කුකුළා දන්නවද දන්නෙ නෑ!

Mar 26th, 2013 | By | Category: යාන් හෑලි

එක්තරා මනුෂ්‍යයෙකු සිතන්නේ තමා ධාන්‍ය බීජයක් (වී ඇටයක්) බවයි. මේ නිසා ඔහුගේ පවුලේ අය ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළහ. වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සි වී ඔහු වී ඇටයක් නොවන බවත් ඔහු මනුෂ්‍යයකු බවත් ඒත්තු ගන්වා ඔහුගේ මානසික රෝගය සුව කළහ. ඉන්පසුව ඔහුට මානසික රෝහලෙන් පිටත්ව ආපසු නිවස බලා යාමට අවස්ථාව ලැබිණි. 

නමුත් පසුවදා උදෑසනම වෛද්‍යවරයා දුටුවේ ඊයේ දිනයේ සනීප වී නිවස බලා ගිය රෝගියා නැවතත් රෝහල වෙත පැමිණ සිටින ආකාරයයි. ඔහු සිටින්නේ බියෙන් වෙව්ලමිනි. ඔහුගේ ඥාතියෙකු අතේ කුකුළෙකු ද සිටී. අපගේ රෝගියා බියපත් වී ඇත්තේ ඥාතියා අත සිටින කුකුළා විසින් තමා ගිල දමාවිද යන සැකයෙනි.

“මනුස්සයෝ, මං තමුන්ට හොඳටම පැහැදිලි කරල දුන්න නේද තමුන් මනුස්සයෙක් මිස වී ඇටයක් නොවන විත්තිය?” වෛද්‍යවරයා විමසීය.
“ඔව්, ඔව්, ඩොක්ට මම ඒක සහතිකේටම දන්නවා.” රෝගියා පිළිතුරු දුන්නේය.
“ඉතිං?”
“ඒත් මං වී ඇටයක් නෙවෙයි කියල කුකුළා දන්නවද කියල මට ෂුවර් නෑ∎”

කාර්යාල දුරකථනය

මේ මාසයේ ටෙලිෆෝන් බිල අහස උසට නැග තිබුණි. බිල දුටු තාත්තාට මළ පැන්නේය. ඔහු වහාම නිවසේ සියලු දෙනාම කැඳවා දේශනාව පටන් ගත්තේය.
“මේක නම් හරියන වැඩක් නෙවෙයි. බලන්න මේ මාසෙ ටෙලිෆෝන් බිල කීයද කියලා. මේ වගේ බිල් ගෙවන්න ගියොත් නම් මම බංකොළොත් වෙයි. කවුරු කවුරුත් ටෙලිෆෝන් පාවිච්චිය අඩු කළොත් හොඳයි. දැන් බලන්න මම මේ ගෙදර ෆෝන් එකෙන් එක කෝල් එකක්වත් ගන්නෙ නෑනෙ. මම සේරම කෝල්ස් ගන්නෙ ඔෆිස් එකේදි.” තාත්තා කීවේය.

මීළඟට කතාවට මැදිහත් වූයේ අම්මාය.“අනේ මේ, මාව නම් අල්ලගන්න එපා මේකට. මම හරිම කලාතුරකින් තමයි මේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නෙ. මමත් කෝල්ස් ගන්නෙ මගේ ඔෆිස් ෆෝන් එකෙන්මයි.”

මළ කෙළියයි, දැන් මේ කේස් එක කරකැවෙන්නේ මගේ පැත්තට වගේය. මේ මඟුල් ෆෝන් එක මම නම් කොහොමටවත් පාවිච්චි කරන්නේ නැත.“අනේ මම නම් කවදාවත් මේ ගෙදර ෆෝන් එකෙන් කෝල්ස් ගන්නෙ නැහැ. මම සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ මගේ ඔෆිස් මොබයිල් එක. ෆෝන් එකේ බිල් එක ඔෆිස් එකෙන් ගෙවනකොට මට පිස්සුවක් ඇතෑ ගෙදර ෆෝන් එකෙන් කෝල් ගන්න.” මම කීවෙමි.
අන්තිමේදි කතා කළේ අපේ ගෙදර වැඩට ඉන්නා චන්ද්‍රානි ය.

“එහෙනම් ඉතිං මෙතන ප්‍රශ්නයක් නෑනේ. හැමෝම පාවිච්චි කරල තියෙන්නෙ තමන් වැඩකරන තැන තියෙන ෆෝන් එකනේ∎”

Recent Posts

Tags: , , , ,

Leave a Comment