කියලා.

තව අවුරුදු දෙක තුනකින් තවත් වාර්තාවක් භාරදීලා, රටේ යුද්ධයක් තිබුණේත් නැහැ කියලා ඒ වාර්තාවෙන් කිව්වොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. අපිට කවදාහරි කියයි ලංකාවේ යුද්ධයක් තිබුණෙත් නැහැ කියලා. මේ යන විදිහට ඒ අමතක වීම වෙන්න පුළුවන්. දැන් මේ කරුණු කාරණා සියල්ලම සලකලා ජාත්‍යන්තරයට සිදුවෙලා තිබෙනවා තමන්ගේ මානව හිමිකම් සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට. ලංකාවේ මානව හිමිකම් සංස්කෘතිය බල්ලාට ගිහිල්ලා තියෙන වෙලාවේ ජාත්‍යන්තරයට සිද්ධවෙලා තියෙනවා තමන්ගේ හෘද සාක්ෂිය අවුලාගෙන තමන්ගේ හෘද සාක්ෂිය මත පිහිටලා තමන්ගේ සාමාජික රටකට සිදු වී තිබෙන මේ අපරාධයන්ට එරෙහිව අඩුගානේ කෙඳිරියක් හරි නගන්න. අපි ජාත්‍යන්තර ප්‍රජාව පිළිබඳව විශ්වාස කරන කණ්ඩායම් නෙවෙයි. අපි දන්නවා ජාත්‍යන්තර ප්‍රජාවේ දේශපාලන බලපෑම් මොනවාද කියලා. නමුත් අපි ජාත්‍යන්තරයෙන් අහන්නේ මේසා විශාල ජන කණ්ඩායමක් මරණයට පත් වූ යුද්ධයක් ගැන ඔබ ගෙන ඇති පියවර කුමක්ද කියලයි. දැන් එම බලපෑමේ ප්‍රතිඵලයන් හැටියට තමයි යෝජනා මතු වෙන්නේ. හිතන්න එපා මේවා කුමන්ත්‍රණ කියලා. ඒ නිසා තමයි අපි මෙවැනි පුවත්පත් සාකච්ඡා කැඳවමින් විවෘතව කියන්නේ, මේ කුමන්ත්‍රණයක් නෙවෙයි. මේ ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡාවක් සහ සංවාදයක්. අපි මේ හොර රහසේ ගිහිල්ලා අපි හොර රහසේ වාර්තා ඉදිරිපත් කරනවා නෙවෙයි. දැන් සහන සේවකයෝ මුලින් 17ක් මැරුණා, ඊට පස්සේ නැවත 05 දෙනෙක් මැරුණා ඒවාට සාක්ෂි තිබෙනවා, පුවත්පත් කලාවේදීන් අතුරුදහන් කෙරෙනවා. 300ක් 400ක් තමන්ගේ දරුවන් අනාථ වූ බවට අම්මලා පැමිණිලි කරලා තියෙනවා අපිට. ඒ තොරතුරු අරගෙන තමයි අපි යන්නේ. ඒ නිසා මේ ජිනීවා ක්‍රියාකාරීත්වය කියන්නේ රටේ ගෞරවය, මානව හිමිකම් යන මේ සියලු දේ ජාත්‍යන්තරය ඉදිරියේ රැක ගන්න තිබෙන්නා වූ එක පියවරක් පමණයි.

මානව හිමිකම් කවුන්සලය කියන්නේ කුමන්ත්‍රණය කරන තැනක් නෙවෙයි, ඒක විවෘතව සහ විනිවිඳභාවයකින් යුතුව රාජ්‍යන් පිළිබඳ කටයුතු කරන තැනක්. අපි එතැනට ගිහිල්ලා අපේ මුහුණු සඟවාගෙන ලංකාව සම්බන්ධයෙන් හිතුනු හිතුනු විදිහට වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. අපි මූලික වශයෙන් වාර්තා 03යි ඉදිරිපත් කරන්නේ. ඒ තමයි අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් පිළිබඳ වාර්තාව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ වාර්තාව සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ වාර්තාව. මේවා ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පූර්ණ විනිවිඳභාවයකින් යුතුව සකස් කළ වාර්තා. ඒ නිසා රජයේ නොමග යැවීම්වලට හසු වෙන්න එපා, මේ කාරණයේදී අපි සමග එක්ක එකට ඉන්න කියලා අපි මේ රටේ පුරවැසියන්ට කියා සිටිනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් ඉල්ලා සිටිනවා අපේ රටේ මානව හිමිකම් රැක ගැනීමේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන්න කියලා.

සකස් කළේ – ප්‍රගීත් ලියනාරච්චි

සම්පූර්ණ කතාව මෙතනින් බලන්න

ඉංග්‍රීසි කතාව මෙතනින් බලන්න

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment