ඉවසන්න ලහිරු!

Mar 28th, 2013 | By | Category: යාන් හෑලි

අපි පොඩි කාලෙදී නම් ප්‍රසිද්ධ ස්ථානයක කරදරකාරී විදියට නැත්නම් කලබලකාරී විදියට හැසිරුණොතින් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් බැණුම් අහන්න වෙනවා. ඒ වුණාට දැන් ලෝකෙ වෙනස් වෙලානේ. සමහර ගෙවල්වලට ගියාම අපට සිද්ධ වෙන්නේ ළමයින් කරන කියන සේරම දේවල් ඉවසගෙන ඉඳලා, ළමයින්ගේ හපන්කම් ගැන අම්මලා තාත්තලා කියන විස්තරවලට සවන් දීලා ආපසු එන්නයි. ළමයින්ට තරවටු කරන එක හරි දැනමුතුකමක් කියලා දෙන එක හරි ඉතාම නරක ක්‍රියාවක් වශයෙන් තමයි ගොඩක් දෙමව්පියෝ හිතන්නේ.

ළඟදි දවසක අපේ තුෂාරා සුපර් මාර්කට් එකකට ගිය වෙලාවේ එයා දැකලා තියෙනවා සීයා කෙනෙක් තමන්ගේ අවුරුදු 3ක් විතර වයස මුණුපුරා එක්ක සුපර් මාර්කට් එකට ඇවිත් ඉන්නවා. මේ කොල්ලා නම් හරිම විසකොඩියක්, පුදුම ඇම්ඩන් කෙනෙක්. කොලුවා සුපර් මාර්කට් එක දෙක වෙන්න කෑ ගහනවා, චොකලට් ඉල්ලනවා, රසකැවිලි ඉල්ලනවා, පොප් කෝන් ඉල්ලනවා, පුදුම කරදරයක්. තුෂාරාටත් ඉවසගෙන ඉන්න බැහැ මේ කරදරය. ඒත් මේ සීයා පුදුම ඉවසීමකින් තමන්ට අවශ්‍ය බඩු කාට් එකට එකතු කරගන්න අතරේ බොහොම සංයමයෙන් මෙහෙම කියනවා, ‛පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකො ලහිරු, තව ටිකකින් අපි ගෙදර යනව නේ’ කියලා.

මේ කටයුත්ත දිගටම එහෙම වුණා. ළමය කොයිතරම් දඟ කළත් සීයා කේන්ති ගන්නෙ නැතිව ඉතාම සන්සුන් ස්වරයෙන් ළමයට කරුණු පැහැදිලි කරල දෙනවා. අන්තිමේදි බඩු සේරම අරගෙන ඉවර වෙලා සීයා කවුන්ටරේ ළඟට ආවා බිල දාගෙන සල්ලි ගෙවන්න. තුෂාරාත් ඒ ළඟම ඉන්නවා. මේ යක්ෂ ළමයා පටන් ගත්තෙ නැතැයි අර සීයා කාට් එකට එකතු කරගෙන තිබුණු බඩු අල්ලලා එළියට වීසි කරන්න. තුෂාරාට දැන් හොඳටම කේන්තියි මේ ළමයත් එක්ක. ඒ වුනත් සීයා සන්සුන් ස්වරයෙන් මෙහෙම කියනවා ඇයට ඇහෙනවා. “ලහිරු, ලහිරු, කලබල වෙන්න එපා කොල්ලො, අප්සෙට් වෙන්න එපා. තව විනාඩි පහෙන් අපි ගෙදර යනවනේ. ඉවසගෙන ඉන්න පුතා.”

සාමාන්‍යයෙන් කියන්නෙ වයසක උදවියට ඉක්මනින් කේන්ති යනවා කියලනේ. තුෂාරා හොඳටම පැහැදුණා මේ සීයගෙ ඉවසීමේ ශක්තිය ගැන. ඔන්න දැන් මේ සීයා සුපර් මාර්කට් එකෙන් එළියට ගිහිල්ල තමන්ගේ කාර් එකට බඩු ටික පටවනවා. තුෂාරා එතනට ඇවිදගෙන ගිහින් සීයට මෙහෙම කිව්වා. “මෙහෙම කතා කරන්න මට අයිතියක් නැහැ. ඒ වුණාට මානව අයිතිවාසිකම් ගැන වැඩකරන කෙනෙක් හැටියට මම මේක කියන්නම ඕන. නමුත් ඔබතුමා සුපර් මාර්කට් එකේදි මේ ළමය එක්ක ඉවසීමෙන් කටයුතු කරපු හැටි නම් හරිම අපූරුයි. ඒක අපි හැමෝටම ආදර්ශයක්. මට නම් හිතා ගන්නවත් බැහැ ඔබතුමා කොහොමද මේ මුළු කාලය තිස්සෙම එච්චර ඉවසීමෙන් හිටියෙ කියලා. ලහිරු නම් හරිම වාසනාවන්තයි ඔබතුමා වගේ සීය කෙනෙක් ඉන්න එක ගැන.” තුෂාරා කියාගෙන ගියා.
“බොහොම ස්තූතියි” සීයා කිව්වා. ඒ වුණාට ලහිරු කියන්නේ මගේ නම. අර වේ—කොල්ලගෙ නම චාමර.”∎

Recent Posts

Tags: , , , , ,

One Comment to “ඉවසන්න ලහිරු!”

  1. Cyril Pathiranage says:

    Shah maru kathawa.

Leave a Comment